අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

 

87-88-89 භීෂණ සමයන් ගෙවී යාම සමඟ, කලා ක්ශේත්‍රයේ පිබිදීමක් ඇති විය. සෑම කළු වලාවකම රිදී ඉරක් ඇතැයි කියන්නාක් මෙනි. 1990 සිට ඇතිවූ කැසට් රැල්ල මෙරට සංගීත ක්ෂේතයේ වත්මන හැඩගස්වන්නට බෙහෙවින් බලපෑවේ යයි මම පුද්ගලිකව කල්පනා කරමි.

ඒ වනවිටත් අසූව දශකයේ ජනප්‍රියව සිටි ගායක ගායිකාවන් රැසකි. ශර්ලි වෛජයන්ත, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා ආදීහු ඒ අතරින් මට සිහිපත් වේ. ඔවුන්ගේ ගීත වල ජනප්‍රියත්වයට 87-88-89 භීෂණ සමයේදී යම් පසුබෑමක් සිදුවිය. නිල නොවන ඇඳිරි නීතිය පැනවුන, ගංගා වල මල සිරුරු පාවුන, හන්දි ගානේ ටයර් සෑයවල් ඉඳිවුන සමයක මිනිසුන් වෙත කලා රසිකත්වයක් කෙසේ නම් රැඳෙන්නද? එකල විරෝධාකල්ප ගී සාහිත්‍යයක් බිහි විය. ඒ පිළිඹඳව විශ්ලේෂණයක් කිරීමට මම මෙහිදී උත්සාහ නොකරමි.


යටකී භීම සමය හෙවී රටේ තත්ත්වය තරමක් දුරට සාමකාමී වෙත්දී නව රැල්ලේ ගායකයින් රැසක් සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූයේ එකවරම මෙනි. ගන්දි ගානේ 'රෙකෝඩ් බාර්' නොහොත් කැසට් කඩ බිහිවිය. රෙකෝඩ්බාරයක් දුර සිටම හඳුනාගත හැක්කේ ඉන් නික්මෙන "ඩිං ඩිං ඩිං" බෆල් හඩිනි. එහි දොර දෙපැත්තේ තැබූ බෆල් දෙකක් හෝ හතරක සබ්වූෆර් මඟින් උච්ඡ බේස් සංගීතය පිට වේ.  ඇතැම් විට නාදයට අනුව නිවෙන පත්තුවෙන බල්බ වැලක් හෝ බල්බ කිහිපයකි. ඉදිරිපස කැබිනට්ටුවක නව පරපුරේ ගායකයන්ගේ නවතම සංගීත පටය. කැසට් පටයක මිල සාමාන්‍යයෙන් රුපියල් හැත්තෑපහක් හෝ සියයකි. නව ගායකයන්ගේ රුවින් සැරසූ දැවැන්ත පෝස්ටර් කැබිනට්ටු වීදුරු මුහුණත් වල අලවා ඇත. රෙකෝඩ්බාරයකින් මේ නව ගීත පට මිලදී ගන්නවාට වඩා 'එම්ප්ටියට' සිංදු රෙකෝඩ්කරවා ගැනීම ලාභ දායකය. එම්ප්ටිද විවිධ ප්‍රමාණයෙන් ඇත. ෆෝර්ටිසික්ස් පටයක ගීත 12 ක් පමණද, සික්ස්ටියක ගීත 16 ක් පමණද, නයින්ටියක ගීත 24 ක් පමණද පටිගත කරගත හැකිය. කැසට් පට අතරින්ම ජනප්‍රිය වූයේ දුඹුරු පැහැති TDK පටයි. නිල් පැහැති maxell පටද, කොනිකා පටද වෛවර්ණ කොරියන් කැසට් පටද විය. ජපන් කැසට් තත්ත්වයෙන් උසස් අතර කොරියන් පට තත්වයෙන් බාලය. කැසට් පට වල ගීත ලැයිස්තුව ලියන්නට වෙනම කාඩ්බෝඩ් අසුරණයක් සහ කැසටයේ දෙපස ඇලවීමට ස්ටිකර්ද විය. ෆෙරස් ඔක්සයිඩ් තැවරූ, බහුල කැසට් වලට වඩා ක්‍රෝමියම් ඔක්සයිඩ් තැවරූ පටි සහිත කැසට් පට වැඩි වාර ගනනක් මක මකා පටිගත කිරීමට හැකිය. මාසතුව එවන් ෆූජි වර්ගයේ කළු පැහැති කැසට් පටයක් විය. එහි ප්ලාස්ටික් කවරය පවා වෙසෙස් හැඩයකින් යුක්ත විය. කැසට් පටයක් අතදැරීම පවා එකල 'රැල්ලේ' සිටිනා බව පෙන්වන ලක්ෂණයකි. කැසට් පටයක් පමණක් නොව කැසට් පට ආවරණය කරන සෙලෝෆේන්කවරය පවා උඩසාක්කුවේ දමාගෙන යන විලාසිතාවක් එකල්හි විය කිසියම් මුදලක් අතට ලැබුණේ නම්, අප විසින් කැසට් පට හෝ ඉලෙක්ට්‍රොනික් උපාංග හෝ මිලදී ගන්නෙමු. (ඉලෙක්ට්‍රොනික් පිස්සුව ගැන වෙනම ලිවිය යුතුය).


