අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ

 88 වසරේ අප පාසලට ඇතුල් වන විට, නාගරික කිහිප දෙනා හැර අන් සියල්ලෝම දුරබැහැරින් පැමිණිය අය වූහ. පස් වන වසර විභාගය එකල පැවතියේ සයවන වසරේ නිසා, පාසලට සිසුන් ඇතුලත් කරගන්නේ ඇතුලත්වීමේ විභාගයකිනි. මම ඉන් නව වැනියා වී ගන්කන්දයට තේරී, ඊට පසු වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීමි. ගානක්වත් නැත. ඉන්පසු එක විභාගයක් හෝ අසමත් නොවන්නට බරට සිතට ගත්තෙමි. එකල මා උගත් හිරමඩගම මෛත්‍රිය මහා විද්‍යාලයේ සිට සය වසරට ගන්කන්දයට ඇතුලත් වූ එකම සිසුවා මමයි.

ගන්කන්දයට සිසුන් එන මාවත් ප්‍රධාන වශයෙන් තුනකි. බලංගොඩ සිට පැල්මඩුල්ල, රත්නපුර සිට පැල්මඩුල්ල, මාදම්පේ දෙස සිට පැල්මඩුල්ල ඒ මාවත් තුනයි. රත්නපුර පාරේ මැදක් හරියේ, එනම් ලෙල්ලෝපිටියේ සිට ලමුන් පිරිසක් රත්නපුර දෙසට යති. ඕපනායක පමණ සිට බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යන ලමුන්ද සිටිත්. ඒ අතින් ගන්කන්දයට වැඩිම සිසුන් පිරිසක් එන්නේ කහවත්ත දෙස සිටය. ඒ පාර මාදම්පේ හන්දියෙන් බෙදී එක අත්තක් රක්වානටත්, අනිත් අත්ත ගොඩකවෙල හරහා ඇඹිලිපිටිය දෙසටත් විහිදී යයි. ගන්කන්දේ වපසරිය මේ පරිදිය. ලෙල්ලෝපිටියේ සිට පැල්මඩුල්ලට මාර්ගස්ථ දුර කිලෝමීටර 8 කි. බලංගොඩ සිට 30 කි. රක්වානේ සිටද එපමණම අගයකි. ගොඩකවෙල සිට 24 කි. මේ පුළුල් වපසරියම ගන්කන්ද මැදි විදුහලෙහි පෝෂක ප්‍රදේශයි. පාසල පෝෂණය වනවාට වඩා පාසල නිසා අප පෝෂණය වූයෙමු.

දුර බැහැර සිට පාසලට එන ඇතැම් සිසුහු, එවකට ක්‍රියාත්මකව පැවති ශිෂ්‍ය නේවාසිකාගාරයේ හෝ නෑදෑ නිවෙස් වල නවාතැන් ගනිති. පැල්මඩුල්ල අවට පිරිස පාගමනින් හෝ මෝටර්සයිකල්, ෆුට් සයිකල් වල නැඟී එති. ඇතැම් දුර බැහැර 'යමක් කමක්' ඇති අය පුද්ගලික වාහන වලින් ඉතා අල්ප ලෙසින් එති. අනිත් අය බස් රියෙහි පිහිට පතති.

බස්, පුද්ගලික සහ එකලට අනුව ලංගම හෝ මගම යනුවෙන් කොටස් දෙකකි. බස් නම් බොහෝ දුරට මගමය. ඒ වන විට මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ඩිපෝ පාලනය වුවත්, අපිට පුරුදු 'ලංගම' යන්න මම මේ ලිපිය තුල යොදාගනිමි.

