සංඥා සයන්ස්කාර සවිඥාණ

 

පත්මසිරි ශිෂ්‍යත්වේ සමත් වෙලා කොලඹ ආනන්දෙට ආවේ හැත්තෑව දශකෙ අග කාලෙ. ඊට පස්සෙ අසූව දශකෙ මැද වෙද්දි, සාමාන්‍ය පෙල සමත් වෙලා, උසස් පෙල පංතියේ. විද්‍යාව හෝ ගණිතය උසස් පෙලට තෝරා ගන්න සුදුසුකම් සැපිරුවත්, පත්මසිරි තෝරා ගත්තේ කලාව. කලා පන්තියෙ වුනත් ඉගෙන ගත්තෙ විද්‍යාවම තමයි. දේශපාලන විද්‍යාව, ආර්තික විද්‍යාව. ඊට අමතරව බෞද්ධ ශිෂ්ඨාචාරය සහ සිංහල.

පත්මසිරිගේ හොඳම යාළුවා රාජන්. පත්මසිරි කොලඹ ආවේ දකුණේ දික්වැල්ලෙන්. රාජන් උතුරේ වැල්වටිතුරෙන්. දෙන්නටම වැලි සම්බන්දයි. අසූතුනේ කලබල අස්සේ රාජන්ට වෙච්ච යම් කරදර අස්සේ උනත්, මිත්‍රත්වය එහෙමම රැඳුණා. රාජන් ඒ වෙද්දි දෙමල වගෙම සිංහලත් හොඳින් හසුරුවනවා.

දෙන්නටම 'විද්‍යාවල්' ටිකක් විතර තේරෙනව හොරයි. ඉතින් ආර්ථික විද්‍යාවට ටියුශන් පන්තියක් හොයා ගත්තා. අනෙක් විද්‍යාවටත් ටියුශන් පන්තියක් හොයාගන්න හැදුවට හරි ගියේම නෑ.

දේශපාලන විද්‍යාව නොතේරෙන්නෙ පාසලේ උගන්වන ආකාරයට. ඒක ක්‍රමයේ වැරැද්දක්ද, තමන්ගේ හැකියාවේ ප්‍රශ්නයක්ද කියල රාජන්ටත්, පත්මසිරිටත්, තේරුමක් වුනේ නෑ. දේශපාලන විද්‍යාව ඉගැන්වුවේ ලීලාවතී ටීචර්. ටිකක් තරබාරු ටීචර් පන්තියට පාවෙන්නෙත් ඕනවට එපාවට වගේ. දක්ෂ ගුරුවරියක්. දැනුමෙන් සන්නද්ධයි, කරුණාවන්තයි ඒ උනත් ඉගැන්වීම පැටලිලි සහිතයි. මුලින්ම මේ අපේ වැරැද්දක් කියල පත්මසිරිටයි රාජන්ටයි හිතුනත්, පස්සෙන් පහු තේරුණා එහෙමමත් නොවෙයි, පන්තියෙ ගොඩක් අයට එහෙමයි කියල. ටීචර් සමාජවාදය ගැන උගන්වන්න ගත්තම ෆැසිස්ට්වාදයත් එක්ක පටලවනව, ධනවාදය උගන්වද්දි, ඒ අස්සෙ තියෙන සමාජවාදී ලක්ෂණ හරි මොනවා හරි කියනව. විෂය කරුණු වලින් පරිබාහිරව මත ඉදිරිපත් කරනව. සටහන් දෙන්නෙ නෑ. ශිෂ්‍යයො ලියාගන්න ඕනි. රාජනුයි, පත්මසිරියි පුළු පුළුවන් විදියට ලීවත්, උක්තය තියෙද්දි ආක්‍යාතය නෑ,ආක්‍යාතය තියෙද්දි උක්තය නෑ.

විෂය සමගාමී කරුණු තියෙන පුස්තකාල පොතුත් තියෙන්නෙ ඉංග්‍රිසියෙන්. ඒවායින් කරුණු උකහාගන්නව කියන්නෙත් ලේසිපාසු කටයුත්තක් නොවෙයි. අනෙක් විෂයයන් තුනම වැඩි ආයාසයකින් තොරව, ආත්ම විශ්වාසයෙන් ඉගෙන ගනිද්දී, දේශපාලන විද්‍යාව විතරක් පත්මසිරිලා පඹගාලක පැටලුවා. 

