අනූ හයේ අපේ කතා, හත්වන කොටස : සුබේ
ඇඹිලිපිටිය රත්නපුර මහා මාර්ගයේ, කහවත්ත, පනාවැන්න, ගොඩගම අනුපිලිවෙලින් පසු කරද්දී, වම්පසින් කිරිබත්ගල කඳුවැටිය, කිරිබත්කැටයක හැඩයෙන්, නීල-කොල පැහැයෙන් පෙනෙන්නට පටන් ගනී. ඒ දැක්ම, ගොඩගම 'ගම' පසුකර, බටලන්ද කන්ද මුදුනට එද්දී වම් පස පස්කණ්ඩියක වැසී අතුරුදන් වෙයි. එතැන සිට පැල්මඩුල්ල නගරය දක්වාම ඇත්තේ සීඝ්ර බෑවුම් සහිත වංගු පෙලකි. මේ දෙනවක් ගං නිම්නයේ, පැල්මඩුල්ලේ අපේ රාජ්යයේ කඩදොරයි. එහි මුවවිටදීම දකුණු පස අහසේ ඉහල ඈතින්, කුට්ටාපිටිය කන්ද පෙනෙන්නට පටන්ගනී. කුට්ටාපිටිය කන්ද, පෙනුමෙන් නම් කිරිබත්ගලට වඩා මිටිය, ඒත් ඇත්තටම සුළු වශයෙන් උසය. දෙනවක් ගං නිම්නයේ, ගංගාව පෙනෙන නොපෙනෙන මානයක රැඳෙන සොඳුරු ගන්කන්ද විදු පියසේදී සමාජ අධ්යයනය පාඩමට අප උගත්තේ එහෙමය. ඒ දැනට වසර තිස් එකකට පෙරය.
මම බටලන්ද කන්ද මුදුනේ සිට පැල්මඩුල්ල දෙසට රිය පදවමින් පල්ලම බසිමි. කුට්ටාපිටිය කන්දේ කිරිඳි ඇල්ල පෙනී නොපෙනී යයි. ආදරණීය ගන්කන්ද විදු මාතාව ඇත්තේ කිරිඳි ඇල්ලට ඉදිරියෙන් වූ කඳු මුවාවකය. පාසලට කිරිඳි ඇල්ල නොපෙනේ. කිරිඳි ඇල්ල අසලටද පාසල නොපෙනේ. අප පාසල් යන සමයේ, ඇතැම් තද වැසි සමයක, කිරිඳි ඇල්ලේ හෝ හෝ හඬ යාන්තමින් ඇසුනා මට මතකය.
බටලන්ද කන්ද, මතක ගොඩක එකතුවකි. එකල, අපි පාසල් ගිය ඉසුසු බී එෆ් 50 බසය ඔය කන්ද අද්දන්නේ දෙවන ගියරයේ ඉතා සෙමිනි. කන්ද මුදුනට වන්නට පාරේ වම්පසින් තරමක් පැරණි නිවසක රූමත් පාසල් ශිෂ්යාවක් වූවාය. අප ඒ නිවසට 'ගල් අම්බලම' කීවේ සැලලිහිණි සංදේශයේ කවියක් අනුව යමිනි. කොල්ලන් බසයේ පා පුවරුවේ සිට ඒ දෙස එබී බලති. 'ගල් අම්බලම දැක යාගන් සහතොසිනි'.
පෙර සටහනකද දැක්වූ පාසල් ශිෂ්ය සහ බස් ගැටුම් උග්රව පැමිණි සමයක, නොනවත්වා යාමට උත්සාහ කල දුරගමන් බසයක් නැවැත්වීමට ඉදිරියට පැන්න අපේ පන්තියේම සගයෙක් බසයේ ඉදිරි මුහුණතේ එල්ලී බටලන්ද කන්ද මුදුන දක්වාම රැගෙන ආ කතාවක්ද ඇත.
