ලෙමන් ජින්

හැන්දෑවෙ රතු පාට ඉර බෝලය උස් පොල් ගස් අගිස්සේ ගෑවී නොගෑවී ගිලෙන්නට පටන් ගත්ත එක් හැන්දෑවක, සිල්ලාත් මමත් වෙල් යායක ඉන්නියරක් දිගේ දැනටමත් අඳුර කුට්ටිගැහෙන වෙල් ඉස්මත්ත දිහාවට ඇවිදිමින් සිටියා. රාස්සිගෙ අවුව, බස්නාහිර ඉඳන් නැගෙනහිර දිශාවට අපේ හෙවනැලි දිගෑදුවේ පෙක්කෝලියා සිහි කරමින්. අළුතෙන් පීදෙන පැල ගොයමට වක්කඩ බැඳපු වෙලේ ලියදි, අවුවට රත්වෙලා කැකෑරෙච්ච දියමලං උඩ පාවෙද්දි, අවට වාතය මඩ ගඳින් ආකූල වුනා. සවස් වරුවේ පණුවො ඇහිඳින්නම වෙලට බැහැපු දෙමලිච්චො රංචුවක් තරමක් දුරින් ඇති වෙල් කමතක නඟන ගෝෂාව හැන්දෑවේ ගුප්ත නිහඬතාවය ඉරා දැම්මා.

සිල්ලා, මට පෙරමඟ ගමන් කලේ වැරණිය කෝටුවකින් වට පිටාවේ ලන්ද තලව් කරමින්. සෙරෙන්ඩියෙන් තණකොල කපනව වගේ දෙපැත්තේ ලන්දට පහරදීම, සිල්ලා ගමනක් බිමනක් යනවිට කරනම දෙයක්. කෝටු පාරට තැලී පොඩි  වන ඇඹුල් ඇඹිලිය, මදුරුතලා පඳුරු, මඩ ගඳට පැඟිරි සුවඳකුත් එක්කාසු කලා. දිග කලිසමක් මැද්දෙන් කපා සාදාගත් කොට කලිසමකින් සහ පාට ගිය අත් කොට කර කැපූ ටීශර්ටයකින් සැරසී සිටි සිල්ලා, බුබුළු බාටා යුගලයක් දෙපයේ ලාගෙන පාද තබන අමුතු ලීලාව නිසා ඉහල පහල යන තට්ටම් මගේ මුවට මඳ සිනාවක් නැංවූයේ ඒ ගමන නිසාම පාසලේදී සිල්ලාට පටබැඳුණු කුප්ප නම් සිහිවීමෙන්.

"වික්‍රමට දැන් කෙල්ලක් එහෙම ජෝඩු වෙලාද?"

සිල්ලා සුපුරුදු ප්‍රශ්නයක් එදත් මගෙන් ඇසුවා. සරසවි යනවා කියන්නේ ඕකමය කියල හිතන පොදු මානසිකතවය ඇති සිල්ලාට, මොරටු සරසවියට නැව එන්නටත් පෙර 'බඩු' අලෙවි වී 'සෙමි යක්කු' 'බඩු' වන ආකාරයත්, 'යක්කු' පවා 'සෙමි යක්කු'වන ආකාරයත් අනන්තව කියා ඇතත්, ඔහුට ඒවා නිච්චියක් හෝ වගේ වගක් නොමැත.

"අපොයි නෑ බං සිල්ල. ඕවට වෙලාවක් නෑනෙ මට" මම කීවේ ඒ නීරස ඒකාකාරී පැනයෙන් ඇඟ බේරා ගන්න.

"වෙලාවක් නැත්ද? එහෙම නැත්නම් තාම චන්දිමා ගැනවත් හිතනවද?" සිල්ලා, පාසල් සමයේ සුව නොවූ මතක විසර ගෙඩියකට දෙහි කටුවකින් ඇන්නා. මගේ නිහඬ බව නිසාදෝ සිල්ලාත් නිහඬ වුනා.