පඹගාලෙන් ඇති වූ ව්‍යාකූලත්වය, පත්මසිරි ගෙ අම්මටත් තේරුණා. ඇය සාමාන්‍ය පෙල ගුරුවරියක්.

"දැන් උඹලගෙ ගැටළුව දේශපාලන විද්‍යාවට සටහන් නැති එක එනද මගෙ පුතේ?" අම්මා පද්මසිරිගෙන් ඇහුවෙ එහෙම ඇති වූ කතාබහක් අතරතුරේදි.

"ඔව් අම්මෙ. සටහන් පොත් තියෙනවනම් ප්‍රශ්ණයක් නෑ. අපිට ටීචර් කියන ඒවා නොතෙරෙනව නොවෙයි. ඒත් සටහන් නැතිව ඒවා ගලපගන්න බෑ අම්මෙ" පත්මසිරි එහෙම කීව.

"හිටහන්කො. මම දන්න ඉස්කෝලෙ හාමිනේල කීප පොලක් ඉන්නව. මම පොඩ්ඩක් මුකුත් කරන්න බලන්නම් මගෙ පුතේ" පත්මසිරි ගෙ අම්ම කීවේ පත්මසිරිගෙ හිස අතගාන ගමන්.

සති දෙකකට විතර පස්සෙ, අම්මා පොත් මල්ලක්ම අරගෙන ආව.

"පුතේ මේ බෑග් එකේ පොත් කට්ටල දෙකක් ඇති. සෙන්ට් බ්‍රිජට් එකේ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්ගෙන් ඉල්ල ගත්තේ. එයාගෙ පන්තියේ ඉගෙන ගත්ත ගෑණු ලමයි දෙන්නෙක්ගේ. දෙන්නම විභාගේ ඉහලින් පාස් වෙලා විශ්ව විද්‍යාලෙ ගිහින් දැන් අවුරුදු දෙකකට විතර කලියෙන්. මේ පොත් කට්ටල් දෙකෙන් එකක් පුතා තියාගෙන අනික රාජන්ට දෙන්න" පත්මසිරිලගේ අම්මා සාරි පොටින් පවන් සලන ගමන් කීවෙ සිනාවකුත් මුවට නඟාගෙන.

පත්මසිරි අම්ම දීල ගිය මල්ල දිග හැරලා බැළුවා.

පොත් කට්ටල් දෙක වෙන වෙනම දුඹුරු කඩාදාසි වල පිලිවෙලට ඔතල. එයින් එකක් රාජන්ට අයින් කරල තියල අනිත් පොත් මිටිය පත්මසිරි අතට ගත්තා.

ඒ පොත් මිටිය බොහොම පිලිවෙලයි. පිලිවෙලට කඩදාසි කවර දාල, ඊට උඩින් පොලිතින් කවරයකුත් දාල. ඇතුල් පැත්තෙන් ස්ටේප්ලර් කටු ගහල. ස්ටේප්ලර් කටු යාන්තමින් මල බැඳීගෙනත් එනව. පොතේ පොලිතින් කවරේ අත්වලට ගෙවිලා, නාරටියෙන් රැළි රැළි වැටිල. පොලිතින් කවරේ කිහිප පොලක්ම කට්ට කට්ට හිටින්න හීරිලා. " නියපොතු පාරවල් වෙන්න ඇති" පත්මසිරි කල්පනා කලා.

පොත් කවරයේ 'නිලූකා සපරමාදු, 12 E, Political Science 1,2,3,4’ ආදී වශයෙන් පිලිවෙලකට අංකනය කරල. හැම පොතකම කවරයේ පත්තරයකින් කපාගත්ත මල් පොකුරක්, හදවතක්, කුරුළු ජෝඩුවක් වගේ රූපයක් අලවලා. පොත් වල පලවෙනි පිටුව හිස්. මුකුත් ලියල නෑ. ඊට පස්සෙ පිටුවල රවුම් බෝල බෝල අකුරු වලින් සටහන් එක පෙලට.

