රුක් දෙව් දෝණි

 


ඉල් මහේ අනවරත වැහි කෝඩයක් හමාගොස් නතරව, දහවල් ඉර, තරමක් සෞම්‍යව අහසේ පාව ආවේය. වැස්සක් ඇදහැලුණු බවට දෙස් දුන්නේ තවමත් තෙත බරිත පොළොව, තුරුපත් මත රැදුණු දිය බිඳු සහ සිසිල් වා තලයයි. වැස්සෙන් පිබිදුණු සියත්හු, දහවල් කල වුව සක්‍රීයව ප්‍රීති නාද පවත්වමින් සිටියහ. කාලය ගෙවී ගියේ සුපුරුදු ලෙසිනි.

අනුත්තරාට සිහි එලඹෙන විට, ඇය සිටියේ උසැති කුඹුක් ගසක මුදුනේය. ඈ සිටියේ අති දිගු නින්දකින් අවදිවන්නාක් වැනි, නින්දත් නොනින්දත් අතර අවිනිශ්චිත තත්ත්වයකිනි; අවදි වූ විට සැණින් අමතකව යන සුන්දර සිහින දකිමිනි; සිතෙහි ඇතුලටම ඇරුණු, බාහිර ලොව ගැන හාංකවිසියක අවධානයක් නොමැති තත්ත්වයකිනි.

ඇතුලාන්තයටම හැරුණු මනස, බාහිර ලොවත් සමඟ බැඳුනේ දිගු කාලයක් ගනිමිනි. එය මොහොතක්ද, හෝරාවක්ද, වරුවක්ද, දිනයක්ද, දින ගනනක්ද යන්න අනුත්තරාට නිනව්වක් නොවීය. දිගු කාලයක් ගත වූ බව, ඇයට අසිහියෙන් මෙන් වැටහුණි. කුරුළු බිජුවක, මව් කිරිල්ලගේ උණුසුම මැද මෝරන සිඟිති පැටවකු මෙන් ඇය පරිණත වෙමින්, වැඩෙමින් සිටියාය. ඒ පරිණතිය අවසානයේ කෙමෙන් කෙමෙන් ඇය පියවි ලොවට පිවිසියාය.

එක්වරම ඇයට ඇති වූයේ තදබල විමතියක් හා භීතියකි. ඇය උස් තැන් වලට කොහොමත් බියය. දැවැන්ත කුඹුක් ගසක් මුදුනේම සිට සිහි එළඹෙන විට ඒ සංසාරික භීතිය ඇතිවීම අස්වාභාවික නැත. ඇය හැකි වෙර ගෙන අනායාසයෙන්ම යටිඋගුරෙන් කෑ ගැසුවාය. හඬක් පිටවූයේ නැත. අතපය, මුව කිසිවක් සෙලවුනේද නැත. ඇය සිටි තැනම ගල් ගැසී ගියාක් බඳු විය.උත්සන්න වූ භීතිය ඇය නැවතත් ස්වල්ප වේලාවකට අඩ සිහියකට පත් කලේය.

නැවත සිහි ලැබූ පසු, කෙමෙන් කෙමෙන් ඇගේ මනස අවදි වන්නට විය.

මනස අවදි වීමත් සමඟම මසැස වඩාත් පුළුල්ව ඇරුණි. ඇය භීතිය මැඩගෙනම වටපිට බැළුවාය. පරිසරය පුළුල් තලයක දිස් වේ. අහසේ වලාකුළු, කුඹුක් ගස පාමුල සහ අවට පැතිරී ඇති වෙල් යායෙහි පැහැදිලි දිය තලයේ පරාවර්තනය වේ. සියොතුන් රෑන් පිටින් අහසෙහි සරයි. මහනෙල් මල් සුවඳත්, පිච්ච මල් සුවඳත් වෙනත් මල් සුවඳ හා මුසුව හමා ඒ. සුළඟට ගහ කොල සෙලැවේ.

අනුත්තරාට දෙපසින් සහ පහලින් ඇති කුඹුක් කොල සහ දළු සුළඟේ නටයි. ඈ, තම ගතෙහි සුළඟ නොදැවටෙන බව පසක් කලේ ඒ මොහොතේදීය. සුළඟ ඈ විනිවිද හමා යයි. ඈ සුළඟේ දැවටී එන සුවඳ පමණක්ම විඳිමින් උන්නාය.

නොදැනීම ඈ තම සිරුර දෙස නෙත් යොමු කලේ ඒ මොහොතේ ය.

