අනූහයේ අපේ කතා, සිව් වන කොටස: සර්කිට් පිස්සෝ
සර්කිට් පිස්සුව වැලඳෙන්නේ හය හත වසරේදී පමණ වෙසක් සමයත් සමඟයි. විදුලි බුබුළු වලින් වටපිටාවේ සහ මඟේ තොටේ සිදුවන සැරසිලි දකින අපට බුද්ධ රූපයක්, බුදුරැස් වලලක්, මෝටරයක්, බැට්‍රි කෑලි දෙකක් සහ වයර් උවමනා වේ. මේඋවමනාව වැඩියෙන්ම ඇත්තේ නිවෙස් වල විදුලි බලය නොමැති අපවැනි ලමයින්ටය. මේ වන විට ශිෂ්‍යත්ව විභාගය පසුවී ඇත, සාමාන්‍ය පෙල පේනතෙක්මානයක හෝ නැත. එකල කොහොමත් විභාග පීඩනය අවමය. අප, අම්මලා තාත්තලාට ඇවටිලි කර කෙසේ හෝ ඉහත කලමනා ටික මිලදීගන්නෙමු. රටක් රාජ්‍යයක් ලැබුනාක් මෙන් නිවෙස් වලට යන අපට රැස්වලල්ල කරකවනකම් ඉවසිල්ලක් නොමැත. ධන රින දැනගත යුත්තේ එය මාරු උවහොත් බුදුන්වහන්සේගෙන් රැස් විහිදෙනවා වෙනුවට උන්වහන්සේට බුදු රැස් එකතු වෙනවා මෙන් පෙනෙන නිසාය. නිවසේ වයසක ආතෙක් හෝ ආච්චියෙක් වේ නම් වැඩේ කොහොමත් ලේසි නැත. ප්ලයිවුඩ් වුවත් බුදුපිලිමයට ගරුසරු දැක්විය යුතුය, හරියට රැස් වලල්ල කරකැවිය යුතුය.
" පුතේ පරිස්සමෙන් වස් වදින වැඩ කරන්න නම් එපා බුද්ධ රූප එක්ක"
ආතා හෝ ආච්චි කාරුණිකව කරුණු පහදා දෙයි. ඇතැම්විට හවසක පහන් පත්තු කර බුද්ධ වන්දනාව සිදුකරද්දී ලමා ලපටින් වන අපගෙන්
උන්වහන්සේට අවැඩක් අපහාසයක් සිදුවූවා නම් නොදැනකල වරදට සමාවද භජනය කරයි.
මෝටරය රීප්පයක් මුදුනට වන්නට රබර් පටි වලින් බැඳ කෙසේ හෝ කෙලින්
සිටුවා, රැස් වලල්ලේ මැද්දෑවේ සිදුරක් විද
මෝටරයේ කූර බැස්සුවාට වැඩිවෙලාවක් යන්නට පෙර කාඩ්බෝඩය ගෙවී
රැස්වලල්ල කැරකැවීම වෙනුවට උඩ පනින්නට පටන් ගනී. එවිට පැරණි සෙරෙප්පුවකින් අඟලේ අඟලේ පමන කැබැල්ලක් කපා, රැස් වලල්ලේ පිටුපසින් තබා, සිහින් කම්බියකින් බැඳ හෝ මසා සවිකර
සිදුර රබර් කැබැල්ලෙහි විදිය යුතුය. බැට්‍රි කිහිපයක් එකට තබා වයර් සම්බන්ධ කර
විදුලිය ගැනීමද පහසු නොවේ. ධන අග්‍රයට වයරය ආයකටුවක ගැට ගසා බැස්සවිය හැකි නමුත්
සෘණ අග්‍රයට එසේ වයර් ඇමිණිය නොහැක. කාඩබෝඩ් කැබැල්ලකින් බටයක් තනා, එතුලට බැටරි ඇතුලු කර, අග්‍ර වලට වයර් තබා ටියුබ් පටි වලල්ලක් දැමීම
පහසුම ක්‍රමයයි.