බටලන්ද කන්ද පල්ලමේ තරමක් මැදට වන්නට, කිරිඳි ඇල්ල හොඳින්ම ඇස්ගැටෙන මානයේ, දකුණු පසට පහලට ඇති මාවතක් වෙයි. එතනින් පහලට ගොස් රත්නපුර ඇඹිලිපිටිය පාරෙන්, රත්නපුර බලංගොඩ පාරට පිවිසිය හැකිය. තරමක් පටු බෑවුම් සහිත මාවතක් වන එය, ටික දුරකදී තැන්නකට පිවිස බත්ගංගොඩින් බලංගොඩ පාරට පිවිසෙයි. ඒ පාරේ නිල නාමය ධර්මපාල මාවත' වුවත්, අපි දන්නා නම 'ක්ලබ් රෝඩ්' ය. ඒ පාරේ කොතනක හෝ ක්ලබ් එකක් තිබුනාදැයි මා දන්නේ නැත. ක්ලබ් රෝඩ් එකේ මැදක් හරියක්වන්නට එකල හරි අඩක් නිමවා තනි පලයක් බා තිබූ නිවසක, පාසලේදී මට හමුවූ සමීපතම මිතුරෙක් වාසය කලේය. ඒ සුබේ ය.
සුබේගේ සම්පූර්ණ නම සුබසිංහ ආරච්චිගේ චමින්ද හේමන්ත සුබසිංහය. අපි ඌට හේමන්ත කියාත්, සුබේ කියාත් ඇමතුවෙමු. චමින්ද කියන නමට සුබේ කිසිසේත්ම කැමති නොවූයේ, වයසක අංකල්ලාට චමින්දත්, ඇන්ටිලාට චමිලාත් කියන සිරිත ඇරඹුනේ එකල්හි නිසාවෙන්ය. සුබේ, හයවසරේ සිට එකම පන්තියේ සිටියත්, මගේ සමීප මිතුරෙකු වන්නේ දහය වසරෙන් පසුව පමණය. මම,ජයනාත්, සුබේ සහ කණුගල මොකද්දෝ කාරණාවකට සාමාන්යපෙල පන්තියේදී ලඟම මිතුරන් වීමු. ඇතැම් විට, එකල වසරෙන් වසරට අහඹු ලෙස පන්තිවල සිසු සිසුවියන් කවලම් කල සිද්ධිය නිසාද වීමට පුලුවන.
සුබේ පංතියේ 'දිගදණ්ඩා' සමයේ. වමේ සිට තෙවැන්නා සුබේය. 7 හෝ 8 වසර විය යුතුය
සුබේ, පන්තියේ සිටි දෙවෙනියට උසම එකා මෙන්ම හැන්ඩියාය. ඝන තද කළු කොන්ඩය දෑඟිලිවලින්ම පිටුපසට පීරා නයිට් රයිඩර්ගේ කොණ්ඩය මෙන් සකසා තිබුණේය. තිස්සේම කොණ්ඩය පස්සටද පීරයි. පිටුපසින් හරහට නොකපා, කුකුල් පෙඳයක් වැනි කෙස් රොදක්ද වවාගෙන තිබුණේය. මට මතක පරිදි පංතියේ මුලින්ම රැවුල වැවුනේද උගේය. දිග කලිසමක් ඇද මුලින්ම දහයේ පන්තියට ආවේද ඌය. සාමාන්යෙන් ලෝම වැඩි සිරුරක් තිබුණ සුබේගේ මවිල් ගස්වලින් ඇදීම නිසා අපහසුතාවයට පත් වූ වාරද අනන්තය. වසරකට වරක් යන පාසල් අධ්යාපන චාරිකාවේදී නිල ඇඳුම් නීති රීති මඳක් ලිහිල්වන අවස්ථාවක සුබේ කිරි සුදු ඩෙනිම් කලිසමක් සහ ලුමිනස් ලේස් ඇති ඩෙක් ශූස් යුවලක් සොයා ඇඳ පැලඳගෙන ආවේය. බැනියම පෙනෙන තුනී කමිසයක් ඇඳගෙන විත් එයත් ගලවා දමා උඩුකය නිරුවතින් ඡායාරූප වලට මුහුණ දුන්නේය. නම හේමන්ත වුවත් වසන්තය කණින් අල්ලාගෙන ඇදගෙන හෝ ආවේය.
