අනූ හයේ අපේ කතා, අටවන කොටස: වසන්ති මිස්



ගන්කන්ද මැදි විදුහලෙහි හයවන වසරට ඇතුලු වීමට පෙර, මා උගත්තේ ගමේ පාසල වන හිරමඩගම මෛත්රිය මහා විද්යාලයෙනි. පන්තියේ පලමුවැනියා හෝ දෙවෙනියා වෙමින් පාසලේ 'බ්රයිට් කේස්' එකක් වූ මම ගන්කන්දට ඇතුළු වන්නේ එකල පැවති ඇතුලත්වීමේ විභාගයෙන් නව වෙනියා වෙමිනි. ඒ වෙත්දී පහේ ශිෂ්යත්වයක් නොවීය, තිබුණේ හයේ ශිෂ්යත්වයයි.

ගන්කන්දයට අපේ පාසලින් එවර ඇතුල් වූයේ මම පමණි. කිහිප දෙනෙකු ඇතුලත්වීමේ විභාගයට පෙනී සිටියද, කිසිවෙකුත් සමත්ව සිටියේ නැත. ගන්කන්දයට ගිය පලමුවන දිනම පාළුව මා වෙලාගත්තේය. සමීප මිතුරන් කිසිවෙක් හෝ නොමැතිව,නන්නාදුනන මිනිසුන් පිරි බස් රියක තට්ට තනියම කිලෝමීටර් දහසයක් මඟ ගෙවා පාසල් යාමද ලේසි පාසු නොවීය. පාසලට ගිය පලමු දින, පැල්මඩුල්ල නගරයෙන් බැසගත් විට පාසල ඇත්තේ වම් පසද, දකුණු පසද යන්න සිතාගත නොහැකි විය. මම පාසල් ලමුන් පසුපස ගියෙමි. ඇතුලත්වීමේ විභාගයට සහ පාසලට බාර දීමට ආ දෙදවසේ මතකය ඔස්සේ ජාමේ බේරගතිමි. අපේ තාත්තා පිහිනීමට උගන්වන්නේ වතුරට තල්ලුකර,ජබු ගසා ගොඩ එන්නට සැලැස්වීමෙන් මිසක ක්රමාණුකූල පිහිණුම් පාඨමාලාවක් ඔස්සේ නොවේ!
ගන්කන්දයේ මුල් වාර විභාගයෙන් මට ලැබුනේ 18 වන ස්ථානයය. විෂයන් ගනනාවකට අඩු ලකුණු සහිතව, ඉංග්රීසි භාෂාවට සියයෙන් දහතුනක් වැනි අඩු ලකුණු සංඛ්යාවක් ලබා ප්රගතිවාර්තාව ගෙදර උස්සාගෙන යෑමට සිදුවීම, සිරීපාදේ යන කහපාට සමනලුන් බඩ හරහා රිංගා යන්නාක් මෙනි.
අපට හයවසරට ඉංග්රිසි ඉගැන්වූයේ කෙටි කෑමක නමක 'වන්තකමක්' සහිත කොන්ඩය පැසුණු, තලෙලු මුහුණක් සහ ගිරා හොට නාසයක් සහිත මහතෙකි. ඒ මහතා පන්තියට පැමිණ අපිට යමක් කුරුටු ගාන්නට සලස්වා ඉංග්රීසි පත්තරය මැද්දට රේස් කොලය තබාගෙන අස්සයෝ ගනියි. නූගැන්වූ පාඩමකින් ප්රශ්න අසා වැරදියට උත්තර දුන් විට ඇඟේ පතේ හිරි ඇරගන්නට මෙන් තඩිබායි. දවසක් එතුමා 'තමුසෙ උදේට කෑවේ මොනවාද?' යන ප්රශ්නය අපේ එකෙකුගෙන් ඇසුවේය. ඒකා ගත්කටටම ඉංග්රිසි ගුරුතුමාගේ වන්තකම කීවේය. අසූහාරදහට මලපැන්න ඉංග්රීසි ගුරුතුමා පන්තිය හරහා ගොස් අපේ එකාගේ කම්මුලටත්, කොන්දටත් පහර දීගෙන දීගෙන ගියේය. කරුමය නම් ඒකා සැබැවින්ම උදේට ගිලදමා තිබුනේ පාසලේ ගේට්ටුව අසල කඩයකින් මිලදී ගත් එනමැති කෙටි කෑම දෙකකි.
