වකුගඩු රෝගියාගේ බිරිඳ
ඉර අවරට හැරී හෝරා දෙක තුනකි ගෙවී ඇත්තේ. ජයවර්ධනපුර මහ රෝහලේ සිට, ඇඹුල්දෙණිය හන්දිය දක්වා දිවෙන මාවතට යාන්තමින් හෝ ඉසිඹුවක් ලැබෙන්නේ මේ වේලාවට පමණි. උදෑසන හිමිදිරියේ සිට සවස දෙක පමණ වන තුරු, රෝගීන් මුණගැසීමට සහ සායන වලට එන්නන් පාර පුරා සිටිති. සැන්දෑවේ හතරහමාරේ සිට රාත්‍රී හත දක්වා පමණද තත්වය එසේමය. මාර්තු මාසයේ අවසාන සතියේ ගිණියම් ඉර බෝලයේ උණුහුමට, පාරේ තාර උණුවී සිහින් වාශ්පයක් ඉහලට නඟයි. මාවත දෙපස ඇති බැරල්බාග කුණු බාල්දි අවුස්සා කන කාක්කන්ද ගෝෂාව නැඟූයේ තරමක් අඩුවෙනි. රෝහල් ගේට්ටුවේ මුරට සිටි සිකියුරිටි තැන පුටුවේ අල්ප දයනන්නක් සේ වකුටු වී ගොරොද්දේ අදියි. ඔහුගේ එක් අතක් පපුව හරහා පොරවාගෙන ඇති අතර, අනෙක් අත පහලට වැටී නිදහසේ එල්ලෙන්නේ බිම ගෑවී නොගෑවී ය. මාවතේ දකුණු පසෙහි ඇති ෆාමසි පෙලෙහි කැෂියර් යුවතියෝ එක් තැනකට එක්ව, කිචි බිචි ගාමින් සිය දවල් කෑම පාර්සල් දිගහැරගෙන කති. වම්පස ඇති බත් සහ කෑම කඩ පෙලද සන්සුන්ය. මේ වේලාවට කෑමට යමෙක් එන්නේ කලාතුරකිනි. බත් ඉතිරිව ඇත්තේද කඩ කිහිපයකය. කෑම වේලාවට රොද බැඳගෙන කැරකෙන මැස්සෝද පිරිසිදුකල මේස වල වාඩි වී ගිමන් හරිති. අරක්කැමියෝ සහ වේටර කොලුවෝ රාත්‍රී කෑම පිසීමට පෙර ලැබෙන කෙටි කාලයේ පුටු කිහිපයක් එක පෙලට තබා සකසාගත් තාවකාලික යහන් වල සැතපී සිටිති. අයකැමිවරු මුදල් ගනිති.
කුසුමලතා, හතේ වාට්ටුවෙන් පිටවී රෝහල් ගේට්ටුවෙන්
පිටතට ආවාය. ඈ එන දුටු සිකියුරිටි තැන අසුනේ හරි බරි ගැසී ඈ වෙත වලත්ත සිනහවක්
පෑවාය. කුසුමලතා සැරසී සිටියේ නිල්පැහැති ඩෙනිම් සායකින් සහ කළු පැහැති
ටීශර්ටයකිනි. ඇගේ උරයේ තරමක් ලොකු රෙදි මල්ලක් ද, අතෙහි කුඩයක් සහ ගඩොල්බාග සෙල්ෆෝනයක් ද විය.
ගිනි ගහන අවුව උනත්, ඇය කුඩය
ඉසලාගෙන සිටියේ නැත. ඇය කොහේ හෝ හද්දා පිටිසර ගමක බව, කොලඹ කාක්කන්ට එක බැල්මෙන්ම වැටහේ.
තිස්වියැති යුවතියකගේ මනරම් රූපස්වභාවය ඇගේ වත සහ සිරුර පුරා දිස් වුවත්, ඇගේ ඇස් වටා නිදිවැරූ
කළු ලපය; කොණ්ඩය අවුල්ය;ගමන බිමන කඩිමුඩියේය.
රත්නපාල මුදලාලිගේ බත් කඩය ඇත්තේ බත්කඩ
පෙලෙහි මැද්දෑවට වන්නටය. ඒ ගොඩනැඟිල්ලේ ඉහල මාලයේ බත් කඩය ඇති අතර පහල මාලයේ
කුස්සියක්, ගබඩා කාමරයක්
සහ මුදලාලි සහ ගෝලයෝ නිදන කාමර ඇත.පහත මාලයේ එක් පසෙක වාහන ගාල් කිරීමට තරම් අමතර
ඉඩක් ඇති බැවින්, කාර්ය බහුල
වේලාවේ රෝගීන් බැලීමට එන අමුත්තන්ට එම ඉඩෙහි රත වාහන ගාල් කරන්නට ඉඩ දී මුදලාලි
අමතර ආදායමක්ද සරි කර ගනී. ඉහල සහ පහල මහල් වශයෙන් හැඳින්වුවද, ඉහල මහල ඇත්තේ පාරට
සමාන්තරව එම මට්ටමේමය. ඒ, මහ පාර
ගොඩැල්ලක් සේ නැඟී සිටින හෙයිනි. පහහ මහල බෑවුමක මුවාවේ ඇති බැවින් කඩය පෙනුමට
පුංචිය.