ඈ ලා කහ-කොල පැහැයකින් දිදුලන සිරුරකින් යුක්තව, ඇත්දත් මුතු පැහැයේ සළුවක් ඇඳ සිඟිති පෙඳ කැටිත්තක් බඳු වලා යහනක් මත එරමිණියාවෙන් වාඩි වී සිටියාය. සිරුර, සළුව සහ වලා වියන එකිනෙක විනිවිදිමින් අනුත්තරාට යටින් පිහිටි කුඹුක් කොල සහ අතු පෙනෙන නොපෙනෙන තරමින් දැක්වූයේය. ඇය නැවතත් විමතියට පත් වූවාය. හඬක් නැගීමට උත්සාහ කලාය. හඬක් නොනැඟුනත්, ඇය තම සිරුරේ ස්වාමිත්වයට කෙමෙන් කෙමෙන් පත් වෙමින් සිටියාය.

පෙර සිදුවීම් සිහියට නඟන්නට ඇය දැඩි වෙහෙසක් ගත්තාය.

*****

උසස් පෙල විභාගයට පෙනී සිට ප්‍රතිඵල එනතුරු අනුත්තරා නිවසේ රැඳී සිටියාය. ඒ අතර, විදුහල්පති තුමාගේ ආරාධනයෙන් ඇය එදින රුක් රෝපණ වැඩසටහනකට සහභාගි වූවාය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙනුත්, ගහ කොලට, පරිසරයට අසීමිතව ආදරය කල තැනැත්තියක වශයෙනුත් ආරාධනාවක් නොමැතිවම හෝ ඊට සනභාගි වීමට ඇය සැලසුම් කරගෙන සිටියාය.

ගස් කොලන් මුඩුව පැවති වැව් කණ්ඩියක පාසල් ලමෝ කුඹුක් පැල ඉන්දූහ. ලා රතු පාට කුඹුක් දළු, කුඩා දරුවන්ගේ සිඟිති කම්මුල් වල තැවරී දඟ කලහ. ඒ සිඟිති කම්මුල් වල සිය රතු-රෝස පැහැයෙන් බිඳක් තැවරූහ.

" දුව ප්‍රතිඵල එනකම් මොනවාවත් අමතර ඉගෙනීමේ වැඩකටයුතු එහෙම කරනවාද?" විදුහල්පතිතුමා ඇසුවේ, රුක් රෝපණ කටයුතු අහවරක් කර අසල පිහිටි ලිඳකින් දෑත් දෙපා සෝදමින් සිටි අනුත්තරාගෙනි.

"ඉංග්‍රීසි පන්තියකට යනවා සර්. ඊට අමතරව ගෙදර දොරේ වැඩපල තමයි" අනුත්තරා පිලිතුරු දුන්නාය.

"දුව ඉතින් අනිවාරයයෙන්ම කැම්පස් යනවනේ. මේ ගෙවෙන්නෙ ජීවිතේ නිදහසින් දෙමාපියන් එක්කල ඉන්න පුළුවන් අන්තිම කාලෙ" විදුහල්පතිතුමා සිනහමුසු මුවකින් පැවසූ දෙයට අනුත්තරාද සිනහවකින්ම පිලිතුරු දුන්නාය.

වැඩපිලිවෙලින් අනතුරුව සොම්නස් සිතින් යුක්තව අනුත්තරා ආපසු ආවේ තනිවමය. තේ වතු මැදින් වට වංගු පාරක ගමන් කල බස් බාගයේ අනුත්තරාට අමතරව මඟීන් කිහිප දෙනෙකු පමණක් සිටියහ. සිරිපොද වැස්සකින් තේ යාය තෙමී යනු ඈ රිය කවුළුවෙන් බලා සිටියාය. හිටීවනම 'බ්‍රාස්' හඬින් තිරිංග තද වනුත්, බස් රිය පසෙකට පැද්දී යනුත් ඇයට සිහිගන්වා ගත හැක. ඉන් එහාට කිසිවක්ම මතක නැත.

*****

'තමන් මිය ගොස්ය' යන හැඟීම අනුත්තරාට මුල්වරට ඇති වූයේ ඒ මොහොතේය. ඒ සමඟම අධික භීතියකුත්, ශෝකයකුත් ඇය වෙලා ගත්තේය. ඇය ඉකි ගසමින් හැඬුවාය.  කඳුලක සීතල පහසක් ඇයට නොදැනුනත්, ඇගේ සිත සොවින් බරව පැවතුනි. ඇයට අම්මාත්, තාත්තාත්, එකම නංගීත්, පාසලේ මිතුරන් හා ගුරු පිරිසත් එක දිගට සිහි විය. ඇය නොනවත්වා හැඬුවාය.

