මතක මාවත ඔස්සේ 04: පාසල් බස් රථය



අප පාසල් බස් රිය ලෙස සැලකූවේ දිනපතා උදේ 6.30 ට සහ 2.30ට ගොඩකවෙල-පැල්මඩුල්ල අතර ධාවනය වූ ගොඩකවෙල ඩිපෝවට අයත් බස් රියකි. පාසල් සිසුන්ට අමතරව එහි පොදු මහජනයාද ගමන් කලත්, උදේ සහ හවස ගමන් වාර දෙකෙහිදීම එය කිරි කොකුන් වැනි පාසල් පාසල් සිසුන්ගෙන් පිරී යයි. බොහෝ දින වල ධාවනය වූ බස් රිය, ලංකාවේ බඳ එකලස් කරන ලද ඉසුසු බී.එෆ් 50 වර්ගයේ දොර දෙකේ බස් රියකි. එහි ඩිපෝ ලියාපදිංචි අංකය හෝ, ලියාපදිංචි අංකය මට හරියටම මතක නැත. ලියා පදිංචි අංකය 23 ශ්‍රී 4216 ලෙස බොහෝ දුර මතකය. මාර්ග අංකය වූයේ 212 යි. මෙලෙස බස් රියක් පැවතීම අපට මහත් අස්වැසිල්ලක්ම විය. ඇතැම් දිනවල බස් රිය නොපැමිණි විට, හැතැප්මක් රිදීවිට හන්දියට පයින් ගොස් ඇඹිලිපිටිය -රත්නපුර මාර්ගයේ දුවන බස් රියක් අල්ලා ගත යුතුය. එසේ දුවන ලංගම බස් වූයේද ස්වල්පයකි. පුද්ගලික බස් රථ තිබුනත් ඒවායේ වියදම සැරය. එකල මාසික වාර ප්‍රවේශ පත්‍රයේ මුලු ගාස්තුව රුපියල් 25.20 ක් වූ අතර පුද්ගලික බස් වල එක් ගමන් වාරයක් සදහා ගාස්තුව රුපියල් පහක් විය.

පාසල් බස් රිය මාසයකට වරක් දෙවරක් අතරමග කැඩීම අනිවාර්යයෙන් සිදු වන්නකි. බහුලවම වැලදෙන රෝගය වූයේ දුණු කොල මිටිය කැඩී යාමයි. පමණට වඩා පොල් පටවා යෑම නිසා එය සිදුවූ බව නොකියාම බැරිය. මගීන් 42ක් යායුතු බස් රියේ අපි 80ක් පමණ පාසල් ගියෙමු. හිටි අඩියේම "ඩාං" යන ශබ්දයත් සමග බස් රියේ එක පැත්තක් බිමට පාත් වීම දුණු කැඩී යාමත් සමඟ සිදුවේ. එවන් අවස්තාවක තාවකාලික පිලියමක් කරගන්නා රියදුරු මාමාත් කොන්දොස්තර මාමාත් බස් රිය ඩිපෝව කරා රැගෙන යයි. බස් රිය ආපදාවට ලක්වූයේ ඩිපෝවට කිට්ටු පෙදෙසක තනි දොර නම් බස් බාගයක් අප රැගෙන යාමට පැමිණේ. අපි කෙසේ හෝ බස් බාගයේ නැඟ පාසල් යන්නෙමු. නැතහොත් පාරට බැස බසයක් එනතුරු බලා සිටීමට සිදුවේ. ලංගම බස් ආවද එක බස් රියක සැමටම යාමට නොහැක. අතේ මිටේ කීයක් හෝ ඇති අය පුද්ගලික බස් වලට ගොඩ වේ. බස් රිය කැඩුනේ පාසලට සැතැම්ප කිහිපයක් දුරින් නම් ඇතැමි විට අපි ඒ දුර පයින් යන්නෙමු. යාලුවන් සමග කියවමින් යන නිසා වෙහෙසක් නොදැනේ. ඇතැම් විට පාරේ යන ලොරි බාගයක් අනුකම්පා සිතී අපව ලොරි තට්ටුවේ පටවාගෙන යයි. පාසල් බස් රිය කැඩුනු විට වේලාවට පාසලට යාම සිදු වන්නේ නැත. ඇතැම් විට පන්සිල් ගැනීම හෝ උදෑසන රැස්වීම අතර යාමට සිදුවේ. එවිට විනය පාලක ගුරුතුමා ගේට්ටුව අසල රැදී සිටින අතර , රැස්වීම අවසන් වූ විට පාසලට යාමට අවසර ලැබේ. අපි ගේට්ටුවෙන් පිටත සිට පන්සිල් ගන්නෙමු. ඊට වසා පරක්කු වූ විට මුල් ගුරුතුමාගේ උකුසු ඇසින් ගලවී පාසලට යන්නට වන්නේ නැත. පිරිසක් වශයෙන් ගිය විට තත්ත්වය තේරුම් ගන්නා එතුමා අපව නිදහස් කර හරී . නැතහොත් වේවැල් පාර දෙකක් අනිවාර්යයෙන්ම ලැබේ.

