අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ
88 වසරේ අප පාසලට ඇතුල් වන විට , නාගරික කිහිප දෙනා හැර අන් සියල්ලෝම දුරබැහැරින් පැමිණිය අය වූහ. පස් වන වසර විභාගය එකල පැවතියේ සයවන වසරේ නිසා , පාසලට සිසුන් ඇතුලත් කරගන්නේ ඇතුලත්වීමේ විභාගයකිනි. මම ඉන් නව වැනියා වී ගන්කන්දයට තේරී , ඊට පසු වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීමි. ගානක්වත් නැත. ඉන්පසු එක විභාගයක් හෝ අසමත් නොවන්නට බරට සිතට ගත්තෙමි. එකල මා උගත් හිරමඩගම මෛත්‍රිය මහා විද්‍යාලයේ සිට සය වසරට ගන්කන්දයට ඇතුලත් වූ එකම සිසුවා මමයි. ගන්කන්දයට සිසුන් එන මාවත් ප්‍රධාන වශයෙන් තුනකි. බලංගොඩ සිට පැල්මඩුල්ල , රත්නපුර සිට පැල්මඩුල්ල , මාදම්පේ දෙස සිට පැල්මඩුල්ල ඒ මාවත් තුනයි. රත්නපුර පාරේ මැදක් හරියේ , එනම් ලෙල්ලෝපිටියේ සිට ලමුන් පිරිසක් රත්නපුර දෙසට යති. ඕපනායක පමණ සිට බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යන ලමුන්ද සිටිත්. ඒ අතින් ගන්කන්දයට වැඩිම සිසුන් පිරිසක් එන්නේ කහවත්ත දෙස සිටය. ඒ පාර මාදම්පේ හන්දියෙන් බෙදී එක අත්තක් රක්වානටත් , අනිත් අත්ත ගොඩකවෙල හරහා ඇඹිලිපිටිය දෙසටත් විහිදී යයි. ගන්කන්දේ වපසරිය මේ පරිදිය. ලෙල්ලෝපිටියේ සිට පැල්මඩුල්ලට මාර්ගස්ථ දුර කිලෝමීටර 8 කි. බලංගොඩ සිට 30 කි. රක්වානේ ස