සිල්ලාත්, මමත් එකට ගමේ පාසලට ගියේ හය වසර දක්වා පමණයි. හය වසරේදී මම නගරයේ පාසලටත්, එතනින් සරසවියටත් පිවිසුණා. සිල්ලා බවට හැරුණු 'සිල්වා', සිල්ලගේ වාසගම වුනත්, සිල්ලගෙ මුල නම් මමවත් දැනගෙන හිටියේ නෑ. පාසලේදී නම අඬගහද්දීත්, සිල්ලගේ මුල අකුරු කියනව මිසක් නමක් කියනව අපිට මතකයක් නෑ. ඉතින් සිල්ලා නමම තහවුරු වුනා. ගමේ පාසලේ සාමාන්‍ය පෙල දක්වා උගත් සිල්ලා, රැකියාවක් කරන්නට පෙලඹුණා. ඒ වෙද්දිත් කහවත්තෙ ප්‍රදාන පෙලේ රට බීම සාප්පුවක අයකැමි වරයෙක් විදිහට සේවය කරමිනුයි උන්නෙ. ගංගොඩේ නව නිවසක් ගොඩනඟමින් සිටි ඔහු,තවමත් ගෙදරින් යැපෙමින් සරසවි අධ්‍යාපනය හදාරන මට රස්තියාදු ගසද්දී ඇති වෙන මුදල් උවමනාවන් පවා නොමසුරුව පිරිමැහුවා. සුරාසැලක අයකැමි වරයෙක් වීමම, තරමක් අවදානම් කටයුත්තක් නිසා සිල්ලා කරාටි ශිල්පය ප්‍රගුණ කර සිටියා.  ඔහුට මේ කරුණු කාරණා නිසාම ගං ගොඩේ තරමක පිලිගැනීමකුත් පෙන්නුම් කලා.

දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට අමතරව ගමත් සමඟ මේ සබඳතාවයේ නොබිඳෙන පුරුක, සිල්ලා. ගමේ පාසලෙන් ඒ වෙද්දි ඉතිරි වුන එකම මිත්‍රත්වයත් එපමණයි. ගමේ පාසලේ යෙහෙළියො ගොඩ දෙනෙක් ඒ වෙද්දි දීගතල ගිහින්. පන්තියේදී අහඹු ලෙස වැඩිවිය පැමිණ, රෙද්දකින් ඔතා නිවසට කැන්දන් යන ඔවුන්, සිරුරින් වැඩී, ප්‍රේම හුටපට වල පැටලී දීග ගිය ආකාරය මුල සිට අගටම සිල්ලා දැන සිටියා. අපිත් එක්ක පන්තියේ උන්න ඇටිකිත්තා නොහොත් ගුණරත්න, හමුදාවට බැඳිලා පුනරීන් ප්‍රහාරයේදි මිය ගියා. කමල් පොලීසියේ. සිල්වා නිතරම හාරවුස්සන මගේ පාසල් කල ප්‍රේමය වූ චන්දිමා, මම නගරයේ පාසලේ සිටිය කාලේ ගමේ පටන් ගත්ත ප්‍රේම සබඳතාවයක්. මගේ සහ ඇගේ සාමන්‍ය වෙනස් කම් සහ ගෙදරින් වූ බලපෑම් මත ඇය දීගතල ගියේ දෙවසරකට පෙර. ඇයත් මමත් එකල හමු වූ පාසලට පිටුපස ගඳපාන ගාල් වැවුණු පරණ පාසල් ගොඩනැඟිල්ලේ නටබුන් කඩා දාල දැන් අළුත් ගොඩනැඟිල්ලක් හැදෙනව.

මම ගමෙන් පිට ඉඳිත්දි ගමේ කාල චක්‍රය වේගයෙන් කැරකැවුනා.

 

ඉන්නියර දිගේ ඉස්සරහට යන අපිට මූණට හමුවන ගැමියෙකු දෙදෙනෙකු හිස පැත්තකට ඇල කරල හිනහ වෙනව. මට වඩා සිල්ලට වැඩි සැලකිලි.

