ගොඩකවෙල පොල

 


නගරයක් සේ අපට මුලින්ම සමීප වූයේ ගොඩකවෙලයි. 'ගොඩ කල වෙල' යන්නෙන් බිඳී ආවක් ලෙස සැලකෙන මේ නුවර, මගේ මතකයේ ආකාරයට අසූව දශකයේදී කඩ මණ්ඩියකට වඩා විසල් නොවීය. බිබිලේගම සිටියදී ලොකු නංගි ජන්ම ලාභය ලැබූ ගොඩකවෙල දිසා රෝහලත්, ගොඩකවෙල ලංගම ඩිපෝවත් අතර කොටස ගොඩකවෙල නගරය ලෙස සැලකේ. නමේ ලෙසටම එකල එහි පාර තනි මඩ ගොහොරුවකි. ඇඹිලිපිටිය ඩිපෝවේ උප ඩිපෝවක් වූ ගොඩකවෙල ඩිපෝව ඉදිරිපස මදක් වමට වන්නට කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය පිහිටියේය. මගේ මව දිගු කාලයක් වාණිජ්‍යය විෂය ඉගැන්වූයේ එහිය. අනිත් කෙලවරට මදක් කලින්, වම් පස ගොඩකවෙල පොල පිහිටා ඇත. ඒ පොලට ඉදිරිපස දකුණට වන්නට ඇති දොඹකොල ඔය බයිසිකලයකට පමණක් යා හැකි කුඩා පාලමකින් තරණය කල විට රාහුල මහා විද්‍යාලය මුණ ගැසේ. මගේ පියා කෙටි කාලයක් එහි විදුහල්පති වශයෙන් සේවය කලේය.  

ගොඩකවෙල, මගේ බොහෝ අත්දැකීම් පලමුව ලැබූ නගරයයි. මා මුලින්ම ටියුෂන් පංතියකට ගියේ එහිය. මුල්වරට මලගෙදරක ගියේ නගරයට සමබන්ධ කාරණාවකටය. මතක ඇති කාලයේ පලමු චායාරූපය ගත්තේත්, කලිසමක් මැසුවේත්, අසනීපයකට බේත් ගන්න ගියේත් ගොඩකවෙලටය. බයිසිකලයක් නිවසේ තිබූ කාලයේ එහි අමතර කොටස් සහ සුකුරුත්තං ගත්තේ ගොඩකවෙල මණි කඩයෙනි. රිදිවිට සිට ගොඩකවෙලට ගෙදරට හොරා පාපැදියෙන් ගිය ගමන්, අදත් ඒ මාවතේ යන මම සිහිකරමි. ඒ නිසා ගොඩකවෙල ගැන යම් සටහනක් තැබීමට මට නිතර සිතේ. 

ගොඩකවෙල පොල, ඒ ප්‍රදේශයේ පැවති ලොකුම පොලයි. කහවත්ත නගරයේ පොල දවස පුරාම පැවැත්වුනත්, ගොඩකවෙල පොල අද දක්වාම පැවැත්වෙන්නේ වරුවක් පමණි. පොළට වෙලෙන්දන් රොද බඳින්නේ උදෑසන හතරේ පමණ සිටය. අසල ගම්මාන වන වරායාය, පල්ලේබැද්ද, බලවින්න, මස් ඉඹුල, වේරහැර, රිදීවිට ආදී පෙදෙස් වල සිට වෙලෙන්දෝ ලොරි බාග, අත් ට්‍රැක්ටර්, මෝටර් බයිසිකල්, ෆුට් බයිසිකල්, අත් කරත්ත මෙන්ම සිය කරපිටින්ද එලවලු හා වෙනත් දෑ පොල වෙත රැගන එති. එකල පොල පැය පැවැත්වුනේ ලී කණු පිට පොල් අතු, තල අතු හා ඉටිකොල හෙවිල්ලූ මඩු තුලය. බිම වහලේ පලයට මෙපිටින් ගල් වැටියක් අල්වා පස් පුරවා තලා තිබිණි. සබරගමු වැස්ස ඇදහැලෙන දවස් වලට පොලම මඩ ගොහොරුවක් බවට පත් වේ. වැසි දාට වෙළදාම් කොහොමත් අඩුය. 