දෙවන වාර විභාගයේ මම පන්තියේ දහතුන්වෙනියා වීමි. එම වාර විභාගයටද අඩුම ලකුණු තිබුනේ ඉංගිරිසි බව මතක තිබුණත්, ඒ කීයක්දැයි මතක නැත. විස්සකට අඩු ගනනක් බව නම් අනිවාර්යය. ඒ වසර අවසානයේ පැවති ශිෂ්යත්ව විභාගයෙන්ද මම අසමත් වීමි. මම ලබාගෙන සිටියේ ලකුණු 118 ක් පමණි.
හතවසර පන්තියේදී මම නැමති කුඩා ලමයා සිටියේ පාසල් ජීවිතය එපාම එපා වූ මානසික මට්ටමකිනි. ශිෂ්යත්ව විභාගය අසමත්වීම නිසා ඇතිවූ ලැජ්ජාවට, 'නැවත කිසිදා කිසිදු විභාගයක් අසමත් නොවෙමි' යන ස්වයං ගිවිසුමක් මම, මා සමඟම ඇතිකරගෙන තිබුණි. නමුත් ඒ ගිවිසුම රකින්නේ කෙලෙසද යන්න මට නිනව් නොවීය. ඊට අමතරව කුඩා කල මම රෝගී, දුර්වල දරුවෙක් වීමි. එක අතකින් මට ඇදුම රෝගය විය.(තාත්තා ශිෂ්යත්ව ප්රතිඵල රැගෙන ආවේද ලෙඩ ඇඳේ සිටි මටය). කෙටේතැන්නේ සුප්රකට ගල් උලුවස්සේ වෙදමහත්මයාගේ පාවට්ටා පස් පංගුව උදැසනම බී, දවල්ට අනුපාන ලෙස සිරිතේක්කු+කටුවැල්බටු එකට තැම්බූ දියර කුඩා බෝතලයක් පාසල් රැගෙන යන මම දිවා විවේකයේදී එය ගිල දමන්නේ පන්තියේ ලමුන්ට හොරාය. පාවට්ටා පස් පංගුව බිව් විට එහි ඇති තිත්ත පැය ගනනක් දිවේ ඇලී පවතී. ඊට අමතරව මම නමක් ගමක් නොදන්නා කලන්තයක්ද විය. ඇතැම් දිනවල උදෑසන අවදිවන විට හිස එසැවීමට වීමට නොහැකි තරම් දරුණු ඔක්කාරයක් ඇතිවේ. හිස කොට්ටය මත හෝ තබාගත නොහැකි නිසා මම පැදුරක් එලා බිම හාන්සිව සිටිමි. වම් ඇලයට මිසක් දකුණු ඇලයට හැරෙන්නට බැරිය. එසේ කල විට වමනය යයි. එලියට පහලියට ගියත් එසේමය. ඒ දවස් වල කෑමටවත් මම හිස නො ඔසවමි. කඩයෙන් ගෙනා ග්ලූකෝස් කමින් දවසැරිය විට පසුවදා වන විට කිසිවක් නොවූවාක් මෙන් ඒ 'ජබර කලන්තය' සුව වේ. සියල්ල එකට කැලතී, තෝන්තුවෙන් පාසල් යාම පාවට්ටා වලටත් වඩා තිත්තය.

පාසල් බාලදක්ෂිකා උළෙලක කරප්ටි සහිත බන්දේසිය අතැතිව සිටින්නේ වසන්ති මිස් ය.

