ඇෆ්ගන් කතා 17: කාබුල්; ඉතිහාසයෙන් වත්මනට

 කාබුල්, ඇෆ්ගනිස්තානයේ විශාලතම නුවර මෙන්ම එහි අග නුවරයි. ලොව 75 වන විශාලතම නුවර වන එහි මිලියන 4.6 ක ජනගහනයක් වාසය කරයි. මිලියනකට වඩා ජනගහනයක් වාසය කරන ඇෆ්ගනිස්තානයේ එකම නුවරද කාබුල් ය. කාබුල් නුවර පිහිටා ඇත්තේ හින්දුකුෂ් කඳු වැටියේ එක පටු දිගටි නිම්නයකය. එහි මුහුදු මට්ටමේ සිට උස මීටර් 1,790කි. එබැවින් කාබුල් ලොව උසින්ම පිහිටි අගනුවරවල් වලින් එකකි. 

කාබුල්, දීර්ඝ ඉතිහාසයක් සහිත නුවරකි. එහි වයස අවුරුදු 3,500 ක් පමණ වන අතර, පලවෙනි පර්සියානු අධිරාජ්‍යට නෑකම් කියයි. ඉන් පසුව එය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ පාලනයට යටත් විය. ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු සෙලුසිඩ් ජෙනරාල් වරයා යටතේ එය සෙලූසිඩ්  කොටසක් බවට පත් වූයේ, කිතු උපතට වසර 305 කට පෙරය. පසුව එය මෞර්ය අධිරාජ්‍යයේ කොටසක් බවටද පත් විය.


බාබුර් උයන. (අන්තර්ජාලයෙනි)

කිතු උපතට සියවස් දෙකකට පමණ පෙර කාබුල් නුවර ඉන්දු ග්‍රීක අධිරාජ්‍යයේද කොටසක් විය. බුදු දහම, ප්‍රමුඛ ධර්මය ලෙස ඇෆ්ගනිස්තානය පුරා පැතිර ගියේ ඒ අවධියේය. මෙකල ලක්දිව පාලකයා දුටුගැමුණු රජතුමාය. කිතු උපතෙන් වසර 45කට පමණ පසු, කාබුල් නුවර හා ඇෆ්ගනිස්තානය කුශාන් අධිරාජ්‍යය විසින් යටත් කර ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ 230 දී පමණ සසනිද් අධිරාජ්‍යය විසින් ඇෆ්ගනිස්තානය යටත් කර ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 460 දී පමණ ඇෆ්ගනිස්තානය තුර්ක් ශහි අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. මේ සමයේ නුවර ආරක්ෂාව සඳහා ගොඩනැගුණු ප්‍රාකාර අදද දක්නට ලැබේ.



දරුල් අම්මාන් මාලිගය, සෝවියට් සමයේ සහ යුධ විනාශයට පසුව වර්තමානයේ (අන්තර්ජාලයෙනි)

 කාබුල් නුවර ඉස්ලාම් වරුන්ගේ ආක්‍රමණයන්ට මුල්ම වරට ලක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 642 දී පමණය. මුල් ආක්‍රමණයන්හිදී ඉතාම සුළු පිරිසක් ඉස්ලාම් ආගමට හැරවීමට ආක්‍රමණිකයෝ සමත් වූහ. ඉස්ලාම්වරුන් සුළුතර ජනකොටසක් ලෙස පැවති අතර, වසර 870 දී යාකිබ් බින් ලයිතස්සෆාර් විසින් මුල්ම ඉස්ලාම් අධිරාජ්‍ය පිහිටුවීම සමඟ තත්ත්වය වෙනස් විය. මුලින්ම පාලකයෝ ඉස්ලාම් වරුන් වූ අතර කෙමෙන් පාලිතයෝද ඒ දහම වැලඳ ගන්නට පෙලඹුණි. 13 වන ශතවර්ෂයේදී මොන්ගල්වරුන්ගේ ආක්‍රමණය, නගරය විශාල විනාශයකට බඳුන් කිරීමට සමත් විය. ජෙන්ගිස් ඛාන් අධිරාජ්‍යයාගේ පුත්‍රයා බාමියන්හිදී ඝාතනය වීමෙන් පසුව, එහි බහුලව විසූ බොදුනුවන් සමූලඝාතනය වූ බව පැවසේ. බොහෝ ඇෆ්ගනිස්තානුවන් මෙකල ඉන්දියාව දක්වා සංක්‍රමණය විය. අධිරාජ්‍යයාගේ දැනට බාමියන්හි වෙසෙන හසාරා වරුන්, ජෙන්ගීස් ඛාන්ගෙන් පැවතෙන්නන් ලෙස සැලකේ. වසර 1400 පමණ විට, කාබුල් අන්තර්ජාතික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයකි, පුරාණ සේද මාවතේද කේන්ද්‍රස්ථානයකි. කාබුල් නුවර සහ ඇෆ්ගනිස්තානය වසර 200ක් පමණ මෝගල් අධිරාජ්‍යයේ පාලනයට නතු වී තිබුණි. මින්ට්, රත්‍රරන් සහ රිදී කාසි ආදිය එකල බහුල වශයෙන් කාබුල්හි නිපැයුණි. සුප්‍රසිද්ධ ශා ජහාන් රජු බල්ක් හා බදක්ෂාණය ආක්‍රමණය කලේද, කාබුල් මූලස්තානය වශයෙන් පිහිටුවාගෙනය. මෝගල් වරුන්ගේ විවේක නුවරක්ද ලෙස සැලකුණු කාබුල්හි ඔවුන් ඉඳිකර උයන් ආදිය කිසිවක් මේ වන විට ඉතිරි වී නොමැත. අවසන් මෝගල් අධිරාජයෝ කාබුල් නොසලකා හැරියහ. 