පුද්ගලික බස්‍ රථ වල දිනපතා එන්නටත් සෑහෙන මුදලක් යටවේ. ඒ නිසා බහුතරය පිහිට පතන්නේ ලංගම බසයේය. රත්නපුර පැල්මඩුල්ල හරහා ගොඩකවෙල දක්වා ඇති මාර්ගයෙහි ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ඩිපෝවල බස් ධාවනය විය. රත්නපුර පැල්මඩුල්ල හරහා බලංගොඩ මාර්ගයේ රත්නපුර සහ බලංගොඩ ඩිපෝවල බස් දුවයි. රත්නපුර පැල්මඩුල්ල හරහා රක්වාන මාර්ගය රත්නපුර සහ දෙනියාය ඩිපෝවලට අයත් ය. 88 සමයේ එකදු නිත්‍ය පාසල් බසයක් ක්‍රියාත්මක නොවුනත්., බස් කාලසටහන් සැකසීමේදී පාසල් කාල වේලාවන් සැලකිල්ලට ගෙන තිබේ. රටේ පැවති භීෂණකාරී වාතාවරණය නිසා, පුද්ගලික බස් දිව්වේ අපිලිවෙලටය.

ලංගමය ලංගමය ලෙසට පැවති කාලයේ, පෙර සඳහන් කල සෑම මාර්ගයක්ම ඔස්සේ, පැල්මඩුල්ල දක්වා උදෑසන 6-7.30 දක්වාත්, පැල්මඩුල්ලේ සිට ඉවතට 1.30 සිට 2.30 දක්වාත් බස් ධාවනය විය. මේවා අපට නිල නොලත් පාසල් බස් විය. සාමාන්‍ය මඟීන්ට තහනමක් නොමැති මෙම බස් වල 80% කට වඩා සිටියේ පාසල් ලමුන් සහ ගුරු භවතුන්ය. අප කුඩා වුන් ලෙස බැට්‍රි පෙට්ටියට අරක් ගත්තෙමු. හිරිමල් තරුණයන් ලෙස පාපුවරුවට අරක් ගත්තෙමු. පෙම් මුල්ල ලෙස සැලකෙන පිටුපස මුලු දෙකෙහි අසුන් වලට රිංගා ගන්නට තරම් වාසනාව හැමෝටම හිමි වූයේ නැත.


මිට්ශුබිෂි රෝසා දෙවන පරම්පරාව


මිට්ශුබිෂි රෝසා තෙවන පරම්පරාව, බේබි රෝසා


ඉසුසු ජර්නි


නිසාන් සිවිලියන්

ගෙදර තිබූ එකම වාහනය වූ බයිසිකලය හැරෙන්නට අපට රථගායක් වැලඳවූ ප්‍රථම වාහනය වූයේ මේ ලංගම බස් ය. පාරෙන් පාරට එක එක බස් වල යන අප අතර විවිධ තරඟකාරී කතාබහ ඇති වූයේ බස් රථ අරභයාය. එක එක පාරට අරක් ගත්තේ එක එක බස් රථයි. රත්නපුර සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූයේ ටාටා බස් රථයි. තනි දොර හෝ දොර දෙකේ බස් වූ මේවා TATA LP 1210, LPO 1210, 909 ආදී බස් රථයි. බස් ගැන මොලෝ බෝලයක් නොදන්නා බහුතරයකගේ පහසුව උදෙසා තාක්ෂණික නාමකරණය මදකට අමතක කලහොත් තනි දොර හෝ දොර දෙකේ ටාටා බස් රථ ලෙස සැලකිය හැකිය. පැල්මඩුල්ල සහ බලංගොඩ අතරත්, පැල්මඩුල්ල සිට රක්වාන දෙනියාය පාරේත් බොහෝ විට ධාවනය වූයේ තනි දොර ටාටා බස් ය. ඒ පාරවල් දෙකේම අගට වන්නට බොහෝ වංගු සහ කඳු බෑවුම් පැවතීම ඊට හේතුව ලෙස මම දකිමි. මේ සමයේ මාර්ග දැන් මෙන් කාපට් කර නොමැත්තේය. පැල්මඩුල්ල සිට ගොඩකවෙල ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් ගත්තේ ඉසුසු BF 50 වැනි දොර දෙකේ ඉසුසු බස් රථය. මේ දෙවර්ගයම ලංකාවේ බොඩි සැකසූ බස් ය. ටාටා චැසිය ඉන්දියාවේද, ඉසුසු චැසිය ජපානයේද නිපදවා ඇත. ඉතින්, ඉසුසු බස් පහසුවෙන් කඳු අදී. එන්ජින් හඬ තරමක් සුමටය. ගියර් පොල්ල දිගෙන් අඩුය (ටාටා බස්වල එන්ජිම පාමුල සිට තුන්පොලකින් නමා රියදුරු තැනගේ අතට ලීවරය දී ඇත. පෙනුමද පොඩ්ඩක් මනරම් ය. ටාටා ඩබල් ක්ලච් මුත් ඉසුසු සිංගල් ක්ලච් ය.ඉතින් ඉසුසු බස්වල පාසල් යන අප ආඩම්බර නොවන්නේ මන්ද?