පොත පෙරලද්දි, ඒ අස්සෙන් හමාගෙන ආවෙ නුහුරු, නුපුරුදු සුවඳක්. පොත් පරණ වෙද්දි එන සුවඳත්, වියලි තීන්ත සුවඳත් එක්ක මුසු වෙච්චි තවත් සුවඳක්. ඒ සුවඳ පත්මසිරි නාස් පුඬු වලින් ඉහලටම ඇද ගත්තා. ඒ සුවඳ එතරම් හුරු නැතත්, නොදන්නම සුවඳකුත් නෙවෙයි. ඒ සුවඳට පත්මසිරිල කීවේ 'ගෑණු සුවඳ' කියල. 

හයේ පංතියේ ඉඳලම පාසලේ ගැහැණු ලමයින් නැතත්, මඟ තොට යන එන බස් එකේ, දුම්රියේදි, ටියුශන් කියල යන එකම ආර්තික විද්‍යාව පන්තියේ, ඇඟේ ගෑවී නොගෑවී යන පාසල් සුදු ගවුම ඇඟ ලා ගත් ගැහැණු ලමයින් ලඟ ඒ සුවඳ තියෙනවා. පියර සුවඳ, කැඳ දාලා මැදපු ගවුම් වල සුවඳ, දාඩිය සුවඳ, ඇතැම් විට ලේන්සුවේ දවටගෙන යන පිච්ච මල් දෙකක සුවඳ එකට එක්කාසු වෙච්ච අමුතුම සුවඳක් තමයි ඒ ගැහැණු සුවඳ. පත්මසිරි මෝහණයට පත් වෙලා වගේ, හිමින් හිමින් ඒ සුවඳ විඳ විඳ ඒ පොත් පිටු එකින් එක පෙරළුවා. නිලූකා එයාගේ බෝල අත් අකුරු දීප්තිමත් නිල් පාට තීන්තෙන් ලියල තියෙන්නෙ රූල් වල නොගෑවෙන්න රූල් දෙකක් අතර හරි මැදින්. කලු පාට රූල් ඉස්මතුවෙලා, නිල් පාට අත් අකුරු අහසෙ පාවෙනව වගේ.

පොතේ මුල් පිටු වගේම අන්හිම පිටුත් හිස්. ඒවායේ පෑනෙන් කුරුටු ගෑව මල්, හදවත්, කවි. නව යොවුන් තරුණියකගේ සිතුම් පැතුම්. තදට පාට කල මල් වලින්  තවමත් තීන්ත සුවඳ ලාවට වගේ ගලාගෙන එනවා.

පත්මසිරි, පොතේ අයිතිකාරිය වන නිලූකා සිතින් මවා ගන්න උත්සාහ කලා.

සුවඳ හමන පියරු දැමූ ලේන්සුවක් අරගෙන, මුකුළු කරමින් කිචි බිචි ගගා පාසල් යන, ඉඩක් ලැබෙන වෙලාවට පොතේ අන්තිම කොල වල මල්,කුරුල්ලන්, කවි කුරුටු ගාන, කොණ්ඩ කරල් දෙකක ගොතල පිට මැදට දමා ගත්ත හුරුබුහුටි කෙල්ලක්?

එහෙමත් නැත්නම් ලොකු රවුම් කණ්නාඩි දෙකක් දාගෙන, තිස්සෙම පොතට එබිලා, ඇලිලා ඉන්න, බෙහෙත් තෙල් ඔලුවෙ උලන, හිනා පොදක් නැති තරබාරු කෙල්ලක්?

ඒ වගේ කෙල්ලෙක් මල් කුරුටු ගාවිද? ඒ වගේ කෙල්ලන්ට හැඟීම් නැතිද? අනිත් අතට බලි කුරුටු ගගා කිච්චි බිචි ගාන කෙල්ලො සරසවි යාවිද?

පත්මසිරිට හරියාකාර ප්‍රතිරූපයක් මවා ගන්නම බැරි වුනා.

පොත පොඩ්ඩක් නැහැයට ලංකරල බැලුවෙ තව මොනව හරි නිගමනයක් ගන්න බලන්න. තෙල් බෙහෙත් සුවඳක් වත් ඒවිද?

"තොට කෙල්ලෙක්ගෙ පොත් ගෙනත් දුන්නෙ ඉඹ ඉඹ ඉන්න නෙමේ පාඩම් කරන්න"

අම්මා ලඟටම ඇවිත් ඔලොක්කුවට වගේ අත බොකුටු කරල පිටට පහරක් ගහනකම්ම පත්මසිරි දන්නෙත් නෑ. එයාට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් ආව. පත්මසිරි කොහොමත් ලැජ්ජ කාරය.