සුබේ සහ තස්ලිම් සීගිරිය මත. 1992 පාසල් අධ්යාපන චාරිකාවක් අතරතුරදී
උසින් මහතින් සමාන පිරිපුන් සිරුරක් තිබූ සුබේට පුදුමාකාර සංගීත පිස්සුවක් විය. කොයිවෙලේත් ඩ්රම්සෙට් ගැසීමට ඇති උනන්දුව නිසා නිතරම පන්තියේ මේසයට හෝ තට්ටු කරයි. බේස් ඩ්රම් සද්දය මතුකරගන්නේ අත්ලේ මුල කොටසින් 'ඩොහ් ඩොහ්' හඬින් මේසයට තට්ටු කිරීමෙනි. පන්තියේ ඇති බේස් වැඩිම බෙස්කුව සුබේ තමා සතුකර ගනී. මෙටලික්ස් හෝ නටරාජා කවකටු පෙට්ටියේ ඇති විහිත චතුරශ්ර දෙක සිම්බල් ය. දිගහැරගත් බෙදුම් කටුව හෝ කාබන් පෑන ඩ්රම්ස්ටික්ස් ය.තමන්ගේ කවකටු කෑලි වලට තට්ටු කරනගමන් අපේ කවකටු පෙට්ටි වලටද තට්ටු කිරීමද සොඳුරු වදයකි. මේ සුලු දෙයින් එකල ජනප්රියව තිබූ ගීතවල මූලික ඩ්රම් සෙට් සංගීතය ඉස්මතු කිරීම සුබේගේ සැබෑ දක්ෂතාවය විය. සුබේගේ නිවසේද එක්ස් රේ කොලවලින් සෑදු ඩ්රම් සෙට් එකක් වූ බව මට මතකය. අපි නාමල් උඩුගම, ප්රින්ස් උදය ප්රියන්ත ප්රියතම ගායකයන් වද්දී, සුබේගේ ප්රියතමයා වූයේ සන්ෆලවර් ගායක ආරම්භක කීබෝඩ් වාද්ය ශිල්පී අතුල අධිකාරීය. සුබේ කොපි කලේ අතුලගේ කොණ්ඩයයි. ඉහත කී කුකුල් පෙඳයක් වැනි කොණ්ඩ නැට්ටක් අතුල අධිකාරීටද තිබුණි.
'රොන් පොදක් වන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ
නිම්නයක් වෙන්නම් සුවදෙන කඳුපෙලක් මැද්දේ'
සුබේගේ මුවේ රැව් දුන් ගීතය විය. කැසට් උන්මාදය දරුණුවටම අප අතර පැතිරගිය යුගයක, මාමාගෙන් ඉල්ලා ගත් පරණ කැසට් පටයක්, ටැබ් දෙකට සෙලෝටේප් කෑලි ගසා මුහන්දිරම් බිල්ඩිමේ රෙකෝඩ් බාරයට දී මුලින්ම පටිගතකරන්නට ගී ලැයිස්තුව මට ලියා දුන්නේ සුබේය. ඒ අතර අතුලගේ 'රොන් පොදක් වෙන්නම්', ආත්මාගේ 'ලියතඹරා' සහ 'කඳු පාමුල', ශක්ති සංගීත කණ්ඩායමේ 'ශ්රියා මනමත් වී' සහ ප්රින්ස් උදය ප්රියන්තගේ 'ඔබ පෑ පෙම් සිනා' අඩංගු වූ බව මට එදා මෙන්ම අදත් මතකය.
අපේ නව නිවසට ගෙවැදුන දා 1995 වසරේදී. වමේ සිටින්නේ සුබේය.
සාමාන්ය පෙල සමයේ නිවාඩු මාසයට අපි නෑගම් යන්නෙමු. අවුරුදු නෑගම් විශේෂය. දැන් මෙන් ටියුෂන්මේනියාවක් නැති අපට අප්රේල්, අගෝස්තු සහ දෙසැම්බර් නිවාඩු වචනයේ පරිසමාප්තයෙන්ම 'නිවාඩු'මය. මගේ පලමු නෑගමන අද මෙන්ම මට මතකය. සුබේලාගේ ගෙදරට යන පාර කොපි පොත් කොලයක සිතියමක් ලෙස සටහන් කරගෙන සිටි මම පැල්මඩුල්ල දක්වා බසයෙන් ගොස්, එතැන්සිට බලංගොඩ පාර ඔස්සේ පයින්ම ගියෙමි. සුබේගේ අම්මා මට අම්මා කෙනෙකු මෙන් සලකයි. ඈකඩක් නිම කල නිවසේ කුස්සි උලුවස්සට හේත්තු වී යෙහෙලියක මෙන් අප සමඟ දොඩමලු වෙයි. උදේ තේ සහ දවල් බත් සප්පයාම් වනතුරු, සුබේගේ ලට්ට ලොට්ට ඩ්රම්සෙට් කාමරයේ කුටු කුටු ගාන අපි සවස් වරුවේ තවත් මිතුරෙකුගේ හෝ මිතුරියකගේ නිවසට ගොස්, පිරුණු සිතින් යුක්තව රෑ බෝවන විට අන්තිම බසයේ නිවසට ගියෙමු. සාමාන්ය පෙල සමත් වූ පසුව, එකිනෙකාගේ නිවෙස් වල දිවා ආහාර සාදය. තෑගි බෝග හුවමාරුය. එලෙස පැවති එක් සාදයකදී සුබේලා විශාල පෙට්ටියක බහා මැනවින් ඔතා තඩි සයිස් වට්ටක්කා ගෙඩියක්ද ඔසවාගෙන ආවේය.