මොකද්දෝ හේතුවකට ලංගම බොඩි ගැසූ ලේලන්ඩ් බස් රත්නපුර දිස්ත්‍රික්කයේ එකදු ඩිපෝවක් හෝ සතුව නොතිබුණ බව මට විශ්වාසය. ටාටා සහ ඉසුසු බස් වල ඉදිරිපස දොර ඇත්තේ ඩ්‍රයිවර්ට පිටුපසිනි. ලේලන්ඩ් බස් වල ඉදිරිපස දොර ඇත්තේ ඩ්‍රයිවර්ට සමාන්තරවය. දැනුදු ලංකාවේ ප්‍රකට ලේලන්ඩ් බස් වල දොර ඇත්තේ එලස ගොඩවෙන, බැසයන මඟීන් පහසුවෙන් දැකගතහැකි ලෙසය.

ලංගම ඩිපෝ වල කේත අංක මතක තබා ගැනීම අනිත් කෙලියයි. ඇඹිලිපිටිය (EMB), ගොඩකවෙල (GW), රත්නපුර (RP), බලංගොඩ (BG), හඟුරන්කෙත (HK), මට්ටක්කුලිය (MK), පානදුර (PN), කතරගම (KTG) වශයෙන් වැඩිපුරම ඩිපෝ කෝඩ් මතක ඇත්තා වැඩ්ඩාය. දුර පලාතක බසයක් වන්දනාගමනක් හෝ යද්දී අප මුලින්ම බලන්නේ බසයේ වර්ගය සහ ඩිපෝ කේතයයි. පාරේදී නොදන්නා ඩිපෝ කේතයක් මතකයේ ලියාගන්නා කොලුවා පසුදින පන්තිකාමරයේ 'පොරක්' වේ.


ගොඩකවෙල පැල්මඩුල්ල, රිදීවිට හරහා GW 26 බසයේ මා සතු ආකෘතියක්


ලටෙක් බොඩි 1210


ලටෙක් බොඩි බේබි ටාටා 909


ඉසුසු BF 40 ඇඹිලිපිටිය ඩිපෝව


ඩිමෝ ටාටා කහකුරුල්ලා


ලංගම බොඩි ටාටා


ඉසුසු CSR

අපි ලංගම බසයේ ගියේ සීසන් වලිනි. සීසන් ටිකට් පත ඉතාම ලාභදායකය. 1988 වසරේ මගේ මුල්ම සීසන් ටිකට් පතේ මිල රුපියල් 25යි ශත 20 කි. එකල එක පසකට සාමාන්‍ය ගමන් ගාස්තුව රුපියල් 6 ශත 25 කි. දින දෙකක ගමන් ගාස්තුවට සීසන් ටිකට් සිසුන්ට නිකුත් කරන්නේ රජය විශාල බරපැනක් දරාය.සාමාන්‍යයෙන් පාසල් සිසුන්ගේ සීසන් ටිකට් සලකුණු කලයුතු වුවත්, කොන්දොස්තර එය සිදු කරන්නේ ඉතාම කලාතුරකිනි. ඒ නිසා අපි ටියුශන් පංති, නිවාඩු කාලයේ ගමන් බිමන් තබා කහවත්තේ තොරණ බලන්නට මහරෑ ජාමේ ගියේද සීසන් ටිකට්ටුව දික් කිරීමෙනි. මෙය වැරදි වැඩක් බව තේරුණේ පාසලෙන් අස්වූවාටත් පසුවය. සීසන් ටිකට් සලකුණු නොකර මාසයක්ම පවත්වාගෙන යාමේ තරඟයක්ද අප අතර විය. ඇතැම් දින වල සීසන් ටිකට් අමතක වූවත්, චෙකර්ලා නොහොත් ටික්කන් නොපැන්නොත් ලොකු අවුලක් නැත. ටික්කෝ පැන්නත් එහා කොණේ සිට මෙහා කොනට සීසන් අතින් අතට ගොස් සීසන් නැත්තා අතට වෙන කාගේ හෝ සීසන් පතක් පැමිණේ.