අම්මා හෝ තාත්තා කැටුව අපි පොලට යන්නේ රිදීවිට හරහා ගොඩකවෙලට ධාවනය වන හයයි කාලේ බස් රියේය. අටයි කාලට බසයක් ඇතත්, එය ප්‍රමාද වී ගොඩකවෙලට යද්දී හොඳම දේවල් විකිණී අහවරය. ගොඩකවෙල යනවා නම් මුලින්ම සිදුවන්නේ පොලෙන් අවශ්‍ය දේ මිලදී ගැනීමය. හයයි කාලේ බසයට රිදීවිටින් අප ගොඩවද්දී සීට් වලින් බාගයක් පමණ හිස් ය. සෑම හන්දියෙන්ම සෙනඟත්, බඩුමුට්ටුත්, කෙසෙල්කැනුත් පැටවූ විට බසය වේරහැර පාරෙන් වමට වංගුව ගන්නේ පාපුවරුව 'කරාස්' හඬින් බිම අතුල්ලමිනි. අපේ තාත්තාද ඇතැම් විට පැසුණු කෙසෙල්කැණක් බසයේ පටවාගෙන යයි. පුවක් උරද, වීගෝනිද, පලතුරු පෙට්ටිද බසයේ පටවාගෙන යෑම සාමාන්‍ය සිරිතකි. ඒවාට තහංචි නැත. ඒ දිනවල හයයි කාල බසය ලෙස ආවේ ඉසුසු BF 50 බසයකි. 

බසය වේරහැර පාර පසුකර වමට හරවා නවත්වයි. ඒ ඉදිරිපසම සමුපකාර වෙළඳ සැලත්, ජන්ශන් හෝටලයත් ඇත. ජන්ශන් හෝටලයෙන් ටී බනිස් කා වැඩි සීනි ඉඟුරු ප්ලේන්ටියක් නොබීවොත් ගමන සම්පූර්ණ නොවේ. බසයෙන් බසිනා අප, මීටර් හාරසියයක් පමණ පාර දිගේ පොලට ගමන් කල යුතුය. ඇතැම් විට මාදම්පේ සිට ගොඩකවෙල පොලට සෙනඟ ගෙන එන ලොරි බාගයක නැඟී ඒ කෙටි දුර යා හැකිය. ඒ වන විටත් ත්‍රීවීල් යනු ආගන්තුක, නොදන්නා වාහනයකි. 

