දෙවි මකුළු විමන

කුඹුරු වලින් බොහෝ දුරට වටවූ දූපතක් වන් ඉඩමක, නිරිත දිගට වන්නට පිහිටි කුඹුක් ගසක් විය. කවුරුන් කවදා සිටවූවාදැයි නොදන්නා එහි, උස් පාදම් ලෙස විහිදී ගිය මුල් ගොන්න මැද, නිල් කැටෙට දිය පිරුණු බොන ලිඳක් විය. මොනයම් නියං සායකදී හෝ, මේ ලිඳ සිඳී ගියේ නැත. තුන්කල්හිම, දිය උතුරා පිටාරය යයි. ඒ ලිඳෙහි ගල්පාඬින්ද, නලහඳයන්ද, තිත්තයෝද, මඩකණයෝද සමඟියෙන් විසූහ. නියඟයට ගමේ අනිකුත් ලිං සිඳී යත්ම, ගම්මුන් පෙරහැරක් මෙන්, දිය ගෙන යාමට, 'කුඹුකේ ලිඳට' එති. ගුණවත් ගෘහපතියාගෙන්, පතිරත්න මහතාගෙන් ඊට බාධාවක් නොවීය. පොල් කටු වල ගැසූ ඉටිපන්දම්, හුළු අතු, විදුලි පන්දම් ආදියද  රැගෙන රාත්‍රී මැදියම වන තෙක් දිය ගෙන යාමට එන ගම්මුන් නඟන කන්කරච්චලය, ඒ මහතාට හුරුය. එතුමාගේ සිහිකැඳවීමට, තෙමසකට වරක් එක් රොක් වන ගම්මු, ලිඳෙහි දිය ඉසිති. පෙඳ පාසි සහ කුඹුක් කොල ඉවත ගෙන දමති. දිය සෙවල බැඳී ඇති ගල් පර, පොල් ලෙලි බාග වලින් පිරිසිදු කරති. ලිඳ ඉසින විට, මාළු සමූහයා ගැරුම් වට්ටියක් මගින් දිය බේසමකට එකතු කර, ලිඳ තරමක් පිරුණ පසු මුදාහරින්නට කෙසෙල් කොලයකින් වසා තබති. ලිඳෙහි එක් කොණක්, නයි පෙණයක් බඳු දිය උල්පතක් සහ, පරිවාර සෙසු උල්පත් කීපයක්ද ඇත. උල්පත සමඟ ඔට්ටු වී ලිඳ හිස් කිරීම පහසු නැත.

වසරකට පමණ වරක් ගසෙහි අතුද, ප්‍රවේශමෙන් ඉවත් කරන්නේ ගොයමට සෙවණ වන තරමටම අතු පතර විහිදී යන නිසාය. දැඩි නියඟයන් වලදී, පතිරත්න මහතාගෙන් අවසර ගෙන, ලිඳට යාබද කුඹුරෙහි අඳ ගොවියා, හැන්දෑවේ ලිඳේ වතුරෙන් අඩක්, කුඹුරට හිස් කරයි. උදෑසන වන විට, ලිඳ නැවත පිරේ. කුඹුක් ගස වටා ඇති කයුරු මුල්, ඇතැම් තැන්හිදී අඩි හතරක් පමණ උසය. අඟල් තුනක් පමණ ඝණකමය, අඩි හයක් පමණ දිගය. මෙම මුල්, කරත්ත රෝද සඳහා කපා ගනිති. ඉන් ගසට හානියක් නොමැත. වසර කීපයක ඇවෑමෙන් නැවත වැඩේ.

මේ දැවැන්ත කුඹුක් ගසෙහි විවිධාකාරයේ සතුන් ලගිති. දහවලට කොකුන්, පිළිහුඩුවන් සහ උකුස්සන්ද, රාත්‍රියට බකමූණන්, බස්සන් සහ උලමුන්ද, කුඹුරෙහි ගැවසෙන වෙල් මීයන්ට, කක්කුට්ටන්ට, සර්පයින්ට මාන බලති. දිය බල්ලෙකුගේ මල අවශේෂද ඇතැම් විට ලිඳ අසල දක්නට ලැබේ.

මෙකී සත්ත්ව වර්ගයා කුඹුක් ගසෙහි ස්ථිර පදිංචි කරුවන් නොවේ. එහෙත් ඒ ගසෙහි, ස්ථිර ලෙස පදිංචි වූ දෙදෙනෙක් සිටියහ.එක් අයෙක් රුක් දෙවියෙකි. අනෙකා දිවි මකුළුවෙකි.

මේ දෙදෙනා ගසෙහි පදිංචිව සිටියද, ඔවුන් ඇසට දුටු අයෙක් නොවීය.

කළුවර ගම්පියස වසා ගන්නා විට, කුඹුරට නුදුරෙහි ඇති බොරළු පාරේ යන ගැමියන්ටත්, පතිරත්න මහතාටත්, අහසින් කුඹුක් ගසට දේවතා එළියක් පහත් වනු පෙනේ. ඒ සමඟම, සිහින්ව ගැයෙන පිරිත් ස්වරයක්, හේවිසි නාදයක් හා මුසුව ඇසේ. පන්සල් සුවඳක් හමා එන්නේ මල් සුවඳක්ද සමඟය. ඒ දකින, විඳින වැඩිහිටියෙකු සාධු නාද පවත්වයි, ලපටියෙකුටද එළිය පෙනවයි.