ටික වේලාවකට පසු, ඇගේ දුක තරමකට තුනී විය. පෙරට වඩා දරාගැනීමේ ශක්තියක් ඇති බව, ඇගේ මනසට වැටහුණි. නිරාමිස තැන්පත් බවක් දුර දරාගැනීමට ඇයට රුකුලක් වන බවක් ඇයට වැඩි දුරටත් පසක් විය.

ඇගේ වැලපීම අවසන් වෙත්ම, පරිසරයේ වෙනසක්ද ඇයට පෙනිණි. ඇගේ සිඟිති වලා වියනට සමීපයෙන් පිහිටි අතු පතරේ සියොත් කැල පොදි කමින් වසා සිටියෝය. කොකුන්ද, පිළිහුඩුවන්ද, නිල් පිලැති මොනරෙක්ද, කෑරලුන් ද, මයිනෝ ද ගස පුරාම වසා සිටියහ. ඇගේ පාමුලට වන්නට නාගයෙක් අත්තක වෙලී සිටි අතර, ඊට සමීපයෙන්ම නිල් පැහැති විසල් දිවිමකුළුවෙක් ද විය. අවසානය දුටු සතුන් දෙදෙනා ඈ තුල මඳක් පිළිකුල් සහගත හැඟීම් ජනිත කලත්, එයත්, සුලඟේ පාව යන පරෙවි ලැම පිහාටුවක් මෙන් සැනින් පහව ගොස් මහත් කරුණාවක් උපන්නේය. සතුන්ට ඇගේ පැවත්ම දැනී ඇති හැඩකි.

සිත තැන්පත් වූ පසු, ඇය වඩාත් හොඳින් වටපිටාව නිරීක්ෂණය කලේ තමා සිටින වටපිටාව හඳුනා ගැනීමේ අදහස පෙරදැරිවය. පහත බැලූ විට ඇය දුටුවේ කඳුළු බිඳුවක හැඩය ගත් නිල් කැටයට දිය පිරුණු ළිඳකි. තරුණ කතක් පැමිණ උකුළ පද්දා පහත් වී ළිඳෙන් දිය කළයක් පුරා ගත්තේද ඒ මොහොතේදීමය. ළිඳට සහ කුඹුක් ගසට ඔබ්බෙන් එක යායට නිල් කොල පැහැයෙන් පැතිරී ගිය වෙල් යායකි. ඊට සමීපයෙන්ම ගුරු පාරකි. වෙල ඉහත්තාවේ ලියද්දක් දිය පුරවා තැනූ පොකුණකි. එහි මහනෙල් මල් පිරී ඇත. ඉන් පසු කුඩා දෙණියක් සහ ඉන් ඔබ්බෙන් ගම් පියසකි. වෙල් යාය පිස ආ මද නල මහනෙල් මල් සුවඳ අනුත්තරා වෙත රැගෙන ආවේය.

ඒ සැණින්, ඈ තමා සිටින ස්ථානය හඳුනා ගත්තාය.

'පතිරත්න අංකල්ලගෙ ලිඳ ලඟ කුඹුකේ!'

පතිරත්න මහතා, අනුත්තරාගේ අසල්වැසියෙකි. ඇගේ පියාගේ සමීපතම මිතුරෙකි. නිවෙස් දෙක අතර පරතරය සැතපුම් දෙකක් පමණය. කුඩා කල පතිරත්න මහතාගේ නිවසට ගිය කලෙක, කුඹුකේ ලිඳ සමීපයට ගිය බවද ඈට මතකය. කුඩා දැරියක ලෙස, ඒ ගසෙහි දිවිමකුළුවන් විසූ බව අසා ඈ තරමක් බිය වූ බවද ඇයට මතකය. පතිරත්න මහතා ජෑම් බෝතලයක දැමූ දිවිමකුළු හැවක් ඇයට පෙන්වූ බවක්ද ඇයට අමතක නැත. ඒ නිවසේ වහලය ඇයට රුක් ගොමු අතරින් දිස් වේ. තමාට තරමක් හෝ සුපුරුදු පරිසරයක විසීම ම ඇයට යම් අස්වැසිල්ලක් ගෙන ආවේය.

