අනූහයේ අපේ කතා, පස් වන කොටස: ටියුෂන් පන්ති

 96 වසර වෙත්දී ටියුෂන් පන්ති අද මෙන් අක් මුල් විහිදී තිබුණේ නැත. දැන් මෙන් එක වසරේ සිට දහතුන වසර දක්වා වෙලාවක් අවේලාවක් නොමැතිව තරඟයකට පන්ති යෑමක් ද තිබුනේ නැත. හන්දියක් හන්දියක් වංගුවක් වංගුවක් පාසා ටියුෂන් ගුරුවරුන්ගේ ආකර්ෂනීය ඩිජිටල් බිල්බෝඩ් තිබුණේද නැත. (අතුරු කතාවක්: ටියුෂන් ගුරුවරුන් කට් කපා, මේකප් උලා, හෙන දාර්ශනික බැල්මෙන් බිල්බෝඩ් වල පෙනී සිටින්නේ මන්දැයි මම කාගෙන්ද ඇසුවෙමි. ලස්සන ගුරුවරුන්ගේ ක්ලාස් වලට ලස්සන කෙල්ලන් වහ වැටෙන බවත්, ඒ එක කෙල්ලක පස්සේ කොල්ලන් පස් දෙනෙකු ආවත් ගුරා ගොඩ බවත් ඔහු හෝ ඇය කීවා මට මතකය)

