මතක මාවත ඔස්සේ 01; ඇහැලියගොඩ
මගේ දෙමාපියන්ගේ විවාහයෙන් පසු, ඔවුන් මුල් වරට පදිංචි වී සිටියේ ඇහැළියගොඩය. ගුරු යුවලක් වූ ඔවුන් 1977 වසරේදී විවාහ වී එසේ පදිංචිව සිටියේ කුලී නිවෙස් වලය . අම්මා පරකඩුව පත්බේරිය නාරද විදුහලේත්, තාත්තා ඇහැලියගොඩ කනිශ්ඨ විද්‍යාලයේත් සේවය කලහ. මාත් මල්ලීත් උපත ලැබුවේ ඇහැලියගොඩදීය. මම උපත ලබා ඇත්තේ දෙමාපියන්ගේ පලමු විවාහ සංවත්සර දිනයේය. උපන් ස්ථානය 'ඇහැලියගොඩ' ලෙස සටහන් වීම, මට සුවිශේෂීය; ඒ සුවිශේෂී භාවය, ඇහැලියගොඩ, සබරගමුව දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්තානයක් වීම නිසා ඇති වූවකි. එම දුම්රිය මාර්ගයේ රත්නපුර - අවිස්සාවේල්ල දක්වා වූ කොටස 'අකුලාගෙන ගියේ' 1977-1978 දක්වා කාල පරිච්ඡේදයේදීය. එකල්හිද එහි දුම්රිය ඉඳහිට ධාවනය වූ බව අම්මා පවසයි. දුම්රිය මාර්ගය ගලවාගෙන ගිය විට, මහජනයා ඒ බිම් අත්පත් කරගත් ආකාරය පිලිඹඳ ඇය මගේ 'කෝච්චි පොතටද' කරුණු සැපයූවාය.
මම ඇහැළියගොඩ ජීවත් වූයේ උපතේ සිට වසර තුනක් දක්වා ඉතාම කෙටි කාලයකි. එනමුත්, ඒ කුඩා කාලයේදී පවා මගේ සිතේ ගැඹුරින්ම තැන්පත් වූ අවස්තා සහ සිද්ධි ගණනාවක් ඇත. ඊට අමතරව අම්මා කියන රසකතා, බය හිතෙන සහ දුකහිතෙන කතා ද එමට ඇත.
ඔවුන් ඇහැළියගොඩ කුලී නිවෙස්න ගනනාවකම පදිංචිව සිට ඇත. එක් කුලී නිවසක විසුවෝ වැන්දඹු කාන්තාවක් සහ ඇගේ දරුවන්ය. ඒ නිවසට අම්මා සහ තාත්තා පදිංචිට ගිය පලමු දින රෑම, ගෙහිමි කාන්තාවගේ මිය ගිය ස්වාමි පුරුෂයා සිහිනෙන් විත් තාත්තාගේ ගෙල මිරිකීලු. පහුවෙනිදාම ඔවුන් ඒ නිවස හැර ගියේලු. එසේ නිවෙසින් නිවසට පදිංචිව ගොස්, අවසාන වතාවට ඔවුන් පදිංචිව සිට ඇත්තේ ඇහැළියගොඩ දෙහිඕවිට පාරේ නිවසකය. ඒ නිවසේ ඉදිරිපස ලැටිස් ගැසූ බරාඳයක් සහ, නිවස මැද්දෙන් පහලට බහින පඩිපෙලක් වූ බව පමණක් මට මතක ඇත. කුඩා මම ඇඟිලි වලින් ඉස්සී පාරේ යන වුන් දෙස බලා සිටින්නේලු. එක් දිනක් උදැල්ලක් කරේ තබාගෙන, අමුඩයක් ගසාගෙන පාරේ ගිය ගොවියෙක් දැක "හූ හූ, කක්ක පැත්ත පේනෝ, හූ හූ" යනුවෙන් හඬ තැලීලු!"