අනුත්තරා වටා කැරකැවෙමින් හමා ගිය සුළඟ, මහනෙල් මල් සුවඳින් ඇය නැහැව්වාය. ඒ සුවඳ විඳගන්නට, ඈ තුලට උරා ගන්නට ඇයට මහත් වූ වුවමනාවක්ද නැඟී ආවේය. කුඩා බිළිදෙක් මවගේ පියවුරකින් හමා එන කිරි සුවඳට ලොබ බඳින්නාක්, ඇදී යන්නාක් මෙන් හැඟීමකි එය. කුසගින්නේ සිටින බිළිඳෙකු මව් කිරට දක්වන ආශාවට සමාන ආසාවකි එය. මහනෙල් මල් සුවඳින් පෝෂණය වීමට ඇයට අවශ්‍ය විය.

ඒ ආශාවත් සමඟම, ඇය මහනෙල් මල් පොකුණ දෙසට පාව යන්නට පටන් ගත්තේය. කුඹුක් ගසින් පිටතට ඇගේ පළමු ගමන එය වූයෙන්, ඇයට ඒ ගමනෙහි කිසිදු පාලනයක් නොවීය. මදනලට කීකරු මල් පෙත්තක් මෙන් පාවී ගිය ඇය, ටික වේලාවකින් මහනෙල් පොකුණේ නිසසල ජල තලයට සමීපයෙන්, අඩියක් පමණ උඩින් විමානගතව රැඳී සිටියාය.  ඇය රිසි සේ මහනෙල් මල් සුවඳ ඈ තුලට ඇදගත්තාය. ඒ සමඟම, ඈ තුල වූ කුසගින්නක් වැනි අසහනකාරී හැඟීම කෙමෙන් පහව යන්නටද විය.

පොකුණෙහි දියතලය කෙලවර වන්නේ කුඩා වන ලැහැබකිනි. දිවාකල වුවද, එහි දුටු අඳුරු කුට්ටියක් නිසා ඇගේ අවධානය එදෙසට නිරායාසයෙන්ම යොමු විය. අඳුරු බල්බයක් දල්වා අඳුර පැතිරවිය හැකි වේ නම් විය හැකි ආකාරයට එතැන ඇඳුරු ලපයකි. අඳුරු ලපයේ විනිවිද පෙනෙන සලිත රුවකි!

ඒ රුව දියට පහත් වී දිය තලයේ යාන්තමින් ගෑවෙන ලෙස නහය ඔබාගෙන සිටී. ඇගේ අවධානය එදෙසට යොමු වත්ම ඒ රුව අනුත්තරා දෙස හිස ඔසවා බැළුවාය. නිල් දම් පැහිති අප්‍රසන්න මුහුණක ඡායාවක් ඇය දුටුවාය. ඒ සැනින්ම ඒ රුව වන වදුල තුලට අතුරුදහන් විය. ඒ මොහොතට ඒ රුව කවුදැයි අනුත්තරාට සිහිපත් විය. ඒ කුමතේරිස් ය. ඔහු මියගියේ මීට වසරකට පමණ පෙරය. ජීවත් වූ කල, ඇලෙහි දොලෙහි මාළු අල්ලා විකුණූ කුමතේරිස් මියගියේ බීමත්ව දොලක මාළු අල්ලන්නට ගොස් දියෙහි ගිලීමෙනි.  කුමතේරිස් එසේ එබී සිටියේ කුමකටදැයි අනුත්තරා කුහුලෙන් යුක්තව විපරම් කර බැලුවේය. එහි වූයේ මියගිය කොරලි මත්ස්‍යයෙකුගේ සිරුරකි. ඒ සත්ත්වයා කුණු වී දුඟද හමයි. ඒ දුඟද අනුත්තරාට ඇති කලේ මහත් වූ අපුලකි. ඇයට එයින් මිදී යාමට අවශ්‍ය විය. සැණකින්, ඇය නැවතත් කුඹුක් ගස් මස්තකයේය. ඇය සොම්නසට පැමිණියාය.

කාලය සෙමින් ගෙවී ගියේය. තවමත් ඒ පිළිඹඳව ඇයට ඇත්තේ අල්ප වූ අවබෝධයකි.  වේලාව සවස් කල බව ඇය වටහා ගත්තේ පරිසරයේ වූ දිගු සෙවණැලි හේතුවෙනි.

ඉතා ඈතින් සුපුරුදු හඬක් පාව ආවේ ඒ මොහොතේය. මුලින් ඉතා සියුම්ව ඇසුණු ඒ හඬ, ගුවන්විදුලි යන්ත්‍රයක හඬ වැඩිකරන්නාක් මෙන් මඳින් මන්ද උස්ව, පැහැදිලිව ඇසෙන්නට විය.