රත්නපාල මුදලාලි අනුරාධපුර පලාතේය. කඩයක ගෝල
කමට පුංචි සන්දියේ කොලඹ ආ පසු ආපසු ගොස් නැත. දැන් පනහකි. මැදි
වියේය, තනිකඩය, හැඩිදැඩිය, තට්ට හිසය, බුරුසු උඩු රැවුලය. ජනප්‍රිය පයිප්ප වෙලඳ
දැන්වීමක මුදලාලි වාගේය.
කුසුමලතා කඩිමුඩියේම ගොඩවැදුනේ රත්නපාල
මුදලාලිගේ කඩයටය. කඩය තුල ඒ වෙලාවේ සිටියේ මුදලාලි පමණකි. බත් රාක්කද, හොදි රාක්කද හිස්ය. කුසුමලතාගේ ආගමනය
බලාපොරොත්තුවෙන් සිටි රත්නපාල මුදලාලිගේ මුහුණ, තෙලට දැමූ අමු පරිප්පු වඩයක් මෙන් පිපී
ආවේය.
"කුසුමලතෝ"
මුදලාලි ගනිමින් සිටි කාසි කන්ද බොල් හඬින් ලාච්චුවට අතහැර නැඟිට ආවේ කැෂියර්
කූඩුව ප්ලාස්ටික් පිඟානකින් වසා තිබූ බත්පතක්ද අතැතිවය.
කන්දට කොත ගසා ඇති බත් පිඟානේ කහ බත්, රෝස්ට් කල කුකුල් කකුලක්, බිත්තරයක් සහ ව්‍යාංජන කිහිපයක්ද විය. සෝදා, මේසයට නවා ඇති ප්ලාස්ටික් පුටුවක් ඇදගෙන
වාඩිවූ කුසුමලතා ඉදිරියේ බත්කන්ද දෝතින්ම පිහිටවූ මුදලාලි අඩියට දෙකට පයිප්පය අසලට
පැන වතුර වීදුරුවක් සහ ජොග්ගුවක්ද ගෙන ආවේය. ඒ වන විටත්, කුසුමලතා අත නොසෝදාම කෑමපතට අතගසා සිටියේ
අධික කුසගින්දර නිසාමය. උගුර වියලී අති
ඇයට බත් කට පිටි උගුරේ ගොස් කැස්සක්ද ඇති විය.
"හිමිහිට කාපන්
කුසුමලතෝ" මුදලාලි කීවේ කාරුණික හඬකිනි.
කුසුමලතා, මඳක් තැන්පත්ව
වතුර උගුරක්ද බී ආහාර ගැනීමට පටන් ගත්තාය.
*****
මෑතදී විවාහ වූ කුසුමලතාගේ ඒ සතුට වැඩිකල්
නොපැවතියේ ඇගේ අතගත් මහානාම වකුගඩු රෝගයකින් ඔත්පල වීම නිසාය. යස අපූරුවට සිටි
මහානාම රෝගීව, හුස්ම හිරවී ඇද වැටුනේ අහසින්
හෙණපාත්වෙන්නාක් වැනි වේගයකිනි. මොණරාගල මහ රෝහලට ඇතුලත් කෙරුණු මහානාම නැවත නිවසට ආවේ බෙල්ල
විද බටයක් දැමූ දුර්වල රෝගියෙකු ලෙසිනි. මොණරාගල රෝහලේ යන්ත්‍ර මඟින් ලේ පිරිසිදු
කෙරෙන්නේ සීමිතවය. මහානාමගේ රෝගයද බලා සිටිද්දීම උත්සන්න වන්නේ ඔහු වැඩක් පලක්
කරගන්නට නොහැකි තරමටම ඔත්පලද කරමිනි.
මොණරාගල මහරෝහලින් වැඩිමනත් දියුණුවක්
නොමැති තැන, මහානාම කොලඹ මහරෝහලට
කැඳවාගෙන ආවේද කුසුමලතාය. ඒත් ඒ රෝහලේ එම කාරිය අපහසු වූයේ, ඉඳුම් හිටුම් ආදී නොයෙකුත් ගැටළු නිසාය.