"ආං පුතේ දේවතා එළියක්, කෝ ඉතිං මයෙ පුතා සාධු කියන්ඩ"

"ස්සාදු ස්සාදු සා.. තාදු තාදු තා.... "

ඇතමෙක්, පතිරත්න මහතාටද කියා, මහ රෑ කුඹුක් ගස අසලට විත්, දෙවියන්ගේ පිහිට පතා කන්නලව් කරති. ගස මුල, පොල් තෙල් පහනක් දල්වති. ඒසේ පිහිට ලැබේයැයි ගම්මුන් තුල විශ්වාසයක් විය. යාතිකාවක හඬත්, ඈත ලෝකයකින් සේ ඇසෙන පිරිත් ස්වරයත්, මල් සුවඳත් සඳ එළිය ඇති රෑක සදෙව් ලොවක්ම මවා පෑයේය. කුඹුකේ දිවි මකුළුවෙකු වූ බවට එකම සාධකය, ඉඳ හිට ලිඳෙහි දිය මත වැටෙන මකුළු හැව පමනකි. උදෑසනම ලිඳට යන පතිරත්න මහතා, ඒ හැව රැගෙන, තෙමී ඇත්නම් වියලා, හිස් ජෑම් බෝතලයකට දමා තබයි. ඒ මහතා එසේ කරන්නේ හේතුවක් ඇතිවය. අසල ගම් කිහිපයක වෙද මහත්වරු, දිවි මකුළු හැව, බෙහෙතට ගනිති. ගෙඩි, විසර, කුෂ්ඨ සඳහා ප්‍රතිකාර කරන එවැන්නෙක්, රෝගියාගේ ඥාතියෙකුට මෙවන් උපදෙසක් දෙයි.

 

"අර කුඹුකෙ දිවි මකුළුවගෙ හැව කෑල්ලක් ඇන්න එනව හොඳයි"

 

ඥාතියා පතිරත්න මහතා හමුවට පැමිණේ. ඒ මහතා හැව කොටසක් කඩා, බුලත් කොලයක ඔතා දෙයි. සමාජ සත්කාරයක් මිසක් මිල මුදල් ගනීමක් නැත. ගම්මානයේ ගස් ගල් වල, රුක් බෙණවල, දිවි මකුළුවන් කොතෙකුත් සිටියද, උන්ගේ හැව, කුඹුකේ දිවි මකුළුවාගේ හැව තරම්, රෝග නිවාරක ගුණයෙන් යුක්ත නැත.

දිවි මකුළුවා සහ රුක් දෙවියා අතර කිසියම් සම්බන්ධයක් පවතීද යන්න, කිසිවෙකුට පැහැදිලි නොවීය. කෙසේ වුවද, රුක් දෙවියෙකු වැඩ වසන ගසක විසීම නිසාම, දිවි මකුළුවාද ආනුභව සම්පන්න වූ බව බොහෝ දෙනා ඇදහූවෝය.

.....................................................

කාලානුරූපීව සිදුවූ පතිරත්න මහතාගේ මරණයත් සමඟ, කුඹුක ලිඳ පිහිටි වත්ත, ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකුට හිමි විය. හෙතෙම, කුඹුක ලිඳ ලඟ කුඩා දේවාලයක් ඉඳි කලේ, පිටතින් කැඳවාගෙන ආ කපු මහතෙකුගේ උපදෙස් පරිද්දෙනි; ආර්ථික වාසි ලැබීමේ චේතනාව පෙරදැරි කරගෙනය.

එක් කෙම්මුර දිනක, කුඹුකේ දේවාලය ලඟ දෙවොල් මඩු ශාන්ති කර්මයක් සැලසුම් විය. පහන් පැල් සාදා, කුඹුක වටා කොඩි වැල් ඇද, සර්ව රාත්‍රිකව සිදුවූ එය, ජනයාගෙන් අතුරු සිදුරු නැතුව පිරී පැවතින.

පසු දින, කළු කපා එළිය වැටී එන විටම, ගොක් කොල මල් පැලක පියස්ස මත, නිල්වන් කළු පැහැති අලංකාර දිවි මකුළුවෙකු මැරී වැටී සිටියේය.

ශාන්තිකර්මයේ පන්දම්, විලක්කු, කට්ටකුමන්ජල් දුම වැදී දිවි මකුළුවා මිය ගියා යැයි ඇතමෙක් කීහ. තවකෙකුගේ මතය වූයේ රුක් දෙවියන් ශාන්තිකර්මයෙන් කෝප වූ බවයි. දේවාලය ලත් තැනම ලොප් වී ගියේය. එදිනට පසු, දේවතා එළි, කුඹුකට පාත් වූයේද නැත.

 

©රසික වික්‍රමනායක

(දිනමිණ වසත් සුලඟ කෙටිකතාව: 2022.3.30)

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!