අයගම පිළිඹඳ මීට පෙර සම්පාදනය කල ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබිණි. අමතකව ගිය මතකයන්
සහ මිත්‍රත්ව, නෑකම් රැසක් යලි පණ ගසා ආවේය. ඒ සිතුවිලි මත, පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයන්නට සිත් විය. මෙහි මුල් කොටස
කියවා නැත්නම්, පලමුව එය කියවන ලෙස ඉල්ලමි. මේ සබැඳියෙන් පිවිසිය හැකිය.
අයගම (rasikasanjeewa.blogspot.com)
අයගම ගම් පියස වසාගෙන තිබුණේ රබර් වගාවය. රබර් රොටී නැත්නම් 'රබර් ශීට්' දෙවැනි වන්නේ ව්‍යවහාරික
මුදල් වලටම පමණි. සෑම හන්දියකම පිහිටි රබර් කඩයකට හෝ සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති 'රබර් ස්ටෝර්ස්' වෙතින් රබර් ශීට්
මුදල් කරගත හැකිය. රබර් ශීට් පමණක් නොව ඔට්ටපාලු, පොල්කට්ටේ ඇලෙන කිරි බෝල, පෙණ රොටී කුමක් වුවත් මුදල්ය. කුඩා උන්ගේ එක් ආදයම් උත්පාදන
මාර්ගයක් වූයේ මේ ඔට්ටපාලුය. ඔට්ටපාලුවලින්ම වට්ටුව බඳින උණ බට වෙසක් පහනේ කොල අලවන්නට, පාප්ප තනන්නට පිටි
හා පල්මාණික්කම් ගන්නට, ඔට්ටපාලු විකුණා හෝ මුදල් ලබා ගත හැකිය. ඔට්ටපාලු අනවශ්‍ය
ලෙස සොරකම් කිරීම වැලැක්වීමටද රබර් වතු හිමියන්ට ඇතැම් විට පියවර ගැනීමට සිදුවේ.
මල්ලී සහ මම ආච්චි අම්මලාගේ
නිවස ඉදිරියේ. 1984
වසරේ. එහා ගෙදර දයා අක්කාද පසු තලයේ සිටී.
රබර් වගාව, ගල් සහ බෑවුම් සහිත අයගම, ඉඩංගොඩ, මානාන, ගවරගිරිය ආදී පෙදෙස් වලට මනාව ගැලපෙන වගාවකි. සාරවත් පස්
මත යහමින් පැලවෙන රබර් ගස් රූස්ස ගස් වී උඩු වියනක් සාදයි. දිලිසෙන තෙල් පැහැති රබර්
කොලද සූර්ය රශ්මිය පරාවර්තනය කරයි. ඒ රබර් පත් දිරායන්නේද කෙමෙන් කෙමෙන්ය. පලමුව වියලී, පත්‍ර තලය කුඩු
වී ගොස්, නාරටි ආදිය පෙරහනක් මෙන් පොලව ආරක්ෂා කාරයි. රබර් ගස් වලට අමතරව ඒ අස්සේ වැවෙන
හොර ගස් සහ කජු ගස්ද, මේ ලක්ෂණම පෙන්වයි. කජු පත්‍ර කුඩා වන අතර හොර ගස් වල පත්
ඊට වඩා විශාලය.
රබර් වතු වල රුක් සෙවණේ කැකිල්ල සහ මීවණ ආදී පඳුරුද, බාඳුරා ආදී අනේක විධ වැල්ද යටිවියනක් ලෙස විසිරී පැතිරී
වැවී ඇත. මේවායේ කූඩැල්ලන්, ගෝනුස්සන්,මකුළුවන් සහ සර්පයන්ද වෙසෙති. පරෙස්සමෙන් ගමන් කල යුතුය. රබර් වතු නිසා අයගම තෙත් සීත සෞම්‍ය දේශගුණයකින්
එකල යුක්ත විය. චුරු චුරු දෙහිමල් වැසි, වියලි කාලයේ පව සතියකට වරක් දෙවරක් කඩා හැලේ. රබර් වතු වලට
වසින වැසි, පොද බවට පත් වී සෙමෙන් සෙමෙන් යටි වගාව මත පතිත වේ. ඒ වැහි පොද, හියුමස් මුසු සාරවත්
පස් සෙමින් උරාගෙන, භූගත ජල මං පෝෂණය කරයි. හැම තැනින්ම මතුවන බොරු උල්පත් සහ
බඩවැල් වල මුල මෙම සුරක්ෂිත ජලයයි. කොටසක් ඇල වේලි ගංගා වෙතටද පිරිනැමේ. වහින වැසි
නිසා ගං වතුර ඇතිවන්නේ වැස්ස අධික නිරිත දිග මෝසමේදී පමණි. ඒ ගංවතුරද රුවන්පුරයට නෑයෙකි.