කොහොම කොහොමින් හරි, රාජනුත් පත්මසිරිත් ගෑණු ලමයින්ගෙ පොත් කට්ටල වල පිහිටෙන් දේශපාලන විද්‍යා පඹ ගාලෙන් එලියට ආවා. ලීලාවතී ටීචර් ගැටගහල තිවුනු කරුණු කාරණා නූල් බෝලෙ හිමිහිට දිග හැරි හැරී, නූල් පන්දුවක් විදියට එතෙන්න ගත්තා. ඒ නූල් පන්දුවෙන් පිලිවෙලට වියමනක් ගොතාගෙන, උසස් පෙල  සමත් වෙලා පත්මසිරිත්, රාජනුත් කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයට සේන්දු වුනා.

*****

මාස තුනක් හතරක් පමණ ඇදි ඇදී ගිය නවක වද කාල සීමාව සහ භාෂා පාඨමාලාවට පස්සෙ, දේශණ පටන් ගත්තේ මැයි මාසෙ දවසක.

සරසවිය ඉදිරිපිට මහපාර දෙපැත්තෙ පිපිච්ච ඇහැල මල් පෙති පාරට වැටිල වැස්සෙ තෙතට පොලවට ඇලිල. පැත්තම කහ, කොල පාටයි. මහාචාර්ය වරයෙකුගෙ කම්මැලි හිතෙන උදෑසන දේශණයකින් පසු, සවස් වරුව වෙන්වෙලා තිබුණේ නවක උපදේශක වරියකගේ දේශපාලන විද්‍යාව දේශණයකට.

දවල් නැවතිච්ච වැස්ස හවස් වෙද්දි ආයෙමත් කඩාගෙන වැටුනා. දේශණ ශාලාවට උපදේශක වරිය ආවේ වැස්සත් අරගෙනමයි. ඇය දුටු දේශණ ශාලාවේ කසු කුසු නැවතී මීයට පිම්බාක් මෙන් නිහඬතාවයක් ඇති වුණා. අතරින් පතරින් හිමීට විසිල් පාරක් දෙකකුත් වැදුනා. ඒ උපදේශක වරියගේ රූ සිරියට.

ඈ ඇඳල උන්නෙ සුදු පාට පසුබිමක කහ ලොකු මල් පිපිච්ච ඔසරියක්. කහපාට බෝරිච්චි අත් හැට්ටයක්. කරේ හීන් මාල පොටක්, රන්වන් පාට අත් ඔරලෝසුවක් දකුණු අතේ. කහ පාටම වලල්ලක් වම් අතේ. වැස්සට බේරෙන්න අඩිය ඉක්මන් කල මහන්සියට පිරුණු ලැම තවමත් උස් පහත් වෙන්නෙ සීඝ්‍රව. වැස්සට ඇගේ එක උරහිසක ලොකු වතුර පැල්ලමක් හිටල අත විනිවිද පෙනෙනව.

ඇගේ අගේ ඇති දිගු මහත කොණ්ඩය එක කරලකට බැඳල පිට මැදට දාල. අලුත් කෙනෙක් නිසා වෙන්නැති චකිතයට ඇස් එහෙ මෙහෙ දුවනව. හිනා වෙලා ආචාර කරද්දි කම්මුල් ලස්සනට වල ගැහෙනව. පත්මසිරි කාන්දමකට ඇලුණ වගේ ඈ දිහාම බලා හිටිය. පන්තිය වටේ බලද්දි ඇගේ ඇස් බැල්ම පත්මසිරි ලඟ මොහොතකට නතර උණා. පත්මසිරි එකපාරටම රෝනියෝ තින්ත සුවඳ හමන නිබන්ධනයට ඇස් යොමුකලා.

නිබන්ධනයේ උඩින්ම සඳහන් වුනේ උපදේශකවරියගේ නම.