හයේ ශිෂ්යත්වයටත්, සාමාන්ය පෙලටත්, උසස් පෙලටත් මෙලෙස ටියුශන් පන්ති පැවැත්විනි. ශිෂ්යත්ව සහ සාමාන්යපෙල ටියුෂන් බොහෝ විට ප්රාදේශීය මට්ටමින් පැවැත්වුනේ කුඩා ශාලාවල හෝ නිවෙස්වලය. මෙම පංති සෑම කුඩා නගරයක් පාසාම පැවති අතර ඇඹිලිපිටියේ සිට රත්නපුර දක්වා සැලකුවහොත් උඩවලව, සංඛපාල, පල්ලෙබැද්ද,ගොඩකවෙල,කහවත්ත, පැල්මඩුල්ල, ගනේගම, ලෙල්ලෝපිටිය ආදී පෙදෙස්වල කුඩා පරිමාණයෙන්, ඉතා අප්රකටව රහසිගතව මෙන් මෙම පංති පැවැත්වුනේ පන්සලක ධර්මශාලාවක හෝ ඇති හැකි නිවසක අතිරේක කාමරයක් වැනි තැනකය.
උසස් පෙලට ටියුෂන් අත්යාවශ්ය ය. අච්චු පොත් නැත, කරුණු කාරණා බරපතලය, කණගාටුවෙන් උවත් පාසල් වල උසස්පෙල නියමිත පරිදි ඉගැන්වීමද සැකසහිතය.
උසස් පෙල පංති පැවැත්වෙන්නේ ප්රධාන නගරවල පමණි. එලෙස රත්නපුර නගරයේ සහ ඇඹිලිපිටිය නගරයේ එකල උසස් පෙල පංති පැවතියත්, වඩා ජනප්රිය වූයේ රත්නපුරයයි. පැය දෙකක තුනක බස් ගමනකින් පසු එලෙස ටියුෂන් පංති පැමිණි මානව මානවිකාවෝ එකල වූහ. මේ මතකය අවදි කරන්නේ රත්නපුර ටියුෂන් පංති පිලිඹඳවයි.
විද්යා හා ගණිත විෂය ධාරාවන්ට අමතර පංති පැවැත්වීම ආරම්භ වන්නේ සාමාන්ය පෙල අවසන් වී මසකින් පමණ පසුය. වාණිජ හා කලා විෂය ධාරාවන්ට එලෙස කල් තියා ටියුෂන් පංති ආරම්භ වූ බවක් මගේ මතකයේ නොමැත. රිසල්ට් ශුවර් බ්රයිට් කේස් සාමාන්ය පෙල අවසන් වූ විගසම උසස් පෙලට කැස කැවති. ටියුෂන් පංති සොයති. වෛද්යවරු, ඉංජිනේරුවරු වන්නට සිහින දකිති. 'පසු ගිය වසරේ උසස්ම ප්රතිඵල ලබා දුන්නේ අපය. අප වෙත එනු මැන' ආදී තේරුම් ඇති ලීෆ්ලට් කඩදාසි ආදියත් දැන්වීම් පුවරුත් දක්නට ලැබේེ. මේවා බොහෝවිට සාමාන්ය පෙල පංති අවසාන වී ලමුන් පිටවන ගේට්ටු අසල රැඳී සිටින ටියුෂන් ගුරුවරුන්ගේ හෙංචයියන් විසින් බෙදාහරිනු ලැබේ.
93 වසර වත්දී රත්නපුරයේ ටියුශන් ක්ලාස් වර්ග දෙකක් පැවැත්වුනි. පලමුවැන්න නම් ඉතා ජනප්රිය හෝල් ක්ලාස් ය. දෙවැන්නනම් ගෲප් ක්ලාස් ය. හෝල් ක්ලාස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෝල් ය. සිසුන්ට තනි අවධානයක් නොලැබේ. කැමතිනම් පැමින උගත හැකිය. ගෲප් ක්ලාස් එසේ නැත. සිසුන් අඩු ගනනකි. පුද්ගලික අධානය ලැබෙන නිසා ' ඉගෙන ගනිව් නැත්නම් ඉවත්වවු' සංකල්පය ප්රායෝගිකවම ආදේශ වේ.
රත්නපුරයේ එකල ප්රධාන හෝල් ක්ලාස් දෙකක් විය. එකක් කුඩුගල්වත්තේ ධර්මශාලාව සහ රත්නපුර නගර මධ්යයේම පිහිටි තක්ශිලාවයි. මේ ආයතන දෙකෙන් තක්ෂිලා උසස් අධ්යාපන ආයතනය අද දක්වාම ක්රියාත්මක වේ. ධර්මශාලාව ගැන නොදනිමි.
සාමාන්ය පෙල අවසන්ව, නිවාඩුපාඩුවේ ගෙවුන කාල සීමාව අවසන් කරමින් අපි එක් සැන්දෑවක හා හා පුරා කියා ධර්මශාලාවේ උසස් පෙල උපකාරක පන්ති යෑම ඇරඹුවෙමු. ඒ සූලොජි (සත්ත්ව විද්යාව) සඳහාය. (විද්යාව විෂය ධාරාව විශයයන් හතරක් වූ සමයේ බයලොජි වෙනුවට සූලොජි සහ බොට්නි යනුවෙන් විෂයන් දෙකක් වූ බව අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත. ඒ විෂයන් දෙක එකක් වී වැඩි කලක් නොමැති නිසාය. කෙසේ වුවත් ගෙම්බන් සහ කැරපොත්තන් උසස් පෙල විද්යාගාරයේදී කපා බැලූ අවසන් පරපුර නම් අපම බව කිව යුතුය.) ධර්ම ශාලාවේ ශාලා දෙකකි. එකක් රත්නපුර පාරෙන් ප්රවේශ වන විටම වම් පැත්තේ ද අනෙක පැරණි රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ මද දුරක් ගොස් දකුනට පඩි පෙලක් බැස ගිය විටද ප්රවේශ විය හැකිය. පලමු සූලොජි පන්තිය පැවැත්වුනේ පලමු ශාලාවේය. ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුනෙන් පැල්මඩුල්ලේ සිට පැමිණි අප වාඩි ගත්තේ පසු පසම පේලියේය. පන්තියේ ගුරුවරයා සරත් සෝමසිරි සර් ය. තරමක් මිටි, තරමක් තරබාරු, සුදුම සුදු,කොණ්ඩයත් බාගෙට සුදු ඒ මහතා ඉතා උනන්දුවෙන් විෂය ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙයි. පලවන පාඩම වූයේ සත්ව ශෛයක ව්යුහය බව මට තවමත් මතකය. ඊට ටික දිනකට පසු, එම ස්ථානයේම බොට්නි (උද්භිද විද්යාව)උපකාරක පංතිද ආරම්භ විය. බොට්නි සර් සුදත් ෆොන්සේකාය. සුදත් ෆොන්සේකා සර් සරත් සර්ට වඩා වෙනස්ම චරිතයකි. කතාකරද්දී මදක් ගොතය. බහුඅවයවීකරණය කියන්නේ කෑලි තුනකට කඩාය. බහූ..බහූ.බහූ.. අවයවී.. අවයවී... අවයවී... කරණය කියාය. ඇතැම් විට කළු ලෑල්ල මකන්නේ වැලමිටෙනි. ඇඳුම පුරාම චෝක් කුඩුය. පංති අවසන් වූ විට ටික්කා නොහොත් පංතියේ ගාස්තු එකතුකරන්නාට සුදත් සර් ගසා බසා දමා හුණු කුඩු ඉවත් කර දීමටද සිදුවේ. (මේ එතුමාට අපහාස පිණිස ලියන්නක් නොව, ඒ චරිත ස්වභාවය විස්තර කිරීමක්ම පමණි) ධර්මශාලාවේ ටික්කා උක්වත්ත අයියාය. අයියා කීවාට ඒකාලයේත් අවුරුදු 40 කට කිට්ටු මිසක් අඩු නැත. උක්වත්ත අයියා ටිකක් කොටය. ඒ නිසා තරමක් උස දුඹුරු පැහැති ලේස් සපත්තු දෙකක් පළඳී. මොනා උනත් උක්වත්ත අයියා හිත හොඳ එකාය. මාසයක් දෙකක් පන්ති ගාස්තු නොගෙව්වත් ආමාරුකම් කියා කණු කුණු ගා තරමක් දුරට මානුෂික ලෙස ජාමේ බේරාගත හැකිය. උක්වත්තට වංගු ගසා ඒ මුදලින් වෙන වෙන වංගු ගැසූවක් නොවූයේද නොවේ.උක්වත්ත අයියා මේ මෑත කාලයේ මෙලොවින් වෙන් වී ගියේය.
සරත් සෝමසිරි සර් පන්තියට විවිධ නිදර්ශකද හැකි පමන රැගෙන එයි. හෝල් ක්ලාසයක් කියා නොසලකා නිරීක්ෂණය සඳහා අතින් අතද යවයි. එලෙස මානව ජීව විද්යාව උගන්වන සමයක මිනිස් හිස්කබලක්ද, හනු අස්ථියද, බාහු අස්ථි සහ ශ්රෝණිමේඛලාවක්ද රැගෙන ආවා මට මතකය. අනිත් ඇට කෙසේ වෙතත් උකුල් ඇටය පුරා කාබන් පෑනකින් කොල්ලෝ නොසන්ඩාල වදන් ලියා තිබුණි. පිටුපස පේලියේ සිටි මගේ මිතුරෙක් (ඒකා ද මේක කියවනවාමය) 'හිකි හිකි' ගෑවේය. සරත් සර්ට ඕවා දිරවන්නේ නැත. 'ඔය පිටිපස්සෙ පේලියෙ ඉලන්දාරිය..(දකුණතේ දඹරැඟිල්ල යොමු කරමින්) ඔව් ඔහේ තමයි, මොකද ඔතන වෙනම පන්තියක්ද? නැගිටිනව. කියනව බලන්න ඕක පුරුෂ ශ්රෝණි මේඛලාවක්ද ස්ත්රී ශ්රෝණි මේඛලාවක්ද කියල?'
අපේ එකා නැඟිට්ටේය.
'මේක ගෑණු එකක් සර්'
සරත් සර්ගේ ඇස් උඩ ගියේය.
'බොහොම හොඳයි. කියමු බලන්න?' සර් ඇසුවේය.
'මේකෙ අදාල තැන හු** තියල ලියල තියෙනව සර්' අපේ එකා කීවේය. පන්ති තෙමෝ සිනා සයුරේ ගිලී ගියේය. සරත් සර්ගේ සුදු මුහුණ ජම්බු ගෙඩියක් සේ රතු විය.
'බැහැපං දොට්ට ප*ය' අපේ එකා කෙසේ හෝ සර්ගෙන් සමාවගෙන පසු කාලීනව රිවිෂන් පන්ති ආවේය.
සරත් සර්ට හැම දෙයකම රටාවක් ඇත.
"සත්ව ශෛල තුල බහිස්සාවීය පල ඉවත්වන රටාව"
"මිනිස් සිරුර තුල රුධිරය සංසරණය වන රටාව"
ගෲප් ක්ලාස් යනු අමුතුම එකකි. ඒවාට යන්නේ බ්රයිට් කේස් ය. එක්කෝ බ්රයිට් යැයි සිතා සිටිනා නෝමල් කේස් ය.
කෙසේ හෝ මම ගෲප් පන්ති දෙකකට ගියෙමි. එකක් ගුණතිලක සර්ගේ කෙමිස්ට්රි පන්තියයි. අනික පොඩි සර්ගේ ෆිසික්ස් පන්තියයි.
ගන්කන්දයට විදුහල්පති ප්රේමසිරි සර් නම්, සීවලියට විදුහල්පති ගුණතිලක සර් ය. එතුමා මහාම ගුරු පෞරෂයකි. උස මහත, මනා පෞරෂයකින් හෙබි එතුමා ජූඩෝ ශූරයෙකු බව අසා ඇත්තෙමි. ගුණතිලක සර්ගේ මුල් ගම මගේ පියාගේ ගමට සමීපය. එබැවින් පියාගේ දීර්ඝ කාලීන මිතුරෙකි. මා ඒ පන්තියට සම්බන්ධ වන්නේ ඒ අනුවය.


