අයගම

 පිය පාර්ශවයෙනුත්, මවු පාර්ශවයෙනුත්, අපට මහ ගෙවල් දෙකක් සහ 'ගම්' දෙකක් විය. 'ගමේ යනවා' කියා ඒ දෙපසෙහිම ගමන් බිමන් වලට යෙදුනත්, 'ගමේ යනවා' කියූ විට අපට බොහෝ සතුට දැනවූයේ අම්මාගේ ගම් පියස වන අයගම යන ගමනයි.

 අයගම, රත්නපුර පානදුර මාර්ගයේ ඉඩංගොඩට නුදුරු හැරණියාවක පාලමින් හැරී කිලෝමීටර් 14 ක් ගිය විට හමුවන ගම් පියසකි. ඒ ගම, වැඩි වෙනසක් නොමැතිව තවමත් ඇතත්, මීට දශක තුනකටත් කලින්, පොඩි වුන් ලෙස විඳි අමන්දානන්දයේ පුළුටක් හෝ දැන් ඒ ගමෙහි නැත. අයගම යෑමට තරම් මාත් මල්ලීත් නංගීත් ආශා කල වෙන ගමනක් එකල නොවීය.

 අයගම යාමට අපි පිටත් වන්නේ හිමිදිරියේමය. උදේ පහ හමාරට හන්දියට පයින් යන අපි, රත්නපුර බලා යන බසයක් එනතුරු රිදීවිට හංදියේ බලා සිටින්නෙමු. එකල තාත්තා වත්තේ යහමින් එලවළු වැවීය. අයගම එලවළු වගාවක් නොවූයෙන්, ඒ එළවළු වලින් පංගුවක් සීයාටත් ආච්චීටත් දීම පිණිස රැගෙන යෑම අනිවාර්යය.

 "තෑගි ලෙසට දැන්, ගෙන යාමි බටු මිරිස්" තාත්තා දිත්තල කාලගෝල නාඩගමේ ගීයක වචන වෙනස් කර කියමින් අම්මාට විහිළුද කරයි.

 රත්නපුරයෙන් උදේ 7 ට අයගම බලා පිටත් වන ලංගම බසයක් ඇත. එය උදේ 8 වන විට අයගමට සැපත් වෙයි. බොහෝ විට අපට මේ බසය වරදී.  ලංගම බස් නැවතුම ලෙස භාවිතා වූයේ පැරණි රත්නපුර දුම්රිය ස්තානයයි. මෙකල වන විට දුම්රිය රුවන්පුරය හැරගොස් ගතව තිබුණේ දශකයකටත් අඩු කාලයකි. දුම්රිය ස්තානයේ රේල් පීලි හැර අනෙකුත් බෝහෝ දේ ඒ වන විටත් එසේම තිබුණි. අඟුරු එන්ජින් වලට වතුර සැපයූ කළු පැහැ ගැන්වුණු වතුර ටැංකියත්, බඩු ගබඩාවත්, දුම්රිය වේදිකාවත් අදත් එදා මෙන්ම මගේ මතකයේ ඇත. පුංචි කෝච්චිය පිළිඹද පොතක් ලිවීම දක්වා දුර දිග ගිය සදාතනික බැඳීම පිළසිඳ ගත්තේ රුවන්පුර පැරණි දුම්රිය පලෙහිදීය. රත්නපුර ඒ වන විට දැන් කාලයේ මෙන් ජනාකීර්ණ වී තිබුණේ නැත. පල්ලිය පාරේ මිරිස් මෝලෙන් නැඟෙන මිරිස් සුවඳත්, ලංගම බස් වල ඩීසල් ගඳත්, මැණික් ඔප මට්ටම් කරණ පෝරු වල කිරි කිරියත් ඒ වන විටත් ඇසෙන සුපුරුදු හඬවල් විය.