'නිලූකා සපරමාදු මෙනවිය'

තවමත් තීන්ත සුවඳ හමන රෝනියෝ අකුරින් එහෙම මුද්‍රණය වෙලා තිබුණා. ඒ අකුරු ඉස්සරහටත්, පස්සටත් බොඳ වෙවී යත්දි, පත්මසිරිට තමන්ට ඉස්සරහින් කළු ලෑල්ලේ යමක් ලියමින් සිටි රූමතිය පෙණුනේ බොඳවෙලා.  මේ ඒ පොත් පෙරලද්දි මැවුන රූපයමද? විෂය හරි, නම හරි, වයසත් හරි වගේ.

පත්මසිරි එදා දේශණ ඉවර වෙලා ආපහු ආව ගමන් මුලින්ම කලේ පරණ පොත් පෙට්ටිය අවුස්සන එක. ඒ නිලූකාගේ පොත් මිටිය හොයන්න. ටියුට් කඩදාසි, කටු සටහන්, ප්‍රශ්න පත්‍ර ආදිය එක ගොඩට ගිනි ගොඩට හලද්දි, නිලූකගේ පොත් මිටිය බේරුනා. පත්මසිරිගෙ පොතුත් බේරිලා පොත් ගොඩට ආවෙ, නිලූකගෙ පොත් තියාගන්නවට නිදහසට කාරණයක් වගේ. නිලූකගෙ පොත් කට්ටලය,ඒවා ලැබෙද්දි දාල තිවුණු බ්‍රවුන්පේපර් බෑග් එකේම දාල පත්මසිරිගේ පොත් අස්සෙ සඟවලා වගේ තිබුණෙ. පත්මසිරි  පොත් මිටිය අරගෙන කැම්පස් උස්සන් යන මල්ලට හීන්සීරුවෙන්ම දමා ගත්තා.

පද්මසිරිගෙ අදහස් කලේ පොත් මිටිය ඇරන් ගිහින් නිලූකා 'මිස්'ට පෙන්වන්න.

පොත් මිටියත් අරන් ගිහින් මුණ ගැහෙන්නෙ කොහේද? දේශණයක්, මුලදි? අවසානෙදි,ස්ටාෆ් රූම් එකේදි? කොරිඩෝවක?

කොරිඩෝවක නම් හරි නෑනෙ. ලෙක්චර් හෝල් එක අස්සේ සෙනඟ ගොඩෙත් බෑ. හොඳම තැන ස්ටාෆ් රූම් එක. පත්මසිරි තීරණය කලා.

පත්මසිරි දවස් කීපයක්ම පොත් ටිකත් අරන් සරසවි ගියත්, ඒ ටිකත් අරන් නිලූකා මිස් මුණ ගැහෙන්න යන්න චකිතයක් වගේ එකක් තිබුණා. මොන විදියකට තමන්ව පිලිගනීද දන්නේ නෑනෙ කියන කුකුස තමයි හේතුව. අන්තිමට දවස් ගානක් ගිහින්, පත්මසිරි හැන්දෑවෙලාවක දේශකවරියන්ගේ විවේකාගාරය පැත්තට ගියා.

කාමරය ඇතුලෙ හිටියේ එක් වයසක මැඩම් කෙනෙක් විතරයි. එයා වඩයක් කමින් ප්ලේන්ටී එකක් බොනවා. "ඇයි?" ඒ මැඩම් ඔළුව උස්සලා කණ්ණාඩි කුට්ටිමට උඩින් බැළුවා.

"නිලූකා මිස් ඉන්නවද මැඩම්?" පත්මසිරි වචන එක්කාසු කරගෙන ඇහුවා.

"නිලූකා අද හාෆ් ඩේ ගියා. ඇයි" ඒ මැඩම් ඇහුවා.

"නෑ මැඩම් මම පස්සෙ වෙලාවක එන්නම්" පත්මසිරි එහෙම කියල පිටවෙලා ආවා.

පත්මසිරිට නිලූකා මිස් හමු උනේ ඊගාව සතියේ අඟහරුවාදා දවසේ. එදත් වයසක මැඩම් ස්ටාෆ් රූම් එක අස්සෙ වඩයක් කමින් උන්නා.

"නිලූ දුව මේ ලමය තමා එදත් ආවෙ" ඒ මැඩම් නිලූකා මැඩම්ට කීවා.

"ඇයි මේ ලමය?" නිලූකා මිස් ඇහුවා.

