සේපාලිකා
බස් එක කැම්පස් හන්දියට එද්දි හවස හත පහු උනා. වටපිටාවෙ පරිසරයේ අමුතු රස්නයක්. අහසේ වලාකුළු පිරිලා. වැඩ අහවර වෙලා ගෙවල් වලට මිනිස්සු යන වේලාව. සේපාලිකා බසයෙන් බැස්සෙ ඕනවට එපාවට, අන්තිමට. අතේ උණුහුමට ගුලිකරන් හිටිපු රුපියල් දෙක කොන්දොස්තර කොලුව අතේ තියල අහක බලාගෙන බහින්න ගිහින් කකුලත් පැටලෙනව තව පොඩ්ඩෙන්.
කැම්පස් එක ලඟ ඉදන් පහලට යන මොල්පේ පාරේ සෙනඟ ගොඩට එකතුවෙලා සේපාලිකා පහලට ඇදුනා. තටමමින් හිටපු අහස හෝස් ගාල කඩා වැටුනේ එතකොට. අතේ කුඩ තියෙන අය විජහට කුඩ ඉහල ගත්තා. එයාලා වැස්ස බලාපොරොත්තුවෙන් කුඩ අතේ තියාගෙන සූදානමින් හිටියේ. මෝටර් බයිසිකල්, කුඩ නැති උදවිය කඩ පිල් වලට ගාල් උනා. මෝල්පෙ පාරෙ මේ වෙලාව වනවිට කැම්පස් ලමයින්ට කෑම විකුණන කඩ කාර්ය බහුලයි. ගොඩක් කාන්ඩෙ වැස්සට ගොඩ උනේ ඒ කඩ වලට. කරකුට්ටන් වෙලා තිබ්බ තාර පාර, මඩ ගඳක් මුසු දුමාරයක් විහිදෙව්වා. සේපාලිකාගේ අත් බෑගයේ කුඩ කබලක් තිබුණත්, ඒත අතට ගන්න ඈට උනන්දුවක් නෑ. වැස්ස වහින්නෙ ඇයට පිටින් වගේ මහ වැස්සේ තෙමි තෙමි ඈ පාර දිගේ පහලට ඇදුනා. වැස්සට ඇගේ චීත්ත මල් ගවුම ඇඟට ඇළුනා. නිතඹ, ලැම පසුපස හැඩතල දුටුව වීල් රියදුරෙක් ඈට ලංකරල නැවැත්තුවෙ වනචර අදහසකින්. "නංගි, යමු, මා එක්ක." සේපාලිකා හිටිය ලෝකෙට ඒ හඬ කාන්දු වුනේ නැහැ. ත්‍රීවීල් රියදුරා ඇගේ අතින් ඇද්දා. පියවි ලෝකෙට ඇද වැටුන සේපාලිකා බෑගය කරකවල රියදුරාට පහරක් එල්ල කලාම, පසුබාල ගියේ තිත්ත කුණුහරුපයකුත් කියමින්. වැස්සේ ගෝසාව නිසාම සේපාලිකාට ඒ කුණුහරුපෙ හරියටම ඇහුණෙ නෑ.
මෝල්පෙ පාර බැහැගෙන ගිහින්, සෙකන්ඩ් ලේන් එකට හැරෙද්දි වැස්ස වැහැල පායලත් ඉවරයි. පාර පුරාම මඩ කඩිති. වැස්සට තෙමෙද්දි නොතිබුණ සීතලක් වැස්ස පායපු ගමන් ඇයට දැනෙන්න ගත්තා. කොණ්ඩ කරල්, ගවුම් වාටිය දිගේ තෙත බරිත සීතල ගලා බැස්සා. සෙකන්ඩ් ලේන් එකෙන් ෆස්ට් ලේන් එකට පටු කෙටි මඟක් තියෙනවා. එක පටන් ගන්න තැනම තමයි සේපාලිකාගෙ බෝඩින් හවුස් එක තිබුණෙ.