වසන්තා මල්වත්ත ගුරුතුමිය අපේ ඉංග්රිසි ගුරුතුමිය වන්නේ හත වසර අවසන් වාරයේ හෝ අට වසර මුල් වාරයේය. ඒ වන විට අප සිටියේ පාසලේ ප්රධාන ශාලාවේ ලෑලි වේදිකාවට පහලින් වූ පන්තියකය. ඇය සැවොම හැඳින්වූයේ 'වසන්ති මිස්' නමිනි. ඈ අතිශයින්ම රූමත් ය. උසින් මහතින් පිරිපුන් ය. යෞවනෝදය එලිපත්තේ සිටි කොලු ගැටයන් මුලින්ම දුටු රූමතිය වසන්ති මිස් ය. පලමු දිනයේම අප ඈ පිළිඹඳව කසු කුසු ගෑවේ, මීයට පිම්බාක් මෙන් නිශ්ෂබ්දව සිටි පලමු පාඩම නිමවී, ඇගේ සාරි පොට උලුවස්සෙන් පිටව යන්නටත් පෙරය. ඇගේ රූ සිරිය විස්තර කිරීමට මම මෙහිදී නොවෙහෙසෙමි. වසන්ති චතුරානියගේ රූපශ්රීයට හුරුකම් පෑ ඈ ඊටත් වඩා ලස්සන බව පමණක් කියමි. වසන්ති මිස්, කුමක් හෝ චිත්රපටයක සුළු චරිතයක් රඟ පෑ බව මම අසා ඇතත්, ඒ කුමක්දැයි නොදනිමි.
වසන්ති මිස්, ඇගේ රූසිරියෙන් පමණක් අපව වසඟ කලේ නැත. ඇගේ ඉංගිරිසි ඉගැන්වීම ඊටම නොදෙවෙනි විය. පෙර ඉංග්රිසි ගුරුතුමාගෙන් 'අයිසෙ', 'තමුසෙ' අසා තිබූ අපට ඇය ඇමතුවේ 'දුවේ', 'පුතේ' කියාය. කතා කරද්දී හිසත් අතගාන්නීය. ඉංගිරිසි භාෂාව ඉගැන්වීමට ඇය ක්රීඩාද යොදාගත්තාය. ඉන් එකක් වන්නේ පලමුවන පේලියේ ලමයාගේ කණට කොඳුරන රහස් වාක්යයක්, අන්තිම පේලියේ දකුණු පස ලමයා දක්වා එකිනෙකාගේ කණට කර රහස් ලෙසින් යැවීමයි. අන්තිම පේලියෙන් පිටවන්නේ මොකක් හෝ හාත්පසින්ම වෙනස් අපබ්රංශයකි. ඒ ක්රීඩාවේ පිරිමි ලමුන්ගේ පලමු පේලියේ වම්පස ලමයා බොහෝ වරක් මම වී ඇත්තෙමි. පතොක් පැල දළුලමින් තිබූ කතරක, ඈ ඒ පැල ක්රමයෙන් උදුරා රෝස මල් පැල සිටුවමින් සිටියාය. ඉංග්රීසි පාඩම අපේ ප්රියතම පාඩම බවට පත් විය.
