බෲක්සයිඩ් දුම්රිය පලෙහි රවුමක්!

 දුම්රිය හා සබැඳි අතීත තොරතුරු ගවේශණයට සිතියම් ලබාදෙන්නේ මගඟු පිටුවහලකි. ඒ අතරිනුත් මිනින්දෝරු සැලසුම් ඉතා ඉහල වටිනාකමක් හොබවන්නේ ඒවා පරිමාන‍ය අනුව සහ සමෝච්ඡ රේඛා සටහන් කරමින් ඇඳ තිබීමත්, ඉහල තොරතුරු ප්‍රමාණයක් අඩංගුව තිබීමත්, කාලානුරූපී බවත් නිසාය. පසු ගිය පටු ආමාන පොත පිලියෙල කිරීමේදී වසා දැමූ පටු දුම්රිය මාර්ග වල මිනින්දෝරු සිතියම් ලබාගැනීමට උත්සාහ දැරුවත්, එම උත්සාහය එතරම් සාර්තක නොවීය; රටෙහි පැවති කොවිඩ් වසංගත තත්ත්වයත්, වෙනත් අපහසුතාත් ඒ කෙරෙහි බලපෑවේය. කෙසේ නමුත් මෑත කාලීනව දුම්රිය දෙපාර්තමේන්තුවේම සේවය කරන ප්‍රසන්න ප්‍රේමතිලක මහතා විසින් එවන් වටිනා මිනින්දෝරු සැලසුම් රැසක් අන්තර්ජාලයට මුදා හරින්නට කාරුණික විය. එසේ මුදාහරින ලද මිනින්දෝරු සැලසුම් ගැඹුරින් අද්‍යනය කිරීම මේ දිනව මගේ සිත් ඇදගන්නා කරුණක් වී ඇත.  මේ එලෙස ලැබුන බෲක්සයිඩ් [Brookside, BKS] දුම්රිය පලෙහි මිනින්දෝරු සැලසුම ආශ්‍රයෙන් මතුකරගන්නා ලද නිරීක්ෂණ සමහරකි. තව දුරටත් මේ පිලිඹඳව අධ්‍යයයනය සිදුවන බැවින්, මෙය සංක්ශිප්ත සටහනක් නොවෙතත්, මිනින්දෝරු සැලසුම් වල ඇති වටිනාකම මතු කිරීම සඳහා තබන ලද සටහනකි.

බෲක්සයිඩ් දුම් රියපල, නානු ඔය සිට මයිල දහසයයි දම්වැල් පනස් හතරක් නැතහොත් කිලෝ මීටර් 26.83 ක් දුරින් කඳපොල (KAP)  සහ රාගල (RLA) යන ප්‍රදාන දුම්රිය ස්තාන අතරය. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 5,818 ක් හෝ මීටර් 1773.3 කි.

මේ සමඟ අමුණා ඇති බෲක්සයිඩ් මිනින්දෝරු සිතියමෙහි පහත සඳහන් ප්‍රධාන ගොඩනැඟිලි හඳුනාගත හැකිය.

දුම්රිය ස්තානය [STATION], බඩු ගබඩාව [GOODS SHED], කඩ මණ්ඩිය [BOUTIQUES], ලාම්පුකරුගේ නිවස්නය [LAMPER’S HUT], සහල් ගබඩාව සහ අශ්ව ස්තාලය [STABLE AND RICE STORE] , ළිඳ [WELL], ස්මාරකයක් [MONUMENT] සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවාස (ලයින් කාමර ලෙස පොදුවේ භාවිතා වන) [TRANS LINES/T.LINES] හඳුනාගත හැකිය. ඊට අමතරව දුම්රිය රක්ෂිතයේ සීමාව, බෑවුම් ආදිය සහ ජලාපවාහන පද්ධතියද බොහෝ දුරට හඳුනා ගත හැකිය. 11 වසර සිතියම් පොත කියවිය හැකිනම් මේ සිතියම් කියවීම අසීරු වීමට නොහැකිය.