පරණ තාලෙ ගරා වැටුන ගෙයක එක පැත්තක ඇනෙක්ස් එකක් බවට පත් කරල, සේපාලිකා ඇතුළු රත්මලානෙ ෆැක්ටරි වල වැඩ කරන ගෑණු ලමයි තුන් දෙනෙක්ට කුලියට දීල තිබුණෙ මාසෙකට පන්දාහක කුලියට. ඒ පැත්තේ ඒ වගේ ගෑණු ලමයින්ට කුලියට දෙන තැන් තිබුණෙ එච්චරමයි. අනික් ඔක්කොම තැන් වල හිටියේ කැම්පස් ලමයි. සේපාලිකාගෙ බෝඩිම අයිති ලතා අක්කට. ලතා අක්කට බරවා. එයා දවල් වරුවට මිදුලෙ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා පත්තරයකින් බරව කකුලෙ මැස්සො පන්නනවා. කකුල නිසා වැඩ පලක් කරගන්න බැරි නිසා, මනුස්සයත් මලාට පස්සෙ ලතා අක්කා ගෙදර එක පැත්තක චමරියක් හදාගත්තා. ඒ මදිවට ලතා අක්කගේ දීග ගිහින් හිටිය දුව මනුස්සයත් එක්ක රණ්ඩු වෙලා ආපහු අම්ම ගාවට ආවෙ පුංචි දුවත් එක්ක. ඒ ඔක්කොම කටවල් වලට කන්න දුන්නෙ චමරියෙන් ලැබෙන කීයෙන් හරි. ඉඩම් කොටහ වටින නිසා කීප දෙනෙක් ඇවිල්ල ඉල්ලුවත්, ලතා අක්කගෙ පරම්පරාවෙන් උරුම වෙච්ච ගේ කබල විකුණන්න ලතා අක්කට හිත දුන්නේ නෑ. අනික විකුණල යන්න කියල තැනක් ඇත්තෙත් නෑ. ඒතන ගෙදර තිබුනෙ කාමර තුනයි. ලොකුම කාමරේට පලයක් බාල කුස්සි කෑල්ලක් හදල, තනි ඇඳකුයි තට්ටු ඇඳකුයි දාල සේපාලිකාලට දීල තිබුණ. එක කාමරේක ලතා අක්ක. අනිත් කාමරේ ලතා අක්කගෙ දුව. ලඟදි ඉදල දුව ආච්චි ගාව නිඳි කරල ලතා අක්කගේ දුව වෙන කර්මාන්තයක් පටන් අරන්. රෑට එන ගණුදෙනුකාරයන්ගෙ සිගරට් දුම සේපාලිකාලගේ කාමරේටත් එනව. මුලදි චුක් චුක් ගෑවත්, කරන්න දෙයක් නැතිම කමට ලතා අක්කත් කරබාගෙනම උන්නා. ලතා අක්කගෙ දුව වෙලාවකට කැම්පස් ලමයි ඉන්න බෝඩින් කාමර වලටත් යනව. ඒ වැඩේට එයා මනාප නෑ කරදරයි කියල. "මේ කැම්පස් එකේ කෙල්ලො හිඟයිලුනෙ නංගි. මුන් හතරක් පහක් යක්කු වගේ මාව මරන් කන්න හදනව." ලතා අක්කගේ දුව එක වංගියක සේපාලිකාට කිව්ව.
සේපාලිකා වැඩ කලේ රත්මලානෙ ගාමන්ට් ෆැක්ටරියක. බෝඩිමේ සේපාලිකා එක්ක, කාඩ්බෝඩ් ෆැක්ටරියක වැඩකරපු හේමාලිත්, මොරටුවෙ රෙදි කඩේක වැඩ කරපු සුසන්තිකාත් හිටියා. සුසන්තිකා තමා කාන්ඩෙන් වැඩිමාල්. එයා කසාද බැඳල පුතෙක් ඉන්නවා. පුතා අම්මල ලඟ තියල ඇවිත් තමා වැඩට යන්නෙ. හැවෝම මාසෙකට සැරයක් වගේ තමා ගමරටවල් බලල එන්න යන්නේ. සේපාලිකාලත් එක්කම ඒ හුණ්ඩු ගෙදර ගෑණු පරාණ හයක්. ඔක්කොටම තිබ්බෙ එක නාන කාමරයක්.