යථාවාරි වහා පුරා – පරිපුරෙන්ති සාගරං

ඒවමේව ඉතෝදින්නං – පේතානං උපකප්පති

උණ්ණ මේ උදකං වට්ටං – යථා තීරණ්ණං පවත්තති

ඒව මේව ඉතෝදින්නං – පේතානං උපකප්පති

ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ

මලගිය ඥාතීන්ට හා ප්‍රේතයන්ට පින් පැමිණවීමක්...

ඒ ගාථා පාඨ ශ්‍රවණය වෙත්ම අනුත්තරා නැවතත් පාවී ගියාය. පාවී ගොස්, මරණ ගෙදරක අවසන් කටයුතු ඉටු කරන පිරිසක් සමීපයේ, ඔවුන්ගේ හිස් වලට අඩි දහයක් පමණ ඉහලින් අහසේ රැඳුනේය.

ඇගේ මවත්, පියාත්, නංගීත් ලඟම ඥාතීන් සමඟ මිදුලෙහි ඉඳිවූ තාවකාලික මඩුවක එලූ පැදුරු මත හිඳගෙන සොවින් බර වූ මුහුණු බිමට නවාගෙන පැන් වඩති. පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුලු සංඝයාවහන්සේ පින් පමුණුවති. ඔවුන් දෙපිරිස අතර, පියන වසා තැන්පත් කල මිනී පෙට්ටියකි.

අනුත්තරාගේ නිවසේ මිදුලෙහිත්, වටපිටාවේත් මහ සෙනඟක් රැස්ව සිටිති. පාසලේ යහළු යෙහෙළියන්ද, විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයද, අසල්වාසීන්ද, හැකි පමණින් එකත්පස්ව වැඳගෙන පින් අනුමෝදමට සහභාගී වෙමිනි. ස්වාමීන්වහන්සේගේ පින් පැමිණවීම අවසානයේ සැවොම සාදුකාරයක් දුන්හ. පින් පැමිණවීම අවසානයේ අනුත්තරාට යම් සැහැල්ලුවක් සහ තමන්ගේ ප්‍රභාවේ සියුම් වැඩිවීමක් දැණිනි. ඇයට ඇයගේ මව සමීපයට යාමට අවශ්‍ය විය. සුළු මොහොතකින් ඇය මව සමීපයේ පැදුරේ වාඩි වී සිටියාය.

 

"අනේ අම්මේ... මේ මම මෙතන ඔයා ලඟම ඉන්නවා"

අනුත්තරා සොවින් බරවම පැවසුවාය. මවගේ වෙනසක් නැත. ඇය හිස නවා මවගේ උරයට වාරු වූවාය. ඇගේ සිරුර මවගේ සිරුරේ ස්පර්ෂ වූයේ හෝ නැත. අම්මාට ඇය පෙනෙන්නේ හෝ දැනෙන්නේ නැත. ඇය වෙනත් අය ලඟටද ගියාය. කිසිවෙකුට ඇය පෙණුනේ හෝ දැණුනේ නැත.

අනුත්තරා තව දුරටත් ඔවුන්ගේ ලොවට අයත් නැත.

අනුත්තරා අහසේ සිට බලා සිටියාය. වටපිටාව නිරීක්ෂණය කලාය.

ඇය දහවල මහනෙල් පොකුණ අසල දුටු ආකාරයේ අඳුරු ගුලි කිහිපයක, අවපැහැ ගැන්වුන කීප දෙනෙකු සෙනඟට ඔබ්බෙන් සිට මතක වස්ත්‍ර පූජාවට අනුමෝදන් වෙති. ඇය මෙන්ම අහසේ පලක් බැඳගත් කිහිප දෙනෙකුද සිටින බව ඉහල නිරීක්ෂණය කල ඇය දුටුවාය. එක් අයෙකුගේ දැඩි අවධානය ඇය වෙතය.

සීයා!  වසර දහයකට පමණ මියගිය ඇගේ සීයා ඈ දෙස බලා සිටියේය.

ඒ මොහොතේම, පාංශුකූල සහ පින්දීමේ අකටයුතු අවසන් වී සියළු දෙනාම මිනී පෙට්ටිය ඉදිරියේ රැස් කන්නට වූහ. අනුත්තරාගේ අවධානය සැනෙකින් සීයාගෙන් මිදී දෙන වෙතට හුවමාරු විය. එහි සතපා ඇත්තේ ඇගේම මළ සිරුර බව මේ වන විට ඈ දනී.

ඇයට ඇගේ මියගිය සිරුර දැක බලා ගැනීමේ අසීමිත ආසාවක් පහල විය.