මෙම සිතියමෙහි ඇති සියළුම ස්තාන අදත් ගූගල් විදි දසුනෙහි [GOOGLE street views] දක්නට ඇත. බෲක්සයිඩ් දුම් රිය ස්තානයේ අක්ෂාංශ සහ දේෂාංශ වන්නේ 7°01'06.1"N 80°50'35.9"E . පාශ මාර්ග හෝ සයිඩිම් නොමැති සරල දුම්රිය ස්තානයක් වුවත්, එය කොතරම් වපසරියක පැතිර ඇත්දැයි සිතාගත හැකිය. සිතියමෙහි සඳහන්ව නොමැති දුම් රිය ස්තානාධිපති නිල නිවාසයද ගබඩාවට පිටුපසින් තවමත් ඇත. ගූගල්හි දක්නට නොමැත්තේ ළිඳ පමණි. එයත් ඇතැම් විට භාවිතයේ ඇතුවා වන්නටද පුළුවන. අවාසනාවකට 2019 වසරේ නත්තල් රැයේදී කිසියම් අමනයෙකු හෝ අමනයන් කණ්ඩායමක් විසින් බෲක්සයිඩ් දුම්රිය ස්තානයට ගිණි තබන ලද්දේය. ගූගල් වීදි දසුන අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 2015 වසරේ බැවින් තවමත් දුම්රිය ස්තානය එහි දක්නට ඇත. මහා මාර්ගයට නෙරා තනි ලීයෙන් ඉඳිකර ඉතාම විශ්ෂ්ඨ තත්වයේ පැවති අවසන් උඩපුස්සැල්ලාව ලී දුම්රිය ස්තානය රැක ගත යුතුව තිබූ අගනා පුරාවස්තුවකි. මේ ශාපලත් දේශයේ සංරක්ෂණයම බිහිළුවකි.

බෲක්සයිඩ් දුම් රිය ස්තානයට ඔබ්බෙන් අශ්ව ලාඩම් හැඩයේ වංගුවකි. අදටත් රාගල - වලපනේ මාර්ගය දිවෙන්නේ මේ අශ්ව ලාඩම් වංගුව ඔස්සේය. කුඩා ගැල් හයක් අමුණා ගත් එල් [L Class] පන්තියේ එන්ජිමක් හෝ මැදිරි නවයක් අමුණා ගත් බේබි ගැරට් එන්ජිම [H1 293] මේ අශ්ව ලාඩම් වංගුවේ කෙතරම් පූර්ව දසුනක් මවන්නට ඇත්දැයි ඔබට සිතාගත හැකිද? එන්න අපි මනසින් බෲක්සයිඩ් දුම් රිය පොලෙහි ඇවිද යමු!

මෙම දුම් රිය සිතියම් නැවත මුල සිට ඇඳ සමාජගත කීරීමට ඉටාගෙන සිටිමි.

බෲක්සයිඩ් දුම්රිය පලෙහි මිනින්දොරු සිතියම. කාලය නොදනී.

බෲක්සයිඩ් දුම්රිය පල කඳපොල අන්තයෙන්. නිල නිවසේ සහ ගබඩාවේ පියැසි පසු පසින් පෙනේ.

බෲක් සයිඩ් බඩු ගබඩාව දකුණු පසින් සහ දුම්රිය පල වම් පසින්. රාගල අන්තයෙන්

දුම්රිය පල ඉදිරිපිට ඇති ස්මාරකය.

කඩමණ්ඩිය වම් පසින් සහ දකුණේ කඳු ගැටය මත්තෙහි ලාම්පුකරුගේ නිවස්න. ඊට පිටුපසින් සහල් ගබඩාවේ සහ අශ්ව ස්තාලයේ වහලයද දිස් වේ.

අශ්ව ලාඩම් වංගුව සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිවාස

Special thanks: Mr. Prasanna Premathilake, Deputy Chief Engineer Planning & Projects at Sri Lanka Railways


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!