දිමියා

රාත්‍රියේ පින්නට පොඟල බිමට නැවුනු වියලි ඉලුක් සහ මානා පඳුරු හොම්බෙන් එහාට මෙහාට කරගෙන දිමියා, සුපුරුදු ඉවැති අඩිපාරේ වත්ත පහලට ඇදුනා. පඳුරු අස්සේ හරස් අතට බැඳි මකුළු දැල් වලට පිණි බෑවිලා, කළු කපාගෙන යාන්තමට එබෙන හිරු එළියට දිස්නේ ගහනවා. මකුළු දැල් වල, ඉලුක් මානා පඳුරු වල තැවරුන පිණි දිමියගෙ හොම්බෙ පදාසයක්ම තෙත බරිත කලා. ඇතැම් විට නාස් පුට අස්සට ගිය පිණි නිසා දිමියට කිවිසුම් යන්නත් එනවා. ඒ වෙලාවට කටේ තියෙන කුකුල් කුණ බිමට අතෑරල කිවිසුමක් දෙකක් යවල නාහෙ පාදාගන්නා දිමියා, ආපහු කුකුල් කුණ ඩැහැගෙන සුපුරුදු ගමනම යනවා.

අක්කර දහයක් පමණ වෙච්චි වත්තෙ එක බෑවුමක කෙලවර වෙල් යායකට මායිමකට වෙන්න පුංචියට හදපු පැරණි පැල් කොටයක් තියෙනව. ඒ පැල් කොටේ වහල දිරල පාත් වෙලා, පැල ඇතුලෙ තියෙන මැස්සටම පාත් වෙලා. මැස්ස යට, නොතෙමී ඉතිරි වුන ඉඩේ, දූවිලි ගොඩේ යාන්තම් ලගින්න තරම් වලක් හාරගෙන කිරියා පැටව් දාල. සුදු පාට එක්කෙනයි, කළු පාට දෙන්නයි, කළුයි සුදුයි එක්කෙනයි. බැල්ලි පැටව් තුනයි, එක බලු පැටියයි.

ලන්ද අස්සෙන් රිංගල ආපු දිමියා, කිරියගේ අගුවට හොස්ස පෙව්වා. දූවිලි ගොඩේ පැටවුන්ට කිරි දිදී උන්නු කිරියා දිමියව දැකල ඇස් පුංචි කරල, කණ් පස්සට අකුලල, ලෙන්ගතුකමින්,'දහ් දහ්' හඬින් දූලි ගොඩේම නකුට ගැසුවා. පැටව් හතර දෙනා එකිනෙකා මත්තෙ තැවරෙමින්, පෙරලෙමින් 'කූහ් කූහ්' ගාමින් කිරි උරනව. දිමියා, තමන්ගේ කටේ හිරකරන් ආව ලේ පෙරෙණ කුකුල් කුණ කිරියා ඉස්සරහ හලල , හොම්බෙන් තල්ලු කරල, කණ් කෙලින් කරල, නකුට දෙපසට වැනුවා. කිරියා, දිගෑදිල හිටිය වලින් හොස්ස දික්කරල කටේ පැත්තකින් වගේ කුකුල් කුණ ඇදල අරගෙන හක්කට අල්ලල හපන්න පටන් ගත්තා. ඒ අතරෙත් කෘතවේදීත්වය පෙන්වන්න අතරින් පතර නකුට දූවිලි ගොඩේ ගැසුවා.

දිමියා, ඉස්කෝලෙ මහත්තයලැයි දිහා බල්ලා. දිමියෙක් වගේ තැඹිලි පාට, ඒ වගේම පුංචි සරීරෙ නිසයි ඒ නම. ඉස්කෝලෙ මහත්තයලැයි අම්මා, ටවුමෙ ඉස්පිරිතාලෙ මිය ඇදුන දවස් වලමයි , දිමියව ගෙදර ඇන්න ආවෙ. ඉස්පිරිතාලෙ වාට්ටුවට එහා තාප්පෙ පාමුල, ටකරමකට මුවා වෙච්ච අගුවක දිමියලැයි අම්මා දිමියා එක්කම සහෝදර සහෝදරියන් රොත්තක්ම වදලා තිබුණා. දිමියගෙ අම්ම සුදුම සුදු පාටයි. පිය පාරුසවේ පාට උරුමෙ, දිමියගෙ තැඹිලි පාට.