ගොඩකවෙල ඩිපෝව ඇඹිලිපිටිය ඩිපෝවේ උප ඩිපෝවක්ව තිබී ඩිපෝවක් වූයේ පසු කාලීනවය. කහවත්ත බස් නැවතුම්පලද කලක් ගොඩකවෙල ඩිපෝවෙන් පාලනය විය. විදුහල්පතිතුමාගේ අත්සන සහිත ෆෝරම කොලයක් රැගෙන ගිය විට මුල්ම සීසන් ටිකට් පත ලබාගත හැකිය. ඉන්පසු ඒ සීසන් පත පෙන්වා ඊලඟ මාසයේ සීසන් ටිකටය ලබා ගැනේ. සීසන් ටිකටය නැතිවුවහොත් මුල සිටම අයදුම් කිරීමට සිදුවේ. කහවත්ත බස්නැවතුම්පල යනු පුංචි කෝච්චිය දික්කසාද කල වැන්දඹු ස්ටේශමකි. එහි ටිකට් නිකුත් කෙරුණේ පැරණි දුම් රිය ටිකට් කවුන්ටරය හරහාය. අපි කෝච්චියේ ටිකට් ගන්නවාක් මෙන් නොස්ටැල්ජියාවක ගිලී සීසන් ටිකට් ගන්නෙමු. එකවරක් ගන්කන්දේ සිසුන් ඩිපෝවක් සමඟ අරෝවක් ඇතිකර සීසන් ටිකට් දීම නවතා තිබිණි. මම කවුලුවෙන් එබී බැලූ විට නිලධාරි මහතා 'කොහෙද ලමයො ඉස්කෝලෙ?' ඇසුවේය. මම 'මහින්දෙ මහින්දෙ' කීවෙමි. (පැල්මඩුල්ලේ ගන්කන්දයට අමතරව ධර්මාලෝක විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය යනුවෙන් පාසල් දෙකක්ද වේ) මම අරෝව දන්නා නිසා සීසන් ටිකට් පතේ පාසලේ නම සඳහන් කොටස පැරණි රෙදි කෑල්ලකින් අතුල්ලා කියවිය නොහැකි තරම් සූරාගෙන ගියෙමි. කොහොමත් සීසන් වල අත් අකුරු අපැහැදිලිය. ස්ථානෝචිත අහවල් එකක් තිබීම නිසා ඒ මාසයේත්, පසු මාස වලත් ජාමේ බේරිණි.!