මම ගමට ආ ආරංචිය දැනගත් විගසම, සිල්ලා බයිසිකලයෙන් අපේ ගෙදර එනවා. බයිසිකලේ චෙන් පොට, චෙන් කේස් එකේ වැදෙන සද්දෙන්ම සිල්ලගේ බයිසිකලේ ගෙදර උදවිය හඳුනනවා.

"පුතේ මෙන්න සිල්ලා පුතා ඇවිත්"

ගෙදර ඇවිත් තිස්සෙම නිදියන මගේ උරහිසින් අල්ලා සොලවමින් අම්මා මාව කූද්දනවා. සෙනසුරාදා දවස, සිල්ලා නිවාඩු. එදාට මමත් සතියක් ඇර සතියක් ගෙදර. සිල්ලත් එක්ක ගංගොඩේ ඇවිදල දෙගොඩහරි ජාමේ ගෙදර එනවට අම්මගේ ලොකුම මනාපයක් නැතත්, ඔහුගේ හිතවත්කම අම්මට විශ්වාස කටයුතුයි.

සිල්ලා එහෙම මුණ ගැහුණු එක හැන්දෑවක, අපි මේ ඉන්නියරක් දිගේ යන්නේ 'හොඳවා' වඩියක් බොන්න. 'හොඳවා' කසිප්පු විශේෂයක්. කසිප්පු වල කියන්න හොඳක් නැතත්, 'හොඳවා' තරමක් 'හොඳ' කසිප්පු. එව්වා පෙරන්නේ තනිකර පලතුරු වලින් නිසා. ඊට අමතරව ලඳු කැලෑ වල ඇලවල්, දොලවල් වෙලවල් පල්ලෙ සරුපයි, කටුස්සෝ, ගෙම්බෝ මීයෝ වැටි වැටී පල්වෙන සාමාන්‍ය ගෝඩා බැරල්වල 'හොඳවා' පෙරීමක් නෑ. ඒ වැඩේට ගන්නේ පිරිසිදු ප්ලාස්ටික් බූලි. පල්කරන්නේ සත්තු නොවැටෙන්න දැලකින් වහල කාරිය.  'පලතුරු කසිප්පු' කියල කියන්නෙත් ඒවටම තමයි. 'හොඳවා' පෙරන්න ගමටම ඉන්නෙ හින්නි අප්පුහාමි එහෙම නැත්නම් 'හින්නියා' විතරයි. ඔහුගේ කසිප්පු වාඩිය තියෙන්නෙ ගමට උතුරින් තියෙන ඌරුබඩකන්දේ නොදන්නා ඉසව්වක. වැඩේ අවංකෙට කෙරනවා කියල සිල්ලා සහතික උනේ සිල්ලගේ ගෙවලුත් ඌරුබඩකන්ද පාමුලම නිසා. ඉදිල වැඩි වෙච්ච කෙසෙල් කැන්, ගස්ලබු, පැෂන් ෆෘට්, අන්නාසි බැඳගෙන හෝ පෙට්ටිවල දාල නයින්ටියක පටවගෙන හින්නියා මට ඇතැම් විට මඟ තොටේදි මුලිච්චි වෙනවත් එක්ක. ඒ බයිසිකලේ පහු වෙද්දිම සැර පලතුරු ඌශ්ණයක් නහයට එනව.

හොඳවා විකිණීම පෙරන වාඩියේදි සිද්ද වෙන්නේ නෑ. එතනට හැවෝටම, විසේසයෙන්ම තලතුනා කාන්ඩෙට යන්න බැරිතරම් දුරයි.පෙරන්නෙත් වහන් වෙලා.  ඒ නිසා හින්නියා හොඳවා බූලියක් අපි යන මේ මූකලානට ඇන්න එනව. ඒ මූකලානෙ, කුඹුරක පැලක් වගේ 'බොන වාඩියක්' අටවල තියෙනව. වෙළඳාම කෙරෙන්නෙ අත් පිට මුදලට පමණයි. කෙසෙල් කොලයක ඔතාගෙන එන ලොකු තම්බාපු මඤ්ඤොක්කා මුලෙන් කෑලි කීපයක්, උම්බලකඩයි මිරිසුයි යහමින් දමාපු ලුණු මිරිසක් එක්ක කැන්ද කොලේකට දාල කටගැස්ම වසයෙන් පිලිගන්වන්නෙත් හින්නි අප්පුහාමිමයි. හොඳවා දාල දෙන්නෙ පොඩි වීදුරුවකට. ලොකු ලූණු යහමින් දාල හදාගත්තු කට්ට කරෝල බැදුම් ඇබින්දක් සමහර දවස් වලට අමතරව ලැබෙනව.