ඇෆ්ගානි අධිරාජ්‍යයේ අගනුවර ලෙස 1774 දක්වා සැලකුණු කාබුල්, ඇෆ්ගනිස්තානයේ අගනුවර වන්නේ 1776 වසරේ, ටිමූර් ශාහ් දුරානි රජතුමාගේ කාල වකවානුවේදීය.

19 වන සියවස මුල් කාලයේදී, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කාබුල් හි රැඳී සිටි අතර, විදේශ සබඳතා ප්‍රතිපත්ති මත, බ්‍රිතාන්‍ය හමුදා ඉන් ඉවත් විය. 1979 දී සොවියට් හමුදා එහි බලය තහවුරු කර ගත් අතර, 1988 දී ජිනීවා සම්මුතිය අනුව ඔවුන්ටද ඉවත් වීමට සිදු විය. 1990 සිට ඇතිවූ සිවිල් යුද්ධය නිසා සුන්දර කාබුල් නුවර මුළුමනින්ම පාහේ විනාශ වී ගිය අතර, 2001 වසරේ සිට එය තවමත් එහි පුරාණ ශ්‍රී විභූතිය අත් පත් කර නොගත්, බිඳ වැටුනු බොහෝ දුරට නටබුන් නගරයකි.

කාබුල් නුවර එහි උද්‍යාන, කඩ වීදි සහ මාලිගා සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. බාබුර් උයන සහ දරුල් අම්මාන් මාලිගය, එලෙස සුප්‍රසිද්ධ ස්තාන දෙකකි. කාබුල් හි අලංකාර මුස්ලිම් සිද්ධස්තානද බහුලය. කලකට පෙර එහි 'බටහිර හිපියන්ගේ මක්කම' ලෙසද සැලකුණි. 2012 වසරේ, ලොව වේගයෙන්ම වැඩෙන නගර අතර පස් වන ස්තානයේ පසු වූයේ කාබුල් නුවරයි. 

කාබුල් නුවරට මා පා තබන දින වලදී, මේ අතීත ශ්‍රී විභූතියේ අවසන් සලකුණු හෝ දක්නට ලැබුනේ නැත. සියළුම ගොඩනැගිලි වටා ආරක්ෂක 'ටී බිත්ති' (T Walls) එසවී තිබුණි. ඇතම් නව උද්‍යාන, කලාගාර , නටබුන්, පුරා විද්‍යා ස්මාරක සහ අනෙකුත් විශේෂිත වූ ස්ථාන විදේශිකයන්ට විවෘතව ඇතත්, ඒවා නැරඹීමට යාම ඉතාමත් අවදානම් සහිතය. වෙනකක් තබා, සත්වෝද්‍යානයේ ගේට්ටුව අසල පවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වේ.