අප සිටි නිවස, ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයත්, මුස්ලිම් විද්‍යාලයත් වැට මායිම ඉදිරියෙන් පාරේ අනිත්පස පිහිටා තිබී ඇත. නිවස අසලම මුස්ලිම් පවුලක් පදිංචිව සිටියේ දෙමහල් නිවසකය. ඊට අමතරව නිවසට මුහුණලා ද මුස්ලිම් වරුන්ගේ නිවසක් තිබී ඇත. එහි ගෙහිමි කාන්තාව දිනපතා උදයේ අම්මා බැලීමට එන්නේ අම්මාගේ මුහුණ දුටුවිට 'දවස හරියනවා යයි' සලකාගෙනලු. මල්ලීට අමතරව මගේ කුඩා කල මුල්ම මිතුරන් වූයේ මේ මුස්ලිම් ලමුන්ය. අංජු, මංජු සංජු ආදී නම් වලින් යුත් දරුවන් තිදෙනෙකු සිටි බව මතක මුත් ඔවුන්ගේ නිශ්චිත නම් මතක නැත. ඔවුන්ගේ නිවසේ හා පැටවුන් සිටි බවත් මතක අතර, වටලප්පන් රැගෙන අප බලන්නට ආ බවත් පැවසේ. නිවසට පිටු පසින් ගලා ගිය ඇලක් අයිනට හා පැටවුන් සමඟ සෙල්ලම් කිරීමට ගිය ආකාරයද මගේ මතකයේ යාන්තමින් ඇත. අප නිවසට ඉදිරියෙන් ඇති පාරක දසසිල් මාතා ආරාමයක් විය. මම අම්මා සමඟ එහි නිතරම ගිය බවත්, ලොකු මෑණියන් ආදරයෙන් මගේ හිස පිරිමැදි බවත් මගේ මතකයේ ඇත.
නගරයට ඉතාම ආසන්න නිසා විදුලිබලය ආදී පහසුකම් වලින් යුක්තව තිබූ මේ නිවස ඉදිරියෙන් යන පාර ඒ දින වලද කාර්ය බහුලය. අම්මාගේත් තාත්තාගේත් මහ ගෙවල් වලින් දුර බැහැර ඇහැලියගොඩම පදිංචි වීමට හේතුව, තාත්තා බාහිර උපාධියක වැඩකටයුතු සඳහා සති අන්තයේ කොලඹ බලා යෑමයි.
ඒ පාරේ එක් දිනක් ට්‍රැක්ටර් ටේලරයක බල්බ් වැල් එල්ලා ගත් පෙරහැරක් ගමන් කල බව මතකය. රාත්‍රී කාලයේ ගමන් කල අයිස් ක්‍රීම් වෑන් වලින් අයිස් ක්‍රීම් ඉල්ලා හැඬූ බවද මතකය. පාරේ ඉහලට යන අයිස්ක්‍රීම් වෑනයකින් එක් වරක් අයිස් ක්‍රීම් ලබා ගත් පසු , පහලටහ එන විටද අයිස්ක්‍රීම් ඉල්ලා මොර දෙන නිසා අම්මා ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ උපරිමයටම වැඩි කරයි. ඒත් අයිස් ක්‍රීම් වෑනයේ විදුලි උත්පාදකයෙන් නැගෙන 'ඩක ඩකය' ඒ හඬින් යටපත් වන්නේ නැත.
පසු කාලීනව නිහඬ චරිතයක් ලෙස සැලකුණත්, කුඩා කල මම දඟ මල්ලක් බව අම්මා කියයි. අපේ පවුලේ සහෝදර සහෝදරියන් සැම දෙනාම පාවිච්චි කල 'කොට් එක' නොහොත් තොටිල්ල මුලින්ම පාවිච්චි කල මම, එහි එහෙටත් මෙහෙටත් යමින් බටර් තැවරූ පාන් ලැබෙන තුරු බලා සිට ඇත. එක් වරක් එහි වූ කොට්ට ගොඩත් පෙරලාගෙන,නිවසේ මැද පඩිපෙල පහලට 'කොණ්ඩරියක්' ගසා ඇත. වාසනාවට මට අනතුරක් සිදුව නැත. තවත් වරක් අම්මා සේවය කල පත්බේරිය නාරද විදුහලේ ආපන ශාලාවේ අඩවන් කර තිබූ දොරලෑල්ලක් පෙරලා දමා ඇත.