සේපාලිකා දෙවැට අයිනෙන් ඇවිත් චමරියට රිංගුවා. දොරකඩම වේලෙන්න දාපු රෙදි වැල්. හවස් වෙද්දි උයන පිහින ඒවා එලියෙ කරල, ගෑස් ලිපයි බාගෙ සිලින්ඩරෙයි ගෙට ගන්න ඕනි. නැත්තං කුඩ්ඩො උස්සන් යනව. රෑ වෙලා එළියෙ උයන්නත් බෑ. බරව මදුරුවො විමානෙ. තුන්දෙනා තුන් වෙලාවක වැඩට යන නිසා ඒ ඒ වෙලාවට ඉන්න අය උයනවා. කඩෙන් කන එක ලේසි උනත් තමන් සම්බලයක් හදාගෙන හරි බත් ටිකක් කන එක ගොඩක්ම ලාබයි, නැත්තං ගන්න සොච්චම කෑමට දියවෙලාම යනව.
සේපාලිකා ගිය ගමන්ම තෙත ඇඳුම් පිටින්ම ඇඳට ඇද වැටිලා හෝ ගාල අඬන්න තියාගත්ත. බෝඩිමේ හිටියෙ සුසන්තිකා විතරයි. උයල පිහල ඉවර වෙලා සුසන්තිකා අරලිය පත්තරයක් පෙරල පෙරලයි හිටියෙ.
" මේ මොකෝ පොඩ්ඩියේ?" සුසන්තිකා ඇහුව. සේපාලිකා උත්තර දුන්නේ නැහැ. එකදිගටම ඉකි ගහ ගහ ඇඬුවා. සුසන්තිකා පත්තරේ පැත්තකින් තියල ඇවිත් සේපාලිකාගේ ඔලුව අතගෑවා. ඇඬීම ඉකියක් වෙලා, ඉකියත් නතර උනාට පස්සෙ තමයි සේපාලිකා කතාව කීවෙ.
" බන්දුල අයියට මාව ඕනිනෑලු අක්කෙ. ආයෙ හම්බවෙන්න එන්න එපා කීව"
සේපාලිකා ආය ඇඬීම පටන් ගත්ත. සුසන්තිකා ආයිත් පාරක් සේපාලිකාගේ ඔලුව අතගාන්න පටන් ගත්ත. ටික වෙලාවක් අඬල සේපාලිකා ඇඳේ වාඩි උනා.
"ඔය ඇඳුම් මාරු කර ගනින් පොඩ්ඩියෙ. මම උබට බොන්න තේකක් වත් කරන්නම්. ඒක බීලම කතාව කියපන්කො" සේපාලිකා තුවායක් අරන් නාන කාමරේට ගියා. සුසන්තිකා ප්ලාස්ටික් අඬු කෝප්පෙකට වතුර ටිකක් දාල හීටරේ ගැහුව.
*****
සේපාලිකයි, බන්දුලගෙයි ප්‍රේම කතාව ටිකක් පරණ එකක්. අවුරුදු තුනක් විතර. බන්දුල කැම්පස් එකේ දෙවන වසරෙ ඉඳිත්දි සේපාලිකා රස්සාවට කොලඹ ආවෙ. වැඩපොලේ මුල්ම දවස් වල ඉඳන්ම කොල්ලො ඇස් ගැහුවත්, මොකද්ද කරුමයකට සේපාලිකාගෙ හිත නැවතුනේ බන්දුල ලඟ. බෝඩිමේ කවුරුත් නැති වෙලාවක, උයන්න තියෙන කම්මැලි දවසක සේපාලිකා බට කඩේට ගියේ ආසාවට 'ප්‍රයිඩ් රයිස්' එකක් අරන් එන්න. බන්දුලත් ඒ වෙලාවෙම කඩේට ඇවිත් හිටියා. කඩේම කෑම ගන්න ඇවිත් හිටියෙ ඒ දෙන්නා විතරයි නිවාඩුපාඩු ඉරිදාවෙ. දෙන්නගෙම ෆ්‍රයිඩ් රයිස් දෙක එකම තැටියෙ 'ටක ටක' ගාල රත්වෙද්දි, පුටුවක වාඩිවෙලා හිටිය සේපාලිකා එක්ක මුලින්ම හිනා උනේ බන්දුල. සේපාලිකාත් හිනා උනා. ඒ හිනාවෙන් පොඩි කතා බහක් පටන් ගැනුනා. ෆ්‍රයිඩ් රයිස් දෙකත් අත් දෙකෙන් එල්ලගෙන දෙන්නා ඇවිදගෙන ආවෙ එකම පාරෙ. ඒ සුළු හිතවත්කම දළු දාල ගිහින් ආදරයකට හැරුණා.
ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඉන්න කෙනෙක්! සේපාලිකාගෙ හිත සතුටින් පිරුණා. "ඔයාට කාලයත් එක්ක මේ ගාමන්ට් කෙල්ල අමතක වෙයිද බන්දුල" එක් ආදරණීය හැන්දෑවක සේපාලිකා ඇහුවෙ ගල්කිස්සෙ වෙරළ තීරයෙදි." පිස්සුද සේපාලිකා, මම ඒ චිත්‍රකතා වල ඉන්න ටිපිකල් ප්‍රේමවන්තයා නෙමෙයි" බන්දුල කීව. බන්දුල ඒ වෙද්දි කැම්පස් ශිෂ්‍ය සංගමේක ලේකම්. රතු පාට කමිසමයි අඳින්නෙ. විප්ලවේමයි කතා කරන්නෙත්. සේපාලිකා වගේ දුක් විඳින පන්තියේ අයගේ ලෝකෙ වෙනස් කරන්නමයි කතාව. සේපාලිකාව සහකාරිය හැටියට තෝරගත්තෙත් ඒකමයි කියලත් බන්දුල කීව.
වෙනදා උයන්න පිහන්න කම්මැලි, කඩෙන්ම කන්න හිතන සේපාලිකා උදේම අවදිවෙලා බත් උයන්න පටන් ගත්තා. බන්දුලට බත් එකක් ගිහින් දෙන්න. හවසට පොඩි සිලි මල්ලකට හාල්, තුනපහ, ලුණු, මිරිස් ඇබිත්තක් ගෙනැල්ල උයන්නෙ චමරියෙ ෆ්‍රිජ් එකක් නැති නිසා. බත් දෙකක් පත්තර කොලේක ඔතල, යනිං ගමන් බන්දුලට දීල යන්නෙ උදේටයි දවල්ටයි කෑමට. බන්දුල්ගෙ කැම්පස් වැඩ පටන් ගන්නේ අටහමාරට. සේපාලිකාගෙ ගාමන්ට් එක පටන් ගන්නේ උදේ අටට. ඉතින් සේපාලිකා හතට විතර පාරට ගිහින් බන්දුලගේ බෝඩිම ගාවදි බත් දෙකත් දීල, බන්දුලත් එක්කත් කතා කරල වැඩට යනව. හවසට එමින් ගමන් බන්දුල හම්බෙලා බටකඩෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරි, කොත්තුවක් හරි කාල මහ රෑට බෝඩිමට ඇවිත් ඇඳට වැටෙනව. සතියටම නිවාඩු එකම ඉරිදා උදේම තියෙන හොඳම ඇඳුමක් ඇඳගෙන පාන්දරම පිටත් වෙන සේපාලිකා ආය චමරියට එන්නෙ රෑ දහයට වගේ. සේපාලිකා නාන කාමරේට ගියාම පැයකටවත් එළියට එන්නෑ, ඔය කාලය වෙද්දි.
සේපාලිකාගේ මේ පෙම් පලහිලව්ව සුසන්තිකා අක්කට නම් එච්චර පත්තියම් උනේ නෑ.
"පොඩ්ඩියෙ ඔය ලොකු ලොකු මහත්තුරු, කැම්පස් ලමයි එක්ක බජනෙ ප්‍රවෙසමෙන්. ඔය වගේ සම්බන්ධ වැඩිකල් පවතිනවා මම අහල නෑ. මේ මොරටුවෙ විස්ස විද්දාලෙ එහෙමට කියල ගෑණු ලමයි නැති නිසා මේ වටේ පිටේ ඉන්න අපි වගේ දුප්පත් කෙල්ලොන්ට ඇස් බැල්ම වැටෙන එක පුරුද්දක් වෙලා"
සුසන්තිකා කීවෙ බොහොම හිතල මතල.
"කැම්පස් ලමයි ඕවට කියන්නෙ 'කන්නලව්' කියලලු. ඒ කියන්නෙ කන්න විතරක් කරන ලව්. දැන් බලහං උබ උදේම මදුරුවො තල තල උයනව. ඊට පස්සෙ පොදි බඳිනව. උදෙන්ම දානෙ වඩම්මන්න වගේ වඩම්මනව. බත් විතරක් කාලනං මදෑ. බලපං උබේ තනේ හැටි. එල්ල වැටෙන්නත් අරං"
සුසන්තිකා ඒකටම එකතුත් කලා.