 කාබුල් නුවර ක්‍රියාත්මක ත්‍රස්ත කල්ලි ගනනාවකි. තලේබාන් වරුන් ඉන් ප්‍රධානය. (මේ ලිපිය ලියවෙන 2021 වසර වන විට, ඔවුන් බොහෝ දුරට ප්‍රජාත්‍රන්තවාදී මාවතකට පිවිසෙන ලක්ෂණ පෙන්නුම් කෙරේ) ඊට අමතරව අයි එස් අයි එස් තරස්තවාදීන්, හකානි වරු, දායිෂ් නමින් හැඳින්වෙන අයි එස් අයි එස් ත්‍රස්ත කල්ලි යෙන් කැඩී ගිය කණ්ඩායමක් සහ ධනවතුන් සහ පැරණි යුද නායකයන් පවත්වාගෙන යන කප්පම් කල්ලිද දක්නට ලැබේ. ඔවුන්ගේ සංවිධානාත්මක මෙන්ම අසංවිධානාත්මක ප්‍රහාර නිසා, කාබුල් නුවර ඉතාම අනාරක්ෂිතය. වෙනකක් තබා, ජාතික පුස්තකාලයට යෑමට හෝ මට අවසරයක් හිමි නොවීය.

යටිතල පහසුකම් බිඳ වැටීම, කාබුල් නුවර අපායක් බවට පත් කිරීමට හේතු වී ඇත. නිම්නයක පිහිටි නිසා පොලවෙහි ජල අවශෝෂණය අඩුය. එමෙන්ම පොලව මැටි සහ වැලි සහිතය. ජල අපවහනය සහ මල අපවහනය ක්‍රමාණුකූලව සිදු වන්නේ නැත. කාණු පද්ධතිය කසල නිසාම බිඳ වැටී ඇත. මේ නිසා හිම වැටෙන කාලයට සහ වැසි වැටෙන කාලයට පාරවල් මඩ ගොහොරු බවට පත් වේ. මල නල උතුරා යයි. ඒවා බවුසර මඟින් කඳුකරයට ගෙන ගොස් හැලීම හැර වෙන විකල්පයක් නැත. කාබුල් නුවර අතුරු මාවත් කොතරම් වල ගොඩැලි සහිතද කිව හොත්, එහි බහුලව භාවිතා වන ටොයෝටා කොරොල්ලා (E100) ටැක්සි, අඟල් කිහිපයක් ඔසවා මඩෙහි ගමන් කිරීමට සුදුසු පරිදි සකසා ඇත.

කාබුල් නුවර උසැති ගොඩනැඟිලි අල්පය. බහුලව ඇත්තේ සාම්ප්‍රදායික ලෙස මැටියෙන් තැනූ, වට බිත්ති සහිත පරිශ්‍ර වලින් යුතු, තනි මහලේ නිවාසය. නගර මධ්‍යයේ උසැති කාර්යාල ගොඩනැඟිලි, රජයේ ආයතන, පල්ලි ආදිය ඉඳි වී ඇත. මහල් නිවාස සංකීර්ණද බහුලව ඇතත්, ඒවා ප්‍රමිතිය අතින් පහල මට්ටමේය. සෝවියට යුගයේ නිමවූ සිව්මහල් මහල් නිවාස, වසර පනහකටද පසුව ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර, ඒවායේ ඉහල ඉහල පසු විකුණුම් අගයක් ඇත. ප්‍රධාන මාර්ග, සාමන්‍ය හොඳ තත්ත්වයේ ඇති අතර, මඟ දිගට හමුදා පිරික්සුම් ස්ථාන ඇත. එනමුත් ඔවුන්ට නගරයේ ආරක්ෂාව සහ හැසිරීම පාලනය කල නොහැක. පොලිසිය සහ හමුදාව අතර පවා ගැටීම් ඇත. එක් දිනක, හමුදා රිය පෙලක් පිරික්සීමට උත්සාහ කල පොලිස් නිලධාරියෙකු 'දෑතින් අල්ලා විසිකරනු' මම සියැසින් දැක ඇත්තෙමි.

සීත සහ වැසි කාලයේ මඩ සහිත වන පොලව, වියලි කාලයේ දූවිල්ලෙන් පිරී යයි. කාබුල් නුවර ගොඩනැඟිලි, ගස් වැල් සහ රථ වාහන නිරන්තර දුහුවිලි තට්ටුවකින් වැසී පවතී. 'නුවර එලිපත්තේම ඇති' මනරම් හින්දුකුෂ් කඳු වැටියේ හිමෙන් පිරි මුදුන දුහුවිලි අඩු වැසි දින වල පමණක් දිස්වේ. කාබුල් ලොව වායු දූෂණය ඉහලම නගර වලින්ද එකකි. කාබුල් නුවර මැදින් ගලා යන ගඟක් ඇත. කාබුල් නදිය ලෙස හැඳින්වෙන මෙය කුනාර් ගංඟාවේ අතු ගංගාවකි. කලක් ඉතා මනරම්ව තිබූ මේ නදිය, වැසිකිලි හා අනෙකුත් අපද්‍රව්‍ය නිසා දූෂිතව ඇත. මෙහි ජලය ඇත්තේ හිම දියවෙන කලට පමණි. අනෙක් කාලයන්හිදී වියලි ගං පත්ලේ හෙරොයින් වලට ඇබ්බැහි වූ කාබුල් වැසියෝ කුඩු උරති. ගං පත්ල නොයෙකුත් අපචාර වලට තෝ තැන්නකි. 