කැසට් යන්ත්‍රයක් නොමැති පාසල් සිසුන් පවා කැසට් පට ඇතැම් සිට ලඟතබා ගත්තේ එකල එය 'රැල්ලක්' වූ නිසාය. කඩ පිලක, බසයක හෝ හිතවතෙකුගේ නිවසකදී හෝ ඇතැම් විට ඒ කැසටයක් ශ්‍රවණය කල හැකිය. දුරගමන් පුද්ගලික බස් වල පමණක් නොව ලංගමයේ පවා එකල කැසට් වාදක යන්ත්‍රයක් තැබීම මඟී ආකර්ෂණය ලැබීමට ඉවහල් වන හේතු සාධකයකි. ලංගම බසයක කැසට් යන්ත්‍රයකට තම සාක්කුවේ වූ කැසට් පටයක් ඔබන්නට පිංසෙන්ඩු වූ මගේ මිතුරෙක්ගේ කැසට් පටය, ඔහුගෙන් උදුරාගත් රියදුරුතැන, එය ගිනිගහන මහපාර මැද්දට විසිකලෙන්, පසු පසින් ආ වෙනත් රියකට'කරස්' ගා අසු විය. ජාත්‍යන්තර සේවයේ යෙදී සිටිනා මිතුරා ඉඳහිට හමුවන ඇතැම් සැඳෑවක අප එය සිහිපත් කර දැනුදු විනෝද වන්නෙමු.

යාන්ත්‍රික කැසට් පට වල ගීත රසවින්දනයට ජංගම දුරකතන හෝ සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් යුවලක් ලාභදායී මිලකට ලබාගත නොහැකි ඒ කාලයේ, වෝක්මන් යන්ත්‍රයක් සතු පාසල් සිසුවෙකු අනෙකුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීම නොවැලැක්විය හැකිය. සෙනිත් සිප්නැණ හෝ විදුසරේ ඇති පරිපථයකට අනුව ඇම්ෆ්ලිෆයරයක් අටවාගෙන එය නිවසේ ඇති කුඩා කැසට් යන්ත්‍රයට සවිකර ගත් වැඩ්ඩෝද ඉද හිට සිටියහ.