 අයගම බසය වැරදුන විට, ඉඩංගොඩට ගොස් අයගම දක්වා දිවෙන 'පාන් බාග' බසයක් අල්ලා ගත යුතුය. රත්නපුර සිට ඉඩංගොඩ දක්වා යන බසයක් අල්ලා ගැනීම එතරම් අපහසු නැත. රත්නපුර-පානදුර බස්, රත්නපුර ඉඩංගොඩ හරහා ඇහැලියගොඩ බස්, රත්නපුර-ඉඩංගොඩ බස් ආදී ඕනෑම බසයක එලෙස යාමට පුළුවන. රත්නපුර ඉඩංගොඩ මාර්ගය ඉතා වංගු සහිතය. තවමත් එය එසේමය. පාර දෙපසම ඇත්තේ රබර් වතුය. වම් පස ගැඹුරු පල්ලමේ කළුතර බලා යන කළු ගං කොමලිය ගලා බසී.  තැනින් තැන කඳු බෑවුම් වල සිට කුඩා දිය කඳුරු ඇද හැලේ. පරිසරය සීතය, තෙතමනය සහිතය. වැසි කාලයට බියජනකය. මේ වංගු සහිත පාර, බසයේ පසු පස සිටින මට ඔක්කාරය කැඳවයි. එබැවින් මම බොහෝ විට ඉස්සරහ රියදුරුට කිට්ටුව තැනක හිටගෙන හෝ යමි. තවමත් මෙම මාර්ගය මගේ ජීවිතයේ දිව්‍යමය ඉසව්වකි. අද වන විට මෙම මාර්ග කොටස කාපට් අතුරා, වංගු අවම කර දියුණු කර ඇත. මඟ දෙපස වූ ගල් පර්වත සහ රබර් වතු බොහොමයක් ජනාවාස, කම්හල් ආදිය ඉඳිකිරීමට ඉවත්කර ඇත. එනමුත්, සමන් දේවාලය සහ කුරුගම්මෝදර අතර එවන් ස්ථාන තවම ඇත. වැසි වැටෙන ඇතැම් දිනක, මම වාහනයේ සංගීතය නිවා දමා, පරිසරයේ හඬට මුසු වී රිය එලවමි. ඒ සුන්දරත්වය රුවන්පුරයෙන් පිට මා අත් දැක නැත.

 ඉඩංගොඩ නගරය, කිරිඇල්ලට නුදුරු කුඩා කඩමණ්ඩියකි. අප කුඩා කල එහි ටී බනිස් සමඟ තේ බීමට හැකි කඩ පලක්, එලවළු සහ පලතුරු කඩ, බැංකු ශාඛාවක් ආදිය තිබුණු බව මතකය. ප්‍රකට කිරිඇල්ලේ මධ්‍ය විද්‍යාලය පිහිටියේ ඉඩංගොඩ ටවුමේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඉංගිරිය දෙසට වන්නටය. පසුකාලීනව, ටවුම මැද්දේම විවෘත කරන ලද රෙකෝඩ්බාරයකින් නාමල් උඩුගමගේ 'සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ' ගීතය ගලා ආ සැටිද මට මතකය. ඉඩංගොඩ සති පොල දවසට කඩමණ්ඩිය ජනාකීර්ණ වේ. පොලේ කෙලවරක අයගම දක්වා යන ලොරි බාග සහ බස් රථ නවතා ඇත. පොල දවසට බහුලවම ඇත්තේ ලොරි බාගය. මේවා බොහෝ විට මොරිස් හෝ ෆෝඩ් ලොරිය. නිල්පාට තීන්ත තැවරූ 'ජයන්ති' ලෙස සටහන් කල එක් ලොරි බාගයක් මගේ මතකයේ පැහැදිලිව තැන්පත්ව ඇත. පොල දින කියා වෙනසක් නොමැතිව මේ ලොරි බාග පොල් පටවන්නා සේ පිරේ. වංගු වල වමනය ප්‍රශ්ණය එන නිසා තාත්තාත්, මමත් මල්ලීත් වාඩි වන්නේ බොහෝ විට ඉදිරිපස හරස් අතට ඇති බංකු අසුනේය. රියදුරු තැන සෙනඟ අතරින් අතපය කොටස් වශයෙන් ගෙන රියදුරු අසුනෙහි වාඩි ගනී. ඇතැම් විට රිය එක්වර පණ නොගැන්වෙන විට තල්ලුවක් ලබා දිය යුතුය. 'ග්‍රෝන්ත ගොක ගොක ගොක' අනුකරණයෙන් සැර දමා පණ ගැන්වෙන බසයේ එන්ජින් කුටීරයෙන් ඩීසල් දුම ඇතලට එයි. සෙනඟ වැඩි දවසට ඩීසල් දුමත්, දාඩිය හඳත්, එලවළු සහ කරවල සුවඳත් මුසුව, ලොරිබාගයටම ආවේණික කුයිලක් හමයි.


