සම්පූර්ණ රැයක අසම්පූර්ණ කතාවක්

මහල් පහළවකින් යුතු ඒ නිවාසයේද පන්තිබේදයක් විය. පහතම නිවෙස් වල විසුයේ අතෙහි මිටෙහි යමක් ගැවසෙන හෝ දරුවන් ධනවත් වයසක ගැහැණු සහ පිරිමිය. අත්‍යාවශ්‍ය දෙයක් මිලදී ගැනීමටත්, වෛද්‍යවරයෙකු මුණ ගැසීමටත් හැර ඔවුහු නිවෙස් වලින් පිටතට නොගියහ. ඔවුන් මහල් නිවාස ආලින්දයේ රැඳෙමින් සතුටු සාමිච්චියේ යෙදුනහ, නිවෙස් වල අඩු පාඩු ගැන කාර්යාලයට ගොස් කණු කුණු ගෑහ. අතර මැදි නිවෙස්වල විසුවෝ දිනපතා සේවයටත්, සති අන්තයේ විනෝද චාරිකා, ප්‍රිය සම්භාෂණ ආදියටත් නිතරම බැහැරව සිටි ව්‍යාපාරික පන්තියේ සහ විධායක ශ්‍රේණියේ අය වූහ. ඔවුන්ට මහල් නිවාසය, පියඹා යද්දී වසා සිටින ගිමන් හරින අත්තක්ම පමණක් විය. ඉර පායද්දීම කැදලි වලින් පියඹා යන ඔවුන් ඇඳිරියත් සමඟ ආපසු එයි. වටපිටාව පිළිඹඳ වගවිභාගයක් නොමැත්තෝය. මතු මහල්වල වෙසෙන්නෝ සුපිරි පැලැන්තියේ ධනවතුන්ය. ඔවුනට නිවසට එන යන රැඳෙන වෙලාවන්ගේ නියමයක් නොමැත. මේම නිවෙස්නයට අමතරව, අන් තැනක නිවාසද විය. ඔවුහු, ඇතැම්විට මධුවිත සහ මිතුරන් සමඟද, අරුමැසි ලඳුන් සමඟද එහි ආවෝය, ගියෝය, හැසිරුණෝය.  මතුමහල් තලයේ අහසට සමීපව සුරංගනා ලොවක කල් යැවූහ. පන්ති බෙදයට ගැලපෙන වාහන, අංකිත වාහන අංගනයේ ගාල් වේ. මතු මහල් තලවල නිවැසියන්ගේ මර්සිඩීස්, බීඑම්ඩබ්ලිව්, මස්ටෑන්ග් ආදී වාහන සෝපානයට නුදුරිනි, පහල සහ මැදි මහල් වල ටොයෝටා, නිසාන්, මැස්ඩා ආදී වාහන සෝපානයට තරමක් දුරිනි.

පහතම සහ මැද මහල් වල බාහිර වායුසමීකරණ යන්ත්‍ර මත්තේ පරෙවියෝ කැදලි තැනූහ, ලැග සිටියහ, නද දුන්හ. කවුළු සිදුරු විවර තුලින් රාත්‍රියේ සහ සැන්දෑවේ මදුරුවන් රිංගා ආහ. මතු මහල් නිවෙස් තුලට ඔවුන් හොට දැමුවේ වත් නැත.

මේ මහල් නිවසේ දහතුන් වන මහලක් නොවීය. එම අංකයට හිමි මහල 'දොලහ ඒ' වශයෙන් නම් කර ඇත්තේ දහතුන අසුබ අංකයල් ලෙස ගැනුන නිසාවෙනි. මේ සම්ප්‍රදාය මහල් නිවාස වල ප්‍රකටය.   

