නොමල පිය සමර


මහ රෝහල චතුරශ්‍රයේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවත හිමිදිරි උදෑසන පාළුය. කොහෙන්දෝ යකඩ කටකින් තවමත් ගලායන පිරිත් ස්වරය, තොරතෝංචියක් නොමැතිව කෑ කොස්සන් ගසන කාක්කන්ගේ හඬින් තරමක් යටපත්ව ගොසිනි. නගර සභාවේ කුණු ලොරියක් අවට ඇති පලතුරු කඩවල කසල බැරල් එකතු කරන්නේ උදාසීනත්වයෙනි. කුණු ට්‍රැක්ටරය වටාද කපුටන් රොද බැඳගෙන සිටී. ඇතැම් වෙළෙන්දෙක් ප්ලාස්ටික් බෝතලයකින් කහ දියර ඉස කඩ ලෑල්ල සෝදන්නේ භක්තිමත්වය. දොඩම් ලෙලි වලින් ඉනූ දියත්, කහ වතුරත් එක්ව අපුල දනවන පල් ගඳකින් යුතු දියපාරක් නෝරිස් ඇල දක්වා ගලා බසියි. ලේ, වකුගඩු, බෙහෙත් වෙළදාම් කරන කාක්කන් තවමත් පාර පුරා වසා නොමැත. බාහිර රෝගී අංශය අසල පාර දෙපස දිගු පෝලිම් දෙකකි.

උඩින් පල්ලෙන් එල්ලා ගත් කලිසමක්ද, පාට සේදුන, පොඩි වුන ටීශර්ටයක්ද, බුබුළු බාටා දෙකකින්ද සැරසුණ තරුණයෙක් ගඩොල්බාග සෙල්ෆෝනයක්ද රැගෙන මේ මාවතෙහි ඉක්මන් ගමනින් යනු පෙනේ. ඔහුගේ දෑස්, රතුය; තඩිස්සිය. හිසකෙස් අවුල්ය. මුහුණේ විශ්මයක, දුකක මෙන්ම කලකිරීමකද ලක්ෂණ ඇත. හේ නමින් ප්‍රසන්නය. මේ වසර දෙදහසේ එක් හිමිදිරි පාන්දර මොහොතකි.

ප්‍රසන්නගේ මේ ගමන්ට හේතුව, පැයකට පමණ පෙර, ඔහුගේ දුරකථනයට ලැබුණු ඇමතුමකි. උදේ හතරහමාරට පමණ, 'ක්‍රීං ක්‍රීං' හඬින් ඔහුගේ ගඩොල් බාග දුරකතනය නාද විය. එයින් ගලා ආවේ නපුරුම ආරංචියකි.

"මේ කතා කරන්නෙ කොලඹ මහ රෝහලේ වාට්ටු අංක තිස් හතරෙන්. මිස්ටර් කරුණාරත්නගෙ පුතාද?"

"ඔව් කතා කරනව"

"මේ වෝඩ් ඉන්චාර්ජ් සිස්ටර්. කියන්න කණගාටුයි මිස්ටර් කරුණාරත්න දැන් ටිකකට කලින් අන්ත්‍රා උනා. ඉක්මනින් කවුරුහරි ආවොත් හොඳයි"

කලබල වියයුතු, හඬාවැටිය යුතු ආරංචිමාත්‍රයක් වුවත්, ප්‍රසන්න ඒ මොහොතේ කලබලයකට, තිගැස්මකට පත් වූයේ නැත. හදිසි අවස්තාවට මුහුණ දීමට ශරීරයේ සියළු පද්ධතීන් අවදි වූවා විය යුතුය.

හේ හැකි ඉක්මනින් හැඳ පැලඳ, මුදල් හිඳී ගිය පසුම්බිය සහ ජංගම දුරකතනය අතට ගත්තේය. නවාතැනේ සිට හැකි තරම් පයට වෙරගෙන මොරටුව බස් නැවතුම් පලට දිව්වේය. ටවුන් හෝල් හරහා යන පලමු බසයටම ගොඩ වුනේය.

බස් රිය හිස්ය.

අසුන් කිහිපයක පමණක් මඟීන් සිටියහ. දුර සිට පැමිණෙන බසයක් හෙයින් ඇතමෙක් අසුන්වල වකුටුව නිදති. ප්‍රසන්න තනි අසුනක කොණක වාඩි වූයේය.