 පාසලේ සිට බස් නැවතුව දක්වා සැතපුම් බාගයකට නොඅඩු දුරක් පවතී. පැල්මඩුල්ල නගරෙයේ ගන්කන්ද මැදි විදුහල, මහින්ද විද්‍යාලය සහ ධර්මාලෝක මහා විද්‍යාලය යනුවෙන් ප්‍රදාන පාසල් 3 කි. සියලුම පාසල් හැරුනු විට එකතු වන ලමුන් කන්දරාව බස් රියට ඔරොත්තු දෙන්නේ නැත. බස් රිය පිරුණු පසු පිටත් වීම සිරිතයි. එම නිසා බස් රියේ අසුනක් අල්ලා ගැනීමට, අඩු තරමින් බස් රියට නැගීමට, පාසල අවසන් වන සීනුව නාද වූ විගස මැරතන් තරගයක් දිවීමට අපට සිදු විය. ඡත්ත මානවක ගාතාවේ අවසන් පදය ඇසෙද්දීම අපි දුවන්නට පටන් ගනිමු. කනත්තක් මැදින් රිංගා නගරයට පිවිසීමේ කෙටි පාරක්ද අප සතු විය. පසු කාලීනව කෙටි පාර පොදු පාරක් වීම නිසා අයිතිකරුවන් එය වසා දමීමට කටයුතු කලේය. අපි සුපුරුදු මහ පාරට වැටුනෙමු.

 බස් රියේ අප හිදගැනීමට කැමතිම ස්තානය වූයේ බැටරි පෙට්ටියයි. රියදුරු මහතාට සමාන්තරව අනෙක් පස පිහිටා තිබූ එහි අප් කුඩා වුන් තුන් දෙනෙකු පහසුවෙන් අසුන් ගත්තෙමු. බසයේ කොතරම් ඉඩකඩ තිබුනත් අපි නොවේ අසුනක වාඩි වූයේ. ඇතැම් විට බැටරි පෙට්ටියේ හිද ගනීමට රන්ඩු සරුවල්ද ඇතිවේ. එහි ඉඩ නැත්නම් පිටු පස රෝදය උඩ අසුන් දෙකෙන් එකක ඉද ගනීමට අපි කැමැත්තෙමු. ඒ අසුන් දෙක අනෙක්වාට වඩා මදක් උඩින් පිහිටා තිබුනු නිසාය. කුඩා වුන් ලෙස බැටරි පෙට්ටියට පොර කෑ අපදිග කලිසම් අදින්නට ගත් පසු පාපුවරුවෙන් ඉහලට ගොඩ වීමට සිතුවේම නැත.

 පාසල් බස් රියට රියදුරු මාමලා දෙදෙනෙකු සිටියේය. වීරකෝන් මාමා සහ බණ්ඩාර මාමාය. වීරකෝන් මාමා ගමේම වාසය කල අතර බණ්ඩාර මාමා අල්ලපු ගමේය. විට කන, තරමක් සැරපරුෂ, ටිකක් හිමින් යන වීරකෝන් මාමාට වඩා, නිහඩ පාගලා යන බණ්ඩාර මාමාට අපි ප්‍රිය කලෙමු. වීරකෝන් මාමා කුකුල් කේන්ති කාරයෙකි. ඇතැම් විට උදේ පාන්දරින්ම බස් එක රැගෙන යයි. එවිට අපට සිදුවන්නේ හන්දියට පයින් ගොස් වෙන බස් රියක පිහිට පතා පරක්කු වී පාසල් යන්නටය. බණ්ඩාර මාමා ඉතා නිහඬ චරිතයකි. වචනයක් කතාකරන්නේ ඉතාම කලාතුරකිනි. වේගයෙන්, ඉදිරිය බලාගෙනම බසය ධාවනය කරයි. මා පාසල් ගිය වසර අටක කාලය තුල (1988-1996) මේ දෙදෙනා අතින් කිසි කලෙකත් බස් රිය අනතුරකට භාජනය වී නැත.