පාසල් වෙලාවට බස් රිය ඇතත්, එය මිස් වූ විට වෙනත් බස් නැත. බලංගොඩ, රත්නපුර දෙසට බස් ඇතත්, පැල්මඩුල්ලේ සිට ගොඩකවෙලට දුවන බස් නැත. අපේ පිහිටට වූ එකම බස් රිය වූයේ මාර්ග අංක 212 දරණ ගොඩකවෙල ඩිපෝවේ GW 26 අංකයැති 23 ශ්‍රී 4219 ඉසුසු බසයයි. කාලාන්තරව බසය වෙනස් වුවත් අපිට තිබූ එකම බසය ඕකය. පාසල් තුනක සෙනඟ පැටවීමට කොහොමටත් මදිය. ඒ නිසා බසයේ අඩුම තරමේ හිටගෙන හෝ යාමටනම් පාසල ඉවර වූ විට බස් නැවතුම දක්වා වන මීටර් 750 ක දුර එකහුස්මට දිව යා යුතුය. අපි නරසීහ ගාථාවේ අන්තිම පදය ඇසෙන විටම දුවන්නට ගන්නෙමු. ගන්කන්ද මෝටර්ස් පිටුපස කනත්තක් හරහා ශෝට්කට් එකක්ද ටික කලක් තිබුණි. බසය අත් හැරුණොත් 4.30 ට පමණ එන කොලඹ ගොඩකවෙල බසය දක්වාම බසයක් නැත. ඇතැම්විට අපි කහවත්ත, මාදම්පේ ආදී මඟින් මඟට ගොස් ගෙදර යන්නෙමු. මාදම්පේ සිට කිලෝමීටර් 5 ක් පමණ පයින් ගිය අවස්ථාද නැතුවා නොවේ. මෙවන් හදිසි අවස්ථවලට පොකට් මනි නිවෙස්වලින් දී තිබුණත් ඒවා අයිස් පැකට් එකකට හෝ බොම්බයිමොටයි ගුලියකට දියවී ගොසිනි. උදේටත් සන්තෑසිය ඕකමය. ඇතැම් දුරගමන් සේවා බස්‍ රථ (ඇඹිලිපිටිය- කොලඹ, දෙණියාය-කොලඹ) ආදී ඇතත් අපව නංවාගන්නට රියදුරන් අකමැතිය. ඔවුන් බස් නවත්වන්නේ බස් නැවතුම පසුකරය. එසේ නැතහොත් නඟින හෝ බසින තැනැත්තා දුවගොස් බසයේ එල්ලිය හෝ පැනිය යුතුය. මම මේ මාරාන්තික ක්‍රියාව කරන්නට ගොස් පැල්මඩුල්ල ටවුමේ කාණුවකට වැටී., අතක් පයක් නොකැඩී බේරුණ බව සමකාලීන සගයන්ට මතකදැයි මම නොදනිමි. පැල්මඩුල්ලේ නගරයේ මිතුරෙකුගේ නිවසකට ගොස් දහජරාව සෝදාගෙන නිවසට ගිය නිසා මේ මොහොත වන තෙක් මේ සන්තෑසිය මගේ පවුලේ උදවිය දන්නේ නැත!

දුරගමන් සේවා බස් රථ මතක් කිරීමේදී සිහිකල යුතුම චරිත දෙකක් සිහිගන්වන්නට මට ඉඩ දෙන්න. ඒ ඇඹිලිපිටිය කොලඹ දෛනික බසයේ රියදුරන් දෙදෙනා වන චන්ද්‍රසෝම සහ රත්නායකයි. ඔවුන් දෙදෙනාම උදෑසන 5.45 ට ඇඹිලිපිටියෙන් පිටත් වී කොලඹ බලා ගොස් ආපසු එන දෛනික බසයේ නිත්‍ය රියදුරුවරුන් දෙදෙනාය. ඔය බස් රියට අපට ගොඩවන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. ඒ දුරගමන් කරන මඟීන් නිසා අතරමඟ නවත්වන්නට ඇති අකමැත්ත නිසාය. අහම්බෙන් හෝ ගොඩ විට අප ඔවුන් දෙදෙනාගේ රිය ධාවන විලාසය නිරීක්ෂණය කරමු. අපේ ලඟ දුවන බස් මෙන් කොට කොටා යාමක් ඔවුන්ගේ නැත. යන වේගයෙන්ම වාගේ වංගු කපයි. ඇඟට නොදැනි ගියර මාරු කරයි. රත්නායකගේ මුවේ නිතරම දැල්වෙන සිගරැට්ටුවකි. එකල බස් රිය තුල දුම්බීම සාමාන්‍ය දෙයකි. අතින් ඇල්ලීම අඩු නිසා සිගරැට්ටුවේ අලු වැටිය කැඩෙන්නේ තමන්ට ඕනා විට ස්ටියරිං වීලය මතටය. රත්නායක මේ දුම් බීම නිසාම සෑදුනු හෘදයාබාධයකින් මිය ගියේ බස් රියේදීමය. පල්ලමක අසනීප වූ ඔහු, මඟීන් අනතුරේ නොදමා, බසය පසෙකින් නවතා අත් තිරිංග ඇද සුක්කානම මතම හිස හොවාගෙන මෙලොවින් නික්මුණේය.