අප නිවසේ වූයේ බැටරියෙන් ක්‍රියා කරන සැන්යෝ (Sanyo) වර්ගයේ කුඩා කැසට් රෙකෝඩරයක් පමනි. එහි හෙඩ්ෆෝන් ජැක් එකක් හෝ නොවීය. අත ඉතිරිකරගත් මුදලකින් ඉලෙක්ට්‍රොනික් බඩු කඩයකින් හෙඩ්ෆෝන් ජැක් එකක් සහ ප්ලග් එකක් මිලදී ගෙන, කැසට් යන්ත්‍රය තාත්තාට හොරෙන් ගලවා, පිහි තුඩකින් බඳහි සිදුරක් විද, ඉයර්ෆෝන් ප්ලගය එයට සවිකලේ තඹ කාසියක් ස්පෝක් කම්බියක් මැදින් තබා තලා, ලාඩප්පා ලීයකින් මිටක් සාදා ගත් බවුතයක් දර ලිපෙහි ඔබා ගිනියම් කර, වයර් ඊයම් භාවිතා කර වයර් කැබලි තුනක් පෑස්සීමෙනි. විදුලි බලය නොමැති නිසා, බෆලයක් සාදාගැනීමට නොහැකියාව අප සපුරාගත්තේ ඉයර්ෆෝන් ප්ලග් එකෙන් එන වයර් දෙකඅඟල් හතරක් පමන විෂ්කම්භය ඇති ස්පීකරයකට සවිකර, පැරණි මැටි හෝ ඇළුමිනියම් කළයක මුවෙහි උඩුකුරුව පිහිටුවීමෙනි. එවිට මොනෝ බේස් හඬ මැනවින් නැඟ එයි. ට්‍රිබල් හඬ අවශ්‍ය නම් කුඩා ට්වීටරයක් නන්ෆෝල් කන්ඩෙන්සරයක් ආධාරයෙන් විශාල ස්පීකරයේ අග්‍ර වලටම සවි කිරීමෙන් සැලකියයුතු වෙනසක් අත් විඳිය හැකි විය. ' කළ බේස්' ලෙස හැඳින්වූ මෙම ක්‍රමයට සමාන ක්‍රම අදටත්, කුඩා ප්‍රමාණයේ බ්ලූටූත් ස්පීකර් වල භාවිතා වෙයි (Passive Radiators).


එකල කල එළි බැසි ගායක තරු රාශියකි. ඉන් කිහිප දෙනෙකු 'සුපිරි තරු' ලෙස මගේ මානයන්ට අනුව සලකන්නේ ඊට වෙසෙස් හේතුසාධක සහිතවමය.  ඒ අතරින් මුලින්ම සිහියට නැඟෙන්නේ නාමල් උඩුගමයි. තරුණ වියේදී අප අතිශය ඊර්ෂ්‍යා කල පෞරෂයකටත්, කටහඬකටත්, සංගීතමය හැකියාවකටත් උරුම කම් කියූ නාමල් පිලිඹඳව මැදිවයසේ සිට මැදිහත්ව බලන්නට අපට හැකිය. නාමල්ගේ පලමු ගී ඇල්බමය ලාංකීය තරුණ තරුණියන්ගේ හදවත් එක රැයකින් සොරාගත්තේ, රියලිටි තරඟ නොතිබූ අපේ කාලයේ පලමු සැබෑ සුපිරි තරුව ඔහුම බවට පත්කරමිනි.

නාමල්ගේ පලමුවන කැසට් පටය වූ 'සමුගන්නේ නෑ' ලැබුවේ සීමාවෙන් ඔබ්බටම ගිය ජනප්‍රියත්වයකි. ඒ කැසට් පටයේ ගී අදටත් ජනප්‍රියය. මෑතකදී රූපවාහිනී සංගීත වැඩසටහනකට නාමල්උඩුගම 'නිසල වෙලා හද' ගීය සංගීතයෙන් තොරව ගයනවා දුටුවෙමි. ඒ ගීය, සංගීතය නොමැතිව රස විඳිය හැකි තරම් මනරම්ව ගැයීමට, නාමල්ට අදටත් පුළුවන. නාමල් උන්මාදය එකල ජනප්‍රියව තිබූ 'මල් පත්තර' හරහාද වේගයෙන් ව්‍යාප්ත විය. නාමල්ගේ රුවින් සැරසූ සහ නාමල්ගේ රැව රැගත් කැලැන්ඩර් තිලිණ කල එම පුවත් පත් උණු කැවුම් සේ අලෙවි විය. තරුණියන්ගේ එකම සිහින කුමරා නාමල් උඩුගම බවට පත් විය. ඇතැම් යුවතියෝ නාමල්ගේ චායාරූපත්, කැලැන්ඩර් හා කැසට් පටත් එක්‍ රැස් කලහ. නාමල් උඩුගම පැමිණෙන සංගීත ප්‍රසංගවල ටිකට් කල් ඇතුවම විකිණී අවසන් විය. ඒ ජනප්‍රියත්වය ජෝතිපාලයන් හෝ වික්ටර් රත්නායකයන් ලැබූ ජනප්‍රියත්වයද ඉක්මවා ගියේ යැයි මම පුද්ගලිකවම සිතමි.