අයගම ඉඩංගොඩ පාරේ තවමත්
ඇති රබර් වතු
රබර් වතුවල යටි වගාවේ ඇති සීතල සෞම්‍ය සහ අඳුරු බව නිසා වැසි වනාන්තරයන්ට ආවේණික
සියුමැලි කඳක් හා පත්‍ර සහිත ශාක සහ උඩවැඩියා විශේෂ ඒවායේ වැවේ. අඳුරෙ වුව පෙනෙන, දීප්තිමත් රතු, නිල්, කහ, රෝස ආදී පැහැ ගත්
කුඩා මල් මේ පැල වල පිපේ. මේ මල් වලටම ආකාර්ශණය වන කුඩා සමනල් විශේෂයක් විය. උන්ගේ
පියා පත් කඩල පියල්ලකට වසා විශාල නැත. පිට පැත්ත අළු පැහැ වුවත් තටු ඇතුලත නිල් මිණකට
වඩා දීප්තිමත් ලුමිනස් නිල් පැහැයක් ඇත. ඔවුන් පියාසරණ විට, තටු චලිතයත් සමඟ
මෙම නිල් පැහැය දිස් වී නොදිස් වී දිස් වී යයි. එය සිහිකරන්නේ බල්බ් වැලක බල්බ්ය.
අපි රබර් වත්ත දිගේ ගඟට නාන්නට යන විට අපේ පියවර වැදී කැලඹෙන වැල් ගාල් වලින් මෙම සමනලයින්
රංචු පිටින් ගුවනට නඟී. ඒ දසුන චමත්කාරය. (මෙම කොටස මට සිහි කල දිමුතුට, මගේ ලොකු අම්මාගේ
පුතාට තුති!) ඊට අමතරව සිරිපාදේ යන කහ සහ ලා කොල පැහැති සමනලයෝ ගං ඉවුරේ
සහ සබන් සහිත ගල් වලද ගිමන් හරිති. රබර් කැලය තුලින් පියඹනාවට වඩා, විවෘත ගඟ දිගේ පියාසැරීම ඔවුන්ට පහසුවක් වන්නටද ඇත. මේ සමනලයින්, සලකුණකුදු නොතබා අතුරුදහන් වී ගොසිනි. කෘෂි රසායනික ආදිය
සමඟ ඔවුනට පැවැත්මක් නැත.
උස් කඳු ගැටද, රබර් වනයද වැසි වලාකුලකට ඒ ඉස්සවේ අහස පසු කර යන්නට දෙන්නේම
නැත. මඟ යන රූමත් ලඳක් රැක ඉන්නා සළෙලෙකු මෙන් ඒ තෙතසහිත පරිසරය මඟ රැක සිට වලාකුළු
යුවතියන් සිය තුරුලට ගෙන සළු උනා දමති. ප්‍රේමාලිංගනයෙන් පෙදෙසම නැහැවී යයි.
වැස්ස, අයගම ජීවිතයේ අනිවාර්ය අංගයකි. කිසියම් සුබ කටයුත්තකදී දෙහි මල් වැස්සක් හෝ
නොවැටෙන දිනයක් මට සිහියට නඟා ගත නොහැකිය. පොඩි මාමාගේ මඟුල් දිනත්, ලොකු මාමාගේ, සීයාගේ සහ ආච්චිගේ
අවමඟුල් දිනත්, අලුත් අවුරුදු දා හවස් වරුවේත් මේ වැසි වැටීම මගේ මතකයේ ඇත. අයගම එකල වූයේ බොහෝ
දුරට බණ්ඩාරවෙලට සම සීත දේශගුණයකි. ඉන්දලවත්තේ
විතානගම හන්දියේ ඇති කුඩා පිටියේ, එකල සිංහල අවුරුදු උත්සවයක් පැවැත්වුණි. එය දැන් පැවැත්වෙන්නේ
දැයි මා දන්නේ නැත. මේ අවුරුදු උළෙල පැවැත්වූ සැමදාකම හවස මහා වැසි ඇද හැළුණු බවද මට
මතකය. අපේ ලොකු අම්මාගේ දුව වන මැණිකේ අක්කා මේවායේ තරඟ වලට සහභාගී වී වීදුරු කෝප්ප
තොග ගනන් ජයග්‍රහණය කරයි. ලොකු අම්මාගේ ලොකු පුතා නිතරම සහභාගී වූයේ විකට ඇඳුම් තරඟයටය.