මවගේත්, නැඟෙණියගේත් විලාපය සමඟ, අගුළු විවර කල පෙට්ටියෙහි දෙපියන් දෙපසට විවර විය.

අනුත්තරාගේ සිරුර බෙහෙවින් වෙනස් වී ඇත. ඇගේ නලලත්, නැහැයත් අනතුරින් බිඳී යාම නිසා ප්ලාස්ටර් කැබලි වලින් වසා ඇත. මුහුණද තැලී, පොඩිවී තඩිස්සි වී ඇත. දෙතොල් දම් පැහැතිය. ඇත්දත් පැහැ ගත් සම කළුවට හැරී ඇත. මුහුණ වේල්පටකින් වසා ඇත්තේ අවලක්ෂන බව සඟවන්නට විය යුතුයැයි වාන් දමන වේදනාවක් සමඟ අනුත්තරාට සිතුණි.

ඥාතීහු ඇයට සමු දීමට සුවඳ පැන් ඉසිති.

සෙවණැති අඳුරු කුට්ටිවල සිටි කිහිප දෙනෙක් සෙනඟ අතරින් පාවී මෙන් අනුත්තරාගේ මෘත දේහය අසලට ලංවිය. අනුත්තරා මෙන්ම, ඔවුන්ගේ පැවැත්මද කිසිවෙකුට නොදැනේ, නොපෙනේ. එලෙස ලංවූ අඳුරු පැහැත්තන් මෘත දේහයේ මුවට උඩින් පහත් වී ඇගේ සුවඳ උරාබොන්නාක් මෙන් අනුත්තරාට පෙණුනි. ඇයද වහා එතැනට පාවී ගියාය. ඇගේ නාසයෙන් සියුම් දුඟදක්, රසායනික දුඟදක් වහනය වෙමින් ඇත. අනුත්තරාට මහත් වූ අපුලක් දැනුනි. ඇයට වහා එතැනින් ඉවත් වන්නට අවශ්‍ය විය. මොහොතකින් ඇය නැවත්ත් කුඹුක් ගස මුදුනේ ය.

*****

 අනුත්තරා නැවතත් කල්පනාවට වැටුනාය.

ඒ සිරුර දැන් ඇයට හිමි නැත. දුඟඳය, විරූපීය, පිලිකුල්ය.

ඒ ලොවට නැවතත් යා නොහැක. ගියද කිසිවෙකුට තමා නොපෙනේ.

එසේ වුවත්, මහනෙල් පොකුණේදී හා ඇගේ මළගමේදී දුටු අඳුරු අවතාර වැන්නන්ටත්, අහසේ පලක් බැඳගෙන සිටිනා දිලිසෙනසුළු අයටත් ඇයව පෙනෙන බව ඇය දැන සිටියාය. එසේ නම් ඇය අයිති ඔවුන්ගේ ලොවටය. භීතිය නැවත ඇති විය.

*****

කාලය නොනැවතී ගමනේය. දසතින් අඳුර ගලා ආවේය. පරිසරය නිවී සිසිල් විය. සියොත්හු රෑන් පිටින් කැදලි කරා නික්ම ගියහ. කුඹුක් ගසෙහි කොකුන්, කොරවක්කන් ලැගුම් ගත්හ. අවට පොල් කරටි වල මොනරුන් ද, ඉලුක් පඳුරු වල වී කුරුල්ලෝද රැය ගත කිරීමට වසා සිටියහ. නාගයා පෙනෙන්නට නොවුනත්, දිවි මකුළුවා දිගැටි හැඩයට අඬුපඬු අකුලා ඇය අසලම රැඳී සිටියේය. ඈතින් පන්සලේ ගංටා නාදය සමඟ සෙත් පිරිත් ගලා ආවේය. අනුත්තරා දැහැන් ගතව මෙන් පන්සලට කන් යොමා සිටියාය. කෙමෙන් අඳුර ගිලගත් අහසේ තාරකා කීපයක්ද, මලානික සඳ පළුවක්ද නැඟ ආවේය.

තමාගේ සිරුරෙන් නික්මෙන කාන්තිය, රැයේදී වඩා පැහැදිලි බව ඇයට පසක් විය. එසේම අඳුරේදී පවා ඇයට පරිසරය පැහැදිලිව පෙණුනේය. දහවලට වඩා සෞම්‍ය පරිසරයක වෙනස පමණක් ඇයට දැණුනි.