ගුණතිලක සර්

සර්ගේ පන්තිය පැවැත්වුනේ රත්නපුර ජෝති සිනමාශාලාවේ සිට මඳ දුරක් නගරය දෙසට ආපස්සට යන විට පහලට බැස ගිය විට ඇති කළු ගං ඉවුරේය. එතැන දැන් සියැස් රෝ නම් නව ශිල්ප ශාලිකාවකි. ගුහාවක් වැනි බිම් මහලක, ජනෙල් වලින්ද තොරව පන්ති පැවතියේ විදුලි ආලෝකයෙනි. ෆෑන් තිබුණ බවක් මට මතක නැත. ගුණතිලක සර් අත් කොට ශර්ටය උඩින් දමා අත් දෙකෙහි දහඩිය ගසමින් උගන්වයි. සර්ගේ ජනප්රියත්වය නිසා පන්තිය ඇරඹෙන මුල්ම සති කීපයේ ශාලාව අතුරු සිදුරු නැතිව පිරී යයි. ඉගෙනීමට උනන්දුවක් දක්වන, බ්රයිට් කේස් ඉතුරු කර, එතරම් බ්රයිට් නැති කේස් හැලීමට ගුණතිලක සර්ට අපූරු කුල්ලක් තිබුණි. මුල්ම කාලයේ උගන්වන්නේ එක් එක් මූලද්රව්යයන්ගේ සංකේත සහ එහි ධනාත්මක සහ සෘණාත්මක භාවය පමනි. ඒවා ඇසුරෙන් දිනකට රසායනික සංයෝගයන්ගේ රසායනික සූත්ර 20 ක් ඉදිරිපත් කෙරේ. අපි ඒවා ලිය යුතුය. ලියා ඉදිරි පසුපස දෙපේලි අතර මාරු කර සර් අනුව හරි වැරදි බැලිය යුතුය. 20 න් 10 ට අඩු අය පන්තියෙන් ඉවත් කෙරේ. නැත්නම් සර්ගේ තදබල අවවාද අනුශාසනා නිසාම පන්තිය හැර යයි. මට මේ සූත්ර හරුපය එතරම් දිරෙව්වේ නැත. මගේ පොත පලවන දිනයේ හුවමාරු වූයේ සුමනා බාලිකාවේ උදාරි අතටය. මගේ හරි ගොස් තුබුනේ 20 න් එකකි. උදාරි පසු පස හැරී 'සර්ට කියන්නද?' ඇසුවේය. මම 'එපා' කීවේ හිස සලාය. ඉතින් මගේ බෙල්ල බේරුණේය. උදාරි දැන් කොහේ ඉන්නවාදැයි නොදනිමි.