ඔහුගේ ප්‍රියතම චරිතය 'පිස්සු ක්‍රිකට්'ය. කකුලට කෙසෙල් පිති දෙකක් බැඳ ලෙග් පෑඩ් දෙකක් සාදාගන්නා
ඔහු, ලෑල්ලකින් බැට් පිත්තක් සාදාගෙන විකට ඇඳුම් පෙරහරේ යයි. ලොකු අම්මා ඔට්ටපාළු
බෝලයකින් හෝ කඩදාසි ගුලියකින් පන්දු යවන්නේ පුතණ්ඩියාගේ සහයටය. මනුර, පාදයක් ඉදිරියට තබා අගනා පහරක් එල්ල කරයි.
විතානගම හන්දිය. මෙහි පෙනෙන
ප්‍රේක්ශකාගාරය ඉඳිවීමට පෙර, පොල් කොට වේදිකාවක් මත සිංහල අළුත් අවුරුදු උත්සවය
පැවැත්විණි. වම් පසට ඇත්තේ සොහොන් පිටියකි. එහි හේමපාල අයියා, කඩේ
අයියා ඇතුළු අපේ ලමා කාලයේ වීරයෝ සදාතනික නින්දක සැතපෙති.
අයගම සහ සමස්තයක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්වාභාවික රබර් කර්මාන්තය පිරිහී
යාමට එහි මිල අඩු වීම, ශ්‍රමිකයන් හිඟ කම,
කෘතීම රබර් වල ජන්ප්‍රියත්වය, ආනයනය ඉහල යාම සහ
අපනයනය බිඳ වැටීම ආදී විශාල පරාසයක හේතු බලපෑවේය. කෙසේ හෝ එය සිදුවී, 90 දශකය වන විට රබර්
වතුබොහොමයක් තේ වතු බවට පත් විය. මෙයට ඒ ඉඩම් හිමියන්ට සෘජුවම දොස් කිව නොහැක. තේ වගාවේ, රබර් වගාවේ මෙන්
යටි වියනක්, උස් ගස් කොලන් නොමැත. උඩ පස් තට්ටුව සූරා දමා ලැටරයිට් යටි පස නිරාවරණය වේ.
මේ නිසා වැසි ඇද හැලෙන විට, කිසිම ආරක්ෂාවක් නොමැත. බාල්දියකින් 'හෝස්' ගා දමනා දිය, පස් සෝදාගෙන ගොස්
ගංගාවල, දිය මං වල තැන්පත් කරයි. මෙය ගංගාවල අහු මුළු වල වෙසෙන කනයන්, ආරන් වැනි මත්ස්‍යයන් පණ පිටින් වලලා දමයි.ගඟ එකවරම උතුරා
දෙගොඩ තලා යයි. ටික දිනකින් වතුර සිඳී, ගඟ කෘෂ වී යයි.රබර් වලට මෙන් වර්ෂාව ආකර්ෂණය කල හැකි ගුණයක්
තේ වගාවට නොමැත. වර්ෂාව රන්ඳාගැනීමට කඳු මුදුන් වලට තනිව සටන් කිරීමට සිදුවේ.
මේ හේතුවෙන්, අයගම අතරින් පතර ඉතිරිව ඇති රබර් වතු හරහාත්,
ඇතැම් විට මහ පාර හරහාත් ගලා ගිය දිය පාරවල් සහ කුඩා ඇල වේලි
දැන් දක්නට ලැබෙන්නේ වැසි කාලයට පමණි. ඒද, පිරිසිදු සීත ජලය නොඅ, මඩ පාට දිය සහිතවය.
©රසික වික්‍රමනායක 2021.7.24
ඇත්තටම තේ කියන්නෙ මහා පරිසර විනාශයක්.
ReplyDeleteදැව ලෙස හෝ රබර් වගාවට නැවත යා යුතුයි.
අවම වශයෙන් ජල පෝෂකවත් ආරක්ෂා කරගන්න.
එකඟයි. විනාශකාරී භෝගයක්
Delete