සේපාලිකා මුකුත් කීවෙ නෑ. ගස්සගෙන ගියා. "මේ අම්ම්ණ්ඩිට තියෙන රුදාව මොකද්ද මගේ වැඩ ගැන? හේමාලි අක්ක ඉන්නෙ මුකුත් කියනවද? " සේපාලිකා එහෙම හිතුවා.
ඒ වෙලාවෙ එහෙම හිතුනට, සුසන්තිකා අක්කා කියන දේවල් වල ඇත්තක් නැත්තෙම නෑ කියල සේපාලිකාට පස්සෙ කල්පනාකරද්දි තේරුණා. බන්දුල තමන් හම්බවෙන්නෙම උදේ පාන්දර, නැත්නම් අඳුර වැටෙන හවස. එහෙමත් නැත්නම් සති අන්තෙ වෙරල කොනක නැත්නම් කුලියට දෙන කාමරයක. කැම්පස් එක පෙනි පෙනි තියෙද්දිත්, තමන කවදාවත් ගේට්ටුවෙන් ඇතුලට එක්කන් ගිහින් නෑ නොවෙද කියලත්, බන්දුලගෙ යාලුවො එහෙම තමන්ව දන්නේ නෑ නේද, තමන්ගේ යාලුවො අඳුන ගන්න බන්දුලට කිසි උනන්දුවක් නෑ නේද කියලත් තේරුණා. සති අන්තයේ ආගිය තොරතුරු අනාගතය ගැන කතා කරනවට වඩා, චීත්ත ගවුම උරහිසින් පන්නලා පපුවට තුරුළු වෙන්න නේද හදිසිය කියලත් හිතුන. මේ වෙනකම් වටින කියන කිසිම දෙයක් තමන්ට අරන්දීල නෑ නේද කියලත් හිතුනා.
ඊලඟ සති අන්තේ බන්දුල උරහිසට අත තිබ්බම, ගස්සල අත අයින් කරපු සේපාලිකා බුම්මගෙන හිටියා.
"ඇයි සේපාලි කවදාවත්ම නැතුව, මොකද්ද ප්‍රශ්නේ” ඒ වෙද්දිත් බන්දුලගේ අත සේපාලිගෙ ගවුම් කරෙන් ආයෙත් ඇතුලෙ. ඒ ගමන නම් සේපාලිකාට තරහ ගියා. සුසන්තිකා මතුකරපු ප්‍රශ්න වැලම අතට ගත්ත සේපාලිකා ඉන් එකින් එක බන්දුලට දමා ගැහුවා. ඒ අහපු ප්‍රශ්න ඔක්කොටම, බන්දුලට යසට උත්තරත් තිබුණා.
"කැම්පස් අයි. ඩී බලනව ලමයො ගේට්ටුවෙදි. ඉතින් ඔයා පිට කෙනෙක් බව දැනගත්තොත්
හරි නෑනෙ"
"අපිට අපි දෙන්නම හිටියම මදිද පිට අය ඕනිද ලමයො?"
"මම බොහොම අරපිරිමැස්මෙන් වියදම් කරන්නෙ අම්මලගෙන් ඉල්ලන්නෙ නෑ. මම හම්බු කරන දවසක ඔයාට මාලයක් එහෙම අරන් දෙන්නම් බබා. දැන් මේ කාමර වලට එහෙමත් වියදම් කරන්නෙ මහපොලෙන්"
අන්තිමට කියපු කාරණේ නම් බන්දුලගෙම උවමනා එපාකම්නේ කියන්න හිතුනත් සේපාලිකා
කරබාගෙන බන්දුලගෙ අවශ්‍යතාවන්ට ඉඩ දුන්නා. කොහොමත් සුසන්තිකා අක්කා කියපු කාරණා එක්ක
කහටක් හිතේ තදටම හිටියා. එදයින් පස්සෙ සේපාලිකා සුසන්තිකා එක්ක තමන්ගේ සම්බන්දේ ගැන
කතා කලා. එහෙම කෙනෙක් හරි ඉන්න එක තමන්ට වටිනව කියල ඇයට තේරුණා.