එසේ වටපිට බලද්දී, අහසේ තාරුකාවක් කෙමෙන් කෙමෙන් විශාල වී තමා දෙසට ඇදී එන්නාක් මෙන් අනුත්තරාට දිස් විය. තරමක තැතිගැන්මකින් සහ කුතුහලයකින් යුතුව ඈ ඒ දෙස බලා සිටියාය. කෙමෙන් කෙමෙන් විසල් වී ඇගේ දෘශ්ඨියෙන් වැඩිමනත් කොටසට අරක් ගත් එම එළිය, ඇගේ වම්පසට විත් හැකිළිණි. දහවල යාන්තමට දුටු ඇගේ සීයා, ඈ මෙන්ම වලාකුළු වියනක් මත්තේ ඇගේ දකුණු පසින් සිටියේය.

"මගෙ දුවේ...!"

සීයා, සුපුරුදු කරුණාවෙන් හා ආදරෙයෙන් සිතිවිලිමය සංවාදයක් ඇරඹුවේය.

"සීයේ... මගේ සීයේ..." අනුත්තරා කෑගැසුවාය. සීයාගේ වම් උරහිසට හිස තබා ගත්තාය. ඒ ස්පර්ශය පලමු වරට, පුළුන් රොදක ස්පර්ශයක් මෙන් ඇයට දැණුනි.ඇය නොනවත්වා හඬන්නට පටන් ගත්තාය. සිතේ ඇති වේදනාව පහව යන තෙක්ම, ඉකිළමින් හැඬුවාය. සීයා සුරතින් ඇගේ හිස පිරිමැද්දාය. අනුත්තරාට දැන් තනි නැත.  ළඟම ඥාතියෙකු අසල ගැවසීමේ සොම්නස ඈ සිත පුරා විඳ ගත්තේය.

"අනේ සීයේ මට මේ මොකද වුනේ...?" අනුත්තරා ඇසුවේ හැඬුම් අතරිනි.

"මම දන්නව මගෙ දුවට මගෙන් අහන්න, අහල විසඳ ගන්න ප්‍රශ්ණ, කරුණු කාරණා මහ ගොඩක් තියෙන විත්තිය. ඒවා එකින් එක අහනකම් ඉන්නෙ නැතුව මම මගෙ කතාව කියන්නම්කො. දූට තේරේවි එතකොට" සීයා දිගු කතා බහකට මුල පිරුවාය. අනුත්තරා සාවධානව අසා සිටියාය.

*****

"අපි දෙන්නම දැන් මැරිල. මේ ඉන්නෙ වෙන ආත්මෙක. මිනිස්සු රුක් දෙවියන් කියන්නෙ අපි වගේ අයට. මම මැරුණෙ ලෙඩින්. දූට මතක ඇතිනෙ?  මම මැරිල ඉපදුනේ මීට හැතැප්මක් විතර එහා තියෙන අළුත් ගොඩැල්ලෙ නුග ගහේ. දවසක්, දෙකක් යනකම් මටත් ඉන්නෙ කොහෙද, වෙන්නෙ මොනවද කියල හිතාගන්න පුළුවන්කමක් තිබුණෙම නෑ. කොහොමහරි මමත් මගේ මළගමට ගියා, හරියටම හාමුදුරුවො පින් අනුමෝදන් කරන වෙලාවෙ. මමත් මගේ මළකඳ දිහා බලාගෙන හිටියා. වෙන එකක් තියා ආපහු ඒක අස්සට රිංගන්නත් බැලුවා. නෑයො ලඟට ගිහින් කතා කරන්න හැදුවා. මම දූගේ ලඟටත් ආවා.ඒත් මනුස්සයන්ට අපිව පේන්නේ නෑ. දැනෙන්නෙ නෑ. ඒ ලෝකෙ අපේ නොවෙයි දුව. දුක් වෙලා වැඩක් නෑ මයෙ පුතේ.

අපිට තියෙන්නෙ සියුම් ශරීර. අල්ලන්න කරන්න බෑ. බරක් නෑ. ඒ ඇරෙන්න හැමදේම හොඳට දැනෙනව. දුව මේ වගේ ආත්මෙක ඉන්න එක ගැන සතුටු වෙන්න. අපිට වඩා දුක්ඛිත ජීවිත ගතකරන කාණ්ඩත් ඉන්නව. ඒ අය ඉන්නෙ දුඟද ආස්සරේ කරගෙන. දූගෙ මලකඳට එබුණෙත් ඒ වගේ අය. අපි ඉන්නෙ මල් සුවඳ, සිල් සුවඳ ආස්සරේ කරගෙන. ඉතින් අපි වාසනාවන්තයි.