මෙතනින් පටන් ගන්නා ඉලෙක්ට්‍රොනික් පිස්සුව පොසොන් පෝය පමන වද්දී
ඔඩුදුවන්නට ගන්නේ ඒ සමයේ කහවත්තේ පොසොන් තොරණ ඉඳිවන නිසාය. තොරණ බල්බ් දකින අපිට ඉන්පසුව පාට බ්ල්බ් සහිත සර්කිට්
උවමනා වේ.
මේ යුගය, එනම් 1990 පමණ වත්දී එල් ඊ ඩී බල්බ් කරළියට පැමිණ තිබුණි. මෙකල භාවිතා වන සුදු
අධි බල එල් ඊ ඩී නොවූ එම බල්බ, රතු, කහ, කොල, තැඹිලි, සුදු, නිල් වැනි වර්ණයන්ගෙන් යුක්ත විය. මේ යුගය වත්දී බස් රථ වලද එල් ඊ ඩී
සර්කිට් සහිත බුදු රැස් වලළු ආදිය එහෙන් මෙහෙන් දකින්නට පටන්ගෙනය. ලයිට් සවිකිරීමේ
මේනියාව නිසා පලමුව අගතියට පත්වන්නේ නිවසෙහි ඇති ෆුට් බයිසිකලයයි. බයිසිකල්
ගමනාගමනයට සහ රූපවාහිනියට, ගුවන් විදුලියට පවා 'ලයිශන්' උවමනා වූ ඒ සමයේ බයිසිකල් සඳහා මිලදී ගත හැකි විදුලි ලාම්පු කට්ටල
විය. මේ කට්ටලයක ඩයිනමෝව, 'හෙඩ් හා ඩිම්' ස්විච්චයක් සහිත ප්‍රධාන ලාම්පුව, රතු පැහැති පසුපස ලාම්පුව විය. පිටුපස රෝදයේ
කට්ටයට සිටින ලෙස ඩයිනමෝවත්, ඉදිරිපස සහ පසුපස ලාම්පුවත් සවිකල විට,
බයිසිකලය පැදයන අවස්තාවේ ආලෝකය ලැබේ. වැඩි
ආලෝකයකට වඩා වේගයෙන් පැද යා යුතුය. කෙසේ වෙතත්, ඩයිනමෝව සවිකල විට බයිසිකලය පැදීමට අමතර වෙහෙසක් නම් දැරිය යුතුය.
දැන් මේ ඩයිනමෝ භාවිතා නොවන්නේ, මේ වන විට ඇති නවීන එල් ඊ ඩී ලාම්පු,
කුඩා බැට්‍රියකින් දිගු කලක් දැල්විය හැකි
නිසාය.
බයිසිකල් වලට බල්බ් සවිකිරීමේ උවමනාව දැඩි වූයේ ඒ වන විට පැතිර ගිය 'නයිට් රයිඩර්' උන්මාදය නිසාය. ඇමරිකානු රූපවාහිනී වෘතාන්ත වැඩසටහනක්
වූ 'නයිට් රයිඩර්' මුල් වරට 1982 වසරේදී එළි දුටු මුත්, ශ්‍රී ලංකාවේ මුල් වරට විකාශනය වූයේ 1984 දී පමණ, සිංහල උපසිරැසි සහිතවය. නයිට් රයිඩර් නැරඹීමටම
රුපියල් 3,300 ඩේට්‍රෝන් කළු සුදු රූපවාහිනී මිලදීගත් අයද
සිටියහ. කාර් බැට්‍රියකින් දින දාහතරක් පමණ පිරිමැසුම්දායක ලෙස නරඹන්නේ නම්
රූපවාහිනිය නැරඹිය හැකිය.
ඩේවිඩ් හස්ල්ඩොෆ් 'මයිකල් නයිට්' ගේ චරිතය නිරූපණය කරන කොල්ලෝ කුරුට්ටෝ ඔහු
අනුකරනය කලහ. ඇඟට හිරවන්නට ඩෙනිමක්, රතු
අත් කොට ටීශර්ටයක් ඇඳ කෙසේ හෝ කෙස්ස බොකුටු කරගන්නට කොල්ලන් නොදැමූ දහිරියක්
නොමැත. ස්වභාවයෙන්ම කොණ්ඩේ බොකුටු කොලුවෙක් නම් ඔහු කොහොමත් මයිකල් නයිට් ය.