ජයවර්ධනපුර මහ රෝහල, නාමික වශයෙන් මුදල්
අයකලත්, කුසුමලතා
ඒ කරා
යොමුවන්නේ ඇගේ එකම සොහොයුරා එම රෝහලේ පවිත්‍රතා සේවකයෙකු වීම නිසාමය. තලපත්පිටියේ, රෝහලේ සිට පයින් යා හැකි දුරක අතුරුපාරක
පිහිටි තනිකඩ ඔහුගේ කුඩා ලෑලි නිවස්නය, කුසුමලතාටත්
මහනාමටත් පිහිට විය. මහානාමගේ කාලය වැඩිපුර ගෙවෙන්නේ රෝහල් ඇඳ මතය.
වෛද්‍ය නිගමනය අනුව, මහානාමට වකුගඩුවක් බද්ධ කල යුතු වුවත්, ඒ සඳහා සුදුසු ශාරීරික මට්ටමක් ඔහුට නොවීය.
අතිශය දුර්වල හදවතකින් යුක්තව සිටි ඔහු, සතියකට දෙවරක්
යන්ත්‍රානුසාරයෙන් සිදුවන රුදිර පිරිසිදුවෙන් දිවි ගැටගසා ගත්තේය.
රුධිරය පිරිසිදු කිරීම නොමිලයේ සිදුවුවත්, ඒ සඳහා අවශ්‍ය කෘතිම පෙරණය සහ නල කට්ටලය
පුංචි බොරැල්ලේ බෝධිය අසල ස්තානයකින් රුපියක් හාරදහස් පන්සීයක් ගෙවා මිලදීගෙන
ගෙනැවිත් දිය යුතුය. සතියක වියදම නවදහසකි. මසකට තිස් දහසකි. අනෙකුත් වියහියදම් සමඟ
මසක වියදම පනස් දහසක් පමණ වේ. කුසුමලතා සහ මහානාමගේ මොණරාගල පිහිටි නිවස උකසට තබා
ලබාගත් මුදල් ක්ෂය වී ගොස් මේ වන විට බොහෝ කලකි.
මහානාමට රෝහලේදී වැසිකිලි කැසිකිලි යාමට පවා
අපහසුය. කුසුමලතා, රෝගීන් බලන වේලාවට
රෝහලට ගොස්, බෙහෙවින්ම කෘෂව සිටින
මහානාම කුඩා දරුවෙකු මෙන් ඔසවාගෙන ගොස්, නහවා කවා පොවා
ඇප උපස්තාන කරයි. කුසුමලතාගේ සොහොයුරාද පිහිට වෙයි. රෝහල් සේවකයෝද ඔහු නිසාම
හිතවත්ය. එදිනෙදා මෙලෙස කාලය ගෙවාදමනු
ඇරෙන්නට, ඒ යුවලට අනාගත අපේක්ෂා
කිසිවක් ඉතිරිව නොතිබිණි.
*****
කුසුමලතා නිහඬව බත් කෑවේය. කැෂියර් කූඩුවට
වී යටැසින් ඇය දෙස බලමින් මුදල් නැවත ගනිමින් සිටියේය. ඒ වැඩය ඉවරකර කුසුමලතා අසලට
ඇදුන ඔහු එක් අතකින් කුසුමලතාගේ හිස පිරිමදින්නට පටන් ගත්තේය. කුසුමලතා වට පිට
බැලුවේ, කිසිවෙකුත් ඔවුන් දෙස
බලාසිටීදැයි දෙගිඩියාවෙනි. කිසිවෙකුත් නොමැත. ඇය දෙස බලන්නට, පිහිටවන්නට කිසිවෙකුත් නැත.
"කුසුමලතෝ"
මුදලාලිගේ අත කුසුමලතාගේ දහඩිය සහ දුහුවිලි
පිරුණු මුහුණ ඔස්සේ පල්ලම් බැස ඇගේ උරහිසටත්, එතනින් වම්
පියවුරටත් ලඟා විය. ගිනිගහන අව්වේ මුදලාලිගේ රාහ ගින්නද ඇවිලේ.
"හවස් වෙනකම්
ඉන්නකො මුදලාලි" කුසුමලතා ඒසේ කීවේ මද හෝ අමනාපයක් නොමැති හඬකිනි. මුදලාලි
අමනාපකරගත නොහැක.
*****
නිවස උකස් කර ලබාගත් මුදල්, මහානමගේ වියහියදම් හමුවේ වියැකී ගියේ මුවෙහි
ලාගත් බොම්බැයි මොටැයි අහුරක් මෙනි. ඒ මුදල් අහවර වී දන්නා කියන යගෙන් ණය තුරුස්ද
වී හමාර වූ පසු, ආදාරපත්‍රයක් සකසා ගත්
කුසුමලතා ගෙයින් ගෙය, දොරින් දොර ගියාය.