ඉස්කෝලෙ මහත්තය අළුතෙන් ගොඬනැගුව ගෙදර ආරක්ෂාවට බලු කුක්කෙක් ගේන්නැයි ඉස්කොලෙ හාමිනේ කොතරම් කංකෙඳිරි ගෑවත්, ඉස්කොලෙ මහත්තය එතරම් කණකට ගත්තෙ නෑ.

"මේ අපේ පැටි පැටව් ඕකෙක් ගෙනාවත් හුරතලේට ගන්නව. ඊට පස්සෙ උට බුරන්න අමතක වෙනව" ඉස්කොලෙ මහත්තය කීවෙ එහෙමයි.

ඒත්, තමන්ගෙ මෑණියො අන්තුම හුස්ම පොද වාතලයට මුසු කරපු ඉස්පිරිතාල බූමියෙන් බලු පැටියෙක් කාඩ්බෝඩ් පෙට්ටියක අසුරන් ආවෙ උන්දෑ සිහිවෙන්නත් එක්කමයි. අවසානෙට සිද්ධ උනේ ඉස්කෝලෙ හාමිනේ කියාපු කාරණාව.

දිමියා නෙමේ ආසාවකටවත් හොරෙක්ට හතුරෙක්ට බිරුවෙ, කටක් ඇරියෙ. ඉස්කෝලෙ මහත්තයගෙ ලමා ලපටි රැලට වැටිල දවස පුරාම වත්තෙ දුව පැන ඇවිදල තිබිච්ච බලු ගති ඔක්කොම නැති කරගත්ත. නන්නාඳුනන කෙනෙක් ගෙදරට ආවත්, දිමිය ඇස් පුංචි කරල නකුට පාතට කරල වනන්නෙ බයාදු විදියට.

"නෙද්දකිං මේකා බල්ලෙක්ද එළුවෙක්ද?" ඉස්කෝලෙ මහත්තයා එහෙම එන අමුත්තට ඇහෙන්ඩත් එක්ක කියන්නෙ ගැලවිජ්ජාවට මිසක්ක තරහකට එහෙම නෙමෙයි.

"මහත්තේලෑ ගෙදර දේව පාදෙ. ඒ වගේ තැන් වල තිරිසන් සත්තු වැඩිමනත් අංගපුලාවට ඇති දැඩි වෙන්නෙ නෑ" නැකත්-ජෝසතර සාස්තර දන්න තලතුනා ඇතමෙක් ඉස්කෝලෙ මහත්මයට එහෙමත් කියනව.

ගංගොඩේ කුක්කෙක් නැති ගෙයක් උනානම් ඒ ඉතාමත්ම කලාතුරකින්. වෙදමහත්තේලෑ ගෙදර ටොමී, ඇසිලින් අක්කලගෙ ටික්කා, පහල කඩේ රෝවර් දිමියගෙ අසල්වාසියො. ඒ හැවොම නොදන්න අමුත්තෙක් ගෙදරට ආවම බුරාගෙන පනින, රාජකාරිය දේවකාරිය කරගත් උදවිය.

බල්ලො කල්ලි ගැහිල රැලේ යන කාලෙ පවා දිමියා ඒ කාණ්ඩත් එක්කල ගියේ නෑ.

වෙලේ පූදින ගොයම් ගස් වලට උඩින්, නියර දිගේ පේලියට රැලේ යන කුක්කන්ගෙ නකුටු කොඩි සේසත් වගේ පේනව. එකම එක වතාවක් එහෙම යන බලු රැලකට එක්කාසු වෙන්න ගිහින් වෙදමහත්තයලෑ දිහා ටොමී ගොරවන් පැනල දිමියගෙ උරපත්තට දත් කිඳා බහින්න හැපුවයින් පස්සෙ, දිමියා නොවෙයි රැලේ යන්න හිතුවෙ.

ටොමියා තමයි ගම්මැද්දෙ බලු කාණ්ඩෙ මුදුනා. උස මහත්, ඝණකම් කළු පාට මවිල් පිරුණු සරීරෙ; පැෂන් ෆෘට් වැලට පහුරක් වගේ කැරකැවිච්ච, ලේසියෙන් නොවැනෙන නකුට, පොඩ්ඩ ඇත්තං ගොරවගෙන හපන්න පනින කට, ගම පුරාම කරක් ගසන හැල්මෙ ගමන. කිරියගෙ පැටවුන්ගෙ කළු පාටත්, ටොමියගෙන් ආව පාට.