 කොන්දොස්තර වරු නිතර වෙනස් උවත්, එසේ "ආව ගිය" චරිත අතර නොමැකෙන සලකිණකි, ප්‍රදීප් අයියා (සත්‍ය නම නොවේ). ගොඩකවෙල දුෂ්කර ගමක දිළිඳු පවුලක උපත ලද ප්‍රදීප් අයියා ගොඩකවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරා තිබුණි.අමතර පන්ති යාමට මුදල් නොමැති කමින් පාසල් ගුරුවරුන්ගෙන් පමණක් සිප්සතර හැදෑරූ ඔහු උසස් පෙල විශය ධාරාවෙන් A සාමාර්ථයක්, B සාමාර්ථ 2 ක් හා C සාමාර්ථයක් සහිතව වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා සිටියේය. පියා මිය ගිය පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් අයියා විශ්ව විද්‍යාලයට නොයා අම්මාත්, නංගීලාත් පෝෂණය කිරීමට කොන්දොස්තර රස්සාව තෝරාගෙන තිබුනේය. ඉතා ඉහල විෂය දැනුමක් තුබූ ඔහු උසස් පෙල ජීව විද්‍යා ධාරාවේ අසීරු විශයන් වේලාවක් ලද විට අපට කියා දෙයි. නිතරම අප උනන්දු කිරීමට කතාකල ඔහු දැන් කොහේ සිටීදැයි සොයා ගනීමට උගහටය. පාසල් වියේ මතකයන් අතර රැඳුණු චරිත අතර ප්‍රදීප් අයියා සුවිශේෂ ගරු කටයුතු පුද්ගලයෙකි මට.

බස්රිය ධාවනය නොවෙන ඇතැම් සවස් වරුවක අපි මඟින් මඟට ගොස් නිවසට පැමිණෙන්නෙමු. පැල්මඩුල්ලේ සිට කහවත්ත දක්වාත්, කහවත්තේ සිට මාදම්පේ දක්වාත්, මාදම්පේ සිට රිදීවිට හන්දිය දක්වාත් කඩින් කඩ පැමිණෙන ගමනට පැය තුනක් පමණ ගතවේ. මේ මුලු දුර ප්‍රමාණයම යන්නට අද දින විට බස් රියකට ගතවන්නේ පැය භාගයක් හෝ ඊට අඩු කාලයක් පමණි.

1988 -1989 භීෂණ කාලයේදී පාසල් බස් රිය ධාවනය වූයේ කඩින් කඩය. ඇතැම් විටෙක අපි පාසල් ගොස් සිටින විටම ඇඳිරි නීතිය පැනවේ. එවන් අවස්තාවක පාරේ යන ලොරි වල සරණින් නිවෙස් බලා යෑම සුලභය. ලොරි බාගයක් හෝ නොමැති වෙලාවට කිලෝ මීටර් දහසයම පයින් ගොස් රෑ 9 ට පමණ ගෙදර ආ දවස් කීපයක්ද මගේ මතකයේ ඇත. එවන් විටෙක පාර දෙපැත්තේ තිබුනු තරුණ මලසිරුරු එකල සාමාන්‍ය දර්ශනයක් පමණක්ම විය.

දැන් පාසල් බස් රිය ධාවනය වන්නේ නැත. මාර්ගයේ ඇති ඇතැම් අඩුපාඩු ඊට හේතු වුවත්, ත්‍රීවීලරය ජනප්‍රිය වීමෙන් සහ ඇඹිලිපිටිය රත්නපුර මාර්ගයේ ඇති තරම් බස් ධාවනය වීමෙන් එය සිදු වී ඇති බව මගේ පුද්ගලික හැඟීමයි. කෙසේ උවත්, පාසල් බස් රියක 'උප සංස්කෘතියක්' එවැනි ගමනකින් අත් දැකිය නොහැක.

සේයා රුව: ලංකා බස් කවයෙනි.

©රසික වික්‍රමනායක, 2021.07.26

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