අයගම-ඉඩංගොඩ ධාවනය වූ 'ජයන්ති' බසය. බසය අයිති ජයසේන මාමාගේ පොඩි දුව, අයගම ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු රුවිනි කාංචනා ජයසේන විසින් එවන ලද්දකි.

 ඉඩංගොඩ අයගම පාර දුෂ්කරය. වාමාංශික බලකොටුවක් වූ අයගම 1977 සමඟි පෙරමුණු පරාජයෙන් පසු, අලුත පත් වූ ආණ්ඩුව විසින් සංවර්ධන කාර්යයන්ගෙන් මුළුමනින්ම කපා හැරීම නිසා මාර්ගය පැවතියේ අබලන් තත්ත්වයෙනි. කුඩා පාලම්, ඇඳි රහිත කොන්ක්‍රිට් තහඩු පමණක්ම විය. ඒවා උඩින් ලොරි බාගය යන විට දෙවියන් සිහිවේ. අයගම පාරේ ගලතුර දක්වා රබර් වලට අමතරව අතරින් පතර තේ වගාවද ඇත. මියගිය වතු කම්කරුවන්ගේ හොහොන් කිහිපයක් මඟ අයිනේ වූ බව මගේ මතකයේ ඇත. අයගම පාර දෙපස, ඉතා විශාල වශයෙන් ගල් පර්වත ඇත. ඒ නිසා අපි අයගමට 'ගල්ගම' කියාද කියුවෙමු. රත්නපුර ඉඩංගොඩ මාර්ග කොටසට වඩා ඉඩංගොඩ අයගම මාර්ග කොටස ඉතා සුන්දරය. ග්‍රාමීයය. රබර් වතු මැද්දෙන් දිය ඇලි මෙන් දිය කඳුරු ගලා හැලේ. මාර්ගයට වම් පස පහලින් කළු ගඟෙහි අතු ගංගාවක් වන ගලතුර ගඟ ගලා බසී. මේ ගඟෙහි දෝංකාරය වතුර වැඩි දිනවලදී ගල් පර්වත වල හැපී රැව් දෙයි. ගඟෙහි එක නැම්මකට ඉහලින් පිහිටි එවන් එක් පර්වතයක් 'හෝස් ගාන ගල' ලෙස අප හැඳින්වූයෙමු. ඒ ගල අසලින් යාමත් බියජනක, එතරම් තදින් ඝෝෂාවක් ඇසෙන නිසාය. හෝස් ගාන ගල දැන් නැත.


ගලතුර ගඟ

 අම්මාගේ මහ ගෙවල් පිහිටියේ ඉන්දලවත්ත ලෙස හැඳින්වෙන කුඩා කඩමණ්ඩියකය. එහි පසුපස යකහටුගල කන්දත්, ඉදියෙන් වම් පසට වන්න තොරණකොත කන්දත් ඇත. තොරණකොත කන්ද, බුදුන් සිරිපතුල පිහිටුවීමට 'සලකා බැලූ' කන්දක් ලෙස ජනප්‍රවාදයක්ද ඇත. නිවසට ඉදිරියෙන් ඇති අඩිපාරේ ගලින් ගලට බැස පහලට ගිය විට කුකුලේ ගඟ හමුවේ. අම්මා පවුලේ මද්දුමීය. අම්මාට වැඩිමහල් ලොකු මාමා සහ ලොකු අම්මා විවාහකව නිවසින් පිටව ගොස් සිටි අතර, බාල පොඩි මාමා සහ පුංචී ඒ වන විට විවාහ වී නොසිටියහ. ලොකු අම්මා ජයවඩනගම පදිංචිව සිටියාය. අපි බසයෙන් බසින විටම, ආචිචි අම්මා සහ ආතා පෙර මඟ බලා සිටිති. ආච්චි අම්මා අපේ හිස අතගා, මුහුණ සිඹ වැළඳගෙන ආදරයෙන් පිලිගනී. ආතා සිතෙහි ආදරය සඟවාගෙන අප වටා කැරකෙයි. මුහුණෙන් සිනහව සංතෘෂ්ඨිය ඉතිරී ගලා යයි. ඒ ආදරණීය බව, බාල කාලයේ අපට එක් කල සොම්නස අති මහත්ය.


