ඇෆ්ගන් කතා 16: විදේශයන්හි අපේ ප්‍රතිරූපය

 ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අන්තර් ජාතික තලයේ සැලකිය යුතු පිලිගැනීමක් තවමත් පවතී. ඇෆ්ගනිස්තානයේ මා සේවය කල පරිශ්‍රයේ මට පෙර සේවය කල ශ්‍රී ලාංකිකයන් එවන් පසුබිමක් සකසා තිබූ නිසා ඉතා පහසුවෙන් සමාජයේ පිලිගැනීම සමඟ සේවයේ යෙදීමට මට හැකිවිය. තවමත් ඒ තත්ත්වය කාබුල් වල පවතී. එසේ වුවද, මේ තත්ත්වය බොහෝ ස්තාන වල නොමැත. අප විසින්ම, අපගේ තත්ත්වය දිනෙන් දින පහලට ඇද දමමින් සිටිමු. ඇෆ්ගනිස්තානයේ සිටි කාලයේ කාබුල් දක්වා සහ අනෙකුත් ගමන් සඳහා මම ගුවන් ගමන් 60 කට අධික සංඛ්‍යාවක යෙදී ඇත්තෙමි. මේ, එහිදී ලත් අත්දැකීම් සමූහයකි.


ඩුබායි ගුවන් තොටේ ගුවන් ගමන් පර්යන්තය

(ශ්‍රී ලාංකිකයන්ට ඇතැම් විට 'ඉන්දියානු හා බංගලිදේශ' පෙනුම නිසාද කරදර වලා මුහුණ පාන්නට සිදු වේ. ඒ, එම ජාතීන් දෙක විසින් කරන ඇතැම් මගෝඩි වැඩ නිසා ඇති වී තිබෙන තත්ත්වයය. බොහෝ රටවල 'ඉන්දියානුවන් ඇතුල් වීමෙන් වලකින්න' යැයි සඳහන් පුවරු එල්ලූ හෝටල්, නිවාස කුලියට දෙන ස්තාන, වෙනකක් තබා ගණිකා නිවාස පවා මම දැක ඇත්තෙමි. නමුත් දැන් දැන් අප විසින්ම අපේ වල කපා ගනිමින් සිටින බව පෙන්වීමටය, මේ අත්දැකීම් ලියා තබනුයේ)

ඇතමෙක්ට, ගුවන් යානයකට ගොඩ වූ විට, සුරා පානය අත්‍යාවශ්‍යය. ගුවන් යානා වල සුරාව සැපයෙන්නේ 'බීමක්' ලෙස මිසක්, බී වෙරි වන්න්ට නොවේ. වෙරිමතින් හැසිරීම නොයෙකුත් ප්‍රශ්න වලට මඟ පාදයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන්යානවන්හිදී ගුවන් සේවිකාවන්ට පෙරැත්ත කරමින් මත්පැන් ලබාගෙන බී වෙරි වී, ඔවුන්ට අතවර කරන්නට හෝ මුහුණ සිඹින්නට ගිය මා දන්නා අයෙකු සිටියේය. වෙනත් ගුවන් සේවයක එය කලේ නම්, කුදලා අසුනක් යට එබීමට ඉඩ ඇතත්, ශ්‍රී ලාංකිකයන්ට අපගේ ජාතික ගුවන් සේවයේ එසේ කරනවා අඩුය. එය දැන දනම, එහි කීර්ති නාමය විනාශ කිරීම අනුමත කල හැකිද?


