උපාසක බැලළි

මැදින් පොහොය සඳ, අහසේ බස්නාහිරට වන්නට පායා ඇත. සඳ වටා චන්ද්‍ර ප්‍රභා මණ්ඩලයක් දිස් විය. පංසලේ ගාන්ඨාර හඬ, පිරිත් සජ්ජායානා හඬ හා මුසුව ඇසේ. මල් වැස්සක් මෙන් පොද වැටීමෙන් පසු පරිසරය සෝදා හැරියාක් මෙන් නැවුම්ය.

විහාරස්ථානයේ පැවති උපහාර උත්සවයෙන් පසු, සේමරත්න මැණිකේ නිවසට පැමිණියේ ත්‍රීවීලරයකිනි. පන්සලේ සිට ඇගේ නිවස දක්වා වූ හැතැප්මක පමණ දුර ඇය කැඳවාගෙන ඒමට ලැබීම, ත්‍රී වීල් රියදුරු තරුණයා සැලකූයේ ගෞරවයක් ලෙසය. ඔහු, සේමරත්න මැණිකේ ත්‍රීවීලරයෙන් බසින තුරු පසෙකින් එකත්පස්ව සිටියේය. ඉන් අනතුරුව, උපහාර උලෙලේදී ප්‍රධානය කල ත්‍යාග, සම්මාන ආදිය රැගෙන පසු ගමන් කලේය. සේමරත්න මැණිකේ, අත්බෑගයෙන් යතුරු කැරැල්ලක් ගෙන දොර හැරියාය. ත්‍රීවීල් රියදුරා, අඩුම කුඩුම නිවසේ පුටුවක් මත තබා, මැණිකේට දණ නමස්කාර කලේ, නික්ම යන්නට අවසර පතාය.

"බුදු සරණයි පුතේ. පරිස්සමින් ගොහින් එන්ට. පුතාට ගොඩාක් පින්"

කොහේදෝ කරක් ගසා පැමිණි කිටියා 'ඤැක් ඤැක්' ගාමින් මැණිකේගේ දෙපා අසල දැවටෙන්නට විය. ඇගේ තනි නොතනියට සිටි බැලළිය වූ කිටියා, මැණිකේ නිවසේ නොසිටි සොවින්ද, කුසගින්නෙන්ද පෙලෙමින් සිටියාය.

සේමරත්න මැණිකේගේ සැමියා වූ සේමරත්න උපදිසාපතිතුමා කර්මාණුකූලව මිය පරලොව ගොස් දැන් වසර දහයකට ආසන්නය. දරුවන්ද දීග ගොස් උපන් ගම් පලාතෙන් බැහැරව විවිධ ප්‍රදේශ වල විසූහ. ලඟින්ම පදිංචිව සිටි ඇගේ බාල පුතා, නිතර නිතර ඇවිත් ගියත්, නිවසේ පදිංචි නොවුනේ, ඔහුට බිරිඳගේ පාර්ශවයෙන් හිමි වූ වෙනත් නිවසක්ද ඇති නිසාය. වයස හැත්තෑ පහ පසු කර ඇතත්, නීරෝගීව හා සෞඛ්‍ය සම්මපන්නව සිටි සේමරත්න මැණිකේට, දැසි දැස්සන් උවමනා නැත.

පන්සලේ උපහාර උත්සවයෙන් පසු පැවති සංග්‍රහයෙන් රැගෙන ආ කොකිස් දෙකක් කැබලි වලට කැඩූ සේමරත්න මැණිකේ, ඒවා කිටියාගේ පිඟානට දැම්මාය. ඌ සිටියේ මැණිකේ උස්සාගෙන ආ අඩුම කුඩුම වලට ඉව කරමිනි. කිටියා කවදත් කොකිස් කෑමේ රුසියෙකි. හිස දෙපසට හරවමින් 'කරස් කරස්' හඬින් කොකිස් හපන කිටියා දෙස සේමරත්න මැණිකේ මද සිනහවකින් යුක්තව බලා සිටියාය.