"නෙද්දකිං උඹ වගේ නෝන්ජල් බල්ලෙක්" ඉස්කෝලෙ මහත්තයා දිමිය දිහා බලාගෙන කියනව. දිමියා තේරුණා වගේ කන් පාත් කරල, ඇස් පුංචි කරල ලැගල ඉන්න තැන නකුට බිම ගසනව.

කිරියා ගෙදරක හැදුන බල්ලෙක් නෙවෙයි. බැල්ලක් වෙලා ඉපදුන නිසාම, පෝර උරේක දාල පන්සල් වත්තට විසික්ක කල, ජීවත්වෙන්න වාසනාව රැඳිච්ච කික්කියක්. පන්සලේ ආවස ගෙයි පිටිපස්සට වැටෙන දංකුඩයක්, ගමේ ගේ දොරකින් අහක දාන බත් හුලක් අහුලාගෙන කාලා තමයි කිරියා ලොකු මහත් උනේ. ඉඳලා හිටල ගෙදරකින් ඇරෙන්න අනෙක් ගෙවල් වලින් කිරියට කන්න යමක් නොදී එලවන්නෙ නෑ. ඒ එලවන්නෙත් එක්කො හාමුදුරුවො එක්ක තියෙන අරෝවකට. එහෙමත් නැත්තං කොහේ හරි අස්සක පැටව් වදාවි කියන බයට. කිරියා හැමදාම බඩින්. තන් මාල්ල වන වන එහෙ මෙහෙ යන, එක්කො බඩ උස්සගෙන එහෙ මෙහෙ යන කිරියා දකින සමහර බබලත්තු හූල්ලනව.

"පව පලදෙන්න තිරිසන් අපායෙ ඉපදිච්ච සත්තු"

පාරේ තොටේ ගැවසෙන කුක්කන්ගෙන් කිරියට විසුමක් ඇත්තෙම නෑ. දිමියත් වතාවක් පස්සෙන් ඉවකරන් ගියත්, කිරියා ගොරවගෙන යන්න ගියා. ටොමියත් එක්ක ඒ සෙල්ලම් බෑ.

දරු බඩකුත් එල්ලන් පන්සලේ තරහ කාරයෙක්ගෙ ගේකට එබිකම් කරන්න ගිය වෙලාවක ඇදල ඇරපු ගඩොල් බාගයක් කකුලෙ වැදිල කිරිය දුවගෙන ගියේ බෑඟිරි ගාගෙන, දණිස් හන්දියෙන්ම කැඩිල එල්ලුන කකුලත් එක්ක, කකුල් තුනකින් කුන්දු පනිමින්.

"අපොයි මේ බඩ දරු බැල්ලිගෙ කකුල කඩලනෙ කවුද නොසංඩාලයෙක්" ඇතමෙක් එහෙම දුක් වුනා.

කකුලෙ වේදනාව තියාගෙනම, කිරියා ඉස්කෝලෙ මහත්තයගෙ පැල් කොටේ යට දිගෑදුනේ දරු බඩින් නිදහස් වෙන්න. පන්සලට හරි වෙන කොහෙට්ට හරි ගාට ගන්න කිරියට පණක් තිබුණෙ නෑ. වෙල අද්දරක් නිසා පිපාසෙට වතුරත් තියෙනව.

කකුල සනීප උනහම පැටිපැටව් ටික උස්සන් යන්න පුලුවනි වෙන ඉසව්වකට.

එහෙම වැතිරිල තුවාලෙ වේදනාවට කෙඳිරි ගගා, අළුත වදපු පැටවුන්ට කිරි දිදී ඉත්දි තමයි කිරියා දිමියගෙ ඇස ගැටුනෙ.

වෙනදා පෙන්නන රොස් පරොස් නැතුවම අසරණව 'කූ කූ' ගෑව කිරියා දිහා දිමියා බැළුවේ සානුකම්පාවෙන්. හයින්හාමතේ නැඟිටගන්නත් බැරිව පැටවුන්ට කිරි දෙන ඈ දැක්කම දිමියා කුක්කෙක් උනත් හිත උණු උනා.