කුඩා කලම දෙමාපියන් මා වෙනුවෙන් රෝද තුනේ ට්‍රයිසිකයක් මිලදී ගත්තේය. ඒ වන විට මල්ලීද සිටි බැවින්, ට්‍රයිසිකලය අසුන් දෙකකින් යුක්ත රතු පැහැති එකකි. අම්මා සහ තාත්තා නිවසේ මිදුල පිරිසිදු කර උගුල්ලන තණකොල සහ රොඩු බොඩු පසුපස අසුනේ පුරවාගෙන ගිය ආකාරයද මට තවම සිහි කල හැකිය. එන බයිසිකලය, කරමුලින් කිහිප වරක් කැඩී නැවත පාස්සා අළුත්වැඩියා කල නොහැකි තරමටම අබලන් වන තුරු අපේ ඊලඟ නිවසේද මගේ ආදරණීය වස්තුවක් විය.
මම සහ මගේ බයිසිකලය, ඇහැලියගොඩදී.
ඇහැළියගොඩ පිළිඹඳ මගේ මතකය එපමණකි. වයස අවුරුදු තුනක් පමණ දක්වා වන සිදුවීම පෙලක්, මේ තරමින් හෝ මතකයේ පැවතීම එක්තරා අන්දමකට පුදුම සහගතය. 1981 වසරේදී අප නගරයේ සියළු සැප සම්පත් හැරදමා තරමක් දුශ්කර පලාතක් වූ ගොඩකවෙලට නුදුරු බිබිලේගම මහා විද්‍යාලයේ ගුරු නිවාසයට සංක්‍රමණය වූයෙමු. ශිෂ්‍ය ගුරු යුවලක් වූ මගේ දෙමාපියන්ගේ එකල සුළු වැටුපෙන් ගෙවල් කුලීද ගෙවමින් ජීවත් වීමට අසීරු නිසාත්, දෙදෙනාගේම ගම් පලාත් වලින් බෝහෝ දුර නිසාත්, කුඩා අපව බලා කියා ගැනීමේ ප්‍රශ්ණ පැවති නිසාත් එසේ ඇහැලියගොඩ හැරදා යාමට සිදු වී ඇත. 1981 වසරේදී අත් හැරුණු විදුලිය නැවත අපට ලැබුනේ 1998 වසරේදීය. ඇහැලියගොඩ සිට බිබිලේගමට යාමට බඩු මුට්ටු අසුරණ විට, අම්මාගේ රෙදි අල්මාරියට උඩින් පැන, එහි වීදුරුව බිඳ දැමීමට මම අවසාන වරට සමත් වූයෙමි. එලෙස බිඳී ගිය වීදුරුව සහිත අල්මාරිය මෑතකදී වීදුරුව වෙනස් කරන තුරුම එසේම පැවතියේය.
ඇහැලියගොඩ, මතක ගොන්නක් නොවූවත්, මීලඟට බිබීලේගම පිලිඹඳ මතකාවර්ජනයට මෙම මුල පිරීම අත්‍යාවශ්‍ය
නිසාය, මේ කුඩා සටහන තබනුයේ.
ප.ලි: ජීවිතයත්, තාක්ශනයත් දෙකම පුදුමාකාරය. වත්පොතෙහි මෙම සටහන පල කර දිනක් ගෙවීමටත් මත්තෙන් මා කුඩා කල සිටි ඒ නිවස අයිති මහතාට කතා කිරීමටත්, හිතවත් කම් අළුත් කර ගැනීමටත් වාසනාවන්ත වීමි. මා මුලින් පල කල චායාරූපය සදොස් බවත්, නිවස පිහිටියේ ඊට තරමක් දුරින් බවත්, එතුමා පැහැදිලි කලේය. ඒ නිවස කඩා දමන්නට පෙර ගත් සේයාරුවක් එවීමටද කාරුණික විය.ඒ මහතාගේ නව මෝටර් රතයේ මාත්, මල්ලීත් තාත්තාත් 'රවුමක්' කැඳවාගෙන ගිය ආකාරය එතුමා සොම්නසින් සිහි කලේය. ඒ ගමන සිදුව ඇත්තේ තාත්තාගේ ඉල්ලීම පිටය. වාහනයේදී මගේ මුහුණේ පිපුණු සිනහ මල් එතුමාට මතකය. මගේ රථගායේ මුල එතැන වන්නටද පුලුවන. තාත්තාටත්, කුමාරගේ මහතාටත් පින්!
Comments
Post a Comment