බුකිත් තිමාහ් දුම්රිය ස්ථානය, සිංගප්පූරුව (Bukit Timah Railway Station, Singapore)

 බුකිත් තිමාහ් දුම්රිය ස්ථානය 20 වන සියවසෙ මුල් යුගයේ ඇරඹුණු මැලේසියානු - සිංගප්පූරු දුම්රිය මාර්ගයේ එක් දුම්රිය පලක්. මෙම දුම්රිය ස්ථානය ඔස්සේ 1965 පමණ වන තුරු මඟී දුම්රිය ධාවනය වී ඇතත්, ඉන් පසු එය ඒ සඳහා භාවිතා වී නැහැ. මැලේසියානු - සිංගප්පූරු දුම්රිය මාර්ගය 2011 වසරේදී ගලවා ඉවත් කෙරෙනවා. ඉන්පසුව මෙම දුම්රිය කොරිඩෝව විනෝදය සහ විවේකය සඳහා භාවිතා කෙරෙන්නට පටන් ගන්නවා. 2021 වසරේදී මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස සලකා සංචාරක පහසුකම් සහිත ස්ථානයක් ලෙස වැඩි දියුණු කෙරෙනවා.

මෙම දුම්රිය ස්ථානය සිංගප්පූරු එම්.ආර්.ටී සේවාවේ (Mass Rapid Transit) ‘නිල් මඟ හෙවත් ඩවුන්ටවුන් (Downtown) මාර්ගයේ එක් නැවතුමක (කින්ග් ඇල්බර්ට් පාක්, King Albert Park) සිට මීටර් 750 ක පමණ දුරින් පිහිටා තිබෙන්නේ පැරණි සහ නවීන දුම්රිය (දුම්රිය කියන වචනය ගැලපෙන්නේ නැහැ ඇත්තෙන්ම) සේවාවන්හි වෙනස මොනවට පැහැදිලි කරමින්. එය සිංගප්පූරුවේ ජනතාව දශක කිහිපයක් තුල ලබා ඇති දියුණුවේ පැතිකඩක් විදහා පානවා. මෙම ස්ථානය නැරඹීමට මුදල් අයකරන්නේ නැහැ.

මලයානු දුම්රිය මාර්ගය මුලින්ම ඉඳිවී ඇත්තේ පීලි අතර පරතරය මීටරයක් වන මීටර ආමානයෙන්. එය බටහිර අධිරාජ්‍යවාදීන් නැගෙනහිර ආසියාව සඳහා ප්‍රියකල ආමානයක්. මෙසේ නමුත් වර්තමාන එම්. ආර්. ටී මාර්ග සඳහා පීලි අතර පරතරය මීටර් 1.435 ක් යොදාගෙන ඇත්තේ වේගවත් ගමනාගමනය තහවුරු කිරීම සඳහායි.

බුකිත් තිමාහ් දුම්රිය ස්ථානය ගොඩනංවල තියෙන්නෙ 1932 වසරේදී. නුදුරේම ඇති බුකිත් තිමාහ් තුරඟ තරඟ පිටියට අශ්වයන් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මම ස්ථානය යොදාගෙන තිබෙනවා. දුම්රිය ස්ථාන ගොඬනැගිල්ලත්, සේවක නිල නිවාසත් සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර ඇත්තේ පෞරාණික භාවය මුළුමනින්ම රැකෙන පරිද්දෙන්. ඊට අමතරව, මීට නුදුරින් බුකිත් ටිමාහ් දැලිස් ගේඩර පාලමද (BukitTimah Truss Briddge) ප්‍රතිසංස්කරණය කර මහජනයාට දැකබලාගැනීමට සකස් කර ඇත්තේ ඒ මතින් බයිසිකල ධාවනයටද ඉඩ ලබාදෙමින්. දුම්රිය මාර්ගය තාර සහ බිම් උළු අල්ලා ඇවිදීමටත්, දිවීමටත්, බයිසිකල් පැදීමටත්, ගෘහාශ්‍රිත සුරතල් සතුන් රැගෙන යාමටත් සුදුසු පරිද්දෙන් සකස් කර ඇත්තේ අවට ශේෂව ඇති වන පියසේ පහසද විඳිය හැකි ලෙස. විනාඩි කිහිපයක් ඇවිද යාමෙන් ඔබට කාර්ය බහුව, ඝෝෂාකාරී නගර වීදි වලින් ඉවත්ව සොබාදහමෙහි සැඟව යන්නට පුලුවන්.

මෙහි දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල මුලින්ම අංගන පහක් සහිතව ඉඳිවී ඇත්තේ නිරාවරණය වූ ගඩොල් සහ ලී කුළුනු සහිතව. වහලය ලී කාප්ප මත ඉදිවූ උළු සහිත වහලයක්. අංගන දෙකක් දුම්රිය ස්ථානාධිපති කාර්යාලය ලෙසත්, අංගන තුනක් මඟීන්ගේ නැවතුම් කාමරය ලෙසත් භාවිතා කරල තියෙනව.

1950 දශකයේ ප්‍රධාන උත්ශ්‍රේණි කිරීමකදී (upgrading) මෙම දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල වැරගැන්වූ කොන්ක්‍රීට් රාමුවක් (Reinforced Concrete) මත කාර්මික ලීවර පද්ධතියක් නිමවා ඇත්තේ සංඥා කටයුතු සහ පීලි මාරු කිරීම් සඳහා.

සේවක නිලනිවාසය යම් අළුත්වැඩියාවක් සඳහා තාවකාලිකව වසා දමා තිබුණෙන් මට එය නිරීක්ෂණය කිරීම පසු සංචාරයක් සඳහා කල්දමන්නට සිදු වුණා.