*****
සේපාලිකා නාගෙන කරගෙන එනකොට සුසන්තිකා ඉඟුරු චුට්ටකුත් දාපු තේ එකක් හදලා තිබ්බා. වැස්සටයි වතුර කරාමෙටයි සේපාලිකාගෙ කඳුළු ගොඩක් හේදිලා ගිහින් තිබුණත්, තාමක් උල්පතකින් වගේ කඳුලක්, ඉකියක් කාන්දු වෙනව.
"දැන් මොකද්ද පොඩ්ඩියෙ උනේ"
සේපාලිකා උත්තර දුන්නේ තේ කෝප්පෙන් බාගයක්ම බීලා. තේ රස්නෙට ඇගේ සීතල ගැහිල තිබුණ ඇඟිලිත්, සිතත් යාන්තමට රත් උනා.
"මාව එපාලුනෙ අක්කෙ. මම එයාගෙ ට්‍රේනින් තැනට ගියා. පැයක් වගේ ඉඳලා එලියට ගෙන්න ගත්තේ. කතා කලෙත් වචන දෙක තුනයි. ඔයයි මායි ගැලපෙන්නෙ නෑනෙ සේපාලිකා. ඔයාම ඉස්සර කීවනෙ කිව්ව, යන්න ගියා"
"යකඩො හිටිගමන් ගහෙන් ගෙඩි එන්න වගේ, ඒ මොකද? "
"හිටිඅඩියෙ කීවට හිටි අඩියෙමත් නෙමේ අක්කෙ. ඔය ඔක්කොම පටන් ගත්තෙ කැම්පස් ඉවර වෙලා ට්‍රේනින් ගියාට පස්සෙ. එයාගෙ රස්සාවත් ලැබෙන්න තියෙන නිසා, මගෙ රස්සාවත් තියෙන නිසා මම බඳින්න කතා කලා. ඊට පස්සෙ තමා ඔය ඔක්කොම. මීට කලිනුත් ඔය නොගැලපනෙ කතා ටික ටික කීව. ඒත් අද ඉතින් ආය එන්නත් එපාම කීව" සේපාලිකා ආය අඬන්න තියාගත්තෙ ආඩපාලි කියමින්.
"මම එයාට නොදුන් දෙයක් නෑ අක්කෙ. ගමක හැදුනට මගෙ අතින්වත් පිරිමියෙක් අල්ලල තිබුණෙ නෑ. මගේ කරේ තිබ්බ මාලෙත් එයාට ලැප්ටොප් එකක් ගන්න ඕනි කීව නිසා උගස් කලා. දැන් මට මෙහෙම කරන එක හරිද අක්කේ"
"පොඩ්ඩිට මම මුලදිම කීවනෙ පොඩ්ඩි. ඔය මහත්තුරුන්ට අපි ඕනි නිදිවදින්න විතරයි කියල. උඹ ඇහුවද? නෑනෙ" සුසන්තිකා එහෙම කීවෙ විස්සෝපෙන්.
"දැන් ඕක අමතක කරන්න හදනව ඇරෙන්න උඹට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑනෙ නංගියෙ"
"අනේ මට එයාව එහෙම අමතක කරන්න බෑ අක්කෙ. අක්කටවත් මේක කතා කරල බලන්න බැරිද?"
"මම කතා කරල වැඩක් වෙනකක් නෑ නංගියෙ. උබ කියනවනම් මම කතා කරල බලන්නම්කො" සුසන්තිකා කීවෙ සේපාලිකාව සනසන්න.
පහුවෙනිදා උදේම සුසන්තිකායි සේපාලිකායි බන්දුලගෙ බෝඩිම ගාවට ගියා. බන්දුල වැඩට යන වෙලාවට වෙනද වගේ ආවෙ නැහැ. හොයල බලද්දි , බන්දුල පහුවෙනිද බෝඩිමත් අස්කරගෙන ගිහින්. ට්‍රේනින් ඉවර නිසා ගම්පලාතෙ රස්සාවකට යනව කියල ගියයි කියල බෝඩිම අයිති අයියා සුසන්තිකාට කිව්ව.
"දැන් මොකද්ද නංගියෙ කරන්නෙ" සුසන්තිකා ඇහුවා.
"මොනා කරන්නද අක්කෙ. අක්කා වැඩට යන්න. මම බෝඩිමට යනව" සේපාලිකා කීව.