My Dear Friend
සාමාන්ය පෙල, පාසල් ජීවිතයේ සුන්දරම කාලයයි. හා හා පුරා කියා විද්යා ප්රබන්ධ කලාවට මම අත ගැසුවේ ඒ කාලයේය. මගේ මුල්ම විද්යා ප්රබන්ධයේ ප්රධාන චරිතය වූවේද සුබේ ය. මොකද්දෝ හේතුවක් නිසා ඒ පොතේද සුබේගේ චරිතය අවසානයේදී මිය ගියේය.
සුබේ ලියන්නේ ඔරෙක්ස් කාබන් පෑනකිනි. ඔරෙක්ස් පෑනේ තුඩෙහි තැවරෙන කාබන්, පොත් පිටුවේ කොණක හෝ, ඩෙස්කයේ තැවරීම උගේ සිරිතයි. සුබේගේ අකුරු නම් ලස්සන නැත. කුරුමිණි අඬු කෑලි වගේය. විමලා ටීචර්ගේ ඉංග්රීසි පාඩමක oh dear කීමට සුබේට කවමදාවත් බැරි වූයේ ඒකා පරිපූර්ණව වාක්යය කියන්නට ගොස් ' ඔඩ්ඩියර්' කියවීම් නිසාය. මක්කල්ලාවත් ඌට ඒ වැරැද්ද හදාගන්නටම බැරි විය.
සුබේ උසස් පෙල පන්තියේදීද ගණිතයට අසමාන සමත්කම් පෑවේය. මුලින්ම ගණිත විෂය ධාරාවෙන් උසස් පෙල හදාරද්දී පලමු වාර විභාගයෙන් සුබේට විෂයන් හතරටම ඉහල ලකුනු ලැබිණි. ගණිත විෂයයන් දෙකටම සියයෙන් සියයම ලබාගත් බව මෑතකදී මතක් කලේ පාසල් මිතුරෙකි. පසුව සුබේ විද්යා විෂයන්ට යොමු විය. ඒ තීරණය නොගත්තා නම් යයි මට අදත් සිතේ.
සරසවි සුදුසුකම් නොලැබුවත්, පසු කාලීනව නිල්වලා විද්යා පීඨයට ඇතුලත්ව ගුරු පුහුණුව ලබන සමයේ බිඳුන පෙමකින් ඔත්පලව කොණ්ඩාමෝස්තරයේ සිටම වෙනස් මිනිසෙකු බවට පත් විය. සුදු ශර්ටය සහ සුදු බෙල් බොටම් ටයිප් කලිසමක් ඇඳ, පස්සට පීරූ කොණ්ඩය මැදින් බෙදා පීරා, සුබේ දවසක් මා හමුවන්නට ආවේය. මගේ පියා ගිලන්ව සිටි සමයේ විද්යා පීඨයක් පීඨයක් පාසා යමින්, පියා සැත්කම සඳහා ඉන්දියාවට රැගෙන යන්නට ආධාර මුදල් එක්රැස් කල මගේ හිතවතුන් අතරින් සුබේ අමතක කරන්නට බැරිය. ඇතැම් ප්රගතිගාමී ශිෂ්ය සංගම් මගේ අසරණව සිටි පියා වෙනුවෙන් මුද්රණය කල ටිකට් වලින් පවා මුදල් වංචා කරද්දී, සුබේ අන්තිම සතයට ගණුදෙනු බැංකුගතකර, ඒ දවස් වල මා පාවිච්චි කල ගඩොල් බාග සෙල්ටෙල් රින්ගෝ මොබයිලයට පේෆෝන් පෙට්ටියකින් අමතා ගිණුම් වාර්තා කියෙව්වේය. ඌ ගැන විශ්වාසය නිසා ඔව්වා ඕන්නෑ මචන් කීවත් 'උබ මේ ටික අහගෙන ඉඳපං. මා අතේ වැඩිය දෙකේ කාසි නෑ' කියයි. සුබේ එහෙම එකෙකි. රටක් වටින මිනිසෙකි.
