කලු මිනිසුන්, රතු අහස සහ සුදු ගස
බසයෙන් මා බිමට බැස්සේ තනිවමය. බොහෝ දින වල කිහිප දෙනෙකුම බසයෙන් බසිති. ඒ බසින ඇතැම් අය කැඳවාගෙන යාමට බයිසිකල්ද, මෝටර් බයිසිකල්ද සහිතව පොරොත්තු වන අය වෙයි. අද ඔවුන්ද නැත, කිසිවෙක්ම නැත.
ඒ වනවිට මැදියම් රැය පසුවී ගොසිනි. සවස 6.30 ට පිටකොටුව ඕල්කට්
මාවත බස් නැවතුමෙන් පිටත් වූ බසය, අපේ ගම්මානයට හැරෙන හන්දියට ලඟා වූයේ පැයක හමාරක ප්‍රමාදයකින්
පසුවය. මහ මඟ සිදුවූ අනතුරකට කොටුවීමත්, තේ පානයට වැඩි වේලාවක් ගතවීම නිසාත් සිදුවූ
අකරතැබ්බයකි ඒ.
දසතම වූයේ කෑලි කැපිය හැකි දැඩි අඳුරකි.
පරිසරයම හිටිවනම නතර වූවාක් වැනිය. පලඟැටි, රැහැයි නාදයකුදු නැත. ගසක පත්‍රයක් හෝ
සෙලවෙන තරමේ සුළඟකදු නැත. මා පැමිණි බස් රිය ගියර මාරු කරමින් ඈතින් ඈතට ඇදී යනු,
අඳුර සහ නිහැඬියාව
තුලින් බොහෝ වේලාවක් ඇසී, අතුරුදන්ව
ගියේය. මැදියම් රැය නිසා පාරේ වාහන ගමනාගමනයද අවමය. වාතයේ උණුසුම් ස්වභාවයක්
පැවතුණි. අහසේ වූ තරු, වලා වියනක
සැඟව ගොස්ය. අතරින් පතර වූ තරු සිදුරු තුලින් තාරකා කිහිපයක් මලානිකව දිස්න දෙයි.
ගමන් වෙහෙස, කුසගින්න සහ නිදිමත දැඩිව මා වෙලාගෙන
සිටියේය. සතියක්ම උදරාශ්‍රිත රෝගයකින් පෙලීම නිසා මගේ ශරීර ශක්තිය පිරිහී ගොස්ය.
පැය එක හමාරක් පෝලිමේ සිටගෙන සිට බසයේ අසුනක් අල්වා ගත්තත්, මද දුරකින් නැඟ මා
අසලටම විත් මුහුණ දෙස බලාගෙන සිටි බබලෙතෙකුට එයද පූජා කිරීමට සිදු විය. ඉන්
අනතුරුව බෑග් පතයත් ඔසවාගෙන ජනරැල්ලට ඉදිරියටත් පසුපසටත් ගොස් තැලී, පොඩිවී, මිරිකී සිටියෙමි.
අඳුරේදී ගමන් කිරීමට භාවිතා කරන කුඩා
පෙන්ටෝචයක් මගේ බෑගයේ නිතරම ඇත. බෑගය දණහිස් මත රඳවා, සිපරය ඇර, ඇතුලට අතදමා අතපත ගා මම පෙන්ටෝචය එලියට
ඇදගතිමි. එහි ස්විච්චය දැමූ විට පිලමන්ටය දැල්වුනේ මඳ වශයෙනි. යන්තම් කණාමැදිරි
එළිය පුංජයකට වඩා යමක් ඉන් විහිදුනේ නැත.
බාල තත්ත්වයේ පෙන්ටෝච් වල බඳෙහි
සන්නායකතාවයට පවා බැටරි බැස යයි. මම එළිය පුංජය වනමින් මඟට පිලිපන්නෙමි. විදුලියද
විසන්ධි වී ඇති හැඩය.