පොලට සෙනඟ අදින ලොරි මාදම්පේ සිට ගොඩකවෙලටත්, පල්ලෙබැද්දේ සිට ගොඩකවෙලටත් ධාවනය වේ. මේවා කුඩා රෝද හතරේ ඉසුසු එල්ෆ්, නිසාන් කැන්ටර් වැනි ලොරි බාගය. ඒ වෙද්දී ඩිමෝ බට්ටෝ හෝ මහින්ද්‍රා බොලෙරෝ කල එළි බැස තිබුනේද නැත. සාමාන්‍යයෙන් සැහැල්ලු ප්‍රවාහන කටයුතු වලට යොදන මේවා පොල දිනවල මඟී ප්‍රවාහනයට යෙදවේ. පිටුපස කැනොපිය ගසා දෙපස බඳට සමාන්තරව සවි කර ඇති ලෑලි හෝ කුෂන් බංකු, භාන්ඩ ප්‍රවාහනය කිරීමට ඔසවා ඇණයකින් එල්ලා 'හකුලා' දැමිය හැකිය. පිටුපස පා පුවරුව පලල් ය. වයසක ආත්තම්මලා, ආතලා ඔසවා ලොරි තට්ටුව උඩින් තැබිය යුතුය. තරුණයෝ තරුණියන්ද ඔසවා තබති! ලොරිය ඇතුලේ සිටගත් විට වටපිටාව නොපෙනේ. කොන්දොස්තර කොලුවා "ගලහිටිය බහින අය කිට්ටුවට එන්ඩ, අල්පිටිය බහිනවා" ආදිය කියන විට, සිටින්නේ කොහේදැයි නිච්චි වේ. පිටුපස සිට කැනොපියට එපිටින් ඇදෙන නයිලෝන් ලණුවක් කෙලවර ඇති බයිසිකල් සීනුව නැතහොත් බෙල් එක රියදුරාට ආසන්නයේ සවිකර ඇත. සීනුවක් නැති ලොරි බාග 'ඉස්සරා ඕල්ට් බයිනවා' කියා හඟවන්නේ ලොරියේ ලී බඳට 'ඩොහ් ඩොහ් ඩොහ්' ගා තෙවරක් තඩි බෑමෙනි. මුදල් එක්කාසු කරන්නේ ලොරියෙන් බැස්ස විටය. ටිකට් දීමක් නැත. රුපියල් දෙකේ පහේ කාසි දමන රෙදි මල්ලක් කොන්දොස්තර කොලුවා ඇතැම් විට සරමට හා කමීසයට උඩින් ඉණ වටා බැඳ සිටී. ඇතැම් කුම්මැහියෙක් පස්සෙන් පස්සට ගොස් සෙනඟ ගොඩට මුහු වී සල්ලි නොදී මාරු වෙත්. ලොරියේ ඉදිරිපස ආසන වලද මඟීන් රැගෙන යයි. ඒ ස්වාමීන්වහන්සේලා, ගුරුතුමන්ලා වැනි සමාජයේ වැදගතුන් හෝ ඇතැම් විට ආබාධිත අය, ගර්භණී මවු වරුන් වැනි අයයි. ඇතැම් දිනක ගුරු යුවලක් වූ මව හෝ පියාගේ පිහිටින් අපිද ලොරියේ ඉදිරිපස යන්නෙමු.  ගොඩකවෙලදී ලොරියෙන් බැසීමට නොහිතෙන තරමට අපි ඒ අවස්ථාවට ඇදී බැඳී සිටින්නෙමු. ක්ලචය පාගා, ස්ටියරිං කණුවේම ඇති කුඩා ගියර් දණ්ඩෙන් ගියර් සීරුවට මාරුකර, ලොරිය ඇක්සලරේට් කරද්දී කුඩා ජපන් ලොරි එන්ජින් වලින් එන ලාක්ෂණික 'ජිරි ජිරියට' මම බොහෝ සේ කැමැත්තෙමි. 

ඉතාම උදෑසන ගොඩකවෙල පොලේ සිදුවන්නේ තොග වෙලදාමකි. උදැසනම පොලට කෙසෙල් ගෙන එන ගොවියෝ ඒවා කෙසෙල් තොග කොලඹටත්, වෙනත් දුර බැහැරටත් වෙළදාමේ යෙදෙන ගොවියන්ට විකුණති. එසේම මඟුල් තුලාවක්, දානයක් ආදී කටයුත්තක් සඳහා කෙසෙල් අවශ්‍ය ගම්වැසියෝද උදෙන්ම පොලට ගොස් අඩුමුදලට කෙසෙල් ගනිති. කැන් කපා, කෙසෙල් පරඬලා සමඟ කාඩ්බෝඩ් පෙට්ටි වල බහා මෝටර් බයිසිකල් වල හෝ ෆුට් බයිසිකල් ලගේජ් වලට ගැටගසා රැගෙන යති.

පොල දොරකඩ, බූන්දි ආදී රසකැවිලි වෙළඳසැල්, අවුරුදු සමයේ නම් සරම්,චීත්ත ආදී රෙදි විකුණන ස්ථාන සහ ලොතරැයි වෑන් රථයක් ඇත. ලොතරැයි වෑන් රථය හිමි විජේ අයියලා අපේ අසල්වාසීන් ය. ඒ නිසා ඔවුන් සමඟ කතා බස් කිරීම අනිවාර්‍යයෙන්ම සිරිතක් ලෙස සිදුවේ. මුලින්ම අපි එලවළු මිලදී ගැනීමට ඇතුලට යන්නෙමු. 

එලවළු විකිණෙන්නේ බිම දැමූ ගෝනි පඩංගු මතය. ලීස්, රාබු, කැරට් ආදී උඩරට එලවලු මෙන්ම, වම්බටු, පතවල, වැටකොලු ආදී පහතරට එළවළුද කඳු ගසා ඇත. රතුළූනු, රටළූණු, සුදුළූණු, ඉඟුරු, සියඹලා ආදිය බක්කි වල විකිණේ. වෙලෙන්දෝ තරගයට කෑගසමින් එලවළු විකුණති. ඒ අරුමය නම් අද දක්වාම වෙනස් වී නොමැත. ඇතැම්විට එකම එලවලු එක ලඟම දෙතැනක විකුණන අය සිටී නම්, ඔවුන්ගේ හඬ වැඩිය.