1977 ආණ්ඩු පෙරළියෙන් පසු ගල් ගසා අලාභහානි කරන ලද අපේ මවගේ මහ ගෙදර. දිනය 1977.7.23 ලෙස සටහන්ව ඇත. මිදිවැලත්, ලපටි කල අඹ ගසත් පෙනේ. මේ සම්බන්ධ නඩුව, රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවෙගම මහතාගේ පෙනී සිටීමෙන් රත්නපුර මහාධිකරණයේ විභාග වූ බවත්, එතුමාගේ අකල් මරණයෙන් පසු නඩුව 'යට ගිය' බවත් පැවසේ. වසර හතලිහකට එපිට සිදුවූ මේ සිද්ධිය අපේ පවුල් වල අය අමතක කර සමාව දී ඇත. 

 ලොකු අම්මාගේ දරුවන් වන මැණිකේ අක්කා, දිමුතු සහ මනුර කොලඹ සිටත්, ලොකු මාමාගේ දරුවන් වන රුක්මන්, මශේෂ් අයියලා සහ ගංගානි අක්කාත් අයගම සිටත් පැමිණෙති. මැණිකේ අක්කා වැඩිමනත් විසුවේ අයගමය. පාසල් නිවාඩු කාල මුළුල්ලේම ඇය එහි සිටියාය. ඊට අමතරව, ගමේද අපට හිතවතුන් රැසකි. ආච්චිලාගේ ගෙදරට වම්පසින් පිහිටියේ හේමපාල අයියලාගේ නිවසයි. එහි ලොකු අම්මාත්, මහප්පාත්, හේමපාල අයියා සහ ඔහුගේ නංගිලාද සිටිති. ලොකු චූටි අක්කා, චූටි අක්කා, චුට්ටක්කා සහ පොඩි චූටි අක්කා ලෙසහැඳින්වුවා මිස අදවත් මම ඔවුන්ගේ නම් දන්නේ නැත. නිවසට ඉදිරිපස පාරෙන් අනිත් පස ඇත්තේ කඩේ මහප්පලාගේ නිවසයි. ගමටම පිහිටි එකම දෙමහල් නිවස වූ එහි උඩු මහල ලෑලි සොල්දරයකි, භාවිතයෙන් තොරය. මහප්පාගේ තාත්තාගේ හාන්සි පුටුවත්, වෙනත් අඩුම කුඩුමත් එහි ඇත. උඩු මහලේ හොල්මන් ඇතැයි අපි විශ්වාස කලෙමු.  මහප්පා පැරණි ඉංග්‍රීසි ගුරුවරයෙකි. වර්ජනයකින් රැකියාව අහිමිවීමෙන් පසු කඩේ බලාකියාගෙන, ප්‍රවාහන ව්‍යාපාරයක්ද කරගෙන සිටියේය. මහප්පා, සිරුර පුරාම ලෝම ගැවසී ගත් වලසෙකු මෙන් පෙනුමෙන් යුතු අයෙක් උවත් ඉතා කරුණාවන්තය. මහප්පා සිටින විටෙක කඩේට ගියහොත්, පෙලට තබා තිබෙන ලොකු බෝතලයකින් නාරං බික් අහුරක්, විස්කිරිඥ්ඥයක්, සීනි පිට්ටුවක් වරදින්නේම නැත. ලොකු අම්මා සිනාවෙන් සැම විටම මුහුණ පුරවාහෙන සිටියාය. ඔවුන්ගේ දරුවන් වන කඩේ අයියා අපිට වඩා බොහෝ වැඩිමල් නිසා අපිත් සමඟ වැඩිමනත් 'ඇයි හොඳැයියක්' නැත. එහෙත් කඩේ චූටි අක්කා සහ ලොකු චූටි අක්කා, වසර කිහිපයකින් පමණක් වැඩිමහළු වූ බැවින් අපේ නඩයට අයත්ය.

 ඊට අමතරව, තරුණ වියේ සිටි පොඩි මාමා හමුවට නිතර එන මාමාගේ යාළුවන්ද අපේ මිතුරන්ය. අපි ඔවුන්ට යාප්පු වී අඩුම ගානේ හඳුන් කූරු පෙට්ටියක් හෝ ගෙන්නවා ගන්නෙමු.