මෙකී මහලේ, ද්විත්ව කාමර නිවහනක තනිකඩ පිරිමියෙකු පදිංචිව සිටියේය. අසල් වැසියන් සමඟ ඔහු පැවැත්වූයේ ඉතා සීමිත සබඳතාවයකි. ඇතුලටම හැරුණු මනසකින් යුත් හෙතෙම ධනවතෙකු බව, රිය අංගනයේ නිතරම පාහේ නවතා ඇති අවුඩි ඒෆෝ 'එස්ලයින්' වර්ගයේ රිය දෙස් දුන්නේය. සතියකට දෙකකට වරක් පමණක් ඉවතට යන ඔහු යෙදී සිටියේ කුමනාකාරයේ රැකියාවකද යන්න කිසිවෙක් දැන සිටියේ නැත. විටින් විට ඔසවාගෙන එන දිගැති කඩදාසි රෝල, චිත්‍ර හා රාමුකල සේයා රූ, කැමරා ආම්පන්න ආදිය නිසා ඔහු මාධ්‍ය හෝ කලාත්මක අංශයේ රැකියාවක් කරතැයි ඇතමෙක් සිතුවෝය. හමු වූ විට පානා මද සිනාවත්, හිස පහත් කිරීමත් හැරෙන්නට කතාවකට දිරිගන්වන ඉඟි කිසිවකුත් නොමැති නිසාවෙන් කිසිවෙකු ඔහුගේ තතු විත්ති විචාරන්නට එඩිතර වූයේද නැත.  ඇතැම් රැයෙක, ඉහලම පැලැන්තියේ අබිසරුලියක් හෝ පෙම්වතියක් ඔහු හා ආගිය බව දැන සිටියේ මහල් නිවාසයේ සීමිත පිරිසක් පමණි. අඳුර ගලන රැයක, මහල් නිවසේ ගෙඋයන් පරිශ්‍රයේ සිට ඉහල බලන අයෙක්ට තම නිවසේ සඳළුවට වී දුම් වැටියක් රස බලන ඔහු, ඇතැම් විට නෙත ගැටේ. අඳුරේ ඇති සඳළුවෙන් දුම්වැටියේ දීප්තිමත් ගිනි පුළිඟුව දිස්වන්නේ ඒ දෙස උනන්දුවෙන් බලන අයෙකුට, තිත්ත කරුවල රැයකදී පමණි.

***

කාලය ගෙවී ගොස් උදා වූ එවන් කරුවල රැයක, හෙතෙම සුපුරුදු පරිද්දෙන් සඳළුවට වී අඳුරට එබීගෙන සිටියේය.  උණුසුම් ඉහල අහසේ පාවෙන දූලි වලාවක් තරු කැටද තරමක් මුවහ කලේය. කොලඹ එළිය ප්‍රක්ශේපණය වූ දුඹුරු පැහැ ගත් අහසේ, තරු කැට කීපයක් සහ අටවකට බර සඳක් එල්ලී සිටියෙන්, තරමක දීප්තියක් එයින්ද අහසට එක් විය. නිශාචර වවුලෙකු දෙදෙනෙකු අහස් වියන හරහා ඔතෑනි ලෙස තටු සැළුවේය. අහසේත්, පොලවේත් නිශ්චලතාවය තුල ඔහු ගිලීගියාක් මෙනි. අතරින් පතර නිවසට ඇදෙන මෝටර් රියක හඬින් සහ ලාම්පු එළියෙන් ඇතැම්විට නිහඬතාවය බිඳී යයි. මෝටර් රියේ එළිය සහ එන්ජිම නිවී ගිය පසු නැවතත් නිශ්චලතාවය සහ අඳුර සියල්ල වෙලා ගනී.

හෝරාවකට පමණ පසු, සඳළුවේ සිටි අය නිවෙස කරා පියමැන්නේය. ආපසු හැරෙන්නට පෙර ඔහු මුදාහල සුසුම ඇසී, ගිල ගත්තේ නිසසල වා තලයයි. කිසිවෙකුත් නොමැති නිවස තුල වූ අඳුර පලවා හරිමින් විදුලි බුබුලක් දැල් වුන නිසාවෙන් ඔහුගේ රූපකාය පැහැදිලිව පෙනී ගියේය.

මැදිවයස් පෙනුමැති හෙතෙම, උස්ය, හීන්දෑරීය, ප්‍රසන්න පෙනුමැතිය. ඒසේ වුවද ඇස් වටා වූ කලු පැහැති ලපත්, ඒ තුල ගිලී ගියාක් වැනි වූ ඇසුත්, දුක්බර පෙනුමත් ඒ පසන් බව බොහෝ දුරට පලවා හරිමින් සිටියේය. මුහුණේ රැවුල බා ඇත්තේ අපිලිවෙලින් බව අතරින් පතර ඉතිරි වූ රැවුල් කොට සහ රේසරයකට කැපී, ලේ කබොල්ලකින් වැසී ඇති තුවාලයද කියා පෑවේය. මැදියම් රැයේ වුවද බැහැරකට යාමට මෙන් රැලි නොමැති අත් කොට කපු සුදු කමිසයකින් සහ ලිනන් කලිසමකින් හෙතෙම සැරසී සිටියේය. කෙටි පියවර තබමින් කල්පනාබරිතව තම කුඩා නිවසේ ප්‍රධාන දොරටුව කරා ගිය හෙතෙම, ක්ෂණයකින් ආපසු හැරී, නිවසේ සෑම අවකාශයකටම ඇස් යොමු කලේය. ප්‍රදාන දොර, අගුළු දමා ඇත්තේ වායුරෝධක වන පරිද්දෙන් ස්ටයිරෆෝම් පටි දොර රාමුව සහ දොර අතර සිහින් විවරයට ඔබ්බා ඒ ද වැසී යන පරිද්දෙන් ගනැති ගම් පටියක්ද ඇලවීමෙනි.