සිංගප්පූරු චැංගි ගුවන් තොටේ ගමන් පර්යන්තය

එක් වරක්, මම ඩුබායි ගුවන් තොටේ රැඳී සිටියේ එමිරේට්ස් ගුවන් යානයකින් කාබුල් බලා පිටත් වීම සඳහාය. ගුවන් ගමන් සඳහා පැය හතරක් පමණ වේලාවක් ගුවන් තොටේ රැඳී සිටීමට සිදු විය. දහවල් කාලයේ නිසා, මම ගුවන් පර්යන්තයේ ඉහල පහල ඇවිද්දෙමි. විවිධාකාරයේ මිනිසුන්, අවන්හල්, සාප්පු නිරීක්ෂණය කිරීම ඉතා ප්‍රියජනක අත්දැකීමකි. (ඩුබායි ගුවන් තොටේ පර්යන්ත අංක එක හා තුන, එමිරේට්ස් හා අනෙකුත් ගුවන් යානා සඳහා වෙන්වී අති අතර පර්යන්ත අංක දෙක ෆල්යි ඩුබායි සඳහා වෙන්ව පවතී. පර්යන්ත එක හා තුන එකිනෙකට සම්බන්ද අතර විශාල වපසරියක පැතිරී පවතී)

ශ්‍රී ලාංකික පෙනුමක් ඇති තිදෙනෙක් මා වෙත පැමිණියේය. අයෙක් මගෙන්  'ආර් යූ ෆ්‍රොම් ශ්‍රී ලංකා' (ඔබ ශ්‍රී ලාංකිකද?) යි ඇසුවේය. මම සිංහලෙන් 'ඔව්' කීවෙමි. 

ඔවුන් ඩුබායිහි කම්කරුවන් ලෙස සේවය කල ශ්‍රී ලාංකිකයන් බවත්, උදෑසන අදාල ආයතනය මඟින් ගුවන් තොටට ගෙනවිත් ඇරලූ බවත්, ටිකට් පතට අමතරව මුදලක් නොදුන් බවත්, ගුවන් යානය ඇත්තේ හවස බැවින් කුසගිනි බවත්, ඔවුන් තිදෙනාට කෑම ගැනීමට මුදලක් දිය හැකිද යන්නත් විමසීය. බැලූ බල්මටම, ඔවු කියන්නේ සත්‍යදැයි සැකයක් ඇති වූයේ, දෙදෙනෙකු අතෙහිම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වලින් මිලදී ගත් බඩු බහාලූ ඉටි බෑග් තිබීමය .අනෙක, වසරක් හෝ දෙකක් ඩුබායි සේවය කල අයෙකු, අතෙ සතේ නැතිව ගුවන් තොටට එන්නේ නැත. කෙසේ නමුත්, මම වැඩි දුර නොසිතා ඩිර්හාම් 50 ක නෝට්ටුවක් ඔවුන්ට දුන්නෙමි. එකල ඩිරාම්පනහක් යනු, දළ වශයෙන් රුපියල් දෙදහසකට ආසන්න මුදලකි. ඔවුන් එය රැගෙන ස්තුති කර පිටව ගියහ.

 එදින මා සමඟ කාබුල් හි සේවය කල වෛද්‍යවරියක්ද එකම ගුවන් යානයේ කාබුල් දක්වා ගමන් කිරීමට නියමිත විය. ඇයත් මමත් කොලඹ සිට ඩුබායි දක්වා පැමිණීමට නියමිතව තිබුනේ ගුවන් යානා දෙකකිනි. මම කලින් පැමිණ සිටියෙමි. ඇය පැමිණ සිටීදැයි විමසිලිමත් වෙමින් මම තව දුරටත් ගුවන් තොටේ රැඳී සිටියෙමි.

 පැය දෙකකට පමණ, මට මුලින් හමුවී සිටි පිරිසම, තවත් කවුදෝ සමඟ කතා කරමින් සිටියහ. දුර සිට මා දුටු පරිදි, ඒ මගේ හිතවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරිය සමඟය. මා එතනට ගියේ කුකුසකින් යුක්තවය. ඇය, ඒ වන විට මුදල් පසුම්බිය විවර කරමින් සිටියාය. ඈ මා දුටුවිට, "හලෝ රසික, කොහොමද. මේ ලංකාවෙ ලමයි වගයක්. කන්න සල්ලි නෑලු, මම මේ කීයක් හරි දෙන්න කියල බැලුවෙ" යැයි පැවසීය. "ඩොක්ට මම ටිකකට කලින් මෙයාලට සල්ලි දුන්නනෙ කන්න?" යැයි පැවසූ විට පිරිස පලා ගියහ. එදිනට පසු, නොදන්නා ශ්‍රී ලාංකිකයන් සමඟ වුවද, අනවශ්‍ය 'බජනයන්ට' නොයා සිටීමට මම ප්‍රවෙශම් වුනෙමි. එහි ප්‍රතිඵල ලැබුනේ, ඩුබායි ගුවන් තොටට කිලෝ මීටර් හයදහසක් පමණ දුරින් ඇති , ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේදීය.