ඉස්සරහින්, පිටුපසින් කොණ්ඩය යටින් ඇඟිලි යවමින්,
අදිමින් බොකුටු කොණ්ඩයක් ලබාගැනීමට කොල්ලන්
කුරුට්ටන් නොදැමූ දඟයක් නොමැත. මයිකල් නයිට්ටත් වඩා අපගේ සිත් සොරාගත්තේ 'කිට්' නැමති උඩින් පැන්නවිය හැකි මයිකල් නයිට් ගේ කාරයයි. පොන්ටියැක් ට්‍රෑන්සෑම්
වර්ගයේ එම මෝටර් රථයේ ඉදිරි පස 'වූශ් වූශ්' හඬ දෙමින් වමටත්, දකුණටත් දැල්වෙන බල්බ් සතකින් යුත්
බල්බ කට්ටලයකි. මේ බල්බ් කට්ටලය නිසා 'නයිට්
රයිඩර් සර්කිට්' ජනප්‍රිය විය. අපට උඩින් පැන්නවිය හැකි
කාර් නොමැත. ඇත්තේ බයිසිකල් කටුය. බයිසිකල් කටුවට නයිට් රයිඩර් සර්කිටයක් සවිකර
ගත්විට, කාරය 'කිට්' වන්නේය. නයිට් රයිඩර් සර්කිට් පාස්සනට
නම් සර්කිට් පිස්සුව හදාගත යුතුය. සර්කිට් පිස්සුවේ දෙවන වටය ඇරඹෙන්නේ එහෙමය. ඊට
අමතරව, මයිකල් නයිට්ගේ අතෙහි බැඳි කාරය සමඟ
කතා කල හැකි ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවක් විය. ඒ සඳහා අපට ආදේශකය වූයේ කැල්කියුලේටර්
ඔරලෝසුවයි. කැසියෝ CA-53W-1Z ඔරලෝසුවක් මිලදී ගත හැක්කේ පියා
ධනවතෙකු නම් පමණි. ඊට අනුරූපව සැකසූ බාල ඔරලෝසු, ඉරිදා පොලේ පවා, නයිට් රයිඩර් ස්ටිකර් සමඟ අලෙවි වූයේ
නයිට් රයිඩර් උන්මාදය නිසාවෙන්මය.
සර්කිට් පාස්සන්නට අපට ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පාසල් විෂය ධාරාවේ
ඉගැන්වූයේ නැත. අප සර්කිට් පෑස්සුවේ ස්වයංව උත්පාදනය කරගත් දැනුමත්, අධික උනන්දුවත්, ආසාවත් නිසාමය. ඒ සඳහා අපට මඟ පෙන්වූ පුවත්පත්, සඟරා කිහිපයක් විය. ඉන් මුල්තැනට එන්නේ 'සෙනිත් සිප්නැණ' සඟරාවයි.
සෙනිත් සිප්නැණ, ඉලෙක්ට්‍රොනික් විද්‍යාව මුල සිට උගන්වන පාඩම් පෙලකින්
සමන්විත විය. සරල සිංහල පාරිභාෂික වදන් වලින් සමන්විත වූ එම පාඩම් නිසා අප ඉලෙක්ට්‍රොනික්
විද්‍යාවේ අයනු ආයනු, ඉයනු ඊයනු කියව්වෙමු. මෙම සඟරාව අන්තර්ජාලයේ පීඩීඑෆ් ගොනු වශයෙන් අදටත්
දක්නට ඇත. ඡායා
පිටපත් එතරම් බහුල නොවූ සහ පාසල්
සිසුන් වූ අපට ‘අධික වියදම් සහිත වූ’ ඒ යුගයේ අප ඒ පාඩම් වෙනම කොපි පොත් වල පිටපත්
කරගත්තෙමු. ගුරු භවතා සේවයට නොපැමිණි ඇතැම් නිදහස් කාල පරිච්ඡේද වල
අහුරු පිටින් වටවී එකම
සඟරාවෙන් පාඩම් සහ සර්කිට් පිටපත් කල
හැටි මට අදත් නොස්ටැල්ජික ප්‍රීතියකින් යුතුව සිහිපත් කල හැකිය.