ආනන්ද විජයපාල සර්

පොඩි සර් පොඩි කීවාට පොඩි නැත. උසින් අඩු මුත් මදක් තරබාරුය. උපැස් යුවලක් පලඳී. අතරින් පතර සුදු කෙස් ඇති හිසකේ අවුල් ය. අසූව දශකයේ ප්රියා සූරියසේන මෙනි. පොඩි සර් වගේම චූටි සර් කෙනෙකුත් සාමාන්ය පෙලට රත්නපුරයේ පංති පැවැත්වූවා මට මතකය. පොඩි සර්ගේ පන්ති පැවැත්වුනේ රත්නපුර රෝහල් මාවත හන්දියේ රෝහල පැත්තේ රත්නපුර මහ පාරට සමාන්තරව පැවති කණ්ඩියක් උඩ කෙලවරක ඇති නිවසකට යාබදය. එතනට යන්නට කොලඹ රත්නපුර පාරෙන් මහගිරිදඹය වන් පඩිපෙලක් වෙයි. දැන් ඒ පඩිපෙල කැලෑවට වැසී ගොස් ය.
පොඩි සර්ගේ ෆිසික්ස් පන්තියේ ඉස්සරහම වාඩිවන්නේ ගෑනු ලමෝය. ඒ ගෑනු ලමයින්ගෙන් බ්රයිට්ම කේස් මුල්ම බංකුවේ සිටිති. එක්තරා ආරක්ෂක අංශයක සුරූපී දියණියක් මේ ඉස්සරහම බංකුවේ සිටියේය. ඈ පන්තියේ පඩිපෙල මුලටම එක්ක යන්නේ සහ ආපසු දොක්කන්නේ රජයේ වාහනයකිනි. මුල්ම පේලියේ බ්රයිට් කේස් එකක් නිසා ඇයගෙන් පොඩි සර් වැඩිය ප්රශ්න ඇසුවේ නැත. දවසක් දා සර් ඇසූ ප්රශ්නයකට මේ මනුස්ස දුව මැටි උත්තරයක් දුන්නේය. පොඩි සර්ට ඇගේ හොරය අහු වුනේ එදාය.
"මෙතන ලොකු ලොකු වාහන වලින් මැටි තලි ගෙනත් බාල යනව. අපි ඕනි ඒවගෙන් පිලිඹ අඹල උගන්වන්න" පොඩි සර් බැණ වැදුනේය. ඉන් පසු ඈ පන්ති ආවේ නැත.
කට සැර වුනාට පොඩි සර්ගේ කටේ අලංකාර කියමන් රැඳී තිබුණි.
"පාස් වුනොත් යුනිවර් සිටි
ෆේල් වුනොත් ගෙදර සිටි" ඉන් එකකි.
"නිදිමත නම් ගානක් හදන්න
කම්මැලි නම් ගානක් හදන්න
තරහින් නම් ගානක් හදන්න"
පොඩි සර්ගේ දේශනාවේ වේගයට අපිට ලියන්නට බැරිය. සාමාන්ය පෙල මුතුකැට වන් අකුරු හකුරු වී ගියේ පොඩි සර්ගේ පන්තියේය.


ධම්මික සෝමරත්න සර්

පන්තිය ඉහල නිසා අපිට පහලින් ඇති කොලඹ රත්නපුර පාර පෙනේ. කොලු කමට අපි පහලින් යන කෙල්ලන්ට, කොල්ලන්ට ඔච්චම් කරමු. එසේ විහිලුවක් ඇස් රතුවන තත්ත්වයටම දුර දිග ගිය විට එයට මැදිහත් වූයේද පොඩි සර්මය.
පොඩි සර් සැර වැර වූවාට පොඩි ලමයෙක් මෙන් සංවේදීය. 96 අවුරුද්දේ අගෝස්තුවේ උසස් පෙල තියෙද්දීත්., විලීස් ක්රිකට් ලෝක කුසලානය නරඹන්නට පන්තිය නිවාඩු දුන්නේ ඒ නිසාය. ටියුෂන් පන්තියේ අන්තිම දවසේ කඳුලු සලමින් "හැම දෙයක්ම කලේ ඔය ලමයි විශ්ව යුනිවර්සිටි යනව බලන්න" යැයි කීවේ ඒ නිසාය. පොඩි සර් කියා මිසක් එතුමාගේ සැබෑ නම අද දක්වා මම දන්නේ නැත. දන්නා අයෙක් පවසන්නේ නම් මැනවි!
එක් වරක් උසස් පෙල ලියූ පසු රිසල්ට් ශුවර් ඇත්තෝ යුනිවර්සිටි හීනයේ පසුවෙති. නැත්තෝ රිවිෂන් යති. රිවිෂන් පංති වල දැන්වීම්, ලීෆ්ලට් බෙදා හැරෙන්නේ උසස්පෙල අන්තිම දවසේ පාසල් දොරකඩමය.
බ්රයිට් කේස් ලෙස ප්රකට, ඒත් විභාගය ශුවර් නැතැයි දන්නා කේස් රිවිෂන් යන්නේ විචිකිච්චාවෙනි. වැඩ හතරම ෆේල් වන බව දන්නා එකාත්, එකපාරින්ම 'වැඩේ ගොඩ' බව දන්නා එකාත් මෙන් නොව, අතරමැද එකාලාට රිවිෂන් අනිවාර්යය. රිවිෂන් පන්ති අතරේම ප්රතිපල පැමිණි විට කාගෙ කාගෙත් කෙරුවාවල් එලිවේ. තමන්ගේ එවුන්ට වෛද්ය, ඉංජිනේරු සිහින එලි වෙද්දී, අනික් එවුන්ටත් සියුම් ඉරිසියාවක්, ඉරිසියාව මත්තේම එන උනන්දුවක් ඇති වේ. 96 වෙද්දී දැන් මෙන් පුද්ගලිකව උපාධි ලබාගැනීම එතරම් ප්රචලිත නොවූ නිසාම, ගොඩයාහැකි වඩාත්ම පැහැදිලි මාර්ගය උසස් පෙලට දෙවරක් නැත්නම් තුන්වරක් හෝ පෙනී සිට විශ්ව විද්යාල ගතවීමයි.