ජාකර්තා සිකර්නෝ හත්තා ගුවන් තොටේ ගුවන් ගමන් පර්යන්තය

 වෛද්‍ය පරීක්ෂණමය කටයුත්තක් සඳහා මම සිංගප්පූරුවට ගොස් සිටියෙමි. සිකුරාදා දිනක, අදාල පරීක්ෂණ සඳහා සාම්පල ලබා දීමෙන් අනතුරුව, වෛද්‍යවරයා නැවත මුණ ගැසීමට තිබුනේ අඟහරුවාදා උදේය. දින තුනක්ම ඇති නිසා, මම රාත්‍රී දෙකක් සඳහා ඉන්දුනීසියාවේ ජාකාර්තා වෙත ගොස් ඒමට කල්පනා කලෙමි. සිංගප්පූරුවේ සිට ජාකර්තා දක්වා අඩු වියදමකින් පියාසර කිරීමට හැකිය.  ජාකර්තාවල හෝටල් ගාස්තුද සිංගප්පූරුවට සාපේක්ෂව ඉතා අඩුය. සිංගපූරුවේ දින තුනක් හෝටලයට ගෙවන මුදලින් ජාකර්තාවේ නවාතැන් ගෙන, ගුවන් ටිකට් පතටද ගෙවිය හැකිය. මගේ සැලසුම වූයේ, අගහරුවාදා වෛද්‍යවරයා හමුවී කෙලින්ම ලංකාවට යාමටය. ජාකාර්තා වල ප්‍රසිද්ධ සාමුද්‍රීය කෞතුකාගාරය සහ ජාතික කෞතුකාගාරය නැරඹීමට මට කලක පටන් ආසාවක් විය.

 ජාකර්තාවේ මම වෙන් කල හෝටලය වූයේ නගර මධ්‍යයේමය. මම එහි ලඟා වන විට, රාත්‍රිය වී තිබුණි. මගේ කාමරය දක්වා යාමට, දිගු කොරිඩෝරයක් පසු කල යුතු විය. එය තරමක් පලලින් යුතු එකකි. එක් පසෙක කෘතිම දිය ඇල්ලක් සහ, එහි ඉදිරිපස පැනවූ ආසන කිහිපයක් විය. එහි, දකුණු ආසියානු පෙනුමැති කිහිප දෙනෙකු වාඩි වී සිටියහ.

"මචං මේ පොර නම් අපේ එකෙක් වගේ, ටෝකක් දාල බලමුද?"

එක් අයෙක් අනිකාගෙන් ඇසුවේය. මම නෑසූ කන් ඇතිව එතැන පසුකර ගියෙමි.

"නෑ බං ඌ ඉන්දියන් වෙන්නති"

එක් අයෙක් පවසනු එතැන පසු කර යන මට යාන්තමින් ඇසුණි.

මගේ හෝටල් වෙන්කිරීම සමඟ උදෑසන ආහරය ලැබුණු අතර, දහවල් සහ රාත්‍රී ආහාර පිටතින් සපයා ගත යුතු විය. හෝටලයේ, මුදල් ගෙවා ආහාර ගත හැකි ආපන ශාලා කිහිපයක්ම වූ අතර, පිටතට ගොස් ආහාර ගැනීමටද බාදාවක් නොවූයෙන්, මම අවට විපරම් කර බැලුවෙමි. හෝටලය ඉදිරි පිටම, ඉන්දුනීසියාවේ සුප්‍රකට නාසි ගුරන්ග් අවන් හලක් විය. ඉන්දුනීසියාව, නාසිගුරන්ග් වල මවු බිමයි. නාසිගුරන්ග් රස විඳින්නට නම් එහිම යායුතුය. (ඉන්දුනීසියානු භාෂාවෙන් නාසි ගුරන්ග් යනු බදින ලද බත්ය. ෆ්‍රයිඩ් රයිස් ය) මෙම අවන්හලේ සේවය කල සියල්ලෝම සුරූපී කාන්තාවෝය. වේටර් වරියන්, කැෂියර් සහ ආරක්ෂක නිලධාරීනියන් ඇතුලු සියල්ලන්ම කාන්තාවන්ය.

