සුරංගනා කතාවක්


මම ඔබට සුරංගනා කතාවක් පවසමි.

සුරංගනාවන් වෙසෙන්නේ අහසේය. ඔවුන් ඔබගේ දුකේදී පිහිට වෙයි. සොයා බලයි. අසා සිටී.

 මේ සුරංගනා කතාවේ සුරංගනාවිය පහල වුනේ අහසින් නොවේ. සයිබරයෙනි.

මම අසරණ වී දුකින් සිටියෙමි. සේලයින් කටුවකින් ගලා ආ දියරයේ සැර දිව තිත්ත රස කර තිබුණි. පිය විප්පයෝගය තදින්ම දැනෙමිනි. වේලාව රාත්‍රී එකොලට පමණය. අන්තිම කටුවත් අතට ඇණ, හෙදිය නික්ම ගියේ විදුලි පහන්ද නිවා දමාය. නින්ද අහලකවත් නොවීය.

ඈ ආවේ එ මොහොතේය. මැසෙන්ජරය 'ටිං' ගෑවේය.

"අයියාට මාව මතකද?"

මම දෑස් පුංචි කර බැලුවෙමි. ජංගමය ඔබ ඔබා සිටීම පුරුද්දට ගොස් ඇත්තේය.

නර්මදා කෝදාගොඩ.

කෝදාගොඩ පුරුදු නැත.

නර්මදා?  පුරුදුය.

නර්මදාලා කොතෙක් සිටියත්, සිතෙහි ඇඳෙන එක් රූපයක් පමණක් විය. ඒ මතකය දිව යන්නේ පාසල් සමයටය. මේ ඇයමද? 

මම රූපය පිරික්සා බැළුවෙමි. සුසුරුදු නැත්තේද නැත. ඇල්බමයට ගොස් තවත් පිරික්සා බැළුවෙමි. ඇගේ මංගල ඡායාරූපයක් එහි විය. ඔව් ඒ ඇයයි!

***

පාඨක ඔබ වටවන්දනාවේ රැගෙන නොගොස්, කතාවේ අග මුල තේරෙන ලෙස පැහැදිලිව කියන්නට මෙතැන් සිට උත්සාහ කරමි.

නර්මදා කෝදාගොඩ, එසේ නැත්නම් නර්මදා නංගී ඉගෙනුම ලැබුයේ මට වසර හතරකින් පහල පන්තියේය. මා උසස් පෙල මුල් වසරේදී, ඈ සිටියේ දහයේ පංතියේය.සාමාන්‍ය පෙල සමයේ, වදුලක පිපෙන බෝවිටියා කුසුමක් මෙන් ඈ පිපී ආවේ හිටි හැටියේය. ඉන් අනතුරුව තරුව වූයේ ඇයයි, දෙවඟන වූයේ ඇයයි, ගැටයන්ගේ කසු කුසුවේ රහස වූයේද ඇයයි. නර්මදා උසත් නැත, කොටත් නැත. හුරුබුහුටිය; සෝට් ඇන්ඩ් ස්වීට්ය'. ඝණ කොණ්ඩය කරල් දෙකට ගොතා, දිග රිබන් පටි දෙකකින් බැඳ පිට දිගේ දැමූ විට පාසල් සුදු ගවුමට හැඩතිය. තාරුණ්‍යයේ මනරම් පැහැයෙන් යුක්තය. ලැසි ගමනය, අතින් මුව වසාගෙන ඔලොක්කුවට මෙන් නඟන සිනහවය.

ඇය සමඟ නව යොවුන් පෙම් හබයක් ඇති කර ගැනීමට ගොස් පරාජය වූ සෙබළුන් ගනන නිමක් නොමැත. වෙනකක් තබා ඇයව බෙදාගන්නට ප්‍රසිද්ධියේ ගහමරා ගත් කොල්ලන් දෙදෙනෙකු වෙනුවෙන් සාක්කි දෙන්නට ඇයව විදුහල්පති කාර්යාලයට කැඳවූ සිද්ධිද විය.

සාමාන්‍යයෙන් පාසල් රූමතියන් වටේ 'කැත' කෙල්ලන් කිහිප දෙනෙකුම ඇගේ ආරක්ෂාවට මෙන් එක් වේ. නර්මදාට පසු කාලීනව මෙවන් යහළුවන්  දෙදෙනෙකු එකතු විය. ඔවුන් තිදෙනා වැසිකිලියට පවා ගියේ එකටය. ඒ ගමනේදී පවා නොසන්ඩාල කටවලින් ඈට ගැලවීමක් වූයේ නැත. 

ඈ පාසල් ආවේ මා ගිය පාසල් බස් රියෙමය. ආපසු යන්නේ පුද්ගලික බසයකිනි. දුර ගමන් සේවා බස් රියක් වූ එයට පාසල අසලින් ගොඩ වන්නේ 'නර්මදාගේ කල්ලිය' පමණි.