" අද වැඩ දවසක්නෙ. වැඩට නොගිහින් කොහොමද? උබව අස්කරල දායි නංගියෙ."
"මට වැඩට යන්න බෑ අක්කෙ. මම බෝඩිමට යන්නම්" සේපාලිකා ආපහු හැරිල ආව. සුසන්තිකා වැඩට ගියා.
*****
එදත් හවස, අනෝරා වැස්ස. හේමාලිත්, සුසන්තිකාත් බෝඩිමට ආව එකම වෙලාවට බොහොම කලාතුරකින්.
උදේ බෝඩිමෙ හිටිය සේපාලිකා නෑ.
"මම වැඩට යද්දිත් සේපාලිකා ඇඳේ වැතිරිලා හිටිය අක්කෙ" හේමාලි කීවා.
"මේ කෙල්ල කෑම එකක්වත් ගන්න ගිහින්ද? බලමු ටිකක්" හේමාලි කීව. ඒ වෙද්දිත් රෑ හත විතර වෙලා. සේපාලිකා දවල්ට කාපු බවක්වත්, උයපු බවක් වත් පේන්න තිබුණෙ නෑ.
හත අට උනා, අට නවය උනා. සේපාලිකා නෑ. මොබයිල් එකත් ඕෆ්.
"ලතා අක්කේ, ලතා අක්කේ.. සේපාලි කීයට වගේ ගෙදරින් ගියේ දන්නවදෝ?" හේමාලි තාප්පෙ උඩින් ලතා අක්කට කෑගහල ඇහුවා.
"දහයට විතර සද්දයක් ඇහුනෝ.. ඒ වෙලේ යන්න ඇත්තෙ.." ලතා අක්කා කීවා.
රෑ එකොලහට විතර ආයෙමත් වැස්ස පටන් ගත්තා. වැස්ස වහිද්දිම සේපාලිකා හිමින් බෝඩිමට ආවා. ඒ වෙද්දි බලන් ඉදලම හේමාලිත්, සුසන්තිකාත් ඇඳවල් වල හාන්සි වෙලා හිටියේ.
"තෙමී ඇවිද්ද කියල ප්‍රශ්න විසඳෙනවද පොඩ්ඩියෙ? කොහෙද මේ මහ රෑ වෙනකම් ගියේ?"
සේපාලිකා මුකුත් කීවේ නෑ. එහෙමම පුටු කබලක ඉඳන් බලන් හිටියා. ටිකකින් හේමාලිටත්, සුසන්තිකාටත් නින්ද ගියා. එහා කාමරයෙන් සිගරැට් දුමාරයකුත් හමනවා.
පැයකට විතර පස්සෙ හේමාලිට ඇහැරුණා, ලයිට් එලිය නිසා නින්ද කැඩිලා.
සේපාලිකා හිටි විදියටම පුටුවෙ වාඩිවෙලා ඉන්නව.
"මොනවද පොඩ්ඩියෙ කරන්නෙ? නිදියන්නෙ නැත්තං අපිට නිදියන්න ඔන්න ඔය ලයිට් එක ඕෆ් කරපන්" හේමාලි කීවෙ තරහින්.
සේපාලිකා හේමාලි දිහා බැලුවා. ඒ ඇස් ගොරක මද වගේ රතු වෙලා. සේපාලිකාගේ මුවින් අඩි දෙකක් විතර දිගට දිවක් ඇදිලා බිත්තියේ තිබුණ ස්විච් එක නිවා දැම්මා.
"බුදු අම්මෝ මෙන්න හොල්මනාක්" හේමාලිගෙ යටි ගිරියට
සුසන්තිකාත්, ලතා අක්කාත්, ලතා අක්කගේ දුවත්, දුවගේ දුවත් එකපාරටම අවදි උනා. ආය ලයිට් දාල බලද්දි
සේපාලිකා නෑ. හිටිය සලකුණක් වත් නෑ.
*****
සේපාලිකාගෙ මාළු කාල දාපු මල සිරුර, මොරටු වැල්ලට ගොඩ ගැහුවෙ දවස් දෙකකට පස්සෙ.
(සත්‍ය සිදුවීම් රැසක් අළලා කල ප්‍රබන්දයකි )
©රසික වික්‍රමනායක
Comments
Post a Comment