 සිංහල අවුරුදු කාලයට, ආච්චි අම්මලාගේ ගෙදර පැය විසිහතරේම විවෘතව පවතින තේ මේසයක්ද, දහවල් සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවෘත කෑම මේසයක්ද ඇත. ආච්චි අම්මා කෑම ජාති සෑදීමේ ඉතා දක්ෂය. ඇය කොණ්ඩ කැවුම් වල කොණ්ඩය වඩනු, ආස්මී වලට පැණි වත්කරනු, දිගටි ගැඩයට අළුවා කපනු බලා ඉන්නට ආසා හිතේ. කොණ්ඩ කැවුම් කා මත් වී සිටිනා අපිට, ආතා කඩයට ගොස් ටී බනිස්ද ගෙනැවිත් දෙයි. අපි කොපමණ කෑවද ඒ අයට මදිය. ආච්චි අම්මා උයන මාළු පිණි හා ව්‍යාංජන සැරය. සුදු තම්බපු හාලේ බත්, හෝ මිරිස් දැමූ තෙල් බේරෙන පරිප්පු මාලුව, ගොටු කොල සම්බල, කරවල බැදුම් මුසු බත් අදටත් කටට කෙල උණවයි. ආච්චි අම්මලාගෙ නිවසට යන දිනයක, අයිස් ක්‍රීම් වෑනයක් පාරේ 'ගඩ ගඩ' ගා යනු ඇසුනොත් අයගම දෙසට යන විටද, ආපසු ඉඩංගොඩ දෙසට යන විටද අනිවාර්යයෙන්ම අයිස්ක්‍රීම් කෝන් දෙකක්ම ලැබේ.

 මහ පාරට සමීපවම පැවති නිවසේ මිදුලේ පේර ගසක් හා අඹ ගසක් ඇත. ඒ පේර ගසේ නැගීමෙන් ආතාගේ තරවටු වලට අප අනන්තව ලක්වන්නෙමු. ඒ එතුමාගේ අප කෙරෙහි ඇති ආදරයයි. රස පේර ඵල ගන්නා පේර ගසටත්, පසෙකින් වවා ඇති මිදි වැලටත් අපෙන් ගැලවීමක්ම නැත. මිදි වැලෙහි අමු ගෙඩි, ඇඹුල් පිටින්ම, මුහුණු පුළුටු කරමින් ගිල දමන්නේ අපය. අඹ ගසෙහි එලෙස ගෙඩි හට ගැනීමක් නැත. තනියෙන් පිහිටි නිසාදෝ, එය කොල අඹ ගසකි. අඹ ගස මුල වැලි ගොඩේ අපි කෝම්පිට්ටු සාදන්නෙමු.

 අවුරුදු දිනක රාත්‍රියේ, ආතා විශාල කවි චක්කර (බඹර චක්‍ර) අඹ ගසෙහි ඇණයකින් රඳවා දල්වයි. අඹ ගසෙහි අතු පතර විහිදී යන ලෙස දැල්වෙන මල් වෙඩි දෙස, අපි අයගම පාරට බැස බලා සිටියෙමු.

 අයගම ආතා උසය, හීන්දෑරිය. කුඩා කොණ්ඩ පොඩිත්තක් හිස පිටුපසට කර බඳී. එය කරුංකා ගෙඩියක් තරමය. කොටු කොටු සරමක් හැඳ මහත හම් පටියක් බඳී. අත් දිග මේස් බැණියමක් හැඳ, උරහිසට සාළුවක්ද දමා ගනී. පටියේ පොකැට්ටුවක මාරු සල්ලි ඇත. සෙරෙප්පු භාවිතය අඩුය. ආතාට අයගම නගරයේ කඩ පේලියක්ම විය. හෙතෙම කඩ කෑම හැදීමේ රුසියෙකි. 1987 වසරේ අයගම කඩපෙල ගිණි ගැනීමෙන් පසුව, ආතා කඩ පෙල මාමලාට පැවරීය. එතුමා සවස් යාමයේ ඇලඩින් ලාම්පුවක් දල්වාගෙන, බොතල් අඩි කණ්ණාඩි දෙකක් දමාගෙන හාන්සි පුටුවේ දිගාවී මහ හඬින් දිනපතා පත්‍රය කියවයි. ආතා පත්‍රය කියවන්නේ පිරිත් සඡ්ඡායනා කරන්නා වැනු වූ ස්වරයකි. එය අපට නොවැටහුණත්, තාලයට වශීවී අප අසලට වී අසා සිටින්නෙමු. නිවසේ පිරිවර වැඩි දවසක, පැට්‍රෝල්මැක්ස් ලාම්පුවක් දැල්වේ. ආතා ඇණ තබාගෙන ලාම්පුවට 'පියොක් පියොක්' හඬින් හුලං ගසා දල්වනු අපි වට වී බලා සිටියෙමු.