"ටවුන් හෝල් එකක්"

*****

රෝහලට ගොස් විමසා බලා අම්මාට පණිවුඩය දිය යුතුය. ප්‍රසන්නගේ අම්මාත්, නැඟෙණියන් දෙදෙනාත් කොලඹින් බැහැර පොලොන්නරුවේ වෙසෙති. නැඟෙණියන් දෙදෙනාම තවමත් පාසල් වයසේය. ප්‍රසන්න සරසවියෙන් පිටව පුද්ගලික අංශයේ රැකියාවකට ගොස් දෙවසරකි. දුරකතනයකුදු හෝ නොමැති නිවසට පණිවුඩ යවන්නේ අසැල්වැසි නිවසක් හරහාය. ඒ සඳහා තව හිමිදිරි පාන්දර වැඩිය.

ප්‍රසන්න ගොවි පුතෙකි. ගොවි පියා රජරට ගොවියෙකුව සිට දැන් වකුගඩු රෝගියෙකි. අතිශයින්ම දුර්වලය. බෙහෙත් මත යැපේ. වකුගඩු අකර්මන්‍ය වන්නේ කොයි මොහොතේදැයි කිව නොහැක. නිතරම රෝහලේය. කෙටියෙන් කිවහොත්, ප්‍රසන්න රැකියාවට ගියදා පටන්ම පියා රෝහලේය. ගසක් ගලක් මෙන් වැඩක් පලක් කරමින් සිටි පියා, වැවක බැම්මක් බිඳ දැම්මාක් මෙන් හිටි අඩියේම බිඳ වැටිනි. කඳ මුලට කැති පහරක් දුන් කෙසෙල් ගසක් මෙන් ඇද වැටුනි. එදා සිට, දෙමසකට සතියක් පමණ පියා රෝහලේය. අම්මා පොලොන්නරුව රෝහලට බාර දෙන පියා, දින දෙකකින් පමණ ගිලන් රථයක පටවා කොලඹ මහ රෝහලට පිටත් කෙරේ. පාසල් යන වැඩිවිය පත් ගැහැණු දරුවන් දෙදෙනෙකු නිවසේ තනිකර දමා මවට පියා සමඟ කොළඹ ඒමට නොහැකිය. පාසල් කටයුතු අත්හැර දැමීමද කල නොහැක්කකි. මව විසින් කුඩා රසකැවිලි නිශ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ප්‍රසන්න හැර සියල්ලන්ම එයින් යැපෙන්නේ පියාගේ දෑත දෙපා අවසඟව ගොස් ඇති නිසාය. අම්මලා එන්නේ සති අන්තයට පමණි. උදෑසනම දුම්රියෙන් පැමිණ, රෝගියාගේ දුක සැප විමසා බලා නැවත ආපිට යයි. දවසම මඟට ගෙවේ.

තාත්තා රෝහලේ නතර කල විට කවුරුන් හෝ ආවතේව කල යුතුය. රැකියාවක නියුතු වෙමින් ඒ කටයුත්තේ යෙදෙන්නට ප්‍රසන්නට අපහසුය. දිනකට රුපියල් පන්සියයේ කුලියට කවුරුන් හෝ ආවතේව කරුවෙක් තාත්තා සමීපයේ නතරකල යුතුය. එසේ නවත්වන ආවතේවකරුවෝ දෙතුන් දෙනෙකුගෙන් මුදල් ගෙන සැර වැරද කරමින් උඩින් පල්ලෙන් රෝගීන් බලති.

"අනේ ලොකු පුතේ උඹ පුළුපුළුවන් වෙලාවට මා ගාව හිටහං"

තාත්තා කන්කෙඳිරි ගායි. පුත්‍ර සමාගමය තරම් වෙන කිමෙක්ගේවත් සමාගමය නොවටිනේය. ප්‍රසන්න හැකි සෑම රාත්‍රියකම පියා සමීපයේ තනි රැක්කද සැමදාම එසේ කරන්නටද බැරිය. රැකියා ක්ෂේත්‍රයට ආධුනිකයෙක් බැවින් දිනකට අමතර පැය තුනක්වත් වැඩ කල යුතුය. සේවා ස්ථානය ඇත්තේ පානදුරේය. නවාතැන මොරටුවේය. රෝහල ටවුන් හෝල් ය. පානදුර සිට රෝහලට බස් ගමනම පෑ දෙකකි. ඒ නිසා ආවතේවකරුගේ රුපියල් පන්සියය කපාහැරිය නොහැකිය. ඊට අමතරව උණු වතුර බෝතලයේ, සබන් කැටයේ, තුවායේ, දත් බුරුසුවේ, පිඟානේ සිට රෝහලට රැගෙන යා යුතුය. රෝහලේ නොමැති වෙසෙස් ඖෂධ පිටින් ගෙන ආ යුතුය. අම්මා රසකැවිලි උයා උපයන සොච්චමෙන් මේ සියල්ල කල නොහැකිය. තාත්තාටද වියදම් කර, බස් ගාස්තු, බෝඩිං ගාස්තු, කෑම ගාස්තු ගෙවූ පසු ප්‍රසන්න අත සතයකුදු ඉතිරි වන්නේ නැත. ගඩොල් බාග ජංගම දුරකතනයද ඇත්තේ තාත්තාගේ අසනීපය නිසාය. එයද අමතර වියදමකි.  මේ මාසයේ කීයක් හෝ ඉතිරි කර ගතහොත්, ඊලඟ මාසයේ එයද සෝදාපාළු වන්නට වැඩ යෙදේ. අම්මාගෙන් ගඩොල්බාගයට ඇමතුමක් එන්නේම අසුබ ආරංචියක් රැගෙනය.