මේ කතන්දරේ මේ ආකාරයෙන් ගලාගෙන ගියාට, මෙතන ලොකු පරහකුත් තියෙනව. ඒ හින්නි අප්පුහාමිත්, අපේ තාත්තාත් ජන්මාන්තර වයිරක්කාරයන් වීම. හින්නියගෙ තාත්තත්, අපේ සීයාත් මැරෙනකම්ම ඇදගෙන ගිය ඉඩම් නඩුවක්, මේ වෙද්දි ඇදගෙන ගියේ අපේ තාත්තා සහ හින්නියා. ඒ මදිවට, හින්නි අප්පුහාමිගෙ පුතා, අපේම පන්තියෙ හිටිය ප්‍රියන්ත, මිනීමැරුං නඩුවකට හිරේ. මම සරසවියට පිවිසුන මුල් දිනවලම සිද්ද වුන ඒ සන්තෑසිය  හින්නියට උහුලාගෙන ඉන්න බැරි උන බව, කනින් කොනින් අසන්නටත් ලැබුනා.

හින්නි අප්පුහාමිගේ පියත්, අපේ සීයත් අම්මා මෝ නැතුව ඉඩම් නඩුවට අරෝ පටලවාගෙන ඇති බව කීවත්, අපේ තාත්තත්, හින්නියත් එලිපිට තරහා මරහා පිටකරගත්තේ නෑ. පාරෙදි මූණට මුලිච්චි උනාම දෙන්නා අහක බලාගන්න එකයි කරන්නේ. මාව දැක්කම හින්නි අප්පුහාමිගේ කටින් ඇතැම් විට කපටි සිනාවක් මැවෙනවා. හින්නියා කට්ට කයිරාටික වෙට්ට පිත්තලයෙක් කියල ගංතුලානෙ ප්‍රසිද්දයි. සරසවි චින්තනයත් එක්ක මම ඒ කාරණාව වැඩිමනත් ඉහට නොගත්තට, සිල්ලාත් ගමේ මතයම දැරුවා.

"වික්‍රම උඹ මා එක්ක ගියාට තනියෙන් හෙම හොඳවා බොන්න යන්නෙපා. ඔය මිනිහා තඹේකට විස්සාස නෑ. කුණකටුවා වගේ මිනිහා. හැංගිලා හිටල දස්ඨ කොරන්නෙ. මා එක්ක ඉන්නකම් නං ඒවා සුම්ම" සිල්ලා හැමදාම, නොවැරදීම මේ ගමන අතරමැදදී ඔය වාක්‍ය ඛණ්ඩය කියනව.

"මම නම් හිතන්නේ නෑ සිල්ලා මිනිහා ඕවා මා එක්ක තියාගෙන ඇති කියල. මගෙන් වැරැද්දක් වෙලා නෑනෙ" මම කියනව.

"උබ දන්න අහවල් එක. මිනිහාගේ කලින් ගෑනි මලෙත් ටික ටික මැරෙන්න වසක් විසක් කවල කියලයි කතාව. එහෙව් එකා ඕකා" සිල්ලා උත්තර බඳින්නේ තරමක තරහකින්.