මිස් සෙන්ට් බ්‍රිජට් එකේද?" පත්මසිරි දෙගිඩියාවකින් ඇහුවා.

"ඔව් ඇයි?" නිලූකා මිස් ගහන්න වගේ ඇහුවම පත්මසිරි පසුබා ගියා. ඒ නිසාම මුකුත් නොකියා පොත් මිටිය නිලූකා දිහාට දිගු කලා.

"මේ මොනවද ලමයෝ මේ? " නිලූකා මිස් ඇහුවෙ පුදුමයෙන්.

" මිස්ගෙ පොලිටිකල් සයන්ස් පොත්. මම මේ වගෙන් තමා ඒ ලෙවෙල් පාඩම් කලේ" පත්මසිරි කීවෙ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.

නිලූකා පත්මසිරි දිහා කිසිම හැඟීමක් නැති මූණකින් බැලුවා.

"ආ ඔය පොත් ටික ටීචර් ඉල්ලන් ගියා කාටදෝ දෙන්න කියල. දැන් මේ පොත් ටික උස්සන් ආවෙ මොකටද?"

පත්මසිරි ඒකට උත්තරයක් හිතන් ඇවිත් තිබුණේ නෑ. මොකද්ද කියන්නෙ කියල හිතාගන්න බැරුව පොඩ්ඩක් නිලූකා මිස්ගෙ මූණ දිහා බලාගෙන හිටියා.

"මේ ටික මිස්ට දීල ස්තුති කරන්න ආවෙ" අන්තිමට පත්මසිරි කීවා.

"මට මොකටද ස්තූති කරන්නෙ ලමයො. මම දීල නෙමෙයිනෙ. මට මොකටද ඔය පරණ පොත්? ඔන්න ඔය පොත් මිටිය අන්න අතන තියන පරණ කොල දාන ඩස්ට් බින් එකට දාල ඔය ලමය ලෙක්චර්ස් වලට යන්න" නිලූකා මිස් කියාගෙන කියාගෙන ගියා.

සමහර වෙලාවට තරමක් අයහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනත් මෙච්චරම අයහපත් පත්මසිරි බලාපොරොත්තු වෙලා ආවේ නෑ. ඒ නිසා එතනින් එහාට මොකද්ද කරන්නේ කියලහිතාගන්න අමාරු උනා. එහෙමම ගල් ගිල්ලා වගේ බලාගෙන හිටියා. වසක මැඩම් හිනා වෙන්න හිහින් වඩේ කෑල්ලක් පිටි උගුරේ ගිහින් 'කොහ් කොහ්' ගාලා කැස්සා.

"ඔය ලමය මොකද මගේ දිහා බලාගෙන කරන්නෙ. කෝ දෙන්න ඕක මට" නිලූකා මිස් පොත් මිටිය උදුරගෙන වගේ අරගෙන කඩදාසි දාන යකඩ කුණු බාල්දිය ඇතුලට අතෑරියා. පොත් මිටිය 'ඩොහ්' ගාල පත්මසිරිගේ හිත පතුලේ ඇණුනා. පොත් ටික ආපහු ගන්න හිතුනත්, කරන්න දෙයක් නැති නිසා පත්මසිරි ආපසු දේශන ශාලාවට ගිහින්, පොත් මල්ලත් අරන් රාජන්ට කියල ගෙදර ගියා.

නිලූකා මිස්ගෙ හැසිරීම පත්මසිරිට කිසිසේත්ම තේරුම් ගන්නට හැකි උනේ නෑ. පොත් ටික දැක්කම පුදුම වේවි, ස්තූති කරාවි වගේ බලාපොරොත්තුවක් තිබිල බිඳ වැටුනා. ඇයි ඒ ස්තුතිය? නිලූකා මිස් හිතවත් කරගන්නද, ඊට එහා ගිය දෙයක්ද? පත්මසිරි විමසල බැළුවා. ඊට පස්සෙ, පත්මසිරිට නිලූකා මිස්ට මුහුණ දෙන්න අමාරු ස්වභාවයක් ඇති වුනා. කොරිඩෝවෙ හමු උනත් අහක බලාගන්න තරම් චකිතය. දේශන ශාලාවේ වාඩි වෙන්නෙත් පස්සටම වෙන්න.