නිවසේ ප්‍රධාන දොරට දකුණු පසුන් වූයේ කුඩා මුළුතැන්ගෙය නොහොත් පැන්ට්‍රියයි. ආහර පිසීමෙන් පසු, භාජන සියල්ල මැනවින් සෝදා අසුරා ඇත. ශීතකරණයද, අපද්‍රව්‍ය දමන බඳුනද හිස්ය.

ප්‍රදාන දොරින් වම්පසට වූයේ බිත්ති මුදුනටම උසැති පොත් රාක්ක කිහිපයකින් සහ ලියන මේසයකින් සමන්විත පුස්තකාල කාමරයකිනි. මේසය මත එලා ඇති ගනැති කාඩ්බෝඩ් ඇතිරිල්ලේ වරින් වර අපිලිවෙලට තින්ත තැවරුණු ලක්ෂණ විය. පුස්තකාල රාක්ක වල තරින් පතර, පොත් මිටි පිටින් හිස්ය; ඒ තැන් වල පොත් වූ බවට දෙස් දෙන සිහින් දුහුවිල්ලේහි වූ සලකුණු වුව පෙනෙන්නේ විමසිල්ලෙන් ඒ දෙස බලන අයෙකුටය. මේසය මත, එක පෙලට ඇසිරූ ලියුම් කවර තුනක් විය. ඒ අඟල් සතර සහ නවය ප්‍රමාණයේ සුදු පැහැති දිගැටි හැඩයේ කවරය. ඒවායින් දෙකක්, ඔහුගේ නීතිඥයාට යොමු කර ඇති අතර, එකක් අප නොදන්නා ගැහැණියකටය.

පුස්තකාල කාමරයට මායිම්ව නිදන කාමරයකි. එහි වූ විසල් සයනය මත ඇතිරිලි එලා එකදු රැල්ලක් හෝ නොමැති වන පරිද්දෙන් පිරිමැද මැනවින් සකසා ඇත. ගෘහභාන්ඩ අඩු කාමරයේ මුල්ලක තබා තිබූ යකඩ සේප්පුව හැර අනෙකුත් සියල්ල තේක්කය. සේප්පුවේ දොරද හැර දමා ඇත්තේ එතුල ඇති හිස් බව පිටත ලෝකයට විදහා පෑමට මෙනි. කතානායකයා සේප්පුව දෙස හෙළුවේ එක් බැල්මකි. ඔහු, සේප්පුවට යාබදව බිත්තියට හේත්තු කර තිබූ අල්මාරියේ ලාච්චු එකක් නෑර ඇර බැලුවේය. ඒවාද සියල්ල හිස්ය. අඩක් වාශ්ප වී ගිය කපුරු බෝල පෙලක්, 'කර කර' හඬින් ලාච්චු පත්ලේ ලෑල්ල දිගේ ඉදිරියටත්, පසු පසටත් පෙරලී ගියේය. ඒ ලාච්චු පෙලෙහි වූයේ, අගුළු දැමිය හැකි එකම එක ලාච්චුවකි. එම ලාච්චුව අසල දණ නමා ගත් හෙතම, සෝකයෙන් මෙන් ඒ දෙස මඳ වේලාවක් අනිමිසලෝචනයක යෙදුනේය.

ඒ ලාච්චුව තුල වූ කතානායකයාගේ අතීත මතකයන් රැසක්, මීට ටික දිනකට පෙර, ඔහු විසින්ම පිටස්තර ස්තානයකදී පුළුස්සා දැමූ බව දැන සිටියේ ඔහුම පමණි. ලාච්චුව හිස් වුවත්, ඔහුගේ සිතිවිලි තවමත් ලාච්චුවේ වූ දේ පිළිඹඳ මතකයන්ගෙන් පිරී පැවතුණි.

පිටස්තරයෙකුට කිසිඳු වටිනාකමක් නොදැනෙන, එකිනෙකට සම්බන්ද නැති, ඇතැම් විට විසුළු සහගත ලට්ට ලොට්ට රැසක්ම ඒ ලාච්චුව තුල විය. ඉපැරණි පෙම්පත්, උපන්දින සුබ පැතුම්, සැමරුම් පොත් පත්, කල් ඉකුත් වී ගිය කොන්ඩම පෙට්ටි, කාගේදෝ කෙස් රොදක් දැමූ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බඳුනක්, සහ ටොපි චොකලට් දවටන මිටියක්ද ඒ තුල විය.

ඒ සියල්ලත්, එතුල වූ වටිනා මතක එක්කල පෙන්ඩ්‍රයිවයද, ගින්නේ දැවී, උණු වී, ඇඹරී යන ආකාරය දෙස දින කිහිපයකට පෙර බලා සිටි අයුරු ඔහු සිහියට නඟා ගත්තේ අපමණ සො වකිනි.