සිල්ලාට, වැඩකරන තැබෑරුමෙනුත් මට, මොරටු සරසවියේ සෙට් වෙන වෙලාවකදිත් බොන්න ලැබෙන ගල් අරක්කු වඩියට, හපන්න ලැබෙන කඩල අහුරට , බීර වීදුරුවට වඩා 'හොඳවා' වීදුරුවක් දෙකක් අපි දෙන්නම අතිශයින්ම ප්‍රියකලා. ලා ඇඹුල් පැණි රසැති, ඉහ මොල දාගෙන යන හොඳවා වීදුරුවක් දෙකක් ලඟ නවාගෙන, මඥ්ඥොක්කා කෑල්ලක්, කරෝල කෑල්ලක් හපමින්, වෙල් එළියක වැතිරිලා කතාබහක යෙදෙන එක වෙනමම රසයක්. ඇතැම් විට සිල්ලා ගෙදරින් කොච්චි දාපු පරිප්පු වඩේ බැදගෙනත් එනවා. ටවුමෙ කරත්තවල තියෙන පිටිගුලි වලට වෙනස්, කටදන පරිප්පු වඩේ, හොඳවට නියමම කටගැස්ම.

වෙල් එළියේ තරු පිරි අහසක් යට, මතක සැමරුම් මාගල් වගේ දිගින් දිගට දිග හැරෙනවා. පාසලේ 'අරිකි මිරිකි' කරන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක්, ඒ කතා අතර නොවැරදීම ඉස්මතු වෙනවා.

ඒ අතුරු කතාව මෙහෙමයි.

'අරිකි මිරිකි' කියන්නෙ පංතිය දෙකට බෙදිල කරන ගුඩු වගේම ක්‍රීඩාවක්. අරිකි මිරිකි කවුරු තියාපු නමක්ද අපි දන්නේ නෑ. පාසල් මිදුලේ ඇන්ද ඉරක් දෙපැත්තෙ කාන්ඩේ දෙකට බෙදිල හිටගන්නව. එක පිලක කෙනෙක් අනිත් පිලට ගිහිල්ල කාට හරි පාරක් ගහල අහු නොවී දුවගෙන එන එකයි කරන්න තියෙන්නෙ. පාරක් දීල තමන්ගෙ පිලට දුවගෙන ආවොත්, පහර වැදුනු කෙනා අවුට්. පහර දීල දුවන්න නොදී අල්ල ගත්තොත්, අහු උන කෙනා අවුට්. ගෑණු පිරිමි බේදයක් නැතුව පොඩි පන්තිවල අපි සහභාගි වුන මේ සෙල්ලම ඉවර වෙද්දි ඇඳුම් වල දූවිලි, කුණු තට්ටු තට්ටු.

අපේ පහේ පංතියේ විවිදාකාර ලමයි හිටියා. සිල්ලා, මම, චන්දිමා පිලිවෙලින් පන්තියෙන් පන්තියට ආව ලමයි. ඒ වගේම එක පන්තියේ වසර ගනන් අසමත් වෙවී ටැග්ගැහුණු ලමයිනුත් උන්නා. ඒ ලමයිගෙ අපිට වඩා කරඳඩු උස් මහත්. පිරිමි ලමුන්ගේ දැලි රැවුල් වැවිලා. කොට අලිසම හිරයි. හල් ගෙඩියක් වගේ අවයව මතු වෙලා පේනව. ගැහැණු ලමයින්ගෙ පැහැය වෙනස්. පියවුරු, තට්ටම් නෙරල ඇවිත්. එහෙම අපේ පංතිය ලමයි දෙන්නෙක් තමයි සීතා සහ රංජිත්. රංජිත්, සීතාට ඉන්න නොදී කරදර කරනවයි කියල  පංතිභාර මිස්ට පැමිණිලි කලේ වරක් දෙවරක් නොවෙයි.

ඉතින් අරිකි මිරිකි සෙල්ලම් කරත්දි රංජිත්, සීතා දෙන්නත් එනවා. දෙන්නා දෙපිලට වැටිනොත්, රංජිත් බලන්නෙ සීතාව අල්ලන්න. සීතා බලන්නේ රංජිත්ගෙන් බේරෙන්න.