*****

එක දවසක්, සිංහල පැවරුම් මිටියක් ගුරු විවේකාගාරයේ ඒ අදාල තැන තියල එන්න පද්මසිරි ගියේ තට්ට තනියම. පැවරුම් ටික තියල ආපසු හැරෙද්දිම නිලූකා මිස් පිටිපස්සෙ.

"පත්මසිරි එතකොට මගේ පොත් පාඩම් කරලද කැම්පස් ආවෙ? ස්කූල් එකේ නෝට් දුන්නෙ නැද්ද එතකොට"

"අනේ ඔව් මිස්, මිස්ගෙ නෝට් තමයි පාඩම් කලේ. දේශපාලන කලාව හොඳටම පැටලිලයි තිවුනෙ" පත්මසිරි උත්තර බැන්ඳා.

නිලූකා මිස්ට බක්ස් ගාල හිනා ගියා දේශපාලන කලාව කීවට වෙන්න ඇති. ඒ වචනය නවක වදය කාලෙ උගන්වන වචනයක්. "ඈ බොලව්. කලාව කලානම් එතන කොහෙද විද්‍යාවක්? කෝ කියපියව් බලන්න. දේශපාලන කලාව, ආර්තික කලාව..."

නිලූකා මිස් එතන තියෙන හාස්‍යජනක බවට ඔරොත්තු නොදෙන තරමටම හිනාවුනා. කම්මුල් වල ගැසුනා, ලැම සලිත වුනා.

විනාඩියක් විතර එහෙම හිනා උන නිලූකා, හිටිගමන් හිනාව නවත්වලා එතනින් පිට වෙලා ගියා.

එයා එහෙමයි, තනි පංගලමෙ අහම්බෙන් හමු උනාම පෙනවන හිතවත්කම, සෙනඟ දෙනෝදාහක් මැද්දේ නෑ.

*****

පත්මසිරිලගේ කණ්ඩායමේ සීයම ඇවිත්, මුළු ශාලාවම පිරිච්ච දවසක, නිලූකා මිස් දේශණයක් පවත්වමින් සිටියා. වහින්න වගේ අහස කළු කරලා නිසා තැම්බෙන උණුසුමකින් දාඩිය ගලනවා. ශාලාවේ පැරණි විදුලි පංකා බොහොමයක් 'කරස් කරස්' හඬින් වැඩ.

පත්මසිරිත්, රාජනුත් සිටියේ විදුලිපංකාවක් යට. පිටුපසින් එබුණු අතක් පත්මසිරිගෙ උරහිසට තට්ටු කරල අවධානය ඉල්ලා ගත්තා. මුදිතා. "මේ පිටිපස්සෙ ෆෑන් එක වැඩ නෑ පත්මසිරි. ඉස්සරහ ඉන්න ලමයෙක්ට පොඩ්ඩක් ඒක වැඩිකරල දාන්න කියන්නකො" ඈ කීවා.

පත්මසිරි ඉස්සරහ පේලියෙ හිටිය ලමයෙක්ට පණිවුඩේ කීවා. එයා නැඟිටල ගිහින් ෆෑන් ස්විච් 'කටස් කටස්' ගාල කරකවන්න ගත්තා. ස්විච් ගොඩේ අපිලිවෙල නිසා හරි ස්විච් එක හොයන්න ලේසි නෑ. පත්මසිරි  'අතින් පයින්' හරි ස්විච් එක හිටගෙන ඉන්න ලමයට පෙන්වන්න උත්සාහ කලා.

ලෑල්ලෙ සටහනක් ලියමින් සිටි නිලූකා මිස් ඒ වෙලාවෙම දේශන ශාලාව දෙසට හැරුණා.

"මොකද පත්මසිරි ඔය අතපය විසි කර කර කරන්නෙ? හැම තිස්සෙම ඔය වගේ කඩාකප්පල්කාරී වැඩම නේද ඔය ලමයා කරන්නෙ? මම දවස් කීපයක්ම බැලුවා ඔව්වම තමා වැඩේ. අනිත් අයට ලෙක්චර් එක අහගන්න දීල බැහැල යනව යන්න"  නිලූකා මිස් මහ හයියෙන් කඩා පැන්නා. මුලු ශාලාවම පත්මසිරි දිහාවට හැරුණා.

ඔලොක්කු හිනා හඬක් හිමින් ඇතිවී රළක් සේ ශාලාව පුරා රැව් දුන්නා.