ආරක්ෂක තත්ත්වය නිසා කාබුල්හි ඉතිරිව ඇති සුන්දරත්වය හෝ සංචාරකයෙකුගේ ඇසට ලක් වන්නේ නැත.හෝටල්, සංචාරක නිවෙස්න, තානාපති කාර්යාල, අමාත්‍යාංශ ආදී ගොඩනැඟිලි සියල්ලක්ම වටා ටී බිත්ති පිහිටුවා ඇත. ඇතම් ටී බිත්තියක් මත, චිත්‍රයක් ඇඳ එහි පාළු බව මකාලන්නට ගත් උත්සාහායන්ද නෙත ගැටේ. නවීනව ඉඳිවන නිවාසද ආරක්ෂාව තහවුරු කල හැකි පරිද්දෙන්, බංකර මෙන් උස බිත්ති සහ කටු කම්බි වැටවල් සහිතව ඉඳිවේ. ත්‍රස්තවාදී කල්ලි වලට මතරව කප්පම් ගැනීම සඳහා ධනවතුන්ගේ සහ ඔවුන්ගේ ලඟ ඥාතීන් පැහැර ගන්නා කප්පම් කල්ලිද බොහෝය. එසේ කප්පම් කල්ලි මඟින් පැහැර ගන්නා අය බේරා ගැනීමට, මුදල් ගෙවිය යුතුමය. නැතහොත් අනිවාර්යයෙන්ම මරා දැමේ. කාන්තාවන් දූෂණයට ලක් වේ.

කාබුල් නුවර විවිධ කාර්යයන්ට සහ අලෙවියට වෙන්වූ වෙනම කලාප සහ වීදි ඇත. ගල් අඟුරු විකුණන වීදි, ඉඳිකිරීම් ද්‍රව්‍ය විකුණන වීදි, මෝටර් රථ අමතර කොටස් විකුණන සහ මෝටර් රථ අළුත්වැඩියා කරන් වීදි ඉන් කිහිපයකි. කාබුල් නුවර පොදු වීදි වල, අනිවාර්යයෙන්ම පාන් අලෙවිසැලක්, පලතුරු හා එලවළු අලෙවි සැල්, මස් අලෙවි සැල්, ඉලෙක්ට්‍රොනික් භාන්ඩ අලෙවි සැල්, බීම අලෙවි සැල් ඇත. ඊට අමතරව ජංගම වෙලඳුන් සහ සිඟන්නන් බහුලය. ජංගම වෙලඳ සැල් වල උක් මිරිකා සකසන බීම, තේ, ඇට වර්ග ආදිය විකිණීමට ඇත. ඇට වර්ග විකුණන මහා පරිමාණයේ වෙළඳ සැල් නගරයේ බොහෝ මංසන්ධි වල දක්නට ලැබේ.

නගර අලංකරණය සඳහා වතුර මල්, ස්මාරක, චතුරශ්‍ර, මාවත දෙපස සිටවූ ඇපල්, පීච් ආදී ගස් ඇතත්, ඒවා නඩත්තුව නිසා කෙටි කලකින්ම අක්‍රිය වේ. නිතරම දුහුවිල්ලෙන් වැසී පවතින නිසා, ඒවායේ අලංකාරය සැඟවී ඇත. ලමා උද්‍යාණ, සම්භාෂන සහ මංගලෝත්සව ශාලා කැපී පෙනෙන ලෙස ඉඳි කෙරේ. ඇතැම් විට මංගලෝත්සව වලට පවා ප්‍රහාර එල්ල වුවත්, ජීවිතයේ සම්භාවනීය අවස්ථා පසු කරයාමට, කාබුල් හි වැසියන් පසු බට නොවේ.

