නොමල පිය සමර
මහ රෝහල චතුරශ්‍රයේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවත හිමිදිරි උදෑසන පාළුය. කොහෙන්දෝ යකඩ කටකින් තවමත් ගලායන පිරිත් ස්වරය , තොරතෝංචියක් නොමැතිව කෑ කොස්සන් ගසන කාක්කන්ගේ හඬින් තරමක් යටපත්ව ගොසිනි. නගර සභාවේ කුණු ලොරියක් අවට ඇති පලතුරු කඩවල කසල බැරල් එකතු කරන්නේ උදාසීනත්වයෙනි. කුණු ට්‍රැක්ටරය වටාද කපුටන් රොද බැඳගෙන සිටී. ඇතැම් වෙළෙන්දෙක් ප්ලාස්ටික් බෝතලයකින් කහ දියර ඉස කඩ ලෑල්ල සෝදන්නේ භක්තිමත්වය. දොඩම් ලෙලි වලින් ඉනූ දියත් , කහ වතුරත් එක්ව අපුල දනවන පල් ගඳකින් යුතු දියපාරක් නෝරිස් ඇල දක්වා ගලා බසියි. ලේ , වකුගඩු , බෙහෙත් වෙළදාම් කරන කාක්කන් තවමත් පාර පුරා වසා නොමැත. බාහිර රෝගී අංශය අසල පාර දෙපස දිගු පෝලිම් දෙකකි. උඩින් පල්ලෙන් එල්ලා ගත් කලිසමක්ද , පාට සේදුන , පොඩි වුන ටීශර්ටයක්ද , බුබුළු බාටා දෙකකින්ද සැරසුණ තරුණයෙක් ගඩොල්බාග සෙල්ෆෝනයක්ද රැගෙන මේ මාවතෙහි ඉක්මන් ගමනින් යනු පෙනේ. ඔහුගේ දෑස් , රතුය ; තඩිස්සිය. හිසකෙස් අවුල්ය. මුහුණේ විශ්මයක , දුකක මෙන්ම කලකිරීමකද ලක්ෂණ ඇත. හේ නමින් ප්‍රසන්නය. මේ වසර දෙදහසේ එක් හිමිදිරි පාන්දර මොහොතකි. ප්‍රසන්නගේ මේ ගමන්ට හේතුව , පැයකට පමණ පෙර , ඔහුගේ දුරකථනයට ලැබු