කහටමරං

 ඒ කාලෙ සබරගොමුවෙ ගොයං කයියකට අත්තම් වැඩට ගියාම, ගෙපොලක් කපල පොලවෙ ලණු අදින නැකතට, පැල් කොටේක පොල් අතු කඩල අලුතෙන් අතු හෙවෙණි කොරන වැඩක් වගේ සුබ කටයුත්තකට එකතු පහදු උනාම කිරිබත් එක්ක කැවිලි ජාති වරදින්නෙම නෑ. සබරගමුවෙ විතරක්ම නෙමෙයි, රටේ ගොඩක් පලාත්වල එහෙමයි. සුදු හාල්, රතු හාල් දෙජාතියෙ කිරිබත්, ලුණු මිරිස්,ළූණු බැදුං ඇඹුල් තියල් එක්ක වටාපතක් වගේ ඇංබුං ඇවරියක්, කිතුල් පැණි බේරෙන වැලිතලොප, ආස්මී, මුං කැවුං සංග්රහ කරන්නෙ වට්ටි වලට තියල. ඒ සුබ වැඩේට සංග්රහ කරන්න තේ කහටත් නැතුවම බෑ. තේ කහට හදලම ලිප්පල්ලෙ කලු ගැහුණු ඇල්මේනියං කේතලේක වතුර උණු කරල, තේ කොල අහුරක් දාල කකාරවල වගේම, පොඩි ඇල්මේනියං ජෝගුවකට තේ මඩියකින් උණු වතුර වක්කල්ලත් තේ කහට හදාගන්න පුලුවන්. තේ කහට බොන්න කැවිලි මනාප නැති ඈයන්ට කිතුල් හකුරු කෑල්ලක් උරච්චි කොර කොර, එහෙමත් නැත්තං වැලි හකුරු කැටයක් හප හපා ආසන පනවල නැත්තං බිම ඇණ බාගෙන කහට බොන්න පුළුවන්. බුලත් වට්ටිය අල්ලන්නෙ තේ කහට බීවට පස්සෙ. තේ නොබී කෙලිම්ම බුලත් විටට යන ඈයො තේ කහට බොන සිරිතක් නෑ. විටහපේ අහක දාල, කටහෝදල පැණි රහ කෑවට දිවට රහ දැනෙනව හොරයි.

මහ වැඩවලට විතරක් නෙමේ, සුළු වැඩේටත් කන්න නැතත් තේ වතුර ඕනමයි. " කන්න දීල 1000 යි, කන්න නොදී 1200 යි" ආදී වශයෙන් ගනම් මිනුම් කීවට කන්න නොදෙන තැන්වල පවා තේ කහට බලාපොරොත්තුම වෙනව. ඒ කාලෙ රක්වානෙ කඳුකරෙන් වතු උදළු ගාන්න එන කංකරුවොත් උදේ දහයටයි, හවස තුනටයි "මාතියා, තේ තන්නි කුඩුංග?" කියල කහට ඉල්ලන එක සිරිතක්.
ඉතින් ඒ කහට වඩියට අනුපානෙට ගෙදර යං කැවිල්ලක් ඉතිරිව ඇත්තං ඒකෙන් කොටහක් දෙනව. ඒ නැත්තං හකුරු කෑලි හරි, සීනි බෝතලේ හරි තියනව. කිතුල් හකුරු ගනන් දුර්ලභ නම් සීනි හකුරු. සීනි හකුරු හපනවට වඩා දුඹුරු සීනි අල්ලට අරන් දිව ගාල "බරස් බරස්" ගාල තියෙන දතට දෙකට අල්ලල හපන එක අහුපෑවතයි. ආය සීනි උණු කරලම කන්නෙ මොකටදැ?
ඔන්න ඔය වගේ සැර කහට වඩියක් එක්ක තේ බොන්න තියෙන කෑමක් තමයි කහටමරං. නමේම තියෙනවනෙ කටයුත්ත. කහටමරං එන්නෙ අඟලෙ අඟලෙ වගේ ඝණක හැඩේට. මේවා සක්කරවත්, සීනි හකුරුවත් නොවෙයි. කහටමරං මේ කැවිල්ල මම සබරගමුවෙ එක පලාතක, ඒ කිව්වෙ රක්වාන කඳුවැටියෙ මුල හරිය වන මාදම්පෙ ඉඳල ගොඩකේල, පල්ලෙබැද්ද, කොලඹගෙආර, සංඛපාල වාගේ පලාත් වලත්, පල්බැද්දෙන් හැරිලා බලංගොඩ පාරෙ නියම්ගම, අම්බැවිල හරහා වැලිගෙපොල පලාත්වල. මීට පිටින් රත්නපුර, කුරුවිට පැත්තෙත් කහටමරං ප්රසිද්ධලු.


කහටමරං හදන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලාම හකුරු ටිකක් හරි වැලි හකුරු ටිකක් හරි වතුර පොඩ්ඩක් එක්ක දියකරගන්නව. හකුරු නැත්තං සීනි ටිකක් කරකරල පැණි හදා ගන්නව. මේකට දානව මත් ගාගත්ත කෙහෙල්. හොඳටම හරියන්නෙ ඇඹුල් කෙසෙල්. සීනි කෙසෙල් ආනමාලු උනත් ගන්න පුලුවනි. වෙන කැවිලි වල වගේ සීනි වලින් නෙමේ හයිය එන්නෙ, මේ කෙහෙල් වල තියෙන ලාටු ගතියෙන්. ඊට පස්සෙ ගාගත්ත පොල් ටිකක්, පාන් පිටි පොඩ්ඩක් වගේ දේවලුත් දානව. අනුපාතෙ නම් අහන්න එපා මම දන්නෑ. ඉතින් මේ විදිහට හැදෙන තලපෙ තුනී කරල අඟලෙ කොටු කපාගත්තම තමයි කහටමරං හැදෙන්නෙ. ආය තේ කහට බොංඩ කියාපු රහ. එකක් මත් ගගා තේ කෝප්ප දෙකක් උනත් ගිල දාන්න පුලුවන්. මට මතක පොඩිම කාලෙ මුදියන්සෙ මාමගෙ කඩේ කහටමරං කෑල්ලක් සතවිසිපහයි. ඒ කිව්වෙ මහා ඈතක නෙමේ. අසූ ගනන් හරි අනූ ගනන් මුල හරි.
දැන් මේ කහටමරං හදන්නෙ වෙන වෙන දේවල් දාල. කෙහෙල් වෙනුවට කෙහෙල් රස කාරක. හයිවෙන්නෙ සීනි උණු කරල තව තව ඒව දාල. දැන් කහටමරං රහ නෑ. හයියත් නෑ කටේම කුඩු වෙල යනව. නිකම්ම උනු කරල කරකරපු සීනි ගුලියි, රසකාරකයි. මේ පින්තූරෙ ගත්තෙ ගොඩකේල ශාන්ති ස්ටෝස් එකේදි.


2024.3.30

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