ශ්රී පතිරණ සර්

ටියුෂන් මෙන් නොව රිවිෂන් වලදී අපිට කැමති විෂය කොටසට කැමති ගුරුවරු සොයා යා හැකිය. අපි ආනන්ද විජේපාල සර්ගෙන් ධර්මශාලාවේ ෆිසිකල් කෙමිස්ට්රි උගත්තෙමු. ආනන්ද සර් උඩුරැවුල නොමැතිව යටිරැවුල පමණක් මුහුණ පුරා වවා උපැස් යුවලක් පැලඳ සිටී. හිස දෙපසට වනමින් 'මුව පුරා 'ෆිසිකල් කෙමිස්ට්රි' කියයි. සර් ඒ විෂය කොටසට ආදරේය. ආනන්ද සර්ගේ දුව 97 වසරේ ශිෂ්යත්ව විභාගයෙන් ලංකාවෙන්ම ප්රථම ස්ථානය දිනාගත් බව මට මතකය. ඇය දැන් දරුවන් සිටින මවක් විය යුතුයැයි සිතමි.
ඕර්ගනික් කෙමිස්ට්රි සඳහා අපි ශ්රී පතිරණ සර් සොයා තක්ශිලාවට ගියෙමු. ශ්රී පතිරණ සර් ඒ කාලයේත් වයසක පෙනුමය. එතුමාගේ කටපාඩම් ශෛලයක් තිබුනේය. "අස් කියා ඇසෙන විට දෙක දමනවා., අක් කියා ඇසුන විට තුන දමනවා" ආදී වශයෙන් ෆෙරස් ඔක්සයිඩ් ෆ්රෙරික් ඔක්සයිඩයෙන් වෙන්කර ලියන හැටි එතුමා උගන්වයි. ශ්රී පතිරණ සර් එක්තරා පන්තියකදී මදාවියෙකු රොකට් යැවීම නිසා කලක් රත්නපුර අත් හාර ගොස් සිටියේය.
මම ධම්මික සෝමරත්න සර්ගේ කෙමිස්ට්රි රිවිෂන්ද ගියෙමි. ඉතා ශාන්ත දාන්ත ඉරියව් ඇති එතුමා යම් කරුණක් කියා ක්රේල් කොන්ඩය දෙපසට වනා මදක් නෙත් පියාගන්නා අයුරු අද මෙන්ම මට මතකය. එතුමා අදද ක්රියාකාරී ගුරුවරයෙකි. මගේ මිතුරු ලැයිස්තුවේද සිටී.
දෙවන වර විභාගය සඳහා ෆිසික්ස් රිවිෂන් පංති සඳහා අප සනත් කේ බණ්ඩාර සර්ගේ පන්තියට ගියෙමු. සනත් සර් 'ආලෝක බණ්ඩාර' ලෙස ප්රකටව සිටියේ අවුරුදු දෙක හමාරක පන්ති කාලය තුලදී අවුරුද්දක් ආලෝකයත්, අවුරුද්දක් යාන්ත්ර විද්යාවත් උගන්වා ඉතුරු සියල්ල මාස හයක් තුල උගන්වන නිසාය. සර්ගේ පොලිස් පැජරෝවේ බැට්රියට වයරයක් ඇද විදුලිය නැති වේලාවට ඇම්ප්ලිෆයරය ක්රියාත්මක කර ගනී. අපි නැවතුන ෆෑන් යට දාඩිය දමමින් අසා සිටින්නෙමු.
ඇතැම් හාස්යජනක කරුණු සිහිකැඳවූවත්, අද අප සිටිනා යම් තැනක් වේද, එතැනට ඒමට මඟ හසර සෑදූ මේ ගුරුවරුන්ට අපේ ප්රණාමය හිමිවිය යුතුමය.
ටියුෂන් පන්ති සමය ජීවිතයේ කඩ ඉම් සමයක් වන්නේ ප්රධාන හේතු දෙකක් නිසාය.