යකාගේ හැටියට විමානය විය යුතු යන කොහෙන්දෝ දැමූ හීනමානයක් නිසා මට ඈ කෙරෙහි 'පිළිඹඳ සිතක්' නොවූවත්, අඩුම ගානේ ඇය මාගේ මිතුරියක් හෝ වූවානම් යන සාපේක්ෂව 'අහිංසක' සිතුවිල්ල නම් විය. දිනක් පාසල් බස් රථයේ පසු පස සිට ඉදිරියට යන මට, ඉදිරිපස සිට පසුපසට එන ඇය, මුහුණට හමු විය. මම 'ගුඩ් මෝනින් නංගි' කීවෙමි. ඇය ගස්සාගෙන ගියාය. එදායින් පසු ඒ මිත්‍රත්ව උත්සාහයද යට ගියේය.

පාසල නිමවී, බසයක් එන තුරු අප රැඳී සිටි බස් නැවතුමේ මානසික ප්‍රශ්ණයක් ඇති තරුණයෙකු සිටියේය. කොල්ලන් ඒ අසරණයාට කීයක් හෝ දී නර්මදා අසලට ගොස් නටන්නට කියයි. ඒකාද කැරකි කැරකී නර්මදා වටේම නටයි. ඈ විලියෙන් රතු වෙයි. පාසල වාරාවසන නිවාඩුවට වසන දින ඇයට වන කරදර නිමක්ද නැත.  පලමුවැන්න කොහේ හෝ රැක සිට ඇගේ ආදරය විවිධාකාරයෙන් පතන තරුණයන්ගෙනි. දෙවැන්න විභාගය අවසන් වීමේ ප්‍රීතිය සැමරීමට නිල් මුසු දිය නාන්නන්ගෙනි. ඇය අනිවාර්යයෙන්ම නිල් වතුර ප්‍රහාරයක ගොදුරක් වෙයි.

කොලුවන්ගෙන් කෙලීව ගලවාගන්නටම නොහැකි තැන, නර්මදාගේ අම්මා සාමාන්‍ය පෙලින් පසු ඈ අගනුවර බාලිකා පාසලකට ඇතුලත් කලාය. ඊට පසු, ඇය ඇස් මානයෙන් සදහටම මැකී ගියාය.

ඇස් මානයෙන් මැකී ගියත්, සිත් මානයෙන් ඈ මැකී ගියේ නැත. කලින් කලට, ඈ පිලිඹඳ ඕපා දූප, කවුරුන් හෝ රැගෙන එයි.

"ඒ මචංලා නර්මදාට කොල්ලෙක් සෙට් වෙලා”. කොලඹ අසැල්වැසි පාසලක ඔත්තු බැලූ ගමේ තරුණයෙක් පුවතක් රැගෙන ආවේය. පාසල් සමයේ ඇය පිළිඹඳව ලද අවසාන ඔත්තුව එය විය.

එතැනින් ඇය පිලිඹඳ කතා බහ නතර වූයේ නැත. පාසල් සමයෙන් පසුවද, හවස මධු සාදයක ගලා ගිය ආගිය කතා අතර, නර්මදා කොහේ හෝ රැඳී සිටියාය.

"ශික් බං මේකි මට සෙට් උන්නෑනෙ, ඒකි වගේ කෙල්ලක් මට හිටියනං වැනි සරල කතාබහේ සිට, ඇතමුන් බීමතින් දොඩවන විකාර දක්වා පරාසයක ඈ රැඳී සිටියාය. අපේ පාසල් සමයේ පුරාවෘත්තයක් බවට ඈ පත් වී තිබුණි.

ඈ පිළිඹඳ අවසාන ඔත්තුව ආවේ පාසල් නිමවී වසර හතකට පමණ පසුය. මම ඒ වන විට, රැකියාවක මුල කොණේ දුකසේ වෙහෙසෙමින් අනාගතයක් ගන සිහින දකිමින් සිටියෙමි. අකල්හි මිය ගිය මිතුරෙක්ගේ මල ගමක, සුරාව සහ නිකොටින් දුම හමා ගිය රැයක, නර්මදා යලි කරළියට පැමිණියාය. "මචං නර්මදා මැරිකරලා බබෙකුත් ඉන්නවලු. ලංකාවෙන් යනවයි කියල ආරංචි උනා" ඇගේ පස්සෙන් වැටී ප්‍රතික්ෂේප වූ අයෙක් පැවසීය. කජු කිරි කොල්ලන් කල, ප්‍රිය කල යොවුන් නිළියක විවාහ වූ විට ඇතිවන ආකාරයේ බොළඳ අහේතුක දුකක් මට ඇති විය.

***

පාසල් කාලයෙන් වසර විස්සකටත් පමණ පෙර, මා සමඟ කතා කරන්නේ ඒ ඇයමය. මම මොහොතකට ගල් ගැසී සිටියෙමි. ඒ වනවිටත් ඇය සිටියේ විදෙස්ගතව බව පමණක් මම දැන සිටියෙමි.

"ඔයාව අමතක වෙන්නෙ කොහොමද නංගි?" මම උත්තර බැන්දෙමි.