අයගම ආතා

 ආතාට නොහැකි වැඩක් නැත. වතුවල රබර් කිරි කපාගෙන ආ විට, ඒවාට ඇසිඩ් දමා, පෙණ ඉවත් කර, රොටි හදා වියලන්නේ ආතාය. නිවසේ වේවැල් පුටුවක වේවැල් කැඩුණු විට, ඒවා වියන්නේ ආතාය. පොල් තෙල් සිඳින්නේ ද ඔහුය. පොල් තෙල් සිඳ ඉතුරු වන මණ්ඩි වලින් 'තෙල්කා බුල්ටෝ' සාදා අපට දෙන්නේද ඔහුය. විටෙක කුරුඳු ලී ගෙන කුරුඳු තලයි. කුරුඳු කුඩු, සඳුන් කුඩු හා මුසු කර අතින්ම අඹරා බුදු පුදට සඳුන් කූරු තනයි. මහත්මා ගාන්ධි තුමා සිහි වෙයි.

 ආච්චි ආතාට වඩා වෙනස්ම චරිතයකි. තිස්සේම කුමක් හෝ උයමින් සිටින්නට කැමතිය. අපේ අම්මාද එසේමය. අපි කොතරම් කෑවත් මදිය. නොකෑවොත් තරහත් වෙයි. නිතරම කුටු කුටුවෙන් කතාවය. අපේ නිවසට දුර කතර ගෙවා ඈ නිතර ආවාය. අත පය අවසඟ වන තුරුම ඒ පුරුද්ද අත් හැරියේ නැත.

 "අද උදේ අපේ - ආච්චි ආවා, ඇඹුල් කෙසෙල් ගෙඩි - ගොඩක් ගෙනාවා, ආච්චි ආවම - හරි සන්තෝසයි, ඇගේ කතන්දර - අහන්න ආසයි" මේ පැරණි කවිය, ආච්චි අම්මාටම ලියුවක් සේ මට අදටත් හැඟේ.

අයගම ආච්චි

 අයගම නිවස අවට අවුස්සා බලන්නට කුතුහලය දනවන බොහෝ දේ ඇත. පසෙක ගරාජයක ලොකු මාමාගේ ධාවනයෙන් තොර පරණ මොරිස් කාරයක් ඇත. හා හා පුරා 'කාර් උණ' වැළඳුනේ එහිය. රියදුරු අසුනේ වාඩි වී, කටින් ශබ්දය නඟමින් අපි රිය එලවන්නෙමු. දුවිහිලි කුණු වැකී තිබුණු එහි ඇති දහජරාව අපේ ඇඳුම් පුරා තැවරේ. කාරයට නුදුරුන් වූ මඩුවක ලට්ට ලොට්ට ගොඩ ගසා ඇත.ඊට එහායින් ආතා රබර් රොටී තලන දිය රෝල ඇත. එය කරකවන්නට ගියහොත් නම් බැණුමක් අනිවාර්යය. ඒ අසලම පොඩි මාමා විසින් නොසැලකිල්ලෙන් පවත්වාගෙන ගිය හයිඩ්‍රිල්ලා ගාලක් වැවුණු මාළු ටැංකියක සාරි ගප්පි සහ වෙල් ගප්පි සිටියහ. මාළු ටැංකි උණද මට බෝ වූයේ අයගමිනි. රබර් ශීට් දුම් ගන්වන ඉස්ටෝරුව, හේමපාල අයියලාගේ ගෙදර ඩයමන්ඩ් රෝල, දලං ආදී නොවටිනා මැණික් කැබලි ගොඩ ගැසූ පැරණි කණ්නාඩි මේසයක් අපේ සිත් ගත් දෑ අතර විය. දියසීරාව බහුල කඳු දෙකක නිමනයක පිහිටි නිසා, වැසිකාලය පුරාම වත්ත පාමුලින් බොරු උල්පත් මතුවේ. මේ උල්පත් ඉතා පිරිසිදු සෞම්‍ය දියෙන් යුක්තය. අපි මේ දිය උල්පත් පාදා, ගංගාවන් බවට හරවා ඒවායේ තරඟයට කඩදාසි බෝට්ටු යැව්වෙමු. ගඟ හරස් කර වේලි තැනුවෙමු. මේ දියසීරා බහුල එක් කන්දක බඩවැලක්ද විය. බඩවැලක් යනු, පිටතට නෑවිත්, පොළව අභ්‍යන්තරයෙන් ගලා යන ගංඟාය. ගලකට කණ තැබූ විට එලෙස දිය ගලා යන හඬ මනරම්ව ගීතයක් සේ ඇසේ.