සර්කිට් පිටපත් කිරීමට අප වෙනම පොතක් තබා ගත්තෙමු. සර්කිට් පිටපත්
කිරීම පාඩම් පිටපත් කිරීමට වඩා සීරුවෙන් කල යුතුය. එකඉරක් හෝ වැරදී ගියේ නම් පරිපථය ක්‍රියාත්මක නොවේ. එකිනෙක බද්ධ වන
වයර මත ලොකු තිතක්ද
(dot), බද්ධ නොවී එකිනෙක හරහා යන වයර පැන්නුමකින්ද (bump) සටහන් කරමින් ධ්‍යානයකට සමවැදුනාක් මෙන් අපි සර්කිට් පිටපත්
කරන්නෙමු. මේ වැඩයට ගුරුවරුන්ගෙන් බාදාවක් එල්ල වූයේ අපි පාඩමක් මැද සෙනිත් සඟරා
පෙරලුවහොත් පමණි. නැතහොත් පන්තිය නිදහස් කාල පරිච්ඡේදයකදී හෝ 'මීක්' නැත. පන්තියේ සිසුන් සියල්ලන්ටම සර්කිට් උණ නොවැලඳුන ඇතැම් පන්තියක
නම් කෝලාහලයක මෙන් සද්ද බද්ද ඇති විය. මේ සර්කිට් අපබ්‍රංශය අප සමඟ සිටි ගැහැණු ලමුන්ට නම් තෙරුණේම නැත. අපට වඩා සිරුරෙන් වැඩෙමින්
සිටි ඔවුන් අපගේ සර්කිට් පිස්සුව දිහා තක්බීර් වී බලා සිට ඔවුනොවුන් හා 'මුණු මුණු' ගෑහ.
එකල අතට ලැබෙන හැම සතයක්ම අප වියදම් කලේ ඉලෙක්ට්‍රොනික් උපාංග මිලදී
ගැනීමටය. C 828, D 400 ආදී ට්‍රාන්සිස්ටර් ද, විවිධඅගයන්හි
ප්‍රතිරෝධකද, කැපෑසිටර්ද, එල් ඊ ඩී බල්බ්ද, සංගෘහිත පරිපථද (IC), වයර් ඊයම් සහ වයර් කෑලිද අපේ කවකටු පෙට්ටි සහ නිවසේ ලට්ට ලොට්ට පෙට්ටි පුරවා තිබුණි.
සාමාන්‍යයෙන් පරිපථ එකලස් කිරීම සඳහා වුවමනා වන අංගෝපාංග බොහොමයක් අප
සතුව නොතිබිණි. විදුලි පාස්සනයක් නැතහොත් ඉලෙක්ට්‍රික් බවුතයක් තිබුණේ කිහිප
දෙනෙකු සතුවය. අනිකුත් අප බවුතයක් තනාගත්තේ පැරණි තඹ කාසියක් ස්පෝක් කම්බියක කෙලවර
කාසියේ විශ්කම්භය දිගේ තබා, දෙකට නැවෙන සේ තලා ගැනීමෙනි. අනිත්
කොනට ලාඩප්පා හෝ බහුල ලී වර්ගයකින් මිටක් සවි කෙරේ. තඹ කාසිය සහිත කොටස ගින්නට
අල්ලා රත් කල යුතුය. මේ නිසා බොහෝ විට
සර්කිට් පෑස්සීම සිදුවන්නේ මවගෙන් රොස් පරෝස් ද අසමින් ලිප් බොක්කේ ය. සර්කිට්
පාස්සන්නට මුද්‍රිත පරිපථ පුවරු අපට නැත. ඒ සඳහා බොහෝ විට ෆෝමිකා තහඩු කවකටුවෙන්
විද භාවිතයට ගැනේ. මම ඒ සඳහා පැරණි හතරැස් බූලි කපා තහඩු සකසා ගතිමි. ෆෝමිකා තහඩු
වල ඇති නැවෙන සුළු ගතිය මට එතරම් ගෝචර නොවූ නිසාය.
එල් ඊ ඩී බල්බ වලින් සැකසූ නයිට් රයිඩර් පරිපථයක් බයිසිකලයක
ඉදිරියෙන් අමුණාගෙන පදින කොලුවා, අනිත්
කොළුවන් අතර වීරයෙකි. ගිනි දවාලේ ඔය බල්බ් වැල නිවෙනු පත්තුවෙන පෙනෙන එකෙක්ද නැත.
