තාත්තට ලියුමක්



හිටියානම් අදට

අවුරුදුම අසූවක් තාත්තේ උඹට

මහ වැහි වහින ඔක්‍තෝබරයක හවස

තවමත් අරන් එනවා උබ ගැන මතක ගුණ සුවද


කාලය පැනගොහිං පුදුම විජ විජහට

අපි ඔක්කොමල්ලා තලතුනා වයසෙ දොරකඩ

තාත්තගෙ ඔඩොක්කේ දැවටිච්ච අපේ පොඩ්ඩිට

දැන් ඉන්නවා ඉස්කෝලෙ යන කොලු පැටව් දෙන්නෙක්ම


මහ ගෙදර ඉඩමත් අපි මේ ලඟදි වික්කා

අම්මටත් වයසයි, ඈ ඒක පුලුවන්තරම් කල් රැක්කා

ඒ ඉඩමෙ පොලව යට උඹ වලදාපු සොහොන් කොත

අපි ආය නේන නිසා, පොලවටම සමතලා කරදැම්මා 


මල්ලිත් ගිහින් ඒරොප්පෙ දරු පවුල අරගෙන

මට තාම මතකයි ඌ බයයි රෑට කලුවරට

නොනිදන නුවරක, විදුලි එලි මහ ගොඩක් අතරක

උටත් දැන්නව ඇති තාත්ත නැති පාලුව


ලොකු නංගි යන්නෙ තාත්ත ගිය අඩි පාරෙ

බලන්ඩෙපෑ උජාරුව සීවලියෙ උප විදුහල්පතිතුමී

ඈ අකුරක් දෙයක් කියවන පුංචි පැටියෙක් ගානේ

පරපුරේ ගුරු උරුමය තවම ගලනවා කලු හං කොමාලිය වාගේ


මම ඉන්නෙ කොලඹ මහල් නිවසක තනියම

මමත් ලියනව, උගන්වනව මට පුලුවන් හැටියට

නංගිල ගැනත් බලනව උඹට පොරොන්දු වෙච්ච ලෙසටම

ගමේ මතක තවමත් මහ මෙරක් මගේ මේ පපුව මැද්දට


තාත්ත නති දරුවන්ගෙ ජීවිතේ කොහොමත් බරයි

උඹ දැන් ඉද හිටලවත් හීනෙන් පේනවත් හොරයි

අපේ මතකයෙන් සදහටම යන්නට තනනවදැයි සැකයි

පුලුවන්නම් අද රෑට අපිට හීනෙන් පුතේ කියන්න, අවසරයි


2026.10.9

Comments

වඩා කැමති ලිපි

අයගම

ගොඩකවෙල පොල

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්