නාමල් ගී ගඟුලේ වම් ඉවුර නම්, දකුණු ඉවුර වූයේ පින්ස් උදය ප්‍රියන්තයි. ප්‍රින්ස් නාමල්ට වඩා වෙනස්ම චරිතයකි. ඔහුට වූයේ ඉතා ලගන්නා සුළු ගායන හැකියාවම පමණකි. නාමල් මෙන් ගීත රචනා කිරීම හෝ තනු නිර්මාණය කිරීම සිදු කලේද නැත. නාමල් වේදිකාව පුරා ඇවිද යමින්, යුවතියන්ගේ මල් පොකුරු බාරගනිමින් ගී ගයද්දී, ප්‍රින්ස් මහ රෑ පවා ටයි කෝට් ඇඳ, ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් සිටගෙන සිය ගී ගායනා කලේය. 'සඳ කුමාරියක්' කැසට් පටයේ එන'පෙම්වතුන් සිනාසේ' ගීය එකල ජනප්‍රියම විරහ ගීයකි. ප්‍රින්ස්ගේ මුල් කැසට්පට තුනෙහිම ගීත රචනය, තනුව සහ සංගීතය ජාතික තරුණ සේවා සභාවේ විශාරද නිහාල් ගම්හේවා මහතා විසිනි. ඒ සුසංයෝගය මැනවින් පෑහිණි. නිහාල් ගම්හේවාගේ නම තුන්වන කැසට් පටයට මුද්‍රණය කිරීමට අමතක වී අතින් ලියා, ඒ දෙපල අතර ඇති වූ විරසකය නිසා ප්‍රින්ස් පසුකාලීනව වෙනත්ගීත රචකයන් සහ තනු නිර්මාපකයන්ගේ පිහිට පැතුවත්, ඒ ගී මුල් යුගයේ ගීතරම් ජනප්‍රිය වූයේ නැත. සංගීත කුමරා 2017 වසරේදී රෝගාතුරව අකල් හි ම සමුගත්තේ ය.

රූකාන්ත ගුණතිලක 'බඹර පහස' රැගෙන ආවේ 1988 දීය. නිහාල් නෙල්සන්ගෙන් පසුව සිංහල සංගීත ක්ෂේත්‍රයට නර්තනය සහ අංග චලන එක්කලෙකු ඇත්නම් ඒ රූකාන්තය. එකල සුප්‍රසිද්ධ කහවත්ත ගුරුගේ මැණික් සංගීත රාත්‍රියක මහ වැසි ඇදහැළුණි. රූකාන්ත වේදිකාවට ගොඩ වූයේ මහ වැස්සේ තෙමීගෙන, මඩත් නාගෙනමය. රූකාන්තගේ උලත් එකයි පිලත් එකයි ගීයේ කොටසක් එදා ඔහු ගැයුවේ 'මඩ කාලයි මෙතෙන්ට ආවේ' වෙනුවට 'මඩ නාලයි මෙතන්ට ආවේ' යනුවෙන් වැස්සේ තෙමෙමින් මඩගොඩක සිටි අපිවද අමන්දානන්දයට පත්කරමිනි. රූකාන්ත, එදා මෙන්ම අදද අති දක්ෂ සංගීත ශිල්පියෙකි, ගායකයෙකි, තනු නිර්මාපකයෙකි. 88, 89, 90 වසර තුල මතු වූ බොහෝ ගායකයන්ගේ ගීත වල තනු නිර්මාණය ඔහුගේය. එකල නිකුත් වූ බඹර පහස මෙන්ම 'දිගන්තයේ' ඇල්බමයේ (1992) ගීතද අද පවා ජනප්‍රියය. දිගන්තයේ ගීය විනාඩි හයයි තප්පර විසිහයක් දිගුය. එය ඒ කාලයේ සාමන්‍ය ගීතයක කාලය මෙන් දෙගුණයක් පමණය. පොප් සංගීත ආරෙන් විකුම් පෑ රූකාන්ත මම පුද්ගලිකව ෆ්‍රෙඩී මර්කරිට සම කරමි.