ඉස්කෝලෙ මහත්තයලෑ ගෙදරින් උදේට කෑමට දාපු පාන්වාටියක් තමයි දිමියා ඉසිස්සෙල්ලම ඇන්න ආවෙ. ඊට පස්සෙ තේ බනිස් කෑල්ලෙ, වරකා වහල්ලෙ පටන් කරවල කට්ටෙ, මාළු කට්ටෙ ඉඳන් කුකුල් කුණක් දක්වාම විඩෙන් විඩේ ඇන්න ආවා. මේ වෙද්දි පැටි පැටවුන්ට තනියෙම ඇවිදින්න කරන්න පුළුවනි. කිරි බීල අහවර වෙච්චි පැටව්, බකල කකුල් වලින් නොන්ඩි තාලෙට ඇවිදිමින් දිමියාවත් ඉව කලා.

*****

ඉස්කොලෙ මහත්තයා ඉස්තෝප්පුවෙ වැටිල තිබුණ කුකුල් පිහාටු ටික එක මුල්ලකට කලේ අයින් කරන්න හිතාගෙන. පෙඳ පිහාටු, ලැම පිහාටු, අත් දඬු කෑලි ඒ අතර. ඉස්කෝලෙ හාමිනේ ප්ලාස්ටික් බේසමකට වතුර පුරවල රෙදි කෑල්ලක් පොඟව පොඟව සිමෙන්තියේ විසිරිච්ච ලේ පැල්ලම් පිහිනව.

"හත්තික්කේ මේවයෙ පිලී ගඳ. මේ නෝන්ජල් බල්ලා මේ දහ ජරාව යන තැනක කාල එන්න එපාය, මෙතෙන්ට උස්සන් එන්නෙ නැතිව" ඉස්කෝලෙ හාමිනේ ඉස්කෝලෙ මහත්තයට ඇහෙන්න කියෙව්ව.

"නෝන්ජල් බල්ලා කුකුලො ඇල්ලුවෙ අපේ ගෙදරින් නෝනෙ"

මිදුල දිහාවෙන් ඇහුණ කටහඬට ඉස්කෝලේ මහත්තයත්, නෝනත් ගැස්සිලා ගියා. කළු රංජිත් මිදුලෙ හිටගෙන ඉන්නව. උදැහනැක්කෙම රහමෙර කටගාල ගන්දස්සාරයි.  රස්සාවට කුකුලො, හරක් ආදී ගොවිපල සත්තු ඇති කරන, නාහෙට අහන්නැති හැඩිදැඩියෙක්.

"මහත්තේල ලේ පාරවල් හෝදල තටු ගොඩ වහන් කරල වැඩේ යටගහන්නයි හැදුවෙ නේද?"

රංජිත් අරියාදුවටමයි කතාව.

" මේ මොකෙද්ද සතෙක් කාල දාලනෙ අපේ බල්ල. අපි දෙන්න උදේම අස්පස් කරල දානව රංජිත්" ඉස්කෝලෙ මහත්තයත් කතා කලේ කොලේ වහල.

"මොකෙද්ද සතෙක්? මොකෙක්වත් නෙමේ ඔය මගෙ කොටුවෙන් අල්ලපු කුකුලෙක්. මේ දොලොස්වෙනිය. ඔහෙල කුකුල් පිහාටුවක්වත් අඳුනන්නෙ නැති බබ්බුද? "

කළු රංජිත් කෑකොස්සන් දෙන්න පටන් ගත්ත.

"මේකා නෝන්ජල් බල්ලා නිසා අපේ බලු හැතිකරේ බුරන්නෙ නෑ. පාන්දර එළිවෙන ජාමෙට හිමීට කොටුවට රින්ගල කුකුලෙක් බෙල්ලෙන්ම ඩැහැගෙන අරන් යනව. කීප දොහක්ම රැකල ඉඳල අද තමයි මම උනත් දැන ගත්තෙ. එක කුකුලෙක්ට රුපියල් පනහ ගානෙ කුකුල්ලු දොලහට අලාබෙ හයසීයයි. දැම්ම දීල දැම්මොත් මේක ගොඩින් බේරගන්න පුළුවනි. නැත්තං මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. මේ දැම්ම පොලීසි යනව අම්මාපල්ල." රංජිත් කියවගෙන කියවගෙන කියවගෙන ගියා.