දවසක් දා සීතාට සිද්ද වුනා රංජිත්ගේ පිලට ගිහින් කාට හරි ගහල එන්න. තමන්ගේ මොහොත එන තුරු කුරුමානම් අල්ල අල්ල හිටිය රංජිත් පැනපු ගමන් සීතාව බදාගෙන ඉඹගත්තා. මරහඬ දීල දඟලපු සීතගේ දැඟලිල්ලට දෙන්නම දූවිලි ගොඩේ ඇදගෙන වැටුනා. ඒ ඇදවැටිච්ච පාරට සීතගේ ගවුමයි, යට සායයි ඉඟටිය දක්වාම ඉස්සිලා කිරිගරුඬ පාට නව යොවුන් දෙකලවා නිරාවරණය වුනා. මේ සිද්දියත්, ගෝසාවත් එතනින් ගිය ගුරුවරියකගේ ඇස ගැටිලා වැඩේ දුර දිග ගියේ රංජිත්ට මාසයක පංති තහනමක් සහ 'අරිකි මිරිකි' ක්‍රීඩාව ගැහැණු පිරිමි දෙගොල්ලන්ට එකට සහ ගැහැණු ලමුන්ට තනිව හෝ කරන්නට බැරි ක්‍රීඩාවක් බවට පත් කරමින්. පසුකාලීනව, සීතයි රංජිතුයි දෙන්නා ඔහේ පල්වෙන පාසල් ගමන්ට ආයුබෝවන් කියලා රහසේම වහන් වෙලා ගියා. කොලඹගේආර පොලේ දෙන්න එළවළු විකුනනවා කියල සිල්ලා කියනව.

හින්නිඅප්පුහාමිගෙ බොන වාඩිය තියෙන ඉසව්වට අපි සේන්දු වෙද්දි හිරු පොල් රුප්පාවෙ අස්තාන ගතවෙලා බිම් කළුවර ගලන්න පටන් අරගෙන.  මෙතෙක් වෙලා පඳුරු අතරෙ වහන් වෙලා උන්න ගෙම්බො, මැඬියො, ඇටිකිත්තො ආදී සත්තු එක සීරුවට අඬන්න පටන් අරගෙන.

අතර මඟ ටැග්ගැහි ගැහි කියවමින් ආව නිසා වාඩියෙන් සප්පායං වෙච්ච බොහොමයක් පිරිස ආපහු යන්න හැරිල. පඳුරු අස්සෙ අඳුරු සෙවනැලි කීපයක් තවමත් සැලෙනව. පුවක් පටි එක පෙලට තියල, කොහු ලණු වලින් වෙලල හදපු වාඩි මැස්ස මත්තේ පොඩි කසිප්පු බූලියක්, මඤ්ඤොක්කා අඩුක්කුවක්, කරෝල බැදුමක් දාපු කොලපත් පිඟානක් තියෙනව. ඒ තියෙන්නෙ අපිට ඉතුරු වුන කොටහ. අඳුර පිරෙන පැල් කොටේ කළුව කපන්න කුප්පි ලාම්පුවක්, පැලේ කණුවකට තියල කම්බි කෑල්ලකින් ගැට ගහල.

ඉතුරු හොඳවා වීදුරුවකට දාල මුලින්ම පිලිගැන්නුවෙ සිල්ලට. සිල්ලා ඒක උගුරට හලාගන්න අතරේ හින්නි අප්පුහාමි තවත් වීදුරුවකට කසිප්පු වඩියක් දාල මගේ දිහාවට දිගු කලේ දොතින්ම;වයසක උපාසක උන්දැ කෙනෙක් බුද්ද පූජාවට ගිලන්පස තියන්නාක් වගේ බැතියෙන්. මම ඒ වීදුරුව මුවට ලංකරන්න හදත්දි සිල්ලා තමන්ගේ වඩිය බඩට හලාගෙනත් ඉවරයි. මම වීදුරුව උස්සල නහයට ලංකලේ වෙනත් සුරාවල නොමැති ඒ ආශ්වාදනීය පලතුරු සුවඳ සිත පුරාම විඳගන්න. ඒ හොඳවා වඩියේ කජු පුහුලම් සුවඳකුත් තිබුණා.මට සමීප කුප්පිලාම්පුවේ එළියට සුරා විත රන්වන් කහ පාටින් බැබළුනා.

