ඔක්තෝබරය
පැහැදිලිව නොපෙනුනත්, ලංකාවට සීත සෘතුවක සලකුණු එලඹෙන්නේ ඔක්තෝබරයේය. සුලඟින් විසිරුවා හරින කඩින් කඩ වසින වැසි සීතයක් ඇති කරයි. හිරු රැසෙහි සැර බව උදයට හෝ මදක් තුනී වෙයි. ගහ කොල මල් පල දැරීම අඩුවෙයි.
ඔක්තෝබරය, සමු ගැනීම් පිරුණු මාසයකි. මේ සීතල වැස්සත්
සමඟ ඇති වන තෙත් සහිත වටපිටාව ඒ මතකයන් කැන්දාගෙන එයි.
තාත්තා අප හැර ගියේ 2010 වසරේ ඔක්තෝබරයේය. 26 වනිදා උදෑසන,
' ලොකු පුතේ මම ගිහින්
එන්නම්' කියා ශල්‍යාගාරයට
රෝද පුටුවකින් ගිය පියා, 27 වනදා සීතල
වැස්සක් වැටුනු උදයක අප හැර ගියේය. 30 වනදා පොලවෙහි සඟවාලන තෙක්, එතුමාගේ අවසන් සමුගැනීම සිදු වූයේ මහ
වැස්සේය. නිවස වටා තාවකාලික මඩු රැසක් ඉඳිව තිබිණ. තාත්තා රෝහල් ඇඳෙන් බැස ගියේ
අවසාන වරට බව මා දැන සිටියේ නැත. දැන සිටියා නම් තව වචනයක් දෙකක් කතා කරන්න තිබුණා
නේදැයි අහේතුක තෝන්තුවක් එම මොහොතෙහි සිට අද දක්වා මා සිතෙහි පවතී.
2018 ඔක්තෝබර් 11 වෙනිදා බ්‍රහස්පතින්දා දින, මා රැඳී ඇෆ්ගනිස්තානයේ
යුනිසෙෆ් ආයතනයෙහි මගේ කාර්‍යාලයේය. එදිනට පසු දින, මම ලංකාව බලා පියාසර කිරීමට නියමිතව
සිටියෙමි. ඊට පෙර නිවාඩුව ගතකර මා පැමිණ ගතකලේ තෙසතියක් පමණි. එබැවින් ඉක්මනින්ම
නැවත ලංකාවට යන්නට සිදු වීම ගැන මා සිටියේ සතුටිනි. එම හදිසි ගමනට හේතුවක් විය. ඒ
වෙද්දී මගේ වකුගඩු රෝගී තත්ත්වය වූයේ තරමක් නතර අතට හැරෙමිනි.ඇෆ්ගන් මහ මැතිවරණය
පැවැත්වීමට නියමිත බැවින් මගේ 'බොසී' වූ එමා, මා එරටින් පිටත් කර
හැරිය යුතු බව දන්වා සිටියාය.
හතර
පමණ වන විට, සේවක මඬුල්ල
නිවෙස් බලා ගොස් ය. මම තවදුරටත් රැඳී සිටිමින් වැඩ පැවරුම් සකස් කර සිටියෙමි.
වේලාව සවස 5.30 ට පමණ එමා
මගේ කාමරයට එබුණාය. Rasika, take a break, go to your guest house, you can
finish it when you are back! මම ඇයට එකඟව
කාර්‍යාලයෙන් පිටවී ආවෙමි.
ඉන්පසු මට ඇෆ්ගනිස්තානයට යන්නට හැකියාවක්
නොවීය. කිසි දිනක යෑමටද නොහැකිය. ශ්‍රී ලංකාවට පැමිණ සතියකින් පමණ වකුගඩු අකර්මණ්‍ය
වීම නිසා මට සේවයෙන් ඉවත්වීමට සිදු විය. ඒ සමුගැනීම අවසන් සමුගැනීම විය.
අපේ ජීවිතයෙහි මීලඟ පියවර අප දන්නේ නැත.
කවදා කෙදින කාගෙන් කෙලෙස සමු ගන්නට වෙයිදැයි කියන්නට බැරිය. අද දවස සතුටින්
එකිනෙකා සමඟ ගත කරමු. ඒ හමුවීම් මතක වූ දිනක සැනසීමක් දැනෙනු ඇති.
(අද දිනම අහම්බෙන් හමුවූ මගේ අවසන් ගුවන්
ගමනෙහි ටිකට් පත් මෙහි අමුණා ඇත)
2021.10.12
Comments
Post a Comment