මම එහි ආහාර ගන්නා බොහෝ දින වල, හෝටලයේ මා දුටු ශ්‍රී ලාංකිකයන් පිරිසද ආහාර ගැනීමට ගොස් සිටියෝය. අවන් හල, එතරම් තදබදයක් ඇති ස්තානයක් නොවීම නිසා, ඔවුන් එහි වාඩි වී අල්ලාප සල්ලාපයෙ යෙදෙමින්, ළඳුන්ට විහිලු තහලු කරමින් කාලය ගත කලහ. ඇතැම් කතා බහ අති අසභ්‍ය විය. ලඳුන්ට ඒවා තේරෙන්නේ නැත.


ඉන්දුනීසියානු නාසි ගුරන්

මම අවසන් වරට ආහාර ගත්තේ සඳුදා රාත්‍රියේය. පැය කිහිපයක නින්දකින් පසු, නැවතත් සිංගප්පූරුව දක්වා ගුවන් ගත වීමට නියමිතය. රාත්‍රී ආහාර ගන්නා අතර, ශ්‍රී ලාංකික 'මිතුරු කැල'ද සුපුරුදු ලෙසම එහි විය. කොහෙන් හෝ මත්පැන්ද රැගෙනය, ඔවුන් එහි පැමිණ සිටියේ. වෙනදා මෙන්ම, අනවශ්‍ය විහිළු තහළු සිදුවූ අතර, වේටර් වරියන්ද ඔවුනොවුන් මුමුණමින්, ආරක්ෂක වරියන්ට ඉඟි කරමින් මදක් අවධානයෙන් සිටියෝය. මම දුරින් හිඳ නිරීක්ෂණය කලෙමි. අවසාන බිල රැගෙන ආවිට, එක් ශ්‍රී ලාංකිකයෙක් නොපෙනත් කමක් කලේය. බිලත් රැගෙන ආ වේටර් වරියගේ අතින් ඇද උකුලේ හිඳුවා ඇගේ වත කමල තදින් සිප ගැනීමයි ඒ.

කලබලය ඇති වුනේ එවිටය. වේටර් වරිය කෑගසාගෙන දිව ගියාය. ආරක්ෂක නිලධාරීන් වහාම දොරවල් අගුලු දැම්මේය. වට පිට හෝටල් වල සේවකයන්ද, වහා දිව විත් අදාල මේසයේ සිටි කිහිප දෙනාට පහර ගැසුවේය. කෙසේ නමුත් පහර දීම ටික වෙලාවකදී නැවතුනේ, පොලීසිය එතනට ආ නිසාය. සියල්ලන්ම පොලිස් අත් අඩංගුවට පත් විය. ලාංකිකයෝ පිරිස කොතරම් බැගෑපත් වුවද, බුරුලක් ලැබුනේ නැත.

මදකට සිතා බලන්න, මම ශ්‍රී ලාංකික වීම නිසා හෝ ඔවුන්ගේ මේසයේ වාඩි වී සිටියානම් විය හැකිව තිබූ දෙය? මම පසුවදා උදයේ මගේ වෛද්‍යවරයා මුණ ගැසී, ආපසු ශ්‍රී ලංකාවට යෑමට නියමිතව තිබුණි. ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සිවිල් සේවකයෙකුට අපචාර චොදනා එල්ල වූවානම් ආයතනය මුහුණ පාන තත්ත්වය?

මෙලෙස හැසිරෙන සුළුතරය, රටේ කීර්ති නාමයට හා ප්‍රතිරූපයට කරන හානිය සුළු පටු නැත.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!