රාත්‍රියේ ගොඩබිම, ගස්කොලන් සිසිල් වෙද්දී තාර පාරත්, පාර දෙපස සහ මැද්දෑවේ
ඇති වැලිත් තවදුරටත් උණුසුම්ව පවතී. ඒ උණුසුම සොයා මාපිලන්, කරවලුන් වැනි නිශාචර
සර්ප ගණයා ඇදී එති. එක් දිනක, වැල්ලේ දරණ
ගසාගෙන සිටි තෙලිස්සෙක් මගේ පයට නොපෑගේ බේරුණේ වාසනාවටය. මම පය අද්දමින් පාරේ
ඉදිරියට ගියෙමි. එවිට ඇතිවන කම්පන තරංගයන්ට සර්පයන් ඉවත්ව යන්නේලු.
මහා මාර්ගයෙන් අතුරු මඟට හැරී ටික දුරක් යන
තුරු අතරින් පතර නිවෙස් ඉඳි වී ඇත. මැදියම් රැයේ, නිවැසියන් සියල්ලෝම තද නින්දේය. ඇතැම් නිවසක,
කුප්පි ලාම්පු හෝ
චිමිනි ලාම්පු එළි ඇබිත්තක් ජනෙල් කවුලු තිරයක් හරහා පෙරී එයි. ඉස්තෝප්පුවක හෝ
අගුවක නිදා සිටින සුනඛයන්
මගේ පා හඬට අවදි වී අඳුරේම කන්පට ගසති, ඇතමෙක් බුරා හැලෙති. පා හඬ තම බලප්‍රදේශය පසු කර ගිය පසු
නිහඬ වෙති. කොහේදෝ පිළිකන්නක බළලුන් පොර කති.
ටික වේලාවකින් මගේ ඇස් තරමක් අඳුරට හුරු
විය. නිවෙස් වල පියැසි සහ ගස් කොලන් වල හැඩ තල, යන්තම් පෙනී නොපෙනී යද්දී මම ඉවෙන් මෙන්
පාරේ ඇවිද ගියෙමි. පෙන්ටෝචයේ එළිය පුංජය මතු ප්‍රයෝජනය තකා නිවා දැම්මෙමි.
පාරේ මයිල කාලක් පමණ ගිය තැන, දෙපසින්ම කුඹුරු යායක්
ඇති පාළු මණ්ඩියකි. ඒ මැදින් මයිල බාගයක් පමණ දුරට ඉද්ද ගැසුවාක් මෙන් පාර දිව
යයි. පාර දෙපස, වෙල් යායට
පහත් වන අඩි තුනක් පමණ උස ඉවුරු දෙකකි. ඒවායේ කෙකටිය, බෙරලිය, නීරමුල්ලිය, දිය හබරල ආදී ජලාශ්‍රිත ශාඛ හා පඳුරු වැඩී
ඇත. වෙල් යාය පුරන් කොටා දිය බැඳ ඇති බව අහසේ ඇති මලානික තරු ලප දිදුලන දියතලය ප්‍රකට
කලේය.
මගේ දෙපයට වැලි පෑගෙන 'චර චර' හඬට පාර දෙපස
පඳුරු අස්සේ වෙසෙන ගෙම්බන් සහ මැඬියන් 'ජබුක් ජබුක්' හඬින් කුඹුරේ දිය පිරුණු ලියදි වලට පනිති.
හිටි අඩියේම, පඳුරක ලැග සිටි
කිරළෙකු මහ හඬ දී මගේ හිසට ඉහලින් තටු ගසා ඈතට ඇදී ගියේය. පාර මැද්දක් වන්නට
කුඹුරේ මහ ඇල පාර හරහා යන බෝක්කුවක් ඇත්තේය. කිරළා ඉගිල යන විට මා සිටියේ ඒ
ඉසව්වේය.