ඒ බල්බ් වැල් පත්තු වන්නේ අපේ හිත් ඇතුලේය. නයිට් රයිඩර් සර්කිටයට අමතරව නිවි නිවී
දැල්වෙන බල්බ් වැල්, සංඥා පහන් ආදිය බයිසිකලයට අමුණන්නට
සිදුවූයේ තාවකාලිකවය. තාත්තා බයිසිකල් පදිනවිට ඔය සුකුරුත්තං තිබුණහොත් ගලවා
විසික්කනවා සිකුරුය. කුඩා විදුලි ඕගනයක් පාස්සා ගත්තේ එකල තිබූ සංගීත උණ නිසාය.
වාද්‍ය ශ්ල්පියෙකු වීමට මා තුල වූ අංකුර ආශාව එකල්හිම නොදන්නා හේතුවක් නිසා යටපත්
විය.
විවිධ සර්කිට් වර්ග, බොහොමයක්
විදුලි බල්බ් සහිත ඒවා පංතියට රැගෙන ක්‍රියාත්මක කර විනෝද වීමට අපි පුරුදු වී
සිටියෙමු.
එකල විදුලි පරිපථ උපාංග මිලදී ගත හැකි වෙලඳ සල් කිහිපයක් මගේ මතකයේ
ඇත. පැල්මඩුල්ල බස් නැවතුම සමීපයේ, දැන්
ගල්වත්ත පාරට හැරෙන හන්දියේ වූ කඩය, ඉන්
ප්‍රියතම එකයි. කුඩා වීදුරු කැබිනට්ටුවක, ප්ලාස්ටික් දීසි මත සකසා තිබූ ට්‍රාන්සිස්ටර්, කැපාසිටර්, රෙසිස්ටර් ආදිය, රුවන්පුරයේ මුතු මැණික් වලටත් වඩා අගනා
සම්පත් ලෙසින් අපට දිස් විය. මේවා සාමාන්‍යයෙන් 'ඉලෙක්ට්‍රොනික්ස්' ලෙස හැඳින්වෙන විදුලි උපකරණ ආදිය
අළුත්වැඩියා කරන ස්ථානය. රෙකෝඩ් බාර් මෙන්ම, සංගීතය පිටවන බෆලයක් , විදුලි
බුදුරැස් මාලා කීපයක් මේවායේද, පාරට පෙනෙන පරිද්දෙන් සකසා ඇත්තේ ලමුන්
ආකර්ශණය කරගැනීම සඳහාමය.
කහවත්ත නව කඩපෙලේද එවන් ඉලෙක්ට්‍රොනික් කඩයක් වූ බව මට මතකය.
පැල්මඩුල්ල - කහවත්ත පාරේ, ඔරලෝසු
කණුවේ සිට මද දුරක් යත්දී වම්පසට වන්නට
වූ ඉලෙක්ට්‍රොනික් කඩය පවත්වාගෙන ගියේ, පන්සල
අත්හැර පැමිණි ස්වාමීන්වහන්සේ නමකි. උන්වහන්සේ එහිමැ පදිංචිව ඉලෙක්ට්‍රොනික් උපාංග
අළුත්වැඩියා කරමින් විසූහ. දකුණතේ බාහුවේ කළු පැහැති කුඩයක් එල්ලාගෙන ආහාර ද්‍රව්‍ය
ආදිය මිලදී ගැනීමට නගරයට වැඩියහ. ටික කලකින්, එම ස්ථානයේ සේවයට රූමත් යුවතියක් පැමිණීම අප කාගේත් කුකුසට හේතු විය.
ටිකඩ් දවසකින් කඩය වැසිනි. වැසුනාටත් වඩා වේගයෙන් විවෘත වූ එහි සිටියේ සිවුරකින්
සැරසුනු ස්වාමීන් වහන්සේ කෙනෙකු නොව, කලිසම්
කමිස හැඳි තරුණයෙකු සහ ඔහුගේ නව යොවුන් බිරියයි. ස්වාමීන් වහන්සේ සිවුරට සමුදී අර
තරුණිය සරණපාවා ගෙන තිබුණි. ඔහුට කලක් යන තුරු බාහුවේ කුඩය එල්ලාගෙන යන පුරුද්දෙන්
අත්මිදීමට බැරිවූ බව අපට මතකය.