"පුතේ තාත්තා ඇඩ්මිට් කලා"

පුතේ තාත්තාට අමාරුයි කොළඹට මාරු කලා. හවහ ඇම්බියුලන්ස් එකේ එනවා"

"පුතේ තාත්තට කවුරුවත් ලඟ නැතුව බෑ කිව්වා"

ප්‍රසන්නට සම වයසේ යෞවනයන්ට මෙන් පෙම්වතියක් නැත. පෙම්වතියකගේ උණුහුම, තිස්සේම සිත ඉල්ලුවත් අතේ සතේ නැතුව, පස්ස නැති කඩියා මෙන් හතරහ දුවමින් පෙම් කරන්නට නොහැකි බව ප්‍රසන්න දනී.  කසිකබල් ඇඳුම් හැඳ පැලඳ, කෙසඟ ප්‍රසන්න දෙස මුහුදු සුලඟ ගැවසෙන ඉසව්වේ ගැහැණුන් ඇස හැර බැලුවේද නැත.

සේවයට අඳින කලිසම් තුනෙහි පවා දාර ස්ත්‍රික්කයට මැදී දිලිසේ. කමිස කීපයේ කොලර පිලිස්සී අල්ලි අල්ලි ගැලවී ගොස් ඇත. පිටකොටුවේ පරණ සපත්තු කඩයකින් මිලදීගත් සපත්තු යුගලයේ කී පාරක් අඩි ගැසුවාදැයි ඔහුටම මතක නැත.  අරපිරිමැස්මෙහි උපරිම ඉමක ප්‍රසන්න නැවතී සිටී.

මෙවර අම්මාගේ දුරකතන ඇමතුම් යුගලය ආවේ පිටපිටය, එකලඟය.

"පුතේ තාත්තා ඇඩ්මිට් කලා" උදේ නවයට පමණ.

"පුතේ තාත්තා කොලඹට මාරු කලා" උදේ එකොලහට පමණ.

දවසම ආතතියෙන් ගතකල ප්‍රසන්න, රෝහලට යද්දී රෑ නවයත් පසු විය.

"බාරකාරයො නැතිව ලෙඩ්ඩු එවල මඟෑරල ඉඳල හරියනවද" වාට්ටුව බාර වෛද්‍යවරයා කඩා පැන්නේය.

අධික තෙහෙට්ටුවෙන් සිටි ප්‍රසන්න, මැදියම් රැයත් පසුව පියාට නින්ද ගිය පසු රෝහලෙන් පිට විය. ප්‍රසන්නගේ පසුම්බියේ වූ අන්තිම රුපියල් පන්සියය මිටමොලවාගත් තැරැව්කරු පසුදා උදේ හතට කිසිවෙකු වාට්ටුවට එවන බව පවසා අතුරුදන් විය. ප්‍රසන්න නවාතැනට පැමිණ ඇස් පියා ගනිද්දී අළුයම එකහමාර පමණය.

"මේ මනුස්සය මැරිලවත් යන්නෙ නෑනෙ"

ඒ විස්තර කල නොහැකි ජුගුප්සාජනක සිතුවිල්ල ඇස් පියවෙන මොහොතේ ඔහුගේ සිතෙහි එක් මොහොතකට විදුලියක් කොටා අතුරුදන් විය.

ඒ සිතිවිල්ල, නැවත සිහියට ආවේ ආපසු රෝහල කරා හිමිදිරියේම යන මේ බස් ගමනේදීය.

ඒ මියගොස් ඇත්තේ අලි ගහන කැලෑ මායිමක ගොවිතැන් කර, කවා පොවා මා ඇති දැඩි කල තාත්තාය.

ඒ මියගොස් ඇත්තේ පාපැදියේ සැතපුම් ගනනක් දහඩිය මුගුරු හලමින් මා පාසල් රැගෙන ගිය තාත්තාය.

ඒ මියගොස් ඇත්තේ තමන් බඩට නොකා, මගේ සරසවි ගමනට වියහියදම් කල තාත්තාය.

ඒ තාත්තා මියගොස් ඇත්තේ වතුර උගුරක් දෙන්නට හෝ කාත් කවුරුත් නැති අනාථයෙකු ලෙස රෝහල් ඇඳක තට්ට තනියම මහ රෑකය.