"ලාබයි ලාබයි.. බෝංචි පන්සීය විසිපහයි.. බෝංචි පන්සීය විසිපහයි..." (එකල මිලගනන්)

"මේ අලුත්ම බෝංචි.. අලුත්ම බෝංචි.. ලාබයි ලාබයි ලාබයි" ආදී වශයෙන් එකිනෙකා පරයා නැඟෙන ගෝෂාවන් නැඟේ. වෙලඳාමෙන් ලැබෙන මුදල් බොහෝවිට දෙකට නැමූ පොඩි ගෝනියක නැවුම යට තැන්පත් කෙරේ. ඉනේ හෝ තංගල්ල බැංකුවේ තබාගන්නා වෙලෙන්දියෝද වෙති! වෙලදාම සරුවට කෙරුණු පසු බුලත් කහට පෙනෙන දත් වහල්ල පෙනෙන්නට සිනාසෙන, කෙස්ස සුදු ආත්තම්මලා මට තවම දයාබරව සිහිකල හැකිය. අම්මා කුලරත්නයේ ජනප්‍රිය ගුරුවරියකව සිටි සමයේ "අනේ මේ අපේ ලමයගේ ටීචර්නේ.. අපි කොහොමද සල්ලි ගන්නේ" කියා අම්මා පොලේ ගෙන යන 'පී' බෑග් මල්ලට එබූ අවස්ථා බහුල වූ නිසා අම්මා පොලේ යෑමට අකමැති වූ සමයක්ද විය.

මස් මාලු වෙළදසැල් වූයේ පොලෙහි පිටුපස්සටම වන්නටය. විශේෂයෙන්ම මස් වෙලඳාම සිදුවූයේ හොර රහසේ වාගේය. මාලු වෙළඳාම නම් ජනප්‍රියය. මිල වැඩි මාළුන් ගැනීමට බොහෝ ගැමියන්ට අත මිට සරු නොවූ නිසා බොහෝවිට වැඩිපුර විකිණෙන්නේ අලගොඩුවෝ, සාලයෝ වැනි මාළුන් ය. කෙලවල්ලා මාලු පන්සීයක් මිලදී ගත හැක්කේද එහෙමත් කෙනෙකුටය. මාලු සහ මස් අලකොලයක දවටා, ඉන් පසු පත්තර පිටුවක එතීම සිරිතය. 

මම වඩාත්ම කැමති හාල්මැස්සන් කරවල විකුණන තට්ටුවටය. හොඳින් වියළුන හාල්මැස්සන් සහ කරවල උම්බලකඩවලින් ලාක්ෂණික සුවඳක් නැඟෙයි. කලු, අලු සුදු කහ පැහැ කරවලත්, රතුම රතු ඉස්සන් ගොඩවලුත් අපූරු වර්ණ සංයෝජනයක් මවා පායි. පත්තර ගොටු වලට ඔතා දෙන කරවල හාල්මැස්සන්ද, බුහුටි ලෙස කපා කිරා බලන කට්ටා, මෝර, තලපත්, බල ආදී කරවලද අස්මාරික මිහිරියාවකට මා ගෙන ගිය බව මතකයේ ඇත. 

කඩල, කවුපි, මෑ, මුං ඇට, පරිප්පු ආදියත්, සහලුත් විකිනෙන්නේ බාගේ ගෝණි වලමය. ධාන්‍යය අඩුවද්දී ගෝණිය පහතට රෝල් කෙරේ. කරවල තරමක් නැතත්, ධාන්‍ය ගොඩවලින් විහිදෙන සුවඳටද මම ආසා කලෙමි. 