"වික්‍රම ඔහොම හිටපන්"

අතේ වුන හිස් වීදුරුවත් අත හැරල සිල්ලා මගේ ලඟට පැන්නේ ඒ මොහොතෙම. පැනපු ගමන්ම සිල්ල වීදුරුව උදුරා ගත්තා. හොඳවා ටිකක් මගේ ඇඟටත් විසික්ක උනා.

" මේ මොනවද මිනිහො වික්‍රමට පොවන්න හැදුවෙ?"

සිල්ලාගේ ගෝරනාඩුවට ඒ වෙද්දිත් ගැස්සිලා හිටිය හින්නියා ගාල කඩාගෙන හරකෙක් වගේ දිව්වා. තමන්ගේ කසිප්පු වඩිය බීලා, පැල්කොටේ අනිත් පැත්තේ මඤ්ඤොක්කා කෑල්ලක් හප හපා හිටපු මුදියන්සේ මාමත් තකහනියක්ම එතනට ආවා.

"මොකද සිල්ලා පුතා කලබොලේ? මොකෝ අර හින්නියා කඩාගෙන බිඳගෙන දිව්වෙ?"

මමත් හිටියේ තක්කු මුක්කු වෙලා අගක් මුලක් තෙරුම් ගන්න බැරුව. සිල්ලා කෝපයෙන් දැවුනත්, බොහොම ආයාසයෙන් සන්සුන් වෙලා වීදුරුව දිහාම බලාගෙන උන්නේ ගොම්මන් වෙලාවක නයෙක් මුලච්චි උනා වගේ පිලිකුල් සහගත මුහුණකින්.

" මොකද බං?"

මම ඇහුවේ බලාගෙන ඉන්නම බැරි තැන.

සිල්ලා වමතේ දඹරැඟිල්ල මම බොන්න හදාපු හොඳවා වීදුරුව අස්සට දැම්මා. දාලා ඇඟිල්ලෙන් වීදුරුව හොඳට කැලැත්තුවා. කලත්තපු දඹරැඟිල්ල එළියට අරන් දකුණු අතට මිටි කරලා ඇඟිල්ල එහෙට මෙහෙට කරකැව්වෙ කුණුහරුපයක් කරල පෙන්නනව වගේ. ඊට පස්සෙ, වමත උරහිස්ස වටා කීප වටයක් වේගයෙන් කැරකැව්වා. කරකවලා ඇඟුල්ල මටත්, මුදියන්සෙ මාමටත් පේන්න ලාම්පු එළියට දිගු කලා. ඇඟිල්ලෙන් එකයි ලේ.

"වීදුරු කුඩු"

මගේ කොඳු නාරටිය පුරා සීතල හිරියක් දිව ගොස් හිස් මුදුනින්ම පිට වුනා. හින්නියා මට හොඳවා දීල තියෙන්න වීදුරු කුඩු දමාපු වීදුරුවකට.

"මේකා තියන්න වටින්නෑනෙ" මුදියන්සෙ මාමගෙ වෙරිත් හිඳිල.

වීදුරුකුඩු කතාව මෙහෙමයි. ඔය විදියට හීනියට අඹරපු වීදුරු කුඩු කසිප්පු හරි, රා එක්ක හරි දාල දුන්නම ඒක නොදැනීම බඩට යනව. ඊට පස්සෙ බඩවැල් වල වීදුරු කටු ඇළුනම කන කෑමක් ගානේ, බොන වතුර උගුරක් ගානේ බඩවැල් හිමීට කැපෙනවලු. කාලාන්තරයක් මෙහෙම උනාම බඩවැල් සවුත්තු වෙලා නමක් ගමක් නොදන්න ලෙඩක් හැදිල මැරෙනවලු. හින්නියගේ කලින් ගෑණි මැරුනේ ලේ පාචනය හැදිලාලු. මේ කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.  අපි පාසල් යන කාලෙ වීරත්වය පෙන්වන්න පන්ති කාමරය ලඟ තියෙන තිරුවානා ගලක් කුඩු කරලා, ඒ කුඩු අතේ පිටි අල්ලෙ දාරෙ තදින් උලලා, අත උරහිස්ස වටේ කරකවාපුවනුත් මේ වගේම ලේ එනවා.

