ගොඩකවෙල පොල

නගරයක් සේ අපට මුලින්ම සමීප වූයේ ගොඩකවෙලයි. ' ගොඩ කල වෙල ' යන්නෙන් බිඳී ආවක් ලෙස සැලකෙන මේ නුවර , මගේ මතකයේ ආකාරයට අසූව දශකයේදී කඩ මණ්ඩියකට වඩා විසල් නොවීය. බිබිලේගම සිටියදී ලොකු නංගි ජන්ම ලාභය ලැබූ ගොඩකවෙල දිසා රෝහලත් , ගොඩකවෙල ලංගම ඩිපෝවත් අතර කොටස ගොඩකවෙල නගරය ලෙස සැලකේ. නමේ ලෙසටම එකල එහි පාර තනි මඩ ගොහොරුවකි. ඇඹිලිපිටිය ඩිපෝවේ උප ඩිපෝවක් වූ ගොඩකවෙල ඩිපෝව ඉදිරිපස මදක් වමට වන්නට කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය පිහිටියේය. මගේ මව දිගු කාලයක් වාණිජ්‍යය විෂය ඉගැන්වූයේ එහිය. අනිත් කෙලවරට මදක් කලින් , වම් පස ගොඩකවෙල පොල පිහිටා ඇත. ඒ පොලට ඉදිරිපස දකුණට වන්නට ඇති දොඹකොල ඔය බයිසිකලයකට පමණක් යා හැකි කුඩා පාලමකින් තරණය කල විට රාහුල මහා විද්‍යාලය මුණ ගැසේ. මගේ පියා කෙටි කාලයක් එහි විදුහල්පති වශයෙන් සේවය කලේය. ගොඩකවෙල , මගේ බොහෝ අත්දැකීම් පලමුව ලැබූ නගරයයි. මා මුලින්ම ටියුෂන් පංතියකට ගියේ එහිය. මුල්වරට මලගෙදරක ගියේ නගරයට සමබන්ධ කාරණාවකටය. මතක ඇති කාලයේ පලමු චායාරූපය ගත්තේත් , කලිසමක් මැසුවේත් , අසනීපයකට බේත් ගන්න ගියේත් ගොඩකවෙලටය. බයිසිකලයක් නිවසේ තිබූ කාලයේ එහි අමතර කොටස් සහ සුකු...