රුක් දෙව් දෝණි
ඉල් මහේ අනවරත වැහි කෝඩයක් හමාගොස් නතරව , දහවල් ඉර , තරමක් සෞම්‍යව අහසේ පාව ආවේය. වැස්සක් ඇදහැලුණු බවට දෙස් දුන්නේ තවමත් තෙත බරිත පොළොව , තුරුපත් මත රැදුණු දිය බිඳු සහ සිසිල් වා තලයයි. වැස්සෙන් පිබිදුණු සියත්හු , දහවල් කල වුව සක්‍රීයව ප්‍රීති නාද පවත්වමින් සිටියහ. කාලය ගෙවී ගියේ සුපුරුදු ලෙසිනි. අනුත්තරාට සිහි එලඹෙන විට , ඇය සිටියේ උසැති කුඹුක් ගසක මුදුනේය. ඈ සිටියේ අති දිගු නින්දකින් අවදිවන්නාක් වැනි , නින්දත් නොනින්දත් අතර අවිනිශ්චිත තත්ත්වයකිනි ; අවදි වූ විට සැණින් අමතකව යන සුන්දර සිහින දකිමිනි ; සිතෙහි ඇතුලටම ඇරුණු , බාහිර ලොව ගැන හාංකවිසියක අවධානයක් නොමැති තත්ත්වයකිනි. ඇතුලාන්තයටම හැරුණු මනස , බාහිර ලොවත් සමඟ බැඳුනේ දිගු කාලයක් ගනිමිනි. එය මොහොතක්ද , හෝරාවක්ද , වරුවක්ද , දිනයක්ද , දින ගනනක්ද යන්න අනුත්තරාට නිනව්වක් නොවීය. දිගු කාලයක් ගත වූ බව , ඇයට අසිහියෙන් මෙන් වැටහුණි. කුරුළු බිජුවක , මව් කිරිල්ලගේ උණුසුම මැද මෝරන සිඟිති පැටවකු මෙන් ඇය පරිණත වෙමින් , වැඩෙමින් සිටියාය. ඒ පරිණතිය අවසානයේ කෙමෙන් කෙමෙන් ඇය පියවි ලොවට පිවිසියාය. එක්වරම ඇයට ඇති වූයේ තදබල විමතියක් හා භීතියකි. ඇ