හිටිවනම පලාතම එකළු කරමින් ‘දඩාංං’ අනුකරණයෙන් අකුණක්
පුපුරා ගියේය. වෙල් යාය,
මොහොතකට ඒකාලෝක
විය. අකුණෙහි කඳ සහ අතු ඉති වියනක් මෙන් මගේ හිසට ඉහල අහසේ විසිරී පැතිරී ගියේය.
වෙල් ලියදි රිදී පැහැයෙන් දිස්න දුන්නේය. අකුණු හඬට කැලඹුණ කොකුන්, කොරවකුන් ආදී සතුන් එක යායට නද දුන්නේය.
ඇතමෙක් එහෙ මෙහෙ දිව ගිය හඬ කණටත්,
මඩ කැලතීමෙන්
ඇති වන ගඳ නහයටත් දැනුණි. වෙලෙහි කලබලයට අලගු තබමින් කැලයක මොණරෙක්ද, කන්දක නරි රැලක්ද නද දුන්නේය. පරිසයේ වූ
නිශ්චලතාවය අවසන් කරමින් සිහිල් සුලං රැල්ලක් හමා යන්න පටන් ගති.
ඒ සියල්ලම අතරින්, මා ගමන් කල මාවතේම මිනිස් රුවක්, මට ඉදිරියෙන් මා සිටිනා දිශාවටම ගමන් කරමින්
සිටියේය. පරිසරයේ කලකෝලාහයත් සමඟ සිදුවූ වෙනසින් කැලඹී සිටි මම ඒ මිනිස් රුව
දැකීමෙන් තිගැස්සුනෙමි. මගේ කොඳු නාරටිය හරහා සිහින් විදුලි සැරයක් වැන්නක් හිස
දිශාවට ගමන් කලේය. මම හිටි තැනම මොහොතකට ගල් ගැසුණෙමි. තප්පර කිහිපයක් ඇවෑමෙන්
තවත් අකුණක් පුපුරා ගියේය. ඒ වන විට ඒ මිනිස් රුව මාවතින් අතුරුදන්ය. අකුණු
පිපිරීම් දෙක අතරෙහි වූ තත්තර කිහිපයට මිනිස් රුව මාවතෙන් අතුරුදන්ය!
හොල්මන් සහ අවතාර, මගේ විශ්වාසය තුල නොවීය.ඒත් ?
ඈතින් ඈතට පැතිරී ඇති වෙල් ඉහත්තාවේ සිට 'හෝ' හඬ නඟමින් වැස්සක්
හමා එන හඬ ඇසුණි. මම කලබල වී ගමන් මල්ලෙහි වූ කුඩය සෙවීමට වෙහෙසුනෙමි. සිතේ ඇති වූ
බලවත් චකිතය නිසාදෝ එතරම් ලෙහෙසියෙන් කුඩය අතට ගැනීමට හැකි වූයේ නැත. ඈතසිට හමා ආ
වැස්ස, ලොවි ගෙඩි තරම් වැහි
බිඳු මා වෙත එකින් එක දමා ගසන්නට පටන් ගත්තේය.
"ඉඳල ඉඳල වහින
වැස්සකට තෙමෙන්න එපා දරුවෝ"
අම්මා නොයෙක් වර කියන අයුරු මට සිහි විය. මම, බෝක්කුවට නුදුරින් වූ අබලන් පැල් කොටයක් වෙත
දිව ගියෙමි. ඒ පැල් කොටය,
කුඹුරු කොටන
හා වපුරන කාලයට අඩුම කුඩුම,
හීල, ඇඹුල ආදිය තබන්නටත්, වී ගෝනි තාවකාලිකව ගොඩ ගසා තබන්නටත් යොදාගත්
එකකි. තල් අතුත්, පොල් අතුත් සෙවිල්ලා
ඇති එය මහ වැස්සකට ඔරොත්තු දෙන ලෙසට සකස් වූවක් වුවත්, කාලයත් තිස්සේ අළුත්වැසියාවකට යොමු කර නැත.