ඇඹිලිපිටිය-කොලඹ බස් ටාටාකරණය වූ පසු. දකුණු පස සුදු අත්කොට කමිසයක් හැඳ සිටින්නේ චන්ද්රසෝම මහතා බව සිතමි.

මේ යුගය වන විට දොරදෙකේ ලේලන්ඩ් සහ ටාටා පුද්ගලික බස් පාර අරක්ගෙන නොතිබුණේය. ඒකාලයේ බහුලව පැවතියේ නිසාන් සිවිලියන්, ඉසුසු ජර්නි සහ මිට්ශුබිෂි රෝසා බස් රථය. මේවා රීකන්ඩිෂන් බස් ය. තනි දොරය. සැප පහසුය, මඟී ධාරිතාව අඩුය. ඉඳහිට මේවායේ පාසල් යන අපව මුලින්ම ආකර්ෂණය කරගත්තේ කැසට් රේඩියෝ යන්ත්‍රයයි. ලංගම බස් වල කැසට් රේඩියෝ නැත. ඒවායේ සීට් උඩින් අල්ලාගෙන යන්නට බාර් එකක් නැත්‍තේ ජපනා මේ බස් හදන්නේ පොල් පටවන්නට නොවන නිසාය. බොහෝ සීට් වල මුදුන ගෙවී කුෂන් පෑදී ඇත්තේ මිනිසුන් අල්ලාගෙන යාම නිසාමය. ජපන් බස් වලටත්, තැපැල් නයින්ටියටත් ලංකාවේදී සිදුව ඇත්තේ එකම සන්තෑසියමය.

ලංගම බස් සේවය මහා පෙරලියකට ලක්කරමින් 1990 දී ප්‍රේමදාස ආණ්ඩුව යටතේ ජනතාකරණයට ලක්විය. 1990-1997 දක්වා ජනතා සන්තක ප්‍රවාහන සේවය ලෙස ක්‍රියාත්මක වූ ලංගමය 1997-2005 කාලය තුල ප්‍රාදේශීය ප්‍රවාහන සමාගම් ලෙස පැවතුණි. ඉන් අනතුරුව 2005 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ පාලනය වේ.

බස් ජනතාකරණය හොඳට මෙන්ම නරකටද බලපෑවේය. හොඳක් වූයේ බස් ඩිපෝ කලඑලිවීම සහ නව බස් රථ ඇණියට එක් වීමයි. ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ සාමාන්‍ය ලංගම බස් රථ වල පෙනුම සුලු වශයෙන් වෙනස් විය. බඳෙහි ලංගම හෝ මගම සලකුණු ඉවත් වී 'ජනතා සන්තක ප්‍රවාහන සේවය' ලෙස අකුරු සටහන් විය. ජනතා සන්තක ප්‍රවාහන සේවය ඉංගිරිසියෙන් People's Transport Service ය. එබැවින් මුලකුරු විය යුත්තේ PTS අකුරුයි. නමුත් වඩා ප්‍රචලිත වූයේ ජ.ස.ප්‍ර.සේ යන්නයි. මෙය JSPS ලෙසද යොදා ගැනුණි. මනරම් වර්ණ වලින් ගොඩකවෙල ඩිපෝවෙහි බස් වල මෙම අකුරු සටහන් කලේ මගේ පන්තියේ කිට්ටුවන්තම මිත්‍රයෙකුගේ පියතුමා විසිනි. ලටෙක්, වෙස්කෝ සහ ඩිමෝ බඳ එකලස් කල 'කහ කුරුල්ලන්' කලඑලි බැස්සේද මේ සමයේය. බස් කර්මාන්තයේ පුනරුදයක් මේ කාලසීමාව තුල ඇතිවිය. යල්පැන තිබූ අබලන් බස්, නවීන සැප පහසු බස් වලින් ප්‍රතිස්ථාපනය විය. ඉන්දියාවේ බඳ එකලස් කල ටාටා බස් රථද 1210 සහ 909 මාදියෙන් ඩිපෝ වලට ලබාගත හැකි විය.