දූට තේරේවි, අපි සුවඳට, පින්කම් වගේ හොඳ දේට ඇදිලා යනවා. අපි ඒවත් එක්ක බැබලෙනවා, ටිකින් ටික. දූට වඩා මාව බැබලෙන්නෙ ඒ නිසයි. අවුරුදු ගානක් මේ ආත්මෙම, පිනේම ඉඳල. මට පස්සෙත් ආව කීප දෙනෙක් මේ වගේම ආත්ම වල මා එක්කම හිටියා. එයාල මෙතනින් ගියා. මම අවුරුදු දහයක් තිස්සෙ මෙතනම. පින බලවත් වෙද්දි, කාලෙ ගෙවෙද්දි දූගෙ ඔය හිරවෙච්ච ගතිය අඩුවෙයි. එතකොට ටිකක් එහාට මෙහාට යන්න කරන්න පුළුවන් වෙයි. ඒත් ආය ගෙදර පැත්තෙ, අම්මා, තාත්තා, නංගී බලන්න නොගිහින් ඉන්න තරමට හොඳයි. දුක විතරනේ මගෙ පුතේ.

අපිව මිනිස්සුන්ට පේන්නෙ නැතුවට, මේ දුව වටේ ඉන්න සතා සරුපයට අපව දැනෙනව. ඒකයි උන් මේ දුව වටේම ටැග්ගැහෙන්නෙ. උන්ට යම් සෙතක් ශාන්තියක් සැලසෙනව කියලයි මටනම් හිතෙන්නෙ. මම ඉන්න ගහේ තට්ටක් කැඩිච්ච උකුස්සෙක් කාලාන්තරයක් වහල හිටියා. ටිකින් ටික තට්ට සනීප වෙලා පියාඹලා ගියා. දැනුත් හිටි ගමන් ඇවිත් වහල ඉන්නව. ඒ සතුන්ට කරුණාව දක්වන්න.

ඒ වගේම කාලයත් එක්ක , අපේ පින් වැඩෙද්දි අපේ ප්‍රභා මණ්ඩලයත් මිනිස්සුන්ට යාන්තමින් පේන්න ගන්නව. මම ඉන්න නුගේ ලඟට එළිය දැකපු කීප දෙනෙක්ම එනවා බාරහාර වෙන්නත්.  දැන් එතන ටිකක් ප්‍රසිද්දයි නෙව. දුවත් දන්නව ඇති එතන දේව සංහිඳක්."

"මමත් අම්මත් එක්ක ඇවිත් ගොඩැල්ලෙ නුගේට බාරයක් උනා සීයෙ, නංගිට පැපොල හැදුන වෙලාවෙ" අනුත්තරා කීවේය. ඒ කන්නලව් කර ඇත්තේ තමන්ගේම සීයට බව දැනීම ඇයට අමුතුම මිහිරක් ගෙන ආවේය.

"ඔව් දුව. මම දැක්කා. මම ආශිර්වාද කලා" සීයා කීවේ සෙනෙහසිනි.

"අපි මේ ආත්ම වල කොපමණ කල් ඉන්නවද අපි දන්නේ නෑ දුව. අපි මෙතනින් යන්නේ මනුස්ස ලෝකෙටද, වෙනත් ලෝකෙකටද කියන්න මටත් බෑ. මේ ආත්මය සතුටින් ගත කරන්න. ටික දවසකින් දුව මේකට හුරු වේවි. මමත් ඉන්නකම් ඇවිත් බලල යන්නම්කො.

දුවට තව ටිකකින් මෙහෙමම නින්ද යාවි."

සීයාගේ කතාවෙන් පසු අනුත්තරාගේ සිත බොහෝදුරට සැනසීමෙන් තැන්පත් විය.

ඇය නොයෙක් අතුරු ප්‍රශ්න විමසා දැන පහදා ගත්තාය.

"මම ගිහින් එන්නම් දුව. මේ ලෝකේ දුවට අතුරු අන්තරා වෙන්නේ නෑ. ඒ අතින් මනුස්ස ලෝකෙට වඩා ගොඩක් හොඳයි"

සීයා එළිය පිඬක් වී අහසේ සැඟව යන තුරු අනුත්තරා බලා සිටියාය.

"සාදු සාදු සා... තාදු තාදු තා..."

කුඹුකට සමීපයේ ඇති ගුරු පාරේ ගමන් කල මවක් හා දරුවෙක් ඒ එළියට සාධුකාර දෙනු අනුත්තරාට ඇසුණි.

 

©රසික වික්‍රමනායක

2022.6.7

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