 ඉන්දලවත්තට මුලින්ම රූපවාහිනියක් ගෙන ආවේද පොඩි මාමාය. 'ඩේට්‍රෝන්' අඟල් 14 කළු සුදු රූපවාහිනියක් වූ එය පණ ගැන්වූයේ කාර් බැටරියකිනි. අයගමට ජාතික රූපවාහිනිය පෙනෙන්නේ නැත. ස්වාධීන රූපවාහිනිය පමණක් පෙනේ. සැන්දෑවේ රූපවාහිනියෙන් කෝපි කඩේ, ප්‍රවෘත්ති ආදිය නැරඹීමට සෙනඟ පිරේ. ආච්චි තේ මේසයක් හැර ඔවුන්ට සංග්‍රහ කරයි. බාබන්ඩේසියා මල් පඳුරු විට කෙල වැසී පයට පොඩි වී වැනසී යයි. ආතාටත්, ආච්චීටත් තැකීමක් නොමැත.

 අයගම ගමනේ අනිවාර්ය අංගයක් වන්නේ නෑමට ගඟට යෑමයි. කඩේ මහප්පලාගේ නිවස අයිනෙන් ඇති දෙවැට දිගේ ගොස්, ගල්පඩි පෙලකින් පහලට බැස මිටියාවත ඇවිද යාමෙන් ගඟට ලඟා විය හැකිය. ගල් පඩිපෙලෙන් බසින විටම, ගඟේ 'හෝ හෝ' හඬ දුරට ඇසේ. ගඟට දිවෙන අඩි පාර, පැරණි රබර් ගස්, කජු ගස්, හොර ගස් පිරි වන රොදකින් සහ බෝවිටියා වැනි යටි වගාවකින්ද යුක්තය. ඒ කැලයේ කූඩැල්ලන් බහුලය.  කජු පුහුලම් පිටින් කජු ගෙඩි සහ හොර කුරුල්ලන්, රබර් ඇට, පඳුරු අතර සහ බිම වැටී ඇත. අපි රබර් ඇටද, රබර් ඇට පියලිද, පුහුලම්ද, කජුද, හොර කුරුල්ලන්ද ඇහිඳින්නෙමු. ඊලඟ වාරයට පාසල් යන විට, අත්වල අනිවාර්යයෙන්ම කජු කිරි පැල්ලම් ඇත.

ආච්චිලාගේ නිවස ඉදිරිපිට මැණිකේ අක්කා, ලොකු නංගී, මම සහ මල්ලී. 1984 දී පමණ.