නරක කරුණ වූයේ ඩිපෝ වල පාලනය ස්වාධීන වීමත් සමඟ පාලනාධිකාරිය සේවයට වඩා ප්‍රමුඛත්වයක් ලාබයට ලබා දීමයි. ඒ අනුව, මඟීන් අඩු සවස් කල සහ උදේ කල බස් ගමන් සීමා විය. පාසල් සිසුන් රැගෙන යාමට කබල් බස් යෙදීමේ සංස්කෘතියක්ද, නවීන බස් රථ වලට සීසන් වද්දා නොගැනීමක්ද ක්‍රියාත්මක විය. මේ වන විට අප උසස් පෙල නාහෙට නාහන වයසේය. මේ බස් අරගල නිසා බස් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා අපට සිදුවිය. එවන් එක් දුරදිග ගිය සිද්ධියකදී, බලංගොඩ ඩිපෝවට අයත් බෙන්ස් බඳ සහිත ඩීමෝ බස් රියක රියදුරෙක් සමඟ ඇති වූ ගැටුමකදී මගේ මිත්‍රයෙකුගේ අත මැහුම් 13 ක් දමන තරමට කැපී ගියේ රියදුරා විසින් වතුර බෝතලය කඩා ඇනීමෙනි. ඒ වද්දී ඩීමෝ බසයේ මුල් කාලයේ තනි වීදුරුවට ආ ඉදිරිපස වින්ස්ක්‍රීනය බිඳී ගොස් ය. පැල්මඩුල්ල බස් නැවතුම්පල එකම ගාලගෝට්ටියකි. අපේ එකාට මැහුම් දැම්මේ වෙනම සම්බන්ධතා හරහාය. අන්තිමට වැඩේ බේරා ගැනීමට ආදි ශිෂ්‍ය සංගමයටද මැදිහත් වන්නට සිදුවිය. තව අවස්ථාවක බසයක් නැවැත්වීමට ඉදිරියට පැන්න මිතුරෙකු බසයේ වයිපර් වල එල්ලී සිටිද්දී හැතැප්ම ගනනාවක්ම බසය ධාවනය කල සිදුවීමක්ද විය. පැල්මඩුල්ලේ ඒ දිනවල පාර දෙපස බහුලව තිබූ රබර් කොටන් පාරට දමා බස් නැවැත්වීමට උත්සාහ කිරීම දක්වා තත්වය දුර දිග ගියේය. පොලිසිය උදෑසන රැස්වීමේ උපදෙස් දීම් සිදුවිණි. ඒ භීෂණ සමයෙන් රට මිදුන ගමන් ය.

