තාත්තා

තාත්තා අප හැර ගිහිං මේ ඔක්තෝබරේට අවුරුදු 08 ක්. තාත්තා හිටියානම් මේ වෙද්දි අවුරුදු 72 ක්. මුණුබුරෝ මිණිබිරියො බල්ලො පූසො ඔක්කොම වටකරගෙන සන්තෝසෙන් ඉන්නව දකින්න අපිට පිනක් තිබිල නෑ. දැන් වෙද්දි අපි හැමෝටම වාහන තිබ්බත් අපිට තාත්තට කියල වාහනයක් අරන් දෙන්න උනෙත් නෑ. පොඩි නංගි ලගදිත් ඒ කතාව මතක් කලා. තාත්තට ජීවිත කාලෙටම තිබුනෙ පුට් බයිසිකල් එකක් විතරයි. පහුකාලීනව තාත්තම ඒක කාට හරි දීල තිබ්බ.

තාත්තාගෙ අ...සනීපය හොදටෝම අසාද්‍ය වෙනකම් අපි කවුරුත් දැනන් උන්නෙ නෑ. මම හිතන්නෙ තාත්තා අපිට තේරෙන්න ඇරියෙ නෑ, හංගං හිටියා මිසක්ක. තාත්තා වේදනාව වැඩි උනහම ඇද විට්ටම හපාගෙන ඉවසගෙන හිටියය කියල අම්මා අපිට කිව්වෙ බොහොම පසුකාලීනව.

තාත්තා ඉස්සර උදෙන්ම නැගිටල කොලඹ ඉස්පිරිතාලෙ ක්ලිනික් යනව අපිට මතකයි. ඒ ඇරෙන්න අපි තාත්තගෙ අසනීපයක් ගැන හාංකවිසියක්වත් දැනන් උන්නෙ නෑ. ඒ කාලෙ ගමේ ඉදන් කොලඹ යනව කියන්නෙ පැය පහක විතර තෙහෙට්ටු වෙන වැඩක්. උදේ 4.15 ට හන්දියෙන් යන ඇඹිලිපිටියෙ ඩිපෝව කොලඹ බස් එකේ යන්න ඕනි. ඒ බස් එකේ සෙනග සූ ගාල. ගොඩක් වෙලාවට කොළඹ ට යනකම්ම හිටගෙනයි යන්න ඕනි. මාත් පස්සෙ කාලෙක කැම්පස් යන්න ඔය බස් එකේම ගිය නිසයි දන්නෙ.

තාත්තට හැම ගමනටම තිබ්බෙ ඔෆිස් ගිනියන හම් බෑග් එක. අත්දිග ශර්ට් එක අත් නවල ඇදල පටි සෙරෙප්පු දෙක දාගෙන බෑග් එකත් අරන් යනව.ඒකට පොඩි වීදුරු වතුර බෝතලයක්, ක්ලිනික් පොත, පෑනක්, සමහර විට පත්තරයක්, බුලත් විටක් දාගෙන තාත්ත උදෙන්ම හන්දියට යන්න පිටත් වෙනව පයින්ම.සල්ලි දාගෙන ගියෙ පරන ලියුම් කවරයක උඩ.සාක්කුවෙ. තාත්තට පර්ස් එකක්, තාත්තගෙ වචන වලින්ම පොකැට් එකක් කවමදාවත් තිබුනෙ නෑ.ටයිගර් බ්‍රෑන්ඩ් ටෝච් එක තමා එලියට පාවිච්චි කරන්නෙ. බැට්‍රි බැහැලනං පොල් අතු අගිස්සක් පත්තු කරනව.

රාත්‍රියට පරිසරයේ තියෙන නිසංසල භාවය නිසා හන්දියෙ බස් එක නවත්තනව ඇහෙනව. නවත්‍තල බස් එකට ලෑල්ලටම රේස් කරල අද්දනකොට අපි දන්නව තාත්ත බස් එකට නැග්ග කියල.

පුරුදු පරිදි දවස ගෙවිල, තාත්තා ආපහු එන බස් එක හන්දිය පහු කරන්නෙ රාත්තිරියෙ දහයාමාරට එකොලහට වගේ. ඒ වෙලාවට බස් දෙකක්ම දිව්ව. එකක් ගොඩකේල ඩිපෝවෙ. එකක් ඇඹිලිපිටියෙ ඩිපෝවෙ. ඒ දෙකෙන් එකක තමා තාත්ත එන්නෙ. බස් එකේ බ්‍රේක් සද්දෙඇහුනම අපි තාත්තා එනකම් විනාඩි පහලොවක් වගේ බලාගෙන ඉන්නව.

තාත්ත එනකොට නොවැරදීම ඇපල් ගෙඩි කීපයක්, මිදි සීයක් වගේ අරන් එන්නෙ.අපි බලං ඉන්නෙ ඒවට. කොලබින් අරන් එන පත්තර කියවන්නත් අපි ආසයි. මිදි හෝදල බෙදල දෙන්නෙ, එහෙම නැත්නං ඇපල් කපල බෙදල දෙන්නෙත් තාත්තම තමා.

ක්ලිනික් එක ගැන අපිට කිසිම දෙයක් කියන්නෙ නෑ. අපිට ඇපල් මතේ මිසක් ඔව්වා මතකත් නෑ.එව්වා අම්මත් එක්ක කුටු කුටු ගෑමෙන් පස්සෙ යමක් කමක් අපිට දැනගන්න ලැබෙනව.

මගේ තාත්තා (අපි හැමෝම කීවෙ එහෙමයි. අපි අපි අතරෙවත් තාත්තා බෙදුනෙ නෑ) පස්සෙ කාලෙක මාව ක්ලිනික් එක්කන් ගියා. ඒ හොදටෝම අමාරු වෙලා. තාත්තගෙ අසනීපෙ බරපතල බව කියන්න ඥාතියෙක් එක්කන් එන්න කීවම මම ඇතුලට ගියා. දොස්තර මහත්තය මම දිහා බලල මේ පොඩි ලමෙක්නෙ කිව්වා. එදා තමා තාත්තාගෙ අසනීපෙ ගැන මට මොන මොනවා හරි යමක් තේරුං ගියෙ.

මේ සමග අමුනල තියෙන්නෙ මම තාත්තට ලියපු කවියක් අවුරුදු 10 කට කලින්. තාත්තාගෙ ඇස් වලට සතුටු කදුලු ගෙනා මේ කවිය පසුගිය දිනෙක කිසිවෙකු විසින් නැවත මුහුණුපොතට උඩුගත කර තිබුනා. 

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