සුබේගේ පලමු ගුරුපත්වීම සිය කැමැත්තෙන්ම වවුනියාවේ මායිම් ගම්මානයක අති දුෂ්කර පාසලකට ලබාගත්තේය. ඒ ව/ සිරිසුමන මහා විද්යාලයයි. ඒ පෙරිය උළුක්කුලමේ යුධගිණි ඇවිලෙන කලාපයේය. එහි ගණිතය හා විද්යාව උගන්වන අතරේම වන්නි වනපෙතේ සිසුන්ට පරිඝණක අධ්යාපනය ලබාදීමට ස්වාච්ඡාවෙන් කටයුතු කල සුබේ, එහෙන් මෙහෙන් හැකි පමණින් ලබාගත් කම්පියුටර් කොටස් එකලස් කර, පැල්මඩුල්ලේ සිට වවුනියාව දක්වාම මෝටර් බයිසිකලයෙන් රැගෙන ගිය ගිනි ගහන අව්වේ මාර්ග කපොලු, බාධක මැද්දේය.. ඇතැම් ගමනකදී හිසට ඉහලින් මෝටාර් පියාඹද්දී, මෝටර් බයිසිකලය ලන්දකට පෙරලා දමා වරුවක් සතා සරුපයා සමඟ බෝක්කුවක ලැග සිටි බව සුබේ මා හා පැවසුවේ සිනා සෙමින් ඉතා සැහැල්ලුවෙනි.
සුබේ ඉතිරි කරගත් මුදලකින් බෙලිහුල් ඔය ඇල පාරක් අයිනේ ඉඩමක් මිලදීගෙන තිබිනි. අප දෙදෙනා එක් දිනක් එහි ගියෙමු. සුබේට ඉදිකරන්නට උවමනා වූයේ සාමාන්ය නිවසක් නොවේ. සුබේගේ අතින්ම සටහන් කල අටපට්ටම් ජ්යාමිතික නිවසේ දල සැලැස්ම මේ සමඟ ඇත. කොටුවක් ඇද කාමර වලට බෙදීම නිවාස සැලසුම්කරනය යැයි සිතා සිටිනා සාමාන්ය මිනිසුන් වෙසෙන රටක, මේ වෙනස් සැලසුමම සුබේගේ වෙනස් චින්තන රටාව පෙන්වයි.
සුබේගේ නිවාස සැලසුම. වම් පහල කෙලවරේ කුරුමිණි අඬු අකුරෙන් එකල සේවය කල පාසලෙහි ලිපිනය ලියා ඇත.
සුබේ දැන් නැත. 2007 වසරේ, සිය තිස් වන උපන්දිනය පසුකර සතියක් ගිය තැන, පැල්මඩුල්ල බලංගොඩ පාරේ සිදුවූ මාරක අනතුරකින් සුබේ, තමන්ගේ ආදරණීය අම්මා, අපිට මවක්, යෙහෙලියක් වූ අම්මා සමඟ බන්ධනාගාර බසයක මුහුණට මුහුණ ගැටී එතැනම අවසන් ගමන් ගියේ ඔහු ආදරය කල මෝටර්බයිසිකලයෙන්මය. එදා දිමුතු දුරකථනයෙන් මට නරකම ආරංචියක් කියූ විට ඇති වූ ඒ කම්පනය මේ ලිපිය කුරුටුගාන මේ මොහොත දක්වාම දැනේ. සුබේගේ ලස්සන මුහුණ, පැතිලි වී තැලී පොඩිවී පොඩිපට්ට්ම වී අවලස්සන වූ නිසා මිනී පෙට්ටියේ හොවා තිබුණේ වේලයක් මෙන් තුනී දැල් කඩකින් වසාය. විජය කුමාරතුංග මහතාට වූ දෙය වැන්නක් සුබේටත් සිදු විය.ඒ මලගෙදරට වන්නියෙන් බස් ගනනක් පිරෙන්නට සෙනඟ ආවේ කුඩා කාලයක් වුව, ඒ අසරණ දරුවන්ට මගේ මිතුරා සැබෑ පියෙක්, සහෝදරයෙක්, මිත්රයෙක් වූ නිසාය. කල්දේරම් ගනන් බත් පිසුවත් ඉතිරි නොවන තරමට සෙනඟ ආගියහ. අප ඒ සෙනඟ නොමැති තැනක් බලා, වාහනයක ඩිකියක තබා ගෙන මදුවිත පිරුවෙමු. අපේ එවුන් බහුතරයක් දුකට බීවේ එදාය. නිකොටින් වලලු යට අපි අපේ එකා වෙනුවෙන් දුක් වුනෙමු.
අපි සුබේත්, අම්මාත් කරපිටින් ගෙනගොස් බත්ගංගොඩ කනත්තේ අප්රකට සොහොනක මිහිදන් කෙරුවෙමු. එක ලඟින් සිටි එකෙක්ගේ ප්රාණය මුසු මලකඳ ලෑලි පෙට්ටියක දමා පොලව යට වැලලීම එතරම් පහසු නැත. එහෙම එකක් අප බොහෝ දෙනෙකු අත් දුටුවේ එදා ඒ මූසල හැන්දෑවේ හවසය. 2007 අගෝස්තු 25 වන දිනය.
අප කැටුව යන සුබේගේ අවසන් ගමන. 2007 අගෝස්තු 25
සුබේ පිළිබඳ මතක, පසුගිය වසර දහහත තිස්සේ අමතක වූ දවසක් නැත. මිත්ර කතාබහක, සුබේ හිස නොපොවන එකම අවස්ථාවක් හෝ නැත. අපි ජීවිතයේ අර්ධ ශතකය ඔන්න මෙන්න සිටින තලතුනා වියේදී, සුබයා තවමත් අවුරුදු තිහක තරුණයෙකුව අපි නොදන්නා ලොවක වෙසෙයි. ලෝකයට වටිනා මිනිසෙකු නික්ම ගියාය යන රෙකමදෝරුව අමුවෙන්ම පවසන්නට තරම් අපි බොහෝ දෙනා මුහුකුරා ගොස් ඇත්තෙමු.
මම දන්නා කිසිවෙකුට අදවත් මෝටර්බයිසිකලයක් මිලදී ගන්නට, වචනයකින් හෝ අනුබල දෙන්නේ නැත. මටත්, අපේ සෙට් එකටත් දැනුන ඒ පපුව ඇයකින් සූරන්නාක් වැනි වූ ඒ වේදනාව කාටවත් අත් වෙනවාට මම කැමති නැත.
සාමාන්ය පෙල සමත්ව පැවති සාදයේදී සුබේ මට කුඩා ප්ලාස්ටර් ඔෆ් පැරිස් පලඟානක් තිලිණ කලේය. එහි රතු තැඹිලි පැහැති පසුබිමක රන්වන් පැහැයෙන් My Dear Friend ලෙස සටහන් කර තිබිණි. මගේ කාමරයේ බිත්තියේ එල්ලා තිබූ එය පසුකාලීනව ඉවත්කර නංගිලාගේ පොත් රාක්කයක තිබී හමුවී අම්මා මට නිවසට ගිය අවස්ථාවක දුන්නාය. මම එය හැකි පමණ පිරිසිදු කොට නැවත මහගෙදර මගේ කාමරයේ බිත්තියේ එල්ලීමි.
ගමට යන හැම මොහොතකම බටලන්ද කන්ද බැස පැල්මඩුල්ලට පිවිසෙන හැම විටම මම සුබේ ස්මරණය කරමි. ඒ මතකයත් කුට්ටාපිටිය කන්දේ පෙනී නොපෙනී යන කිරිඳි ඇල්ල මෙන් ය. ඇසට පෙනෙන අත පොවන මානයක සුබේ නැත. ඒත් ඒ මතක පොද කොහේ හෝ සිට සෞම්යව මගේ හුස්ම පොද පවතින තෙක් හමනු ඇත. අතීත මතක අවදිකරන ලිපි පෙලක සුබේ ගැන නොලිවීම පරිච්ඡේදයක් ගලවා දමා පොතක් ලියනවා වැනිය. මම එතරම් ගුණමකුවෙකු නොවෙමි. මේ ලිපිය ලියා වසර කීපයකි. පලකරම්දෝ නොකරම්දෝ සිත සිතා සිට අද මෙසේ බුකි ගත කරමි. කොතරම් ලීවත් සුබේ ගේ මතක පරිපූර්ණ ලෙස එක් තැන් කරන්නට මගේ වාග් කෝෂය හෝ මතකය සමත් නැත.
ඉන්න තැනක හොඳින් ඉඳපන් මචන්! ආය කවදහරි සෙට් වෙමු. එදාට අපි ආය උඹ ඩ්රම්ස් ගහනව බලන් ඉන්නම් මචෝ!!!
හිටියානම් සුබේට අදට අවුරුදු හතලිස් හතකි. අද උගේ උපන්දිනයයි.
Comments
Post a Comment