 ගඟ අවට ගල් බහුලය. ඒවා මුවහ වී ඇඳුම් මාරු කිරීමටද, රෙදි වේලීමටද යොදා ගනී. ආතලාගේ ගේ කිට්ටුවෙන් ගලා බසින ගඟ සැඩ සහිතය. එබැවින් කුඩා අප නාන්නේ ඉවුරට අසලින් පමණි. මට පිහිනන්නට බැරිය. ගඟක් සහ ගංවතුර අසලම උපන් අම්මාට කිඳුරියෙක් මෙන් පිහිනීමට හැකිය. නෑමට වඩා අගනා දේ ගං ඉවුරේ කිරීමට ඇත. ඇඟිලි නිය මුල් ලෙලි යන තුරු දෑතින්ම පතල් කැණ, මාළුවන් අල්ලා එහි දැමීම ප්‍රධාන කාර්යයයි. බුලත් හපයන් වැනි කුඩා මසුන්ගේ සිට හුංගන්, ආරන් වැනි විශාල මසුන් දක්වා ඒ ගඟෙහි විසූහ. ඇතැම් දිනක, ජෑම් බෝතලයක දමා එම මාළුන් අපේ නිවස දක්වා ගෙන ආවත්, ගමන් මහන්සියට කැලතී මිය යාම නිසා ඒ පවුකාර වැඩය අත් හැර දැමීමට සිදු විය. ගං ඉවුරේ නිල්, දම්, රත්, කහ පැහැති නොවටිනා පළුදු මැනික් කැටත්, ඉල්ලම් ගලුත් බහුලය. පැයගනනක් දියෙහි දඟලා අපි නිවෙසට එන්නේ රතු වූ ඇස් සමඟ අධික කුසගින්නෙනි.

ආචිචිලාගේ නිවසේ ඉඳුල් කටගාන ලොකු නංගී

 ඉන්දලවත්ත ගමම අපගේ ඥාතීන්ය. උදෑසන ගෙදරින් පිටවූ විට, අප ගැන සොයා බලන්නට ඕනෑ තරම් පිරිස් සිටී. "පුතේ එන්න කහට එකක් බීල යන්න, දුවේ ආස්මී තියෙනව කනවද? , මේ කිතුල් හකුරු මුල ගෙදර යද්දි අරන් යන්න" ආදී ලෙස දකින් දකින නිවෙසින් ආරාධනා ගලා එයි. කැමති තැනකින් කා, නෑදෑ නිවසක සැතපී, පහුවෙනිදාට ආපහු ආතලාගේ ගෙදරට ගියත් ලොකු ප්‍රශ්නයක් නැත. 'අහවලාගේ දරුවෝ අපේ නිවසේ සිටිති' යනුවෙන් කල් ඇතිවම පණිවුඩයක් යැවේ.

 අවුරුදු නිවාඩුවෙන් පසු ආපසු එන විට අපි ආතාට, ආච්චීට සහ නෑයින්ට දණ ගසා වඳින්නෙමු. ඔවුන් අපගේ හිස අතගා රුපියල් දහයක්, විස්සක් වැනි සැලකිය යුතු මුදලක් අපේ අතෙහි මිට මොලවති. ගමෙහි සිට එනවිට හකුරු මුල්, රසකැවිලි, වෙසක් කූඩු බැඳීමට ඔට්ටපාලු, ඉල්ලම් ගල් සහ මැණික් කැට, පෙණ රොටී, හෝ මිරිස් ආදී අනේක දෑ ගමන් මළු වල ඇත. අයගමෙන් සමුගැනීම කුඩා අපට මහත් දුකකි.

 ඒ අයගම දැන් නැත. ආතාත්, ආච්චිත්, කඩේ මහප්පා හා ලොකු අම්මාත්, හේමපාල අයියලාගේ ගෙදර ලොකු අම්මාත්, කර්මානුරූපව මියපරලොව ගියහ. අපේ තාත්තාත්, හේමපාල අයියාත්, කඩේ අයියාත්, රුක්මන් අයියා සහ ලොකු මාමාත් මියපරලොව ගියේ අකලටය. ඔවුන්ගේ ආත්මයන්ට සැනසීම පතමි.

Comments

  1. මෙම කතාව කියවනවිට මගේ මතකයට නැගුනේ අපේ කුඩා අවදිය. අපේ මුත්තල. ආතල. ආත්තම්මල එක්ක හිටපු ඒ අතීතය.

    ReplyDelete
  2. Replies
    1. මල්ලි ඔයාගෙ මේ ලිපිය කියෙව්වහම අපේ සුන්දර අතීතය මතක් වෙනවා.මේ වගේ ලිපියක් ලිවීම ගැන හරිම සතුටුයි.ආයෙත් ඒ අතීතයට යන්න ඇත්නම්.....

      මම,
      කඩේ මහප්ගෙ පොඩි චූටි අක්කා.


      Delete
    2. අක්කා. ෆේස් බුක් හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

      Delete
  3. නියමයි.
    ලස්සනයි.
    ඒ කාලෙ කොතරම් සුන්දර ද

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