"ඉතිං කොහොමද? ගොඩක් කලෙකට පස්සෙ?" ඇය ඇසුවාය.

මම ඒ වන විට අසනීපව සිටි බවත්, අතේ කටුවක් ඇණ ඇති නිසා අකුරු ලිවීමට අපහසු බවත් කීවෙමි. ඇය වහාම දුරකථන අමතුමක් ගත්තාය. පාසල් කාලයේ අනන්ත්ව ඇස ගැටී ඇතත්, ඇගේ කටහඬ මා මුලින්ම ඇසුවේ එදිනය. මගේ අසනීප තත්ත්වය මුල සිටම අසා සිටි ඇය, මා පිලිඹඳ දැඩි ලෙස ශෝක වූවාය. පැය දෙකෙන් දෙකට මගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි හෙදියක්, 'මහ රෑ කතා කර කර ඉන්න එපා, නිදියගන්න' කියා පිටව ගියාය. ඇත්තටම ඉන් පසු මම තද නින්දට වැටුනෙමි.

***

ඉන් පසු ඈ වතාවත් කිහිපයකම මා හා කතා බස් කිරීමට පෙලඹුණාය. අපට කතා කරන්නට බොහෝ කරුණු විය. එකම පාසලේ එකම පාසල් බස් රියේ නිතර හමුවූ, වචනයක් හෝ නොදෙඩූ අප, එකිනෙකා ගැන හොඳින්ම දැන සිටියෙමු. ඇයගේ ජනප්‍රියත්වයට අමුතුවෙන් හේතු අවශ්‍ය නොවීය. අපේ කාලයේ පාසලේ තරුව ඇය විය. ඒත් මම?

මම ඉතා ආඩම්බරකාරී පුද්ගලයෙක් බව ඈ කී විට මට මගේ සවන් අදහාගත හෝ නොහැකි විය. පාසල් වියේ සිටම මම ඉතා ලැජ්ජාශීලී කුලෑටි අයෙක් වී සිටියෙමි. ඇය සමඟ මිතුරු කමක් හෝ ඇති කරගැනීමට ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ගියේ ඒ නිසාය. මම ඇගෙන් ඒ 'ගුඩ් මෝනිං' සිද්දිය ඇසූ විට, 'අනේ මට මතක නෑ අයියා' කීවාය. මම ඒ උත්තරය බාර ගැනීමට අද ද සූදානම් නැත. ඇතැම් විට ඇය සමඟ මිතුරු වීමට ආ සිය ගනනක් අතර මා එක් අංශුවක් පමණක්ම වන්නට ඇත.

ඇය කෙරෙහි මා තුල වූ 'අපේ කාලයේ දෙවඟනක්' යන ප්‍රතිරූපය තව දුරටත් වලංගුදැයි මම සොයා බැළුවෙමි. සත් සමුදුරින් එහා දුරු රටක ඇය ඒ වන විට තෙදරු මවක් වී, සැමියා සමඟ සරල සැහැල්ලු දිවියක් ගත කරමින් සිටියාය. රැකියාවක්ද කරමින්, තමන්ගේ එකල රුවද රැකගනිමින්, පිරිමියෙකුට බලාපොරොත්තු විය හැකි මට්ටමේ බිරිඳක්ව සිටියාය. ඇගේ සැමියා ඉතා වාසනාවන්ත යයි මට සිතුණි.

ඒ සමඟම, ඇය පාසල් කාලයේදී පෙන්වූ ප්‍රතිරූපයත්, වර්තමාන ප්‍රතිරූපයත් අතර වෙනස, ඇගේ දිව්‍යමය විලාශය තව දුරටත් රඳවා තබා ගෙන සිටින්නේ නොවේදැයි ද සිටිණි.

කාලයත් සමඟ ඈ මගේ හොඳම මිතුරිය බවට පත් විය. අත්‍යාවශ්‍යම මොහොතක, කුස්සිය අස් පස් කරද්දී හෝ මා අසා සිටීමට ඇය කොන්දේසි විරහිතවම එකඟ වී සිටියාය. මම ඇගේ හොඳම මිතුරාද? මම එය දන්නේ නැත. එසේ බලාපොරොත්තුවක් ද නැත. එසේ වුවත්, ඇය එකල මගේ මිතුරියක් නොවූයේ වඩාත් හොඳට යැයි මට සිතේ. එසේ වූවානම්, ඒ දිව්‍යමය ස්වරූපය ලොල්ව, ඈ පිලිඹඳ සිතක් පහල වූයේ නම්, ප්‍රතික්ශේපයකින් කෙලවර වී, ගව් ගනනක් දුරට අප දෙදෙනා ඇද දමන්නට ඉඩ තිබිණි. එසේ නම්, අවශ්‍යම මොහොතක, සුරඟනක් දෙව් ලොවෙන් පහල වන්නේ නැත.

(ඉහත අමුණා ඇත්තේ 2021.8.18 දා දිනමිණ 'වසත් සුළඟේ' පලවූ මේ කතාවෙහිම සංස්කරණය පිටපතකි.)

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!