නගරයේ ප්‍රධාන වීදි රථ වාහන වලින් පිරී පවතී. පොලිසියට පාලනය කිරීමට නොහැකි මුත්, බොහෝ විට අනතුරු වලින් තොරව ධාවනය සිදු වන්නේ ප්‍රාතිහාර්යයක් ලෙසය. රක්ෂණ ආවරණය රටේ බොහෝ තැන් වල නොමැති නිසා, රිය අනතුරු බොහෝ විට ගුටි කෙලි වලින් නිම වේ. එක් දිනක් තමන්ගේ පාපැදිය යටකර ගෙන ගිය ලෑන්ඩ් කෲසරයකට ගඩොලකින් දමා ගසන අයෙක් මම දුටුවෙමි. අසරණ ඔහුට කල හැකි එකම දෙය එයය.

 කාබුල් නුවරට දකුණු ආසියාවේ ප්‍රියජනකම අගනුවරක් වීමට සර්ව සම්පූර්ණ සුදුසුකම් ඇත. සදාකල්හිම හිමෙන් වැසුණු කඳු මුදුන් සහිත හින්දුකුෂ් කඳු පන්තියත්, අවශේෂ කඳුත්, නුවර වටා මනරම් පසු තලයක් සාදයි. දිය රඳන සාරවත් පසෙහි උයන්ද, ජල තටාකද ඉඳි කල හැකිය. නුවර පුරාම ප්‍රතිසංස්කරණය කල හැකි මට්ටමේ බලකොටු, ප්‍රාකාර, පල්ලි, රජ මාලිගා, විරුවන්ගේ සොහොන් අනන්තව ඇත. ඊට අමතරව කාබුල්හි පැරණි නගරයේ දැව හා මැටි මුවා ගොඩනැඟිලි, කඳු බෑවුම් වල ඉඳිවූ මනරම් නිවාස ඇත. ජනයා මිත්‍රශීලීය. ජ්‍යාත්‍යන්තර ගමන් පහසුව ඉතා ලේසියෙන් සැලසිය හැකිය. කාබුල් හි පිහිටි හමීඩ් කර්සායි ගුවන්තොට හරහා තුර්කිය හරහා යුරෝපයටත්, ඩුබායි හා කටාර් හරහා මැද පෙරදිගත්, දිල්ලි හරහා ආසියාවටත්, කසකස්තානය හරහා රුසියාවටත්, චීනයටත් සම්බන්ධ කල හැකිය. එසේ වුවත්, පවතින භීෂණකාරී වාතාවරණය තුල, එය සිහිනයක්ම පමණක් දැයි සිතේ.

 


කාබුල් උඩු ගුවනේ සිට


කාබුල් නුවර බහුලව දකින්නට ලැබෙන හමුදා රථ පෙලක් සහ කොරොල්ලා E100 මෝටර් රිය

පවතින අනාරක්ෂිත තත්ත්වය ගොඩනැඟිලි ඉඳිකිරීම කෙරෙහි බලපා ඇති ආකාරය

මස් සහ පලතුරු කඩ


බුමුතුරුණු, චිත්‍ර, කළාල සහ අනෙකුත් විසිතුරු ද්‍රව්‍ය වෙළඳාම

ටී බිත්තියක් මත සිතුවම්ව ඇති ඇෆ්ගන් පොලිස් කාන්තාවකගේ රුව

වටරවුමක පිහිටි ස්මාරකයක්

යුද්ධයෙන් වැනසුණු ගොඩනැඟිල්ලක් සහ ඉබි ගමෙනේ සිදු වන නව ඉඳිකිරීමක්

Comments

  1. හරිම රසවත් ලෙස කියවිය හැකි ලිපි පෙලක්, එමෙන්ම ඇෆ්ගනිස්ථානය ,බලුකිස්ථාන්, ටජිකිස්ථාන්,වැනි රටවල් වල ග්‍රාමීය ප්‍රදේශවල සංස්කෘතිය මම හිතන අකාරයට තවම අන්ත ලෙස දුෂ්‍ය වෙලා නැතුව ඇති නේද..

    ReplyDelete
    Replies
    1. ඇෆ්ගනිස්තානයෙන් පිටට වටේ රටවලට යන්න ලැබුනේ නැහැ. අසල්වැසි රටවල් උනත් ගුවන් ගමන් පහසුකම් නෑ ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදී වාතාවරනය නිසා. කාබුල් වලින් පිටට සංස්කෘතිය ගොඩක් රැකෙනවා. ඒත් පුරාණ සංස්කෘතිය ආගමික මතවාදයන්ගෙන් වැසිලා තියෙන්නෙ

      Delete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