පත්මසිරි නැඟිට්ටා. එළියට යන්න බලාගෙන නෙමෙයි.

"මම එහෙම කලේ නෑනෙ මිස්. පිටුපස්සෙ ෆෑන් එක වැඩ නෑ. ඒක දාන්න ස්විච් එක හොයාගන්න අමාරු නිසා මම ස්විච් එක පෙන්නන්නයි උත්සාහ කලේ. මොකද්ද මම කරපු කඩාකප්පල්කාරී වැඩේ? මොකද්ද මම කරපු වැරැද්ද?"

පත්මසිරි වේගයෙන්, පැහැදිල්ව කෝපයෙන් තොරව කියාගෙන කියාගෙන ගියා. ශාලාවේ රැව් දුන්න සිනා හඬ නිහඬ වුනා.

නිලූකා මිස් බය බිරාන්ත වෙලා වගේ පත්මසිරි දිහා බැලුවා. ඇස් දෙක ලොකු වුනා. දෙතොලේ යම් සෙලවීමක් පෙනුනා. ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තා වැස්සක් වගේ. හුනුකුඩු තැවරුණු අත්වලින්ම මූණ වහගෙන අඬාගෙන දේශන ශාලාවෙන් ඉවතට දිව්වා. පත්මසිරි ඉකියට ගැස්සෙමින් ඉවතට දිව යන නිලූකා මිස් දිහා බලාගෙන උන්නා. දේශන ශාලාවේ නැවතත් කසුකුසුව නැඟ ආවා. ශිෂ්‍යයො පත්මසිරි දිහා වරදකරුවෙක් දිහා බලන බැල්මෙන් බැලුවා. ටිකකින් පියන් කෙනෙක් ඇවිත් මිස්ගේ හෑන්ඩ් බෑග් එක අරන් ගියා. තමන් වැරැද්දක් නොකල බව පත්මසිරි දැනගෙන උන්නා. දුකක් විතරක් ඉතිරි වුනා.

ඊට සති දෙකකට පස්සෙ අප්‍රේල් නිවාඩුව. නිලූකා මිස් ඒ සති දෙකේම දේශන වලට ආවෙ නෑ. "ලැජ්ජාවට වෙන්නැති" අයෙක් කීවා."ශිහ්, බලන්න පුලුවන් ලෙචියක් හිටියෙ එච්චරයි. උඹ ඒකිවත් අප්සෙට් කලානෙ" ඇතමෙක් කීවා.

අවුරුදු නිවාඩුවෙන් පස්සෙ පත්මසිරිල සරසවි ආවම දේශපාලන විද්‍යාව උගන්වන්න ආවෙ අලුත් සර් කෙනෙක්. පොඩ්ඩක් විපරම් කරල බලද්දි නිලූකා මිස් ශිෂ්‍යත්වයක් පිට ආචාර්ය උපාධියට විදෙස් ගතවෙලා ගිහින්. එදායින් පස්සෙ ඈ සරසවියෙ දක්නට ලැබුණේ නෑ. ඇසල මල් වැටිල තෙත බරිත වුනු අඳුරු හැන්දෑවල්, නිලූකා මිස්ගේ මතකය අළුත් කරන්න පත්මසිරි යන මඟේ රැඳී සිටියා. ඒත් කවදාවත් ඇගේ හැසිරීම් වලට හේතු පත්මසිරි දැනන් උන්නේ නෑ.

*****

මේ සිදුවීම් පෙල වෙලත් දැන් වසර හතලිහකට කිට්ටුයි. පත්මසිරි මෑතකදී මුහුණු පොතෙන් ඇගේ මතකය සොයා බැලුවා. ඇය දැන් අමරිකානු සරසවියක ජෙෂ්ඨ මහාචාර්යවරියක්. ඒ කාලෙ රූ සිරියේ සුන් බුන් තවමත් ගැවසෙනවා. ඇගේ මුහුණු පොතේ සේයාරුවටත් සැරසිල ඉන්නෙ කහ මල් සාරියකින්. පත්මසිරි යැවූ මිතුරු ඇරයුමට ඇය තවමත් ප්‍රතිචාර දක්වා නෑ.

2021.9.5

©රසික වික්‍රමනායක

 


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