ඒ තාත්තා වෙනුවෙන් මා අන්තිමට පැතුවේ මැරිලවත් ගියානම් හොඳය කියාය.

ප්‍රසන්නට හෝස් ගා හැඬුම් ආවේය. හේ බස් රියේ මුල්ලේ ඉකිගසමින් ඇති තරම් හැඬුවේය. කඳුලු උල්පතක් සේ අත දිගෙ පහලට ගලා යනුත්, මඳින් මඳ පිරෙන බස් රියේ මඟීන් තමා දෙස බලනුත් ඔහුට දැනුණි. කඳුලු ගලා ගිය පසු තරමක සැහැල්ලුවක් ප්‍රසන්නට ඇති විය. හේ හිස ඔසවා බලන විට බසය බම්බලපිටිය හන්දියෙන් හරවා ටවුන්හෝල් දෙසට ඇදෙමින් තිබිණි.

"දැන් ගිහිල්ල ඩොක්ටර්ලට කතා කරලම අම්මට පණිවුඩේ දෙනව. ඔෆිස් එකටයි, කැම්පස් යාළුවන්ටයි කියනව ඉන් පස්සෙ. බොස්ගෙන් ණයක් ඉල්ලගන්න පුළුවන් වෙයි. මරණෙ ගමේ ගිනිහිල්ල පුළුවන් තරම් හොඳට අවසන් කටයුතු ටික කරනව" ප්‍රසන්න සැලසුම් කර ගත්තේය.

***** 

ප්‍රසන්න ගේට්ටුවෙන් ඇතුළුව බණ්ඩාරනායක වාට්ටුව පසුකර තිස්පහේ වාට්ටුවට ඇතුළු විය. තවමත් වාට්ටුව මුළුමනින්ම අවදිව නැත. වාටුව බාර හෙදිය කවුන්ටරයේ නිදි කිරමින් උන්නාය. තරුණ වෛද්‍යවරයෙකු මහ හඬින් දුරකතන කතාබහකය. සුළු සේවකයකු කොස්සක්ද අතැතිව උදාසීනව බලා සිටී.

රෝගීන් බොහෝ දෙනා තවමත් නින්දේය. ප්‍රසන්නගේ තාත්තාගේ ඇඳ ඇළුමිනියම් පෙට්ටියකින් මුළුමනින්ම වසා ඇත. ඔහුගේ දෙපා නොදැනුවත්වම එතනට ඇදුනේය. පියාගේ නම ලියූ ඇඳ ඉහ වාර්තාවද ඇළුමිනියම් පෙට්ටිය උඩ තබා ඇත.

"මොකද?" සුළු සේවකයා කොස්ස අතහැර එතැනට පහත් විය.

"තාත්ත... එන්ඩය කියල කෝල් කලා" ප්‍රසන්න තතනමින් මෙන් වචන එළියට දැම්මේ ඇළුමිනියම් පෙට්ටියට ඇඟිල්ලක් දිගු කරමිනි.

සුළු සේවකයා හැඟීම් විරහිතව ප්‍රසන්න දෙස බලාසිටියේය.

"මට පොඩ්ඩක් තාත්තව බලන්ඩ පුළුවන්ද?" ප්‍රසන්න බොඳ වූ ඇසින් යුක්තව නැවත ඇසුවේය.

සුළු සේවකයා කිරමින් සිටි හෙදිය අසලට ගොස් 'කුටු කුටු' ගා පැමිණ "ඔය ලමය ඔය හැන්ඩ්ල් එකෙන් අල්ලන්න. මම මෙතනින් අල්ලන්නම්. අඬන්න වැලපෙන්න එපා මෙතන. තව ලෙඩ්ඩු ඉන්නවනෙ" යැයි කීය.

ප්‍රසන්න වෙව්ලන දෑතින් යුතුව සීතල ඇළුමිනියම් පෙට්ටියේ පියන ඉහලට එසෙව්වේ දෑස වසාගෙනය. දෑස් විවර නොවන ලෙස මැලියමින් ඇලවී ඇතැයි ඔහුට මොහොතකට සිතුණි.

කල්පයක් සේ දැනුණ මොහොතකට පසු ඇස් විවර වන විට දුටු දසුනින් ප්‍රසන්නගේ සිහියද මදකට විකල් විය.

"මේ මගේ තාත්තා නෙමෙයි යකුනේ......."

කෝපයත්, භීතියත් යටපත් කරගෙන නැඟ එන සතුටින් ඔහු නැඟූ විලාපය, යාබද වාට්ටුවකට හදිසියේ මාරුකර යැවූ ප්‍රසන්නගේ පියාටද ඇසෙන්නට ඇත.

 

©රසික වික්‍රමනායක

2022.4.12

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