හිස් ලාච්චුවද වසා අගුලද දැමූ හෙතෙම, සෙමින් නිවසේ සාලය වෙත පියමැන්නේය. සාලයේ බිත්තියක, තෙල් සායමෙන් නිමවූ ග්‍රෙස් කෙලීගේ සිතුවමක් විය. හෙතෙම එදෙස මද වේලාවක් බලා සිටියේය. තෙල් සායමේ නොගැඹුරු රැළිති ඇඟිලි තුඩින් ස්පර්ෂ කර ද බැලීය.

සාලයේ වූ මේසය මත කට ලඟටම දිය පිරවූ වීදුරුවක්, වීදුරු දිය ජොග්ගුවක් සහ කුඩා ප්ලාස්ටික් කෝප්පයක දැමූ පෙති අහුරක් විය. ප්ලාස්ස්ටික් කෝප්පයේ වූයේ ඕනෑම ඖෂධ වෙලඳසැලකින් ඉතා පහසුවෙන් මිලදී ගත හැකි, ප්‍රකට සන්සුන්කාරක හිස්ටැමින පෙති තිහකි. හෙතෙම සුසුමක් හෙලා මේසයය මුහුණ ලා වූ පුටුවක වාඩි ගත්තේය. පෙති අඩංගු කෝප්පය අතට ගත්තේය, මුවට ලංකලේය. මඳක් පැකිලී එය ආපසු මේසය මත තබා කල්පනාවක නිමග්න විය.

***

නාගරිකව මහල් නිවාසයක විසුවද, ඔහුගේ අක්මුල් විහිදී ඇත්තේ ග්‍රාමීයවය. කුරුණෑගලට සමීපව සුවිසල් පොල් වත්තක තැනූ නිවසක ලමාකල විසූ ඔහු, වටපිටාවටම ඇරුණු කණ් ඇතිව සිටියේය. ඒ පොල් වත්තේ එක කෙලවරකට මායිම්ව, නිවසට මයිල බාගයක් පමණ දුරින් සොහොන් බිමකි. සොහොන් පිටිය නිවසට පෙනෙන්නේ යන්තමිනි. ඊටත් ඔබ්බෙන් දිය පිරුණු වැවක් තරමටම ලොකු කඩිත්තකි. සොහොන් පිටියට යන මාවත පිහිටා ඇත්තේ පොල් වත්ත වටා අඩකටත් වඩා ඇදී යන පරිද්දෙනි. ඇතැම් මලානික සැන්දෑවක, දෙනක් පෙරටුකරගත් නඩයක්, විලාප තබමින් හෝ නොමැතිව ඒ පාරේ යනු ඔහු බලාසිටියේය. ටික වේලාවකින් පාංගුකූලය දෙන ස්වාමීන් වහන්සේගේ නිවුණු, ශෝකාකූල හඬ සුළඟේ දැවටී, නැගෙමින් බසිමින් ඇසෙන්නට පටන් ගනී.

"යථාවාරී වහා පූරා - පරිපූරන්ති සාගරං, ඒව මේව ඉතෝදින්නං - පේතානං උපකප්පතී....."

ඒ ශෝකී රාවයත්, ගුණානුස්මරණ කතාත් අවසානයේ පිරිස හාවක් හූවක් නොමැතිවම විසිර යති. ආදාහනයක් නම්, චිතකයෙන් නඟින ගිණි සළු, දියෙහි පරාවර්තනය වී ඈත අහසේ දිස්න දෙමින් සැලේ. දර කොට පුපුරණ 'චට පට' හඬද අදුර විනිවිද විටින් විට ඇසේ.

‍යථාවාරී වහාපූරා ආදී ශෝකී ස්වරය, මේ දැනුත් කොහේ හෝ සිට ඇසෙන්නාක් මෙන් ඔහුට දැනුණි.  ඒ හඬට වශීකෘතව ඔහු එය එන දිසාව සොයා සඳළුව දෙසට නොදැනුවත්වම මෙන් පාවී ගියේය.

***

මුහුණෙහි ලේ උරා බිව් මදුරු බෝලයක් චප්ප වන්නට පහරක් ගැසූ මහල් නිවසේ පිවිසුම අසල සිටි ආරක්ෂක නිලධාරියා සිටියේ නින්දත්, නොනින්දත් අතරය. ඒ ඇසිල්ලකින් බරැති පොදියක් 'දහ්' හඬින් ඉහල සිට බිමට ඇදවැටෙන හඬ ඔහුට නොඇසුනා නොවේ. එහෙත් ඒ පිළිඹඳව විමසීමට තරම් පියෙවි සිහියක් හෝ උනන්දුවක් ඔහු කෙරෙහි නොවීය.

රසික වික්‍රමනායක

2022.1.6

Comments

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!