මේ කාලය වන විට පුද්ගලික බස් රථ ක්ෂේත්‍රයේද විශාල වෙනස් කම් සිදු වෙමින් පැවතුණි. එතෙක් ධාවනය වූ කුඩා තනි දොරේ ජපන් බස් වෙනුවට දොර දෙකේ ලේලන්ඩ් සහ ටාටා බස් රථ ආදේශ වන්නට වූයේ මඟී ඉල්ලුම වැඩිවීමට සහ ලංගමයේ බිඳවැටීමට සාපේක්ෂවය. මුල් යුගයේ ලේලන්ඩ් බස් සාමාන්‍ය පවර් ස්ටියරිං රහිත, ඩබල් ක්ලච් සහිත ඒවාය. ඊට අමතරව ලේලන්ඩ් සහ ටාටා තනි දොර කුඩා බස්ද කරලියට පැමිණියේය. මේ බස් රථ උසස් පෙලට රත්නපුරයට එන සිසු සිසුවියන් අතරේ ජනප්‍රිය වූයේ සෙනසුරාදාට සහ ඉරිදාට වෙන ප්‍රවාහන මාධ්‍යයක් නොමැති බැවිනි. මේ බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තර වරුන් සිසුන් අතර වීරත්වයට පත් විය. ඒ වීරත්වයෙන් ප්‍රයෝජන ගත් ඇතැම් සල්ලාල රියදුරන් සහ කොන්දොස්තරවරුන් හිරිමල් යෞවනියන් රවටා ගැනීමද සිදුවිය. සාමාන්‍යපෙල ඉතා හොඳින් සමත්ව, උසස් පෙල කාලයේ බස් රියදුරෙකු සමඟ හාද වූ මගේ එක් අසල්වාසී සහෝදරියක් තමා අතින් වූ ඒ වැරැද්ද පිළිඹඳ තවමත් මා හා කියමින් පසු තැවේ. බස් එක හෝල්ට් එක පසු කර ගිය පසු බෙල් ගසා වැඩක් නැත. එකල එක් ජනප්‍රිය පුද්ගලික බසයක සුදු සරම අදින තට්ටේ ඇති කොන්දොස්තරයෙක් යටට නොඇඳ 'පැකේජය' අතුල්ලමින් අනවශ්‍ය පරිදි බසය මැදින් යාම නිසා එක් වරක් මහා කලබගෑනියක් සිදුවූයේ රත්නපුර නගරයේදීමය. ඒකා ඉන්පසු යටට ඇඳ ෆුට්බෝඩයේම සිට සේවය සැලසුවේ මුදල් සහ ටිකට් අතින් අත යැවීමෙනි.!

පුද්ගලික බස් මුල්වරට සරසන්නට ගත්තේ මේ කාලයේය. විදුරු ටින්ට් කිරීම, බඳෙහි වර්ණය වෙනස් ස්ටිකර් කිරීම, බෆල් තොගයක්ම සවිකිරීම මේ සැරසිලි අතර වූවත්, දැන් තරම් තොරොම්බල් ගතියක් වූයේ නැත. එකල එසේ ජනප්‍රිය බස් රිය කිහිපයක් විය. එකක් නම් රත්නපුර සහ මාතර අතර ධාවනය වූ 'කිංස්ලි වොයේජර්ස්' සේවයයි. මේ එක් බසයක රියදුරා වූ 'ආනන්ද අයියා' මගේද මිතුරෙකි.ආනන්ද අයියා විවාහව සිටියේ ගුරුවරියක සමඟය. ඉතා කාරුණික මිනිසෙකි. මාදම්පේ හන්දියේ වංගුව ඩබල් ක්ලච් කරමින් පවර් රහිත සුක්කානම කරකවන කෙට්ටු ආනන්ද අයියාගේ රුව මට දැනුදු සිහිකල හැකිය. RSW නමින් රත්නපුර සහ ඇඹිලිපිටිය අතර ධාවනය වූ ලේලන්ඩ් කොටයද ජනප්‍රිය බසයකි. මා බොහෝ විට පන්ති ගියේ ඒ බසයෙනි. ඔවුන් සතුව මුලින් තිබුණේ මිට්ශුබිෂි රෝසා බසයකි. එය පාසල් සිසුවියක යටකරගෙන යාම නිසා කුපිත වූ ප්‍රදේශවාසීන් ඒ බස් රිය මඟ හරහා පෙරලා ගිණි තැබුවේය. රක්ෂණ වන්දි ලැබූ ඔවුහු වඩාත් ඉඩකඩ ඇති බසයක් ගෙන ආවෝය.

1998 වසරේ ගමෙන් අගනුවරට අභිනිෂ්ක්‍රමනයත් සමඟ මගේ රත්නපුර බස් ගනුදෙනුව අවසන් විය. බස් උප සංස්කෘතිය දැන් බොහෝ වෙනස් ය. අප මෙන්ම බස් පිස්සෝ පරපුරක් තවමත් රටේ සිටිති. ඔවුන් හඳුන්වන්නේ බක් පික්කෝ නමිනි.

ජායාරූප බොහොමයක් අන්තර්ජාලයෙනි.

©රසික වික්‍රමනායක

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!