ඉලෙක්ට්‍රොනික් පිස්සුව නිසාම, අපට ලැබෙන ඉලෙක්ට්‍රොනික් කාර් ආදිය වැඩිකලක් ඒ ආකාරයට පවතින්නේ නැත.
ටික දිනකින් මෝටරයත්, බැට්‍රි රඳවනයත්, බල්බ් වී නම් ඒවාත් වෙන් වෙන් වශයෙන් ගැලවේ.
එසේ අටුව කඩා පුටුව හදන්නට ගොස් නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයේ ස්පීකරය ගලවාගෙන
පාසල් රැගෙන ආ එකෙකු නිවසේදී නොසෑගෙන්න ගුටි කෑවත ඔහුගේ සර්කිට් පිස්සුව නම් පහව
ගියේ නැත.
මේ ඉලෙක්ට්‍රොනික් රැල්ලට තවත් කුඩා හෝ පිටුබලයක් එකල මුල්වරට එලි
දැක්වුණ සූර්ය විදුලි පහන් සහ ප්‍රශක්ති පහන් ද හේතු විය. කළු සුදු රූපවාහිනිය,
ගුවන් විදුලි යන්ත්‍රය, විදුලි පහන් තුනක් බලගැනුවුන සම්පූර්ණ සූර්ය බල
පද්ධතියක සම්පූර්ණ මිල රුපියල් විසිදහසක් පමණ බව මගේ මතකයේ රැඳී පවතී. සූර්ය
පද්ධති මිලට ගැනීමට වත්කමක් නොමැති අයට කහවත්තේ පැරණි දුම්රිය පල අසල සිට
කෙටේතැන්න දෙසට යනවිට දකුණු පැත්තේ ප්‍රශක්ති ටෙක්නිකල් සර්විස් ආයතනය පිහිටා
තිබුණි. කාර් බැට්‍රියක්, වයර්, එබනයිට් ස්විච් දෙකක් සමඟ සිඟිති විදුලි පහන් දෙකක් මිලදී ගත්විට
කාර් බැට්‍රිය දෙසතියකට වරක් චාජ් කරගෙන, කළු සුදු රූපවාහිනියක් දිනකට දෙපැයක් පමණ සහ අත්‍යාවශ්‍ය වේලාවට
චිමිනි ලාම්පුවට වඩා තරම්ක් හොඳ විදුලි ආලෝකය ලබාගත හැකිය. මේ බැට්‍රියට එල් ඊ ඩී
බල්බ අල්ලන්නට ගොස් ඇඟිලි පුච්චා ගත් අවස්ථා ගනන මට මතක නැත!
සෙනිත් සිප්නැණට අමතරව, අපට
ඉලෙක්ට්‍රොනික් විඥාණය ලබා දුන් තවත් පුවත්පත් දෙකකි. එකක් විජයයි. අනික විදුසරයි.
විජය පත්‍රයේද සරල ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවක් කොටස් වශයෙන් පල විය. මේ පාඩම් කපා
එකතුකර ගැනීමට, මම උසස්පෙල පන්තිය දක්වාම විජය පත්‍රය
මිලදී ගත්තෙමි. උසස්පෙල පන්තියේදී විජය මිලදී ගැනීම තරමක් ලජ්ජා සහගත කරුණක් වූයේ
ඒ වන විට'තරුණයා' පත්‍රයත්, මල් පත්තරත්, වැල පත්තරත් ජනප්‍රිය වෙමින් පැවති නිසාය! විජය පත්‍රය, එදවස නොමිලේ තිලිණ කල විජය ඥාණකෝෂයේ කොටසක්
තවමත් මම සුරැකිව තබාගෙන සිටින්නෙමි.
