Posts

Showing posts from October, 2021

සංඥා සයන්ස්කාර සවිඥාණ

Image
  පත්මසිරි ශිෂ්‍යත්වේ සමත් වෙලා කොලඹ ආනන්දෙට ආවේ හැත්තෑව දශකෙ අග කාලෙ. ඊට පස්සෙ අසූව දශකෙ මැද වෙද්දි , සාමාන්‍ය පෙල සමත් වෙලා , උසස් පෙල පංතියේ. විද්‍යාව හෝ ගණිතය උසස් පෙලට තෝරා ගන්න සුදුසුකම් සැපිරුවත් , පත්මසිරි තෝරා ගත්තේ කලාව. කලා පන්තියෙ වුනත් ඉගෙන ගත්තෙ විද්‍යාවම තමයි. දේශපාලන විද්‍යාව , ආර්තික විද්‍යාව. ඊට අමතරව බෞද්ධ ශිෂ්ඨාචාරය සහ සිංහල. පත්මසිරිගේ හොඳම යාළුවා රාජන්. පත්මසිරි කොලඹ ආවේ දකුණේ දික්වැල්ලෙන්. රාජන් උතුරේ වැල්වටිතුරෙන්. දෙන්නටම වැලි සම්බන්දයි. අසූතුනේ කලබල අස්සේ රාජන්ට වෙච්ච යම් කරදර අස්සේ උනත් , මිත්‍රත්වය එහෙමම රැඳුණා. රාජන් ඒ වෙද්දි දෙමල වගෙම සිංහලත් හොඳින් හසුරුවනවා. දෙන්නටම ' විද්‍යාවල් ' ටිකක් විතර තේරෙනව හොරයි. ඉතින් ආර්ථික විද්‍යාවට ටියුශන් පන්තියක් හොයා ගත්තා. අනෙක් විද්‍යාවටත් ටියුශන් පන්තියක් හොයාගන්න හැදුවට හරි ගියේම නෑ. දේශපාලන විද්‍යාව නොතේරෙන්නෙ පාසලේ උගන්වන ආකාරයට. ඒක ක්‍රමයේ වැරැද්දක්ද , තමන්ගේ හැකියාවේ ප්‍රශ්නයක්ද කියල රාජන්ටත් , පත්මසිරිටත් , තේරුමක් වුනේ නෑ. දේශපාලන විද්‍යාව ඉගැන්වුවේ ලීලාවතී ටීචර්. ටිකක් තරබාරු ටීචර් පන්තියට පාවෙන්

මතක මාවත ඔස්සේ 04: පාසල් බස් රථය

Image
අප පාසල් බස් රිය ලෙස සැලකූවේ දිනපතා උදේ 6.30 ට සහ 2.30 ට ගොඩකවෙල-පැල්මඩුල්ල අතර ධාවනය වූ ගොඩකවෙල ඩිපෝවට අයත් බස් රියකි. පාසල් සිසුන්ට අමතරව එහි පොදු මහජනයාද ගමන් කලත් , උදේ සහ හවස ගමන් වාර දෙකෙහිදීම එය කිරි කොකුන් වැනි පාසල් පාසල් සිසුන්ගෙන් පිරී යයි. බොහෝ දින වල ධාවනය වූ බස් රිය , ලංකාවේ බඳ එකලස් කරන ලද ඉසුසු බී.එෆ් 50 වර්ගයේ දොර දෙකේ බස් රියකි. එහි ඩිපෝ ලියාපදිංචි අංකය හෝ , ලියාපදිංචි අංකය මට හරියටම මතක නැත. ලියා පදිංචි අංකය 23 ශ්‍රී 4216 ලෙස බොහෝ දුර මතකය. මාර්ග අංකය වූයේ 212 යි. මෙලෙස බස් රියක් පැවතීම අපට මහත් අස්වැසිල්ලක්ම විය. ඇතැම් දිනවල බස් රිය නොපැමිණි විට , හැතැප්මක් රිදීවිට හන්දියට පයින් ගොස් ඇඹිලිපිටිය -රත්නපුර මාර්ගයේ දුවන බස් රියක් අල්ලා ගත යුතුය. එසේ දුවන ලංගම බස් වූයේද ස්වල්පයකි. පුද්ගලික බස් රථ තිබුනත් ඒවායේ වියදම සැරය. එකල මාසික වාර ප්‍රවේශ පත්‍රයේ මුලු ගාස්තුව රුපියල් 25.20 ක් වූ අතර පුද්ගලික බස් වල එක් ගමන් වාරයක් සදහා ගාස්තුව රුපියල් පහක් විය. පාසල් බස් රිය මාසයකට වරක් දෙවරක් අතරමග කැඩීම අනිවාර්යයෙන් සිදු වන්නකි. බහුලවම වැලදෙන රෝගය වූයේ දුණු කොල මිටිය කැඩ

ඔක්තෝබරය

Image
  පැහැදිලිව නොපෙනුනත් , ලංකාවට සීත සෘතුවක සලකුණු එලඹෙන්නේ ඔක්තෝබරයේය. සුලඟින් විසිරුවා හරින කඩින් කඩ වසින වැසි සීතයක් ඇති කරයි. හිරු රැසෙහි සැර බව උදයට හෝ මදක් තුනී වෙයි. ගහ කොල මල් පල දැරීම අඩුවෙයි. ඔක්තෝබරය , සමු ගැනීම් පිරුණු මාසයකි. මේ සීතල වැස්සත් සමඟ ඇති වන තෙත් සහිත වටපිටාව ඒ මතකයන් කැන්දාගෙන එයි. තාත්තා අප හැර ගියේ 2010 වසරේ ඔක්තෝබරයේය. 26 වනිදා උදෑසන , ' ලොකු පුතේ මම ගිහින් එන්නම් ' කියා ශල්‍යාගාරයට රෝද පුටුවකින් ගිය පියා , 27 වනදා සීතල වැස්සක් වැටුනු උදයක අප හැර ගියේය. 30 වනදා පොලවෙහි සඟවාලන තෙක් , එතුමාගේ අවසන් සමුගැනීම සිදු වූයේ මහ වැස්සේය. නිවස වටා තාවකාලික මඩු රැසක් ඉඳිව තිබිණ. තාත්තා රෝහල් ඇඳෙන් බැස ගියේ අවසාන වරට බව මා දැන සිටියේ නැත. දැන සිටියා නම් තව වචනයක් දෙකක් කතා කරන්න තිබුණා නේදැයි අහේතුක තෝන්තුවක් එම මොහොතෙහි සිට අද දක්වා මා සිතෙහි පවතී. 2018 ඔක්තෝබර් 11 වෙනිදා බ්‍රහස්පතින්දා දින , මා රැඳී ඇෆ්ගනිස්තානයේ යුනිසෙෆ් ආයතනයෙහි මගේ කාර්‍යාලයේය. එදිනට පසු දින , මම ලංකාව බලා පියාසර කිරීමට නියමිතව සිටියෙමි. ඊට පෙර නිවාඩුව ගතකර මා පැමිණ ගතකලේ තෙසතියක් ප