දුම්රිය ස්ථානයට නුදුරින් ඇති බුකිත් තිමාහ් දැලිස් ගේඩර වානේ දුම්රිය පාලම 1932 දී ඉඳිකර ඇත්තේ දුම්රිය ගමනාගමනය මාර්ග ගමනාගමනයට බාධාවක් නොවන ලෙස කරගෙන යාම සඳහායි. මෙය නිශ්පාදනය කර ඇත්තේ සිංගප්පූරුවේදීමයි. පාලමෙහි පලල මීටර් 48.5 ක්.  පාලමේ දුම්රිය මාර්ගය දෙපස කොන්ක්‍රීට් කර ඇත්තේ පයින් සහ බයිසිකල් වලින් යන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි. පාලම් ඇඳි වල අතින් ගෙතූ වූල් සෙල්ලම් බඩු එල්ලා ඇත්තේ නවතාවයක් එක්කරමින්.

මේ ස්තානයේ රේල් පීලි, සංඥා කුලුණු, දුම්රිය මාර්ග ගේට්ටු, ටෝකන් කණු, කිලෝමීටර් කණු ආදිය එලෙසින්ම සංරක්ෂණය කර තියෙනවා. ට්‍රොලි රථ දෙකක් පිහිටුවා තිබුණත් ඒ දෙක නම් අළුතෙන්ම නිශ්පාදනය කල අනුරූ මිසක් සැබවින්ම මාර්ගයේ ධාවනය වූ ට්‍රොලි නෙමෙයි. සිංගප්පූරුවේ පැරණි දුම්රිය එන්ජින්, ගැල්, මැදිරි ආදිය සංරක්ෂණය කිරීමක් මම දැකලා නෑ. එක එන්ජිමක් උද්භිද උද්‍යානයේ මල් වැවීම සඳහාත්, වාශ්ප දොඹකරයක් සංතෝසා දූපත අසල මාර්ගයේ සංරක්ෂණය කර තිබූ බවත් මම දැක තිබෙනවා..

සිංගප්පූරුව චීන සම්භවයක් ඇති මිනිසුන්ද වෙසෙන රටක් නිසාදෝ, අලෙවිකරණයට දක්ශයි.

තියෙන සුළු දෙය පවා මැනවින් සකසා සංචාරකයන් ආකර්ෂණය කරන්න යොදාගන්නවා.

ලංකාවෙත් මේ වගේම, මීටත් වඩා බොහෝ පැරණි දුම්රිය ස්තාන සංරක්ෂණය කර විශාල සංචාරක ආකර්ෂනයක් ලබාගන්නට යොදාගත හැකියි. මට හිතන්න පුලුවන් හොඳම උදාහරණ දෙකක් තියෙනවා. පලමුවැන්න නුවර එළිය පැරණි දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල, දෙවැන්න අවිස්සාවේල්ල පැරණි පටු ආමාන දුම්රිය අංගනය. අපේ තවමත් එන්ජින් යන්ත්‍ර කිහිපයක් ප්‍රදර්ශනය කල හැකි මට්ටමේ තියෙනවා. ගැල් මැදිරි නම් අපිටම හදන්න වුනත් පුලුවන්.

බුකිත් තමාහ් දුම්රිය ස්ථානයේ විශේෂයෙන්ම නිරීක්ෂණය වන දේවල් කිහිපයක් තියෙනව. මෙතන මුරකරුවන් නිලධාරීන් නැහැ. සියළු විස්තර ලියූ ප්‍රදර්ශන පුවරු අදාල වන පරිද්දෙන් පිහිටුවා තියෙනව. විවේක කාමර, සේදුම් කාමර ආදිය පිලිවෙලට පිරිසිදුවට තියෙනවා. සිඟමන් යදින්නන්, ජංගම වෙලෙන්දන් නෑ, තැන තැන දැමූ කැලි කසල, ඒවා ගිලදමන කාක්කන්, පරවියන්, දඩාවතේ යන සුනඛයන්, බිලාලයන් නැහැ. සුනඛයෙක් මලපහ කලත් ඒ සතා භාර කෙනා අරගෙන යනවා. බිත්ති වල බලි කුරුටු ගා, සූරා නෑ, සුදාම්මිලගේ සුදාප්පච්චිලගෙ නම් කොටා නෑ. කරල අහු වුනොත් දඩුවම ලොකුයි. Singapore is a fine City කියන්නෙ සිංගප්පූරුව දඩ ගසන නගරයක් යන්නයි.

අපේ එවන් නීති සහිත විනයක් හැදෙන තුරු මෙවන් දේ අපට සිහින තමයි.

සිංගප්පූරුව පැත්තේ යන්න ඉඩක් ලැබුනොත් මෙතෙන්ටත් ගිහින් එන්න.

©රසික වික්‍රමනායක

ඇවිද ගිය දිනය: 2023 අගෝස්තු 6

පිවිසුමෙහි පිහිටුවා ඇති සිතියම

ප්‍රධාන නාම පුවරුව

දුම්රිය ස්ථානයේ නාම පුවරුව

බිම සකසා ඇති අයුරු

දුම්රිය අංගනය

දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල

ට්‍රොලි රථ වල අනුරූ

දුම්රිය ස්ථානයේ ඉදිරි පෙනුම

දුම්රිය ස්ථානයේ මඟී අංගනය

සිතියම් ආදිය ප්‍රදර්ශනය කර ඇති අයුරු


ලීවර පද්ධතිය


දුම්රිය ස්ථානයේ තවත් අන්තයක්

විනෝදය සඳහා ඇවිදයන සංචාරකයින්

බුකිත් තිමාහ් දැලිස් ගේඩර පාලම

පාලමෙහි සැරසිලි

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!