ඒ නිසා ඔය කතාව බොරුවක්ම නොවෙන්නත් පුළුවනි.

"කුප්පි ලාම්පු එලියෙන් මම දැක්කා වීදුරුවෙ කුඩු වගේ පාවෙනවා. මම බලන් හිටිය නිසාම හොඳා" සිල්ලා කීවා. ඒ වෙලාවේ දැනුණ කෘතවේදී හැඟීම මට විස්තර කරන්න බෑ.

" වික්‍රම කලබල වෙන්න එපා. මම මේකා ගැන බලාගන්නම්" සිල්ලා තවදුරටත් කීවා.

එදායින් පස්සෙ අපි හොඳවා බොන්න ගිය ඒ ගමන නැවතුනා. හින්නියා සිල්ලාට හොරෙන් හොඳවා පෙරන්නත් ඇති. මිනිහා වීදුරුකුඩු චෝදනාව පිලිගත්තේ නෑලු."ඇලුත් වීදුරු ගොඩක යටම වීදුරුව ඒක. වීදුරු අට්ටි ගහල තිවුනම යටම වීදුරුවෙ කුඩු හිටිනව බරට. බාල චීන වීදුරු නෙව" හින්නියාගෙ පැහැදිලි කිරීම එහෙමයි කියල මුදියන්සෙ මාම කිව්වෙ පසුකාලෙක. සිද්දියත්, හින්නියගෙ නිදහසට කාරණාවත් එකට කැටිකරල ගම පුරා බෙදුවෙ මුදියන්සේ මාමා මිසක් සිල්ලා නෙමෙයි. ටිකකාලෙකට මට ගමෙන් වහන් වෙලා මොරටුවටම වෙලා ඉන්න උනේ ගමට වඩා තාත්තට මුහුණ දෙන්න බැරි කමට.

එහෙම ගම මඟ  හැරිලා උන්න කාලෙක, සිල්ලා නො එන ගමන් ගියේ හින්නි අප්පුහාමි සම්බන්ධයක් නැති, වෙනම හේතුවකින්. ඒක මම පැහැදිලිවම දන්නව. මම ආය ගමට එත්දි, සිල්ලගෙ අවසන් කටයුතු ඉවරත් වෙලා. මගේ අතිජාත මිත්‍රයගෙ හැඩේට රතු පස් ගොඩක් කනත්තෙ ගොඩවෙලා. එදා තමයි මම සිල්ලගෙ මුල් නම දැනගත්තෙ. "සුධීර ප්‍රියංකර ද සිල්වා". කනත්තෙ කජු ගහක අලවපු පාප්ප පුස්කාපු  මරණ දැන්වීමක සිල්ලා හිනාවෙවී හිටියා.

සිල්ලාගේ අකල් වියෝව, මාත් ගමත් බැඳ තිබූ රැහැන්  පොට ලිහා විසිරුවා දැමුවේ ලියද්දකට දැමූ මැහි තෙල් බිඳක් විසිරී යන පරිද්දෙන්.  ඒ මලගම මට නොකීම පිලිඹඳව මම අම්මත් එක්ක රොස් වෙලත් උන්නා. දැනටත් හැන්දෑවක මිතුරන් සමඟ ලෙමජ් ජින් අඩියක් සෝඩා මුසුව රස විඳිද්දී සිල්ලා සිහි වෙනවා. ලෙමන් ජින් වල 'හොඳවා' සුවඳ තරමක් දුරට හෝ රැඳී තියෙනවා.

හින්නියා තවම ගමේ ඉන්නවා. හෙලකින් වැටිලා කකුලක් කැඩිල එක්තැන් වෙලා නිසා එදිනෙදා සරිකරගන්නෙ අනුන්ගෙ වතුවලින් ගෙදර උන්දෑ ඇදගෙන එන පොල් ඉරට හූරල මිටි බැඳල.

©රසික වික්‍රමනායක

2022.1.31

Comments

  1. එහෙම යාලු මිත්‍රයෝ වාසනාවක්. අද කාලේ එහෙම අය හොයන්න නැහැ.

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!