වකුගඩු රෝගියාගේ බිරිඳ
ඉර අවරට හැරී හෝරා දෙක තුනකි ගෙවී ඇත්තේ. ජයවර්ධනපුර මහ රෝහලේ සිට , ඇඹුල්දෙණිය හන්දිය දක්වා දිවෙන මාවතට යාන්තමින් හෝ ඉසිඹුවක් ලැබෙන්නේ මේ වේලාවට පමණි. උදෑසන හිමිදිරියේ සිට සවස දෙක පමණ වන තුරු , රෝගීන් මුණගැසීමට සහ සායන වලට එන්නන් පාර පුරා සිටිති. සැන්දෑවේ හතරහමාරේ සිට රාත්‍රී හත දක්වා පමණද තත්වය එසේමය. මාර්තු මාසයේ අවසාන සතියේ ගිණියම් ඉර බෝලයේ උණුහුමට , පාරේ තාර උණුවී සිහින් වාශ්පයක් ඉහලට නඟයි. මාවත දෙපස ඇති බැරල්බාග කුණු බාල්දි අවුස්සා කන කාක්කන්ද ගෝෂාව නැඟූයේ තරමක් අඩුවෙනි. රෝහල් ගේට්ටුවේ මුරට සිටි සිකියුරිටි තැන පුටුවේ අල්ප දයනන්නක් සේ වකුටු වී ගොරොද්දේ අදියි. ඔහුගේ එක් අතක් පපුව හරහා පොරවාගෙන ඇති අතර , අනෙක් අත පහලට වැටී නිදහසේ එල්ලෙන්නේ බිම ගෑවී නොගෑවී ය. මාවතේ දකුණු පසෙහි ඇති ෆාමසි පෙලෙහි කැෂියර් යුවතියෝ එක් තැනකට එක්ව , කිචි බිචි ගාමින් සිය දවල් කෑම පාර්සල් දිගහැරගෙන කති. වම්පස ඇති බත් සහ කෑම කඩ පෙලද සන්සුන්ය. මේ වේලාවට කෑමට යමෙක් එන්නේ කලාතුරකිනි. බත් ඉතිරිව ඇත්තේද කඩ කිහිපයකය. කෑම වේලාවට රොද බැඳගෙන කැරකෙන මැස්සෝද පිරිසිදුකල මේස වල වාඩි වී ගිමන් හරිති. අරක්කැමියෝ සහ වේටර කොලුවෝ ර