පැල් කොටයට ඇතුල් වෙද්දීම,
එහි පුවක් පටි
මැස්සේ වාඩි වී තවත් මිනිසෙකි!
ගතෙහි හීගඩු පිපී එත්ම, අකුණක ක්ෂණික එලියට ඒ රුව මම හඳුනා ගතිමි. ඒ
මාටින් අයියාය. ගමේ ගොවි මහතෙකි.
"මහත්තය මේ
රාත්තිරි ජාමේ ගෙදර යනගමන්දැ?"
මාටින් අයියා
ඇසුවේය. "බස් එක පරක්කු උනා මාටින් අයියෙ" මම කීවෙමි. ඒ වන විටත් මගේ
කටේ කෙල සිඳී ගොස්ය. " මම මේ වහින්න කලියෙන් කුඹුරේ වක්කඩවල් ටික කඩල යන්න
කියල ආව මහත්තය. හැන්දෑවේ ඉඳන්ම බීරම තිවුන. ගිරීස්මේ නිසා මගේ ඇහැ හරියකට
පියවුනෙත් නෑ" මාටින් අයියා තවදුරටත් කීවේය. මාටින් අයියා කුඹුරේ සිට පාරට
ගොඩ වී ඇත්තේ පැල් කොටයට රිංගා ගන්නටය. මා බිය වී ඇත්තේ නිකරුණේය.
කෙමෙන් කෙමෙන් වැස්ස ධාරාණිපාතයක් විය. කුඩය
දිගහැර ගතහැකි වුවත්, එවන් වැස්සක පාරට
බසින්නේ මෝඩයන්ය. අබලන් පැල්
කොටයට පසෙකින් හමා එන කෝඩය මුවහ කරගෙන
මමත්, මාටින් අයියාත් බස්
නැවතුමේ රැඳී සිටියෙමු. හෙතෙම කතා බහක් නැත, කොහොමත්
එහෙමය.
පොළව තෙත බරිත වී නැවුම් සුවඳක් හමා ආවේය.
සිසිල් සුළඟක් සමඟ වලාකුලු වියන් පහව ගොස් අහස පැහැදිලි වී නිශ්චල විය. අහසේ
කොණකින් අටවක සඳ පළුවක්ද නැඟී ආවේය. වැසි දියෙන් පෙඟී තිබූ පරිසරය සඳ දියෙන්ද තෙමී
ගියේය.
මම නැවතත් මඟට පිලිපන්නෙමි. මාටින් අයියාද 'යන්නම් මහත්තය' කියා මඟේ අනික් පසට ගියේය. ඔහුගේ නිවස පිහිටියේ පාරේ තව ඉදිරියෙන් වුවත්, මා සිතේ කුහුලක් ඇති වුවත්, මම එය විමසන්නට නොගියෙමි. ඇතැම් විට, අහවර නොකර කාර්යයක් වෙලේ තිබෙන්නට පුලුවන.
පාරේ දුහුවිලි සහිත ස්වභාවය පහව ගොස්, එය ඇලෙනසුළු මඩෙන් යුක්ත විය. කඩතොළු දියෙන් පිරී, සඳ පළු වැටී දිළිසේ. පාර කෙලවර වන තැනින්
නැවතත් ගම්මානය පටන් ගනී. මා එදෙසට යන විටම, අළුත් එළියක්
ගම්මානය දෙසින් නැඟ ආවේය. එතෙක් විසන්ධිව තිබූ විදුලිය නැවත සන්ධි විය. විදුලි
පහන් කිපියක්, ටිකකට පසු නිවී ගියේය.
එම ගම්මණ්ඩියේ බල්ලන් සිටියේ උදාසීනවය. මහ
වැස්සේ සිසිලස උන් නිදිගන්වා ඇති සෙයකි.