ආත්මා ලියනගේ ගීත ගයන්නේ තමන්ම විදුලි ඕගන් පෙලක් වාදනය කරමින් තනිවමය. අප එයට 'වන් මෑන් ශෝ' කීවෙමු. ආත්මා 'ලියතඹරා', 'මල් සුවඳ' සහ 'මාලී' යනුවෙන් ඇල්බම් තුනක් රැගෙන ආවේය. මෙම ගීත ගොන්නෙන් 'ලියතඹරා' ගීයත්, 'කඳු පාමුල' ගීයත්, ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැංගේය. අඩ අඳුරක හිඳ, යතුරු පුවරුවට ඇස් යොමාගෙන, කොණ්ඩ රැවුල් වැවූ, ලේසියෙන් සිනහ නොවන ආත්මා, උච්ඡ ස්වරයෙන් ගී ගයනු බලා සිටින්නට ආසා සිතේ. එලෙස උච්ඡ ස්වරයෙන් ගැයූ  'කඳු පාමුල' ගීයට ගුවන් විදුලි සංස්ථාවෙන් ආත්මා 'බී' ශ්‍රේණියේ ගායකයෙකු ලෙස නම් කලත්, අදටත් ආත්මා ජනතා ශ්‍රාවක සිත් සතන් තුල 'ඒ ප්ලස්' ශ්‍රේණියේ ය.

අප සිත් ගත් ගායක ගොන්න සම්පූර්ණයෙන්ම විස්තර කරන්නට මේ සටහන තුල ඉඩ මදි නිසා නම් කිහිපයක් පමණක් සිහිකරමි. චන්දන ලියන ආරච්චි, විජය බණ්ඩාර වැලිතුඩුව, රෝයි පීරිස්, අතුල ශ්‍රී ගමගේ, සංජීවනී වීරසිංහ, නිරෝෂා විරාජිනී, මර්වින් මිහිඳුකුල, යොහාන් අර්ජුන, ජාලිය රණතුංග, කුමාරසිරි පතිරණ ආදීන් ද අපගේ යෞවන සමයේ පායා ආ දීප්තිමත් ගායන තාරකාවෝ වෙති. මේ තාරකා කිහිපයක්ම දැන් මෙලොව නැත.

සිංහල ගීත වලට අමතරව එකල්හි විදෙස් ගීත ද අතරින් පතර ජනප්‍රිය විය. මගේ මතකයට නැඟෙන එවන් පලමු ගීය වන්නේ පෘතුගීසි සහ ස්පාඥ්ඥ බසින් ගැයුනු, 1989 වසරේදී පිට වූ ලම්බාඩා ගීයයි. ලම්බාඩා උන්මාදය කොතරම් නැඟී ගියේද යත්, එහි තනුවට සිංහල ගීත පොකුරු පිටින් නිකුත් විය. නමුත් ඉන් දිගු කාලීන ජනප්‍රියත්වය රඳවා ගත්තේ කිහිපයක් පමණි.  ඒ අතරින් මරියසෙල් ගුණතිලක සහ පියල් පෙරේරා ගායනා කල, අදටත් ජනප්‍රිය ආදරේ ඔබ මා හට ඇතිද කියා, මා සිතේ සැකයක් ඇත ඉපදීලා, මාව දමා මෙහි තනි කරලා,ඔබ යයිදෝ වෙන්වීලාගීතය වෙසෙස් තැනක් ගනී.