රංජිත් කියපු අකුරක් නෑරම ඇත්ත. ඉස්කෝලෙ මහත්තය කුකුල්ලු ගාන වගේම කුකුල් උණ අරන් පල්ලම් බහින දිමියවත් සලකුණු කරගෙනයි හිටියෙ.

"පොඩ්ඩක් ඉන්නකො රංජිත්". ඉස්කෝලෙ මහත්තය අතින් සන් කරගෙන ඉස්කෝලෙ හාමිනෙත් කැන්දන් ගේ ඇතුලට ගියා.

"ඇත්තද මනුස්සයො මේ රංජියා කියන්නෙ?" ඉස්කෝලෙ හාමිනේ කාලෙකට පස්සෙ ඉස්කෝලෙ මහත්තයට අරියාදුවට කඩා පැන්නා.

"ඇත්ත හාමිනෙ. මමත් කුකුළො දොලහක් ගැන්න. කාගෙද කියල නිච්චියක් නැතුවයි උන්නෙ. රංජියගෙ කියලවත්, මේක අහුවෙයි කියලවත් හිතුවේ නෑ." මහත්තය කීවෙ නලලත් බැරෑරුමට රැලිකරන් තට්ට හිස්මුදුන පිරිමදිමින්.

"දැන් අපි මොකද කරන්නෙ? ඔය කළු රංජිය මහා නසරානිය. පොලිසි ගියොත් නවනිංගිරාවට ගමේවත් වසන්න වෙන්න නෑ" ඉස්කෝලෙ හාමිනේ කීවෙ කල්පනාවෙන් බර වෙමින්.

"ඔන්න ඔහෙ දීල දාන්න මහත්තය. අර සීට්ටු සල්ලි අල්මාරියෙ ඇති" ඉස්කෝලෙ හාමිනේ විනාඩියක් විතර කල්පනා කරල කීවෙ සුසුමකුත් හෙලමින්.

 

ඉස්කෝලෙ මහත්තය සැවැන්දරා සුවඳ හමන රෙදිකන්ද යටින් සීයෙ පටි හයක් ඇදල අරගෙන, මිදුලෙ හක්කලං කර කර උන්නු රංජිත් අත තැබුව.

"මම ඔය බලු තඩිය රෑට රෑට බැඳලවත් දාන්නම්කො රංජි" ඉස්කෝලෙ මහත්තය කීවෙ යාප්පු වෙමින්.

"කරදර වෙන්න ඕනි නෑ ඉස්කෝලෙ මහත්තය. මගේ කුකුල් කොටුවෙ හිටිය අන්තිම කුකුලගෙ තටු තමා ඔය" රංජිත් කුකුළු පිහාටු ගොඩට අත දිගු කරල පෙන්නුව.

රුපියල් හයසීයත් ගුලිකරගෙන පිටත්වෙච්චි කළු රංජිත් ගේ පේන නොපෙනෙන මානෙට ගිහිල්ලා "නෝන්ජල් බල්ල්ල්ල්ල්ල්ල්ලො" කියල මහ හයියෙන් කීව. ඉස්කෝලෙ මහත්තය කටත් බලියගෙන පාර දිහා බලාන උන්න.

"ආදෙන්කො ඔය බලු තඩිය අද"

*****

කුකුල් කුණ කාල ඉවරයක් කරපු කිරියා තොල කට ලෙවකමින් නැඟිට්ටා. දිමියගෙ ආදර සත්කාර වලින්, කිරියගෙ කකුලත් තරමක් සුව අතට හැරිලා. කිරියා, දිමියගෙ හොම්බට හොම්බ තියල ඉවකරල නකුට දෙපැත්තට වැනුවේ 'කරපු උදව් වලට ස්තූතියි' කියන්න වගේ. දිමියත් වල්ගෙ වන වනා කිරියා වටේ කැරකුණා.

දිමියා ආපහු හැරිල පිටත් වෙත්දිම කිරියත් ඒ පස්සෙන් වැටුනේ පැටි පැටව් පෝලිමත් එක්කමයි.

*****

ඉස්තෝප්