ගම්මණ්ඩිය පසු කර, කුඩා කඳු ගැටයක් මුදුනේ ඇති සොහොන්
පිටියට මදක් එපිටින් පහලට බැස ගිය විට
අපගේ නිවස පිහිටයි. කාලාන්තරයක් තිස්සේ දන්න හඳුනන ගම්වැසියන්ගේ ඇටකටු තට්ටු
පිටින් ගොඩගැසුණු පුරාතන සොහොන් බිම, කඳු ගැටයක එක්
බෑවුමක පිහිටියේය. ඒ ඉදිරියෙන් පාරේ අනිත් පස, කාට හෝ පින්
පිණිස සවිකල විදුලි ලාම්පුවක් වෙයි. කිසියම් දොසක් නිසා එයද දැල්වෙන්නෙ ගැස්සි
ගැස්සී කඩින් කඩය. කඳු ගැටය මුදුනේ ඇති සොහොන් බිම පිහිටියේ සුලං කපොල්ලකය.
නිරන්තර සුලං ප්‍රවාහයක් ඒ පිස හමා යයි.
කාලගුණයේ ඇති වූ වෙනස නිසාදෝ අසාමාන්‍ය ලෙස
වැඩි වූ සුලඟක් සොහොන් පිටියේ සහ ඒ අවට කරකැවෙමින් තිබුණේ උරුවම් හඬක්ද
නඟාගෙනය. එම සුළඟ, සිටගෙන හෝ සිටින්නට බැරි තරමට කෙමෙන් දැඩි
විය. සුලඟට පැද්දී විදුලි පහනද,
දැල් වී
තිබෙනවාට වඩා නිවී තිබෙන කාලය වැඩි විය.
මම සොහොන් පිටිය දෙස බැලුවෙමි. එහි හරි මැද, මුලින් අඩු දහයකට පමණ ඉහලින් අතු දෙකකට බෙදී
ගිය, එල නොදරන දැවැන්ත කජු
ගසක් වෙයි. එහි වම් පසින් සහ දකුණු පසින්, එකම හැඩයට
තැනූ උස් සොහොන් කොත් දෙකකි. ඊට අමතරව එහි ඇත්තේ සැරසිලි නොමැති භූමදාන සොහොන්වල
පස් ගොඩැලි පමණකි. මෑත කාලීනව මිය ගිය කාගේ හෝ සොහොනක ගොක්කොල අවමංගල්‍ය සැරසිලි
සුලඟට ලෙළ දෙමිනි. ගොක්කොල තොරණක් සොහොන් පිටිය හරහා ඉඳිවී, කාලයේ ඇවෑමෙන් වියලෙමින් ඇත. එහි දෙපස කණු
දෙකෙහි මලගිය ඇත්තාගේ නම සඳහන් අවමංගල්‍ය දැන්වීම් දෙකකි. කඩින් කඩ දැල්වෙන එළිය
නිසා එය හොඳාකාරව දැකීම අපහසුය.
සුළඟේ සැරට ඇඹරෙමෙන් තිබූ කජු ගසෙහි අතු
දෙකෙන් එකක් කැඩී, ගසෙන් පට්ටයක්ද ඉරාගෙන
'දඩස්' හඬින් බිම පතිත විය. එය ඇද වැටුනේ සොහොන්
කොතක් යාන්තමින් මඟ හරිමිනි. අත්ත ඇද වැටී, අත්තෙන්
නික්මුණ පත්‍රද පාවී අවුත් බිම පතිත විය.
ඉන්පසු සුලඟේ කලබලය නැවතුණි. කඩින් කඩ
දැල්ව්මින් තිබූ පහනද නිසි පරිදි දැල්වෙන්නට විය. මම නිවසට ගියෙමි. අම්මා පෙරමඟ
බලා උන්නාය. අධික තෙහෙට්ටුවෙන් සිටි මම, ආහාර ගෙන
ඉක්මනින්ම නින්දට වැටුනෙමි.