අවුරුදු සමයට පොල දොරකඩම බිම එලූ පොලිතින් මත සරම්, චීත්ත, කුඩා ලමුන්ගේ රෙදි ආදිය ගොඩගසා වික්ණේ. ඒ පසෙක රතිඥ්ඥා, නිලා, අහස් ගුණ්ඩු, කවිචක්කර ගොඩකි. වෙඩිබෙහෙත් සුවඳත්, අමු බතික් සුවඳත් මුසු කුයිලක් එතැනින් හමයි. ඇතැමෙක් අවුරුද්දට රෙදි ගෙනයන්නට එන්නේ කෙසෙල් කැනක් හිස තබාය. කෙසෙල් කැන හරි ගනනකට විකුණාහත නොහැකි උවහොත් අවුරුදු නැත. 

1940 දී පමණ ගොඩකවෙල පොල බිමේ සිකරට් කඳු ගසා ඉතා අඩු මුදලට හෝ නොමිලයේම විකිණූ බව පිය පරම්පරාවෙන් අසා දැන ඇත්තෙමි. ඒ අහිංසක මිනිසුන්ට ඒවා හුරු කල හැටිය. එකල දත් වෙද තැනක්ද පොළෙහි සිට ඇත. ජාතික ඇඳුමෙන් සැරසුනු හෙතෙම "හා ලොකු උන්නැහේ කෝ එමු බලන්ඩ දත් ටික" කියා අඬ ගසා "චා චා මේ දත් ටික පණුවො කාලනෙව" කියා පණුවන් පන්නන දියරයක් ගැමියාට අලෙවි කරයි. ඒ මින්‍ට් රසැති දියරයකි. ගැමියා කට සෝදා පඩික්කං කට කෙසෙල් කොලයකට මුදා හරී. කටින් කෙසෙල් කොලයට වැටෙන පුවක් කෑල්ලක්, බුලත් නැට්ටක් පෙන්වන දත් වෙදා "මේං ලොකු උන්නැහැගෙ කටේ උන්න පණුවා" ලෙස පවසා තුට්ටු දෙකට තට්ටු කරයි. 

පෙට්ටියක දැමූ දත් ගැලවූ නාගයෙක් පෙන්වා සර්ප විෂ අදින ගල් විකුණූ වෙද මහතෙක්ද මට මතක ඇත. දුශ්කර ගම්මාන වල සර්ප දෂ්ඨනයන් බහුලය. ඒ නිසාම මේ විෂ ගල්වලට ලොකු ඉල්ලුමක් ඇත. ඒ ක්‍රම වල සත්‍යාසත්‍යභාවය මම මෙහි නොවිමසමි.  

පොල අහවරවන මධ්‍යාහ්න දොලහ පමණ වද්දී, ඉතිරිවන එලවලු හා අනෙකුත් කල්තබාගත නොහැකි ද්‍රව්‍ය අඩු මුදලට විකිණේ. මේ වෙලාවට ඒවා මිලට ගන්නට යන්නන් අතර නැති බැරි උදවිය මෙන්ම, බස් නැවතුම් අසල හෝටල්වල පිසීම සඳහා ලාබෙට එළවලු සොයන අයත්, අමු ලෝබයෝත් සිටිති. මෙවන් එක් මා දන්නා ජාතික ඇඳුම අඳිනා තලත්තෑනි මහතෙකු පොලට යන්නේ ඒ වෙලාව අල්ලාය. තවත් මුදල් ඉතිරිකර ගැනීමේ අරමුණින් ලොරි බාගයට රුපියල් සියයක් දික්කිරීම පුරුද්දකට ගත් නිසා එක දවසක් දා දෙනෝදහක් මැද කොන්දොස්තර කොලුවා ලව්වා සරම කඩාගෙන මාස ගනනක්ම පොලේ යාමෙන් වැලකී සිටියේය.

(මෙහි එන අන්තර්ජාලයෙන් බාගතකල සේයාරුවේ වම්පස කඩයට පිටුපසින් පොල පිහිටා ඇත. එකල චායාරූප සොයාගැනීමට නැත. ඇත්නම් ලබාදෙන්න) 

©රසික වික්‍රමනායක

උපුටා පලකිරීම සපුරා තහනම්.

Comments

  1. මේක කියවනකොට දිගන, පේරාදෙණිය වගේ පොළ මතක් උනා. දිගන ත්‍රිකෝණ ටවුමක් නේ. මම මේ කියන්නේ 2003 වගේ. ඒ කාලේ පොළ දවසට මුළු ටවුන් එකේ ම පොළ.

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්