විදුසර පත්‍රය ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. විදුසර, එදවස අපගේ අන්තර්ජාලයයි. විෂය පරිබාහිර බොහෝ
දැනීමත්, විද්‍යා ප්‍රබන්ධ, අධිකරණ වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව ආදී විවිධ මානයන් කෙරෙහි අප තුල
ඇල්මක් ඇතිකිරීමට විදුසරෙන් ඇති වූ දායකත්වය කියා නිමකල නොහැකි තරම් ය. විදුසරේ ඉලෙක්ට්‍රොනික් ලිපි මාලාව වෙනස්ම
ආකාරයක් ගත්තේ, නිවෙන දැල්වෙන බල්බ් සහිත සර්කිට් වෙනුවට ප්‍රායෝගික
ජීවතයට වටින ඉලෙක්ට්‍රොනික් උපාංග බොහොමයක් සරලව සකසා ගත හැකි ආකාරය ඒ ලිපි තුලින්
දක්වා තිබීමයි. එලෙස සකස් කරගත් දේ අතරින් ගුවන්විදුලි සහ රූපවාහිනී ඇන්ට්‍රනා ප්‍රමුඛ
තැනක් ගනී.
ඒ එෆ්.එම් ගුවන් විදුලි සේවාවන් ඇරඹි සමයයි. 94 වසරේදී 'සිරස එෆ්.එම්' ආරම්භ වන්නට පෙර, පහසුවෙන් සංඛ්‍යාතයන් ග්‍රහණය කරගත හැකි ගුවන්
විදුලියක් වූයේ නම් ඒ 'සිටි එෆ්.එම්' සේවාවයි. අපේ ගම් පෙදෙස් වලට සිටි එෆ්. එම්
පහසුවෙන් ග්‍රහණය නොවූයේ දුරත්, කඳු සහිත ස්වභාවයත් නිසාය. විදුසරේ ඒ
සඳහා ඉතා පහසුවෙන් සකස් කර ගත හැකි එෆ්. එම් ඇන්ටනාවක විස්තර පල විය.
ඩබල් වයරයක් ගෙන, අඩි දකක පමණ කොටසක් දිග හැර, ඒ කොටස් රීප්ප පටියකට සවිකර, අනෙත් දිග නොහැරි අන්තයේ එක වයරයක් බැටරියේ සෘණ
අග්‍රයටත්, අනෙක් කොණ රේඩියෝවේ ඒරියලයටත් ගැටගසා,
රීප්ප ඇන්ටෙනාව උඩකින් තැබීමකින්, එෆ් එම් නාලිකාවේ ශ්‍රවණ තත්ත්වය සැලකිය යුතු
මට්ටමකින් වැඩි විය. දැන් නම්, පොකට් රේඩියෝවකට පවා එෆ්. එම් තරංග
මැනවින් ග්‍රහණය වේ. ඒ නැතත් අන්තර්ජාලය හරහාද රේඩියෝව ශ්‍රවණය කල හැකිය.
ජාතික සහ ස්වාධීන නාලිකාවට අමතරව, පුද්ගලික රූපවාහිනී නාලිකා කල එළි බැස්සේද මේ සමයේදීමය. මේ නාලිකා,
සාමාන්‍ය රූපවාහිනී ඇන්ටෙනා වලින් නැරඹීමට
නොහැක. ප්‍රධාන ධාරාවේ විදුලිය නොමැති නිවෙස් වල සිග්නල් බූස්ටරද නොමැත. විදුසරෙන්
'වී' ඇන්ටෙනා හඳුන්වා දුන්නේ මේ සමයේදීය. අඟලේ හෝ බාගයේ එල් හැඩයේ ඇළුමිනියම් පටියක් අඩි තුනේ පමණ කැබලි දෙකකට
කපා, ජලයට ඔරොත්තු දෙන ශක්තිමත් ලෑලි
කැබැල්ලක් මත අංශක හැටක පමණ ආනතියට සවිකර, ඇළුමිනියම් පටියේ එක ලඟ ඇති කෙලවරයන්හි සිදුරු දෙකක් විද, එයට පැතලි ඇන්ටනා වයරයක් සවිකෙරේ. සවිමත් ලෑලි
කැබැල්ලට සිරස් රීප්ප පටියක් සවිකර, උණ
ගසක මුදුනේ සවිකර ඇන්ටනාව පොලවේ සිටවේ. චැනලයෙන් චැනලයට ඇන්ටනාව කැරකැවීමටත්,
සංඥා තත්ත්වය පරීක්ෂා කිරීමටත් දෙදෙනෙකු
අවැසිය.