*****
පසු දින මා අවදි වූයේ අධික හිසරදයක් සහ තෙත
බේරෙන නාසයක්ද සහිතවය. රාත්‍රී දේශගුණික විපර්යාසයේ අලකලංචිය තදින්ම හිසට වැදී
තිබුණි. එසේ නැතහොත් ඒ සිතෙහි චංචල භාවයද?
දෙහි කොල හට්ටියක් තම්බා දුමාරය අල්ලා
තත්ත්වය මදක් සමනය කරගත් මම හන්දියට
ගියෙමි. මා ගමට පැමිණියේ මසකට පමණ පසුව බැවින්, මිතුරු සමාගමය
අවැසි විය.
හිසරදය, මිත්‍ර සමාගමය
සමඟ මදක් තුනී වී ගියේය. ආපසු මා නිවසට ආවේ මද්දහන අවුවේය. තෝන්තු ගතියත්, කෙඩෙත්තුවත් ඒ වන විටත් පහව ගොස් නොතිබුණෙන්
ආපසු එන ගමනේදී සොහොන් පිටියට යාබද කන්ද මම බයිසිකලයෙන් බැස, තල්ලු කරගෙන ආවෙමි. සොහොන් පිටියේ ඊයේ දුටු
නව සොහොන කාගේද යන්න සොයා බැලීමෙ කුහුලක්ද විය. මම බයිසිකලය විදුලි කණුවට හේත්තු
කර ගොක්කොල තොරණට එබුණෙමි.
"ජී.ජී. මාටින්
උපාසක මහතාට නිවන් සැප ලැබේවා!" ඊයේ වෙලේ පැලේදී දුටු මාටින්, සිනහවෙමින් මාදෙසට එබීගෙන අවමංගල දැන්වීමේ
සිටියේය!
*****
කතාවේ ඉතිරි කොටස, මට ඔබට කියන්නට වෙන්නේ අතරින් පතරය. ගිණි
කබලට උණ ගැනී, නන් දොඩවමින් මා නිවසට
ගොස් ඇත්තේ කටු කම්බි වැටකට සීරුණු පිටක්, ගඳපාන කටුවලට
සීරුණු කණක් හා නොදන්නා හේතුවකින් තුවාල වූ දණ හිසක්ද සහිතවය. බයිසිකලය නිවසට
ගෙනැවිත් දී ඇත්තේද හිතවතෙකි. අතරින් පතර ඇති මතක රූ වල දෙමාපියන්, සහෝදර සහෝදරයන් හා පන්සලේ ලොකු හාමුදුරුවන්ද, යකදුරෙක්ද රැඳී සිටියෝය. ඊට අමතරව, ඇඳෙහි උණ විකාරයෙන් වැතිර සිටිද්දී ඇඳ
රෙද්දේ සිහින් ඉරක් ඉරක් පාසා කුඩාවට නැඟී කෙමෙන් විශාල වන කළු පැහැති අද්භූත
මිනිසුන්ද, ඔවුන් පසු බිමෙහි දිස්
වූ සුදු පැහැති ගසක්ද, රතු පැහැති අහසක්ද
මතකය.
ඒ තිගැස්ම, බොහෝ කලක් මා
රාත්‍රී ගමන් බිමන් වලින් වලකා තැබුයේය.
එදා මෙදා තුර වසර විසි එකක් ගෙවී ගොසිනි.
සොහොන් පිටිය පසු කර යද්දී,
තවමත් මම ඒ
කජු ගස දෙස බලමි. දැන් තිගැස්මක් ඇත්තේ නැත. මතකයක් පමණක් ඉතිරිව ඇත. එදායින් පසු
මෙතෙක් මට එවන් අතුරු අන්තරාවක් සිදුවීද නැත. එදා රැයේ සිදුවූ දේ මා දන්නේද නැත.
©රසික වික්‍රමනායක
2021.11.10
Comments
Post a Comment