සනත් කේ බණ්ඩාර සර්

පලමුවැනි හේතුව නම් පාසලටත්, නිවසටත් සීමා වූ අපේ ලෝකයේ නිම් වලළු පුළුල් වන්නට ගන්නේ උසස්පෙල සමඟ වීමයි. විවිධ පාසල් වල සිසු සිසුවියන් සමීපව ඇසුරු කරන්නටත්, පාසල් සීමාවෙන් පිටට යන්නටත් ටියුෂන් සමය ඉඩ හසර ලබාදෙයි. තම පන්තියේම සහෝදරියක් සහෝදරියක් වුවත් සුදු ඇඳුමෙන් මිදී හමුවීම ආශ්වාදජනකමය අත් දැකීමකි.
දෙවැනි කරුණ, මේ ජීවිතයේ මල් සමය වීමයි. උසස් පෙල පැවැත්වෙන්නේ තරුණ මනස හැඟීම් සහ බුද්ධිය අතර පොරබදන සංක්රාන්ති අවධියකය. අන්තර්පාඨශාලා පෙම් සබඳතා ඇතිවේ. අන්තර්පාඨශාලා ගුටි කෙලි ඇතිවී පන්ති යන්නට නොහැකි තත්ත්වයන් ඇතිවේ. ගන්කන්ද- ඇලෝසියස් මුල් බිග්මැච් ක්රිකට් තරඟයේ ඇති වූ එවන් වලියක් නිසා අපි තෙමසක් පමණ උසස්පෙල පන්තියාමට නොහැකිව කොටුව සිටියෙමු. පංති කට් කර චිත්රපට ශාලාවක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි චිත්රපටයක් බලන්නටද සිතේ. සාමාන්යපෙල ඉතා ඉහලින් සමත්ව සිටි කෙල්ලන්, සල්ලායන්ට රස්තියාදුකාරයන්ගේ ගොදුරු වී උසස්පෙල කඩාකප්පල්කරගෙන හිරිමල් වියේම දරු සුරතල් බලනු මම දැක ඇත්තෙමි. ඒ අතරම බස් කොන්දොස්තරට බැල්ම දමා තමන්ගේ සීමාවේ සිට උසස්පෙලම නොමිලේම බසයේ ගිය යුවතියක්ද මම දනිමි. සිත්ගත් තරුණිය ගැනම සිත සිතා සිට දොස්තරවන්නට සිටිය වුන් කොන්දොස්තර වූ අවස්ථාද එමටය. එලෙසම උසස්පෙල ඇතිකරගත් පෙම් සබඳතා විශ්ව විද්යාලයටත්, ඉන් ඔබ්බටත් ප්රේමයේ සොඳුරුතම ඉසව් ආශ්වාදනය කල වාසනාවන්ත සහෝදර සහෝදරියෝද අප අතරම වූහ.
මේ මා අත්දුටු උසස් පෙල ටියුෂන් සමයයි. ඔබගේ අත්දැකීම් මීට තරමක් වෙනස් වුවත්, අපට එක තේ මේසයක උණු වඩයක් සපමින් කතාකල හැකි තරම් පොදු දේ ඇති බවනම් මට සක්සුදක් සේ විශ්වාසය.

ධර්මශාලාවේ ඩෙස් බංකු මත 1995 දී. මා සතුව ඇති එකම උසස්පෙල ටියුෂන් පින්තූරය මෙයයි

©රසික වික්රමනායක
2024.5.13

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!