ලුවිස් මාමා.


ලුවිස්  මාමා ජීවත් වූයේ අපේ වත්ත මායිම්ව පිහිටි කුඹුරේ එහා ඉවුරේ පිහිටි වරිච්චි නිවසකය. අපි වත්ත පහලට ගොස් සෙල්ලම් කරන ඇතැම් දිනක ලුවිස්මාමා වත්තේ වැඩ පලක නිරතව සිටී. අපි මහ හඩින් "ලුවිස් මාමේ" කියා කෑ ගසන්නෙමු. ලුවිස්මාමා "" කියා උත්තර දෙයි. අපේ කන්දොස්කිරියාව ඒකාකාරී වුවද උත්තර බැදීමෙන් වෙහෙසට පත්වන්නේවත් තරහ ගන්නේ වත් නැත, ලුවිස් මාමා .

ලුවිස් මාමා "මාමා" වන්නේ නෑ කමට නොවේ. ඔහුගේ රැකියාව රෙදි සේදීමයි. සුදු පොට්ටනියක කිලිටි හෝ සේදූ රෙදි පුරවාගෙන ගෙන්ගෙට ගොස් ජීවිකාව කල පවුලක අන්තිම පුරුක වූයේ ලුවිස් මාමා සහ නැන්දාය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ දරුවන් කුලී වැඩට යොමු වූවා මිසක, රෙදි සේදීමේ රස්සාව පුරුදු වූයේ නැත. රෙදි සෝදන්නන් "ඩෝබි", "අපුල්ලන්නන්" ආදී විවිද නම් වලින් හැදින් වූවද අපේ දෙමවුපියන් ඔවුන් හැදින්වූයේ ලුවිස් මාමා සහ නැන්දා වශයෙනි.ඔවුන් අපට සාම්ප්රදායිකව "සීයා" සහ "ආච්චි" වියයුතු වුවත් අපද ඔවුන් හැදින්වූයේ මාමා සහ නැන්දා ලෙසිනි. කුල මල සම්බන්දයක් අපට එකල වැටහුනේ නැත.

අපේ නිවසේ රෙදි ලුවිස් මාමාට දීම දිනපතා පුරුද්දක් නොවූවත්, අප හත්පොලේ දුවපැන ඇවිද කොහොල්ලෑ හෝ අඹකිරි තවරා ගත් විට ඒවායේ කහට ඇපිල්ලීමට අම්මා ලුවිස් මාමාට බාර දෙයි. ලුවිස් මාමා අපුල්ලාගෙන ආවිට රෙදි කැද නිසා කාඩ් බෝඩ් මෙන් ඝනකමට පිහිටයි. අපි ඒවා ඇදීමට බොහෝ ප්රිය කලෙමු.

රෙදි සේදීමට අමතරව ලුවිස් මාමා කුලී වැඩ කලේය. අපේ වත්තේ වත්ත උදලු ගෑම, ගස් වල අතු පෑහීම, පොල් වලවල්, කාණු කැපීම, එලවලු වැවීම ආදී වැඩවලට කුලියට ආවේ ලුවිස් මාමාය. ඔහු වැඩ කරන විට බලාසිටීම අවස්ය නැත. අවංකව, හැකි පමණ හොදින් වැඩේ කරයි . බොහෝ විට තාත්තාද කැත්තක් හෝ උදැල්ලක් අතැතිව ලුවිස් මාමා සමග වැඩ කරන්නේ ඔහු සමග අල්ලාප සල්ලාපයට ඇති ප්රියතාවයට මිසක් වැඩ කරයිදෝ නොකරයිදෝ බැලීමට නොවේ.

කටේ පෙට්ටි සුරුට්ටුවක් වරදින්නේම නැති ලුවිස් මාමා සුරුට්ටුව අතින් නොඅල්ලා බීමට පුරුදු වී සිටියේය. සුරුට්ටුව අතට ගන්නේ නිවා දමීමට පමණි. සුරුට්ටුව ඔහේ දැවී අළු කැඩී බිම වැටෙයි. සුරුට්ටු බී හමාර වූ විට අඹ ලෑල්ලෙන් සැදූ සුරුට්ටු පෙට්ටිය මට ලබාදෙන්නෙ සෙල්ලම් වාහන සෑදීමටය. ඉතා වයෝවෘද්ධ වන තුරුම ලුවිස් මාමා කුලී වැඩ වලට ආවා ගියේය. තාත්තා පවසන පරිදි "යකඩ ඉන්න පොලවේ ගැසූ විට යකඩ ඉන්න වෙනුවට මාමා කැරකවී යනතරමට " අබලන් වනතුරුම මාමා අපේ නිවසට ආවේය; ගියේය.

ගමට පිටගම් කාරයන් වූ අපට නඩු හබද එමට තිබුණි. අවස්තාවල අපට පක්ශව ඇත්ත වෙනුවෙන් සාක්ෂි දීමට තරම් අවංක වූ අතලොස්ස අතරින් එක් අයෙකි, ලුවිස් මාමා. කවුරු මොනවා කීවත් ඇත්ත කතා කිරීමත්,ඇත්ත වෙනුවෙන් පෙනී සිටීමත් මේ මහළු ගැමියාගේ මට සදා අමතක නොවන උදාර ලක්ශන අතරින් පලමු වැන්නයි.

ලුවිස් මාමා පසු කාලීනව ආගමට දහමට නැබුරු වූ දිවියක් ගතකලේය. ඔහු සජීවීව මට අවසන් වරට හමු වූයේ ගමේ පන්සලේ සීල සමාදාන කටයුත්තකදීය. ඉන් සුලු කලකට පසුව, මා ගමේ නොසිටි මොහොතක එතුමා මිය පරලොව ගොස් සිටියේය.

ජයලත් මනෝරත්න මහතා ගායනා කරන " ගම්වල සැමතැන ඇවිද ගොසින්නේ" යන ප්රකට නාට්ය ගීය ඇසෙන විට මට අනවරතයෙන්ම ලුවිස් මාමා සිහිවේ. අම්මා බැලීමට නිවසට යන මම ඇතැම් විට වත්ත පහල ඇති තාත්තාගේ සොහොන අසලට යමි. තාත්තාගේ සොහොන අසලම ලුවිස් මාමා කැපූ කානුවක් තවමත් ඇත. ලුවිස් මාමාත්, තාත්තාත් සිටවූ පොල් පැල දැන් මහ ගස්ය.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