එලෙස උන්මාදයක් ලෙස හමාගිය දෙවන ගීය වන්නේ මල්කිත් සින්ග් 1991 වසරදී පන්ජාබි භාෂාවෙන් ගයා නිකුත් කල ගුර් නලොන් ඉෂ්ක් මිටා නැතහොත් 'ඉෂිකොමිටා' ගීයයි. මෙම ගීයේ දිගු සහ කෙටි විවිධ පිටපත් උන්මාදයක් ලෙස දොරින් දොර ඇසෙන්නට විය. අපි දන්නා පන්ජාබියක් නොමැති නිසා, ඩෙස්ක් බංකු වලටත්, කවකටු පෙට්ටි වලටත් තට්ටු කරමින් අප මේ ගීය ගැයුවේ අප දන්නා බාෂාවෙනි. මේ තනුවට විවිධාකාර විහිළු ගීතද පාසල් සිසුන් අතර ජනප්‍රිය විය. 'පොඩි නම මොකද කලේ හෝ හෝ, ලොකු නම නිකං හිටිය හයෙ හයේ, එහෙනම් පින්කැට කඩලා කඩේ ගිහිල්ලා කඩල කමූ' ඉන් එකකි. ඊටත් වඩා අබ්යාස ඒවා බුකියේ කෙටීමට නොහැක. ආනන්ද පෙරේරා ප්‍රමුඛ ශක්ති ගායක කණ්ඩායම මෙම ගීතයට උඩරට ගැට බෙර හඬ සහ ජන ගී මුසු කරමින් නිකුත් කල ගීතය විසල් ජනප්‍රසාදයක් ලබාගත්තේය. (බටහිර සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය මුසුකරමින් එකල සංගීත ක්ෂේත්‍රය සොලවා දැමූ 'ශක්ති' මුල් සංගීත කණ්ඩායමේ හේමපාල ගාල්ලගේ සහ හිතවත් ජයන්ත රත්නායක යන මහත්වරුන් මේ වන විට ජීවතුන් අතර නොමැතිවීම සිහිකරන්නේ කනගාටුවෙනි)

යමෙකු තාරුණ්‍යයට එලඹීමත් සමඟ, සමාජය සහ පරිසරය මුල්වරට සචේතනිකව ග්‍රහණය කරන්නට පටන් ගනී. එකල ඔහු හෝ ඇයගේ ඇසට, කණට, සිතට ගෝචර වන ගීත, චිත්‍රපට ආදී කලා නිර්මාණ සිතෙහි නිදන් වන්නේ ආදරය, විරහව ආදී සංවේදීමය කාරණා හා බද්ධ වී සදාතනික මතකයන් ලෙසය. අපේ තරුණ වියේදී අත් විඳි ඒ කලා මතකයන්ගේ රසභාවයන් අද පවා නින්නද දෙන්නේය. දුර ගමනක යෙදෙන ඇතැම් වැසි සහිත දිනක, මේ ගීත ස්මූහයෙන් කිහිපයක් හෝ මගේ වාහනයේ සංගීත වාදන උපකරණයෙන් වැයීමට සලස්වා, හුදෙකලාවේ රියපැදවීම, ආනන්දජනකය. අතීතයේ මතක සුවඳ වැස්සෙන් තෙත බරිත පරිසරයේ සුවඳත් සමඟ කැලතී, වාහනයේ කවුළු දොරින් වැසි පොද හා හමා එන්නට මම ඉඩහරිමි.

©රසික වික්‍රමනායක

2023.8.23

Comments

  1. කැසට් කියන්නේ මටත් සෑහෙන දේවල් ලියන්න තියන මාතෘකාවක්. මම අදටත් කැසට් අහනවා. අපි අහන්න ගත්ත කාලේ තමා සන්ෆ්ලවර්ස් එහෙම හිට් උන කාලේ. චන්දන ලියනාරච්චි එහෙම හිටිය කාලේ. ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ්ස් එහෙම ආපු කාලේ (මේ කාලේ වෙද්දී සීඩී වලට මුල් තැන ගිහින් තිබ්බට කැසට් අහන අයත් හිටියා අපි වගේ, මොකද සීඩී ගණන්).

    ReplyDelete
    Replies
    1. සීඩී අපේ යුගයෙන් පස්සේ. මේ රැල්ලෙන් පස්සෙ හින්දි රැල්ල, ඊට පස්සෙ සන්ෆ්ලවර් රැල්ල. ඊට සමගාමීව තමයි සී ඩී ආවේ. මාගාව අදටත් සෝනි ඩිස්ක්මන් එකක් තියෙනව. ඩිස්ක්මන් වෝක්මන් වගේ ජනප්‍රිය වුනේ නෑ සාක්කුවෙ දාන් යන්න බැරි නිසා. ස්තුතියි මල්ලි කමෙන්ට් එකට.

      Delete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!