කලු මිනිසුන්, රතු අහස සහ සුදු ගස
බසයෙන් මා බිමට බැස්සේ තනිවමය. බොහෝ දින වල කිහිප දෙනෙකුම බසයෙන් බසිති. ඒ බසින ඇතැම් අය කැඳවාගෙන යාමට බයිසිකල්ද , මෝටර් බයිසිකල්ද සහිතව පොරොත්තු වන අය වෙයි. අද ඔවුන්ද නැත , කිසිවෙක්ම නැත. ඒ වනවිට මැදියම් රැය පසුවී ගොසිනි. සවස 6.30 ට පිටකොටුව ඕල්කට් මාවත බස් නැවතුමෙන් පිටත් වූ බසය , අපේ ගම්මානයට හැරෙන හන්දියට ලඟා වූයේ පැයක හමාරක ප්‍රමාදයකින් පසුවය. මහ මඟ සිදුවූ අනතුරකට කොටුවීමත් , තේ පානයට වැඩි වේලාවක් ගතවීම නිසාත් සිදුවූ අකරතැබ්බයකි ඒ. දසතම වූයේ කෑලි කැපිය හැකි දැඩි අඳුරකි. පරිසරයම හිටිවනම නතර වූවාක් වැනිය. පලඟැටි , රැහැයි නාදයකුදු නැත. ගසක පත්‍රයක් හෝ සෙලවෙන තරමේ සුළඟකදු නැත. මා පැමිණි බස් රිය ගියර මාරු කරමින් ඈතින් ඈතට ඇදී යනු , අඳුර සහ නිහැඬියාව තුලින් බොහෝ වේලාවක් ඇසී , අතුරුදන්ව ගියේය. මැදියම් රැය නිසා පාරේ වාහන ගමනාගමනයද අවමය. වාතයේ උණුසුම් ස්වභාවයක් පැවතුණි. අහසේ වූ තරු , වලා වියනක සැඟව ගොස්ය. අතරින් පතර වූ තරු සිදුරු තුලින් තාරකා කිහිපයක් මලානිකව දිස්න දෙයි. ගමන් වෙහෙස , කුසගින්න සහ නිදිමත දැඩිව මා වෙලාගෙන සිටියේය. සතියක්ම උදරාශ්‍රිත රෝගයකින් පෙලීම නිසා මගේ ශරීර ශක්තිය පිර