අවසානයේ ඇය පන්නා දමන තරමට රටවැසියෝ කුරිරු වූහ. රෝහල අවට මංමාවත් වල ආදාර පත්‍ර
යනු පාරේ වැලි කැට මෙන් සුලභ දෙයකි.
කුසුමලතාට රත්නපාල මුදලාලි 'පිහිට' වන්නේ ඒ
අනුවය. ඒ පිහිටට ගෙවිය යුතු කුලිය ශරීර මාංශය. සතියේ දින තුනහතරක්ම ඇගේ පහස උරා
බිව් මුදලාලි,අතමිට ගැවසෙන මුදලින්
රුපියල් දස දහසක් ඇයට සතිපතා ගෙව්වාය.
කුසුමලතාගේ සහෝදරයාටද මේ හුටපටය අමුතු
කරුණක් නොවීය.
"උඹේ අසරණකම මම
නොදන්නවා නෙවෙයි අක්කෙ. මගෙ රස්සාව බේරල ඕනි දෙයක් කරපන්"
ඔහු කීවේ සහෝදරිය කෙරේ ඇති ශෝකය මුසු
කණගාටුව ප්‍රකට කරමිනි.
උදේ දවල් හවස රෝගියෙකු සමඟ ඔට්ටු අල්ලා
රෝහලේදී තැලී පොඩිවන ඇය,
රාත්‍රී බොහෝ
ගනනක මුදලාලිගේ බරසාර සිරුරෙන්ද තැලී පොඩිවේ. පිලිවෙලකට නින්දක් හෝ ලැබෙන්නේ
එහෙමත්ම දවසකය.
*****
කුසුමලතා දනිපනියේ බත්පත හමාර කලේ මුදලාලිගේ
තාඩන පීඩනද ඉවසා දරාගනිමිනි. එදින රැයේද, ඔහු හා සැතපෙන්නට
සිදුවන බව සිහිවීම මද අපුලක් ගෙන ආවත්, ඉන් මිදිය
යුතු මඟක් ඇගේ පේනමානයේ නොවීය.
පිඟාන සෝදා ඉවත තබා පරණ පත්තර පිටුවකින් අත
පිසිමින්, කුසුමලතා රත්නපාල
මුදලාලි දෙස බලා සිටියේය. වෙනදා මෙන් 'අසුවල් වේලාවට
අසුවල් තැනට එන්න' නොකියා හොරගල්
අහුලමින් රැල් බුරුල් අරිමින් සිටින මුදලාලි දෙස කුසුමලතා බලා සිටියේ කුකුසකින් සහ
සැකයකිනි.
"කුසුමා, මම අද එන්නෙ නෑ. අජිත් කියල මගෙ යාළුවෙක්
කතා කරයි. එයත් එක්ක එයා කියන තැනකට යන්න. වෙනදා මම දෙන ගානම ලැබේවි" මුදලාලි
අන්තිමේදී කියා දැම්මේය.
කුසුමලතාගේ හිස ගිනි ගත්තේ ඒ වේලාවේදීය.
හොඳ හෝ නරක
අරමුණක් වෙනුවෙන් පිරිමියෙකු හා නිදිවැදීම එකකි. කඩලෑල්ලේ පාන් රාත්තලක් මෙන් එක
එකාට අලෙවි වීම තවකකි.
ඇස් පුපුරන්නට එන කඳුළු මුවහ කරගෙන, කුසුමලතා කඩයෙන් එළියට බැස්සේ ඒ මායිමේ නැවත
පස් පාගන්නට නොවේ.
*****
ඊට සතියකට පමණ පසු, මහානාම මියගියේය. රුදිරය පිරිසිදු කිරීම ප්‍රමාද
වීමත්, වෙනත් සංකූලතාත් ඊට
හේතුවිය. ඒ අන්තිම දිනකීපයේ කුසුමලතාගේත්, රත්නපාල
මුදලාලිගේත් හුටපටය, කිසිවෙකු විසින්
මහානාමගේ කණේ තැබුවත්, ඔහු කුසුමලතාගේ
දෑතෙහිම මියගියේ අප්‍රමාණ සෙනෙහසකින් ඇය දෙස නෙත් දල්වාගෙනය.
(ජයවර්ධනපුර
මහරෝහල පසුබිම් කරගෙන,
2001 වසරේ සත්‍ය වශයෙන්ම
සිදුවූවකි. නම් ගම් වෙනස් කර ඇත.)
©රසික වික්‍රමනායක
2022.2.9
මේ කතා මට ඇහෙනවා ,පේනවා ,ඔබේ සුන්දර සිත මට දැනෙනවා.
ReplyDelete