'දැන් පේනවදෝ"
"ආ තව ටිකක් ඒ පැත්තටම කරකවන්ඩෝ.. ආ පෙනිල නැති වුනා. හිමින්
කරකවන්නෝ" ඒ දිනවල ඇසෙන සුලභ ඝෝෂා ය.
සාජන්, දිල්, මිස්ටර් ඉන්ඩියා, තනීඩාර් ආදී ජනප්‍රිය රැල්ලේ හින්දි ප්‍රේම
වෘතාන්ත චිත්‍රපට රැල්ලට හිට් වූයේත්, මදුරි
ඩික්සිත්, ජුහී චාවුලා, ශ්‍රී දේවි ආදීන් අපේ සිහින කුමාරියන් බවට පත් වූයේත් ධර්මසේන
පින්නදූව මහතා ඇතුළු විදුසරට ඉලෙක්ට්‍රොනික් ලිපි මාලාවන් සැපයූ සුලවතුන්ට පින්
සිදු වන්නටය.
©රසික වික්‍රමනායක
2023.8.29
ඉලෙක්ට්‍රොනික්ස් පිස්සුව කියන්නේ මට අවුරුදු පහක තරම වැළඳිලා, සන්නිපාත තත්වෙටම ඇවිත්, තාම හොඳ උනේ නැති එකක්. එක අතකට මට රස්සාව හොයල දීපු ශිල්පය කියන්න පුළුවන්. 1998 තමා මම ඔය පිස්සුව හදාගත්තේ. උඩ ගෙදර අයියල දෙන්නගෙන් බෝ කරගෙන. එයාලා 80 අග 90 මුල කට්ටිය. ඒ කාලෙන් ඉතුරු වෙච්ච දේවල් සහ එයාලගේ පිස්සුවෙ අවසාන කාලේ බලාගෙන ඉඳන් තමයි මම පුරුදු උනේ. මට මතකයි ඒ අයියා කෙනෙක් එක්ක එකතු වෙලා (එතකොට ඒ අයියා කැම්පස්, මම 6 වසරේ) CXA 1619 IC එක දාලා රේඩියෝ එකක් හැදුවා (මේ ලඟක් වෙනකල් බෝඩ් එක මා ගාව තිබ්බා).
ReplyDeleteමමත් නුවර විජිත, තරංග, කලාතුරකින් අශෝක වගේ කඩවල් වලටයි, අපේ ටවුමේ ඒ කාලේ කඩවල් 3ක් තිබ්බා ඒවටයි (දැන්නම් ඒවායින් එකයි තියන්නේ) තමා පොකට් මනි වියදම් කරේ. අත්තම්මා එයා ළඟ තිබ්බ නම් මට සල්ලි දෙනවා ඔය වැඩ වලට.
තාම මම සර්කිට් හදනවා. LED අනංමනං එහෙම. මේ ළඟදිත් එකක් අටවලා වහලෙට සෙට් කරා.
අපිට පොත් විදියට තිබ්බේ සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් සිස්ටම්ස් සීරීස් එක (මේකේ 1, 5 විතරයි කඩේ ගන්න තිබ්බේ), තව 555 සංගෘහිත පරිපථයෙන් තිබ්බ සර්කිට් පොතක්, ආය ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියල එකක්. අන්තිමට කිව්ව දෙක ගණන්. ඒ නිසා ඒවා ගත්තේ නෑ. විශ්මිත ඉලෙක්ට්‍රොනික පරිපථ කියල පොත් සීරීස් එකක් තිබ්බා, ඒ උනාට ඒවායේ සර්කිට් බහුතරේකට මෙහෙ කෑලි නැහැ.
ඔය අතරේම අපිට හම්බුනා විජය, විදුසර සහ විජය පරිගණක සඟරාව. ඒවායේ තිබ්බා ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර් හාඩ්වෙයා. පරිගණක සඟරාව නිසා තමා ඇත්තටම කම්පියුටර් එකක කෑලි ටික අඳුරගත්තේ. ඊට පස්සේ අහලපහල රිපෙයාර් කරන තැන් වලින් වැඩ නොකරන ඒවා අරගෙන ඇවිත් ගලවලා බලල.
ඔහොම තමා ඉතිං ඒ ඉතිහාසය. මේක ගැනත් අර කැසට් වගේ ම ලියනවා නම් ලිව්වැකි පොතක් උනත්.