"හොඳේ කිටියෝ. ඔන්න මම නම් විශාකා මහෝපසිකාව වෙන්න නියත විවරණ ලැබුවා අපේ නායක හාමුදුරුවන්ගෙන් අද. උබත් ඔය ලේන්නු දෙමලිච්චො කාරිය නාල්ලා පිං පුරන්ඩ ඕනි ඒ ආත්මෙක මනුස්ස භාවයක් ලබන්ඩ. මොකෝ මම බඩ කට පුරා කන්න දෙන්නෙ නැතුවයෑ තුන් වේලටම? උබටත් බැරියෑ විශාඛා මහෝපාසිකාවගේ අතවැසි කෙල්ලක් වත් වෙන්න? " ඈ කීවේ කිටියාටය. ඌ ඒ නෑසුනාක් මෙන් කොකිස් හැපීමේ නිරතව සිටියාය. උදේම පිඟානට වැටුන හීල් බත් හා පරිප්පු හොදි වලින් කිටියා කෑවේ පොඩ්ඩකි. ඒ, මාළු පිලී බැදුමක් එහි නොවූ නිසාය. කිටියාගේ හුරතලය, දැවටීම සහ එබී බැලීම මැණිකේට සිහිකලේ ඇගේ දරුවන් සහ නිවසේ සිටිත්දී එහි වූ ආදරණීයම පරිසරයයි. දරුවන්ගේ 'කිචි බිචි' හඬ මේ දැන් ඇසෙන්නාක් මෙන් ඇයට දැනුණි. දහවල් ආහාරයෙන් පසු මදක් හාන්සි වන මැණිකේගේ තුරුලට පනින කිටියාගේ උණුහුම, දරුවන්ගේ උණුසුම ලෙසම දැනී, මැණිකේගේ ඇස් තෙත් වූ වාරයන් ගනනද බොහෝය.

සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් හා ස්වාමියාගේ මරණයෙන් පසු විවේක කාලය ඇය ගත කලේ සමාජ සේවා වැඩකටයුතු සඳහාය. ඈ විහාරස්ථානයේ දහම් පාසලේ ප්‍රධනාචාර්ය වරිය වූවාය, කුලඟන සමිතියේ සභාපතිනිය විය, තරුණ බෞද්ධ සමිතියේ ගරු ගිහි අනුශාසකවරිය වූවාය. ඈ සතර පෝයටම සිල් ගත්තාය. පන්සලේ අභිනවයෙන් ඉඳි කෙරුණු ධර්ම ශාලාවේ ආධාර අරමුදල තර වූයේද, ඇගේ නොමඳ කැපවීමෙනි.

මෙවර, මැදින් පොහොය දිනය යෙදී තිබුණේ ඇගේ ජන්ම දිනයද වන විසි අට වනි දාටය. පොහොය දින ශීල සමාදාන වැඩසටහන අතරතුර, ඇය වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් සංවිධානය වූයේ ඒ අනුවය.

"අනේ අපේ හාමුදුරුවනේ. මට කියල විශේෂයෙන් උපහාර කරන්න දෙයක් නැහැ නොවැ" යැයි පිටින් පැවසුවත්, ඒ උපහාර උත්සවයට ඈ යටි සිතින් මහත් සේ කැමති වූවාය.  ශීලය සමාදන් වී සිටි සේමරත්න මැණිකේ, මුතු කුඩයක් යටින් කැඳවාගෙන ගොස්, උපහාර සන්නසක් සමඟ "සමාජ සේවා ශිරෝමණී" ගෞරව නාමය ප්‍රදානය කරන ලද්දේ සබරගමුව පලාතේ අධිකරණ සංඝනායක හිමියන්ගේ ගෞරවණීය වැඩමවීමෙනි.  උත්සව සභාවේදී එහිමියන් තමන් උදෙසා වදාල ගුණ කථනය සේමරත්න මැණිකේගේ දෙසවනේ නින්නාද දුන්නේය.

"මේ පින්වතුන් විශේෂයෙන් සිහි කල්පනාවට ගන්ටෝනි මේ සේමරත්න මැණිකේ උපාසිකා මාතාව වගේ උතුම් වූ ශ්‍රද්ධාවෙන්, තුන් රුවන කෙරෙහි සිත පහදවාගෙන පින් දහම් කරන්නට ගුණයක්, හැකියාවක් හැවෝටම පිහිටන්නේ නෑ. අපි හැවෝම ප්‍රාර්තනා කරන්ටෝනි, එතුමිය මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ උන්වහන්සේට ඇප උපස්ථාන කරන දායිකාවක් වෙලා, පින් අනුව විශාඛා මහෝපාසිකාවම වෙලා, ඒ බුද්ධ කල්පය තුලම අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ශාත් කරගන්නට හේතු වාසනා වේවා! කියල"

සේමරත්න මැණිකේගේ ඇස් තෙත් කිරීමටද සමත් වූ ඒ ප්‍රාර්ථනාව කෙලවර මහත් වූ සාධුකාරයක් නැඟී ආවේය.

කිටියා පිටමං කර දොර ජනෙල් වසා නිදා ගැනීමට ගිය සේමරත්න මැණිකේට නින්ද අහලකවත් නොවීය. අධික චිත්ත ප්‍රීතිය, ඇගේ සිතුවිලි ගව් ගනන් දුර රැගෙන ගියේය.

"දරුවනුත් එක්කාසු කරගෙන පන්සලේ දොළොස් මහේ පහණකුත් හදවන්ඩ ඕනි. මහානායක හාමුදුරුවො වඩම්මලා විවෘත කරවන්ඩ ඕනි, ලබන ඉරිදා දහම් පාසලේ විශාඛා චරිතය ගැන දේශනයක් කරන්න ඕනි, කුලඟන සමිතියෙ පෝය රැස්වීමත් එදාට කල් ගියානෙ අද උපහාර උත්සවය නිසා"

සවස තේ වේලෙන් පසු ඇය රාත්‍රී ආහාර ගත්තේ නැත. තේ වේලාවේදී ඇඹුල් කෙසෙලක්, කොකිසක් සහ කහට කෝප්පයක් පමණක් ගත්තේ දියවැඩියාව ඇති නිසාය. අනුන්ගේ ඉඳුල් කෑ විට ඇති වන බඩ 'බොර බොර' ගෑම ඇති වූයේ දහවල් දානයෙන් අනතුරුවය. එම අපහසුතාවයද, ඇගේ නින්ද තවත් පමා කලේය.

ඇඳෙහි පෙරළෙමින් සිටි ඇය කරා නින්ද ලඟා වන විට මැදියමද පසු වන්නට ඇත. පෝය සඳ මුදුන් වී, කාමරයේ එතෙක් වූ එළියද අඩු වී ගොස්ය. යන්තම් නින්ද යාගෙන එන විටම, නිවසේ පිලිකන්න දෙසින් බළල් පොරයක හඬ නැඟී ආවේය. කිටියාට වහ වැටුනු ගඩු පූසන් කීප දෙනෙක්ගේ අරෝව, ඇතැම් දිනවල නැඟී ආවත්, බොහෝ විට තද නින්දේ සිටින සේමරත්න මැණිකේව අවදි කරවන්නට එය සමත් වන්නේ නැත.

'ඤාවෝ ඤාවෝ' ගාමින් නැඟ ආ බළල් පොරය, සීරිම් පහුරු ගෑම් මැද පැයක් පමණ වේලා ඇදී ගියේය. "ශොහ්, ශොහ්, දුවපිය බළල් හැත්ත", සේමරත්න මැණිකේ ජනේල් පියනක්ද ඇර බළලුන් එළවීමට තැත් කලත්, මද කිපුණු බළලුන් ඇයව මායිම් කලේ නැත. ඉවසීම ඉක්මවා ගිය කල, කාමරයේ දොර අඩවල් කිරීමට බ්‍රවුන් පේපර් බෑගයක ඔතා තිබූ ගඩොල් බාගය අතට ගත් සේමරත්න මැණිකේ, එය බළලුන් පොර කන දිශාවට ජනේලය තුලින් එල්ලයකින් තොරවම විසි කලාය. ක්‍රෝටන් මල් පඳුරු අස්සෙන් බළලුන් දිව යන හඬ ඇසිනි. ඇය ටික වේලාවකින් නින්දට වන්නේය.

සේමරත්න මැණිකේ, පසු දින අවදි වූයේ තරමක ප්‍රමාදයකින් පසුවය. නින්ද පමාවීම නිසා, මද හිස කැක්කුම් ගතියක්ද ඇය පීඩාවට පත් කලේය. සම්මාන සංදේශය නැවත වරක් කියවා තුටු වූ සිතින් යුතුව ඇය කුස්සියට ගියාය. කැකුළු හාල් බතක් උයා, පොල් සම්බලයක් පිලියෙල කරගත් ඇය, ඉන් ටිකක් අනා කිටියාගේ පිඟානට දැම්මේ නොපිසින ලද වියලි හාල්මැස්සෙක්ද සමඟිනි.  දොර විවර කරන විට දිව විත් දැවටෙන කිටියා පෙන මානයකවත් නැත.

"කිටී ස... ස..., කිටී ස... ස...."

සද්දයක් නැත. ඇය බත් පිඟාන රැගෙන නිවස වටේම යමින් කිටියාට අඬ ගැසුවාය. පසු දින, බළලුන් පොර කෑ මණ්ඩියේ කිටියාගේ මල සිරුර විය. උගේ හිස ලෙයින් වැසී ඇත. ඇය, එල්ලයක් නොමැතිව එල්ල කල ගල් පාර, කෙලින්ම වැදී ඇත්තේ කිටියාගේ හිසෙහිය. සේමරත්න මැණිකේ ක්ලාන්තව ඇද වැටුනාය.

Comments

  1. රසිකගෙ ලිපි ෆේස්බුක් එකේ කියවල කොමෙන්ට් කරලා තිබ්බට අදයි බ්ලොග් එක දැක්කේ. අගෙයි. දිගටම ලියන්න. පොතට සුබ පැතුම්!

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