වසන්ති මිස් හා මගේ සමීපස්ථ හිතවත්කම ඇතිවන්නේ මේ අතරවාරයේ අහම්බෙන් ය. දිනක් සුපුරුදු පරිදි අසනීපව මම ඩෙස්කුවේ හිස තබාගෙන සිටියෙමි. වසන්ති මිස් පන්තියට පැමිණ 'ගුඩ් මෝනින් චිල් රන්' කිය්ද්ද්දී හෝ මම හිස ඔසවා බැලුවේ නැත. ඇය පන්තියේ ඩෙස්කු පේලි අතරින් ගොස් 'මේ දරුවට මොකද?' යයි ඇසුවේය. 'එයාට ඔළුවේ කැක්කුමලු ටීච' කවුදෝ කීවේය. වසන්ති මිස් මේසය වූ මගේ පොත් මිටිය ගෙන එකින් එක පෙරලා බැලුවාය. 'පන්තියේ වැඩටත් එච්චර උනන්දුවක් නැති පාටයි නේද?' එහෙන් මෙහෙන් හිස්තැන් තියමින් මා ලියා තිබූ සටහන් පොත් පෙරලමින් ඇසුවාය. පාඩම අවසාන වී, කුමන හෝ මොහොතක ඈ මා සමඟ කතා කලේ පන්තියේදැයි, ස්ටාෆ් කාමරයේදැයි මතක නැත. ඈ මගේ අසනීප කතන්දරද, වෙනත් කතන්දරද අසා සිටියාය. ශිෂ්යත්වය ජීවිතයම නොවන බවත්, අසනීප සදාකාලික නොවන බවත්, මම ඉගෙනීමට හපන් දරුවෙක් බවත් ආදී ආත්ම විශ්වාසය මගේ කුඩා හදවතට පොම්ප කලේ ආදරයෙන් හිස අතගා වසන්ති මිස් ය. එදායින් පසු, උනන්දුවෙන් පාඩම් වැඩ කරන බව මම ඇයට පොරොන්දු උනෙමි. (මේ සංසිද්ධිය මගේ පලමු කෙටිලතා පොතේ එක් කතාවකටද වසන්ති මිස්ගේ නමද සමඟ යොදාගෙන ඇත්තෙමි. කියවා ඇත්තෝ දනිති) ඒ හැරෙන්නට අපේ ගෙදර අය හෝ අද දක්වා දන්නේ නැත. අම්මාට පසුව, මගේ කුඩා කල ජීවිතයට වඩාත්ම බලපෑම් එල්ලකල කාන්තාවක් වීනම් වසන්ති මිස් ය. ඇය විසුවේ පැල්මඩුල්ල බටලන්ද කන්ද පාමුලට වන්නට තරමක් ඉහලින් පිහිටි නිවසකය. එතැන් සිට පාසලට ඇති කිලෝමීටර් දෙකක දුරප්රමාණය මල් කුඩයක් ඉසලා, පොත් මිටියක්, ෆයිල් කවරයක් අතේත්, අත් බෑගය උරහිසේත් රඳවාගෙන ඈ පියවර මනිනු අපි උදේ හවහා දකින්නෙමු.
එදායින් පසු පන්තියේදී මම ඈට වූ පොරොන්දුව රකින්නට උත්සාහ කලෙමි. ඇය අපට ඉංග්රිසි ඉගැන්වූයේ දෙවසරක් පමන කාලයකි. ඉන් පසුව නෙවිල් රංජිත් සර්ද, විමලා පෙරේරා මිස් ද අපට ඉංග්රිසි භාෂාව ඉගැන්වුවෝය. ඔවුන් වසන්ති මිස් අස්වැද්දූ කෙත, මනාව රැකබලාගත්තෝය. මම පන්තියේ දක්ෂ ශිෂ්යයෙක් වීමී. අප බොහෝ දෙනා සාමාන්යපෙල ඉංග්රීසි භාෂාව සමත් වූවෝය. මම දහය සහ එකොලහ වසරට ඉංග්රිසි ටියුෂන් ගියත්, එයින් අමතරව ලැබුනේ විසල් පිටුවහලක් නොවේ.
ඉංග්රිසිය කුසලතාවක්, විෂයයක් නොව, භාෂාවක් පමණක් බව තර්කයක් ඇත. නමුත් ඉංග්රිසි නොමැතිව මෙලෝ දෙයක් කරන්නට බැරි තැනට අප තල්ලුවී සිටිමු. 1996 දී පාසලෙන් නික්මී, 1998 විශ්ව විද්යාලයට ඇතුල් වූ දිනයේ සිට අද දක්වා, මා උගත්තේ සහ සේවය කලේ ඉංග්රිසි භාෂාවෙනි. වෙනත් භාෂාවක් ඉගෙනීම සහ කථා කිරීම, සමාන්තර ලොවකට කවුලුවක් විවෘත වනවාක් වැනිය. එකල මම ලියූ කුඩා නවකතා පොත් දකින ඈ, ඉංග්රිසියෙන්ද ලියන්නැයි මට ආරාධනා කලාය. ඒ ඉල්ලීම මට කවමදාවත් ඉටුකිරීමට බැරි විය.
වසන්ති මිස් පාසලේ විනය භාර ආචාර්යවරිය ලෙසද, කාන්තා බලාදක්ෂ සහ කැඩෙට් කණ්ඩායම් බාරවද කටයුතු කලාය. නිවාසාන්තර ක්රීඩා උලෙලේ නිවාස භාර ආචාර්යවරියක්ද වූවාය. කුඩා ප්ලාස්ටික් බට කෝටුවකින් මාච් පාස්ට් හරියට නොයන කෙල්ලන්ගේ කකුල් වලට ඈ අත දිගහැර තැලූ බවද ප්රකට කරුණකි. ඈ ඒ කන්ඩායම් පාලනය කරනු බලාසිටීමට ආසා හිතේ.
කෙටිකලක් අසනීපව සිටි ඈ, 2004 (පසුව දැනගත් පරිදි 2004.6.21 දින) මියගියේ හදිසියේමය. වියෝවන්නට සමීප කාලයේදී, අපේ අම්මා රෝහලකදී හමුවී මගේ විස්තර ඇසූ බව අම්මා කීවාය. ඊට ටික දිනකට පසු ඇගේ මරණයේ පපුව රිදුම් දෙන පණිවුඩය ආවේය. ඈ මියගියේ කිරිඳි ඇල්ලේ දියනාන්නට ගොස් අසනීපය උත්සන්න වීමෙන්යැයි මම අසා ඇත්තෙමි. කොලඹ සිට දුර ගෙවා ඇගේ මරණ ගෙදර ගිය මම, ඇගේ මැලවී ගිය මුහුණ දෙස යාන්තම් බලා, දෙදණ බිම ඔබා වැන්දෙමි. ඇගේ සුන්දර මුහුණ පමණක් මතකයේ තබා ගතිමි. බටලන්ද කන්ද බසිද්දී මට මතක් වන්නේ සුබේ පමණක්ම නොවේ.

ගන්කන්ද ආදිසිසු සංගමයේ උපහාර උළෙලකදී මාලාදාමයකින් උපහාර ලද වසන්ති මිස්ගේ රුව

වසන්ති මිස් ගැන ලීවේ ගන්කන්දයේ අනෙකුත් ගුරුවරුන් නරකැයි කීමට නොවේ. ඔවුන්ගැනද වෙනම ලියමි. අදටත් ගන්කන්දයේ කොරිඩෝරයක් දිගේ යද්දී වසන්ති මිස් කොරිඩෝව දිගේ ඉදිරියට එනවා මට මැවී පෙනේ. එබැවින් ඇය ගැන පලමුව ලියන්නට සිතුවෙමි.
වසන්ති මිස් වැනි අය මිය යන්නේ නැතැයි මම අදහමි. ඇය මියගොස් ඇතයි මම නොසිතමි. ඇතැම්විට වෙනත් සමාන්තර මානයක ඈ පාසල් දරුවන්ගේ ඇස් පාදනවා විය හැකිය. එහි සිට අප දෙස බලා සතුටුවනවාද විය හැකිය. මේ පොලවට ඈ වැන්නන් බර නැත.
මවක් මෙන් අප වැඩූ ඈට භව ගමන කියා දෙයක් වේ නම් එය කෙටිම කෙටි, සුවදායී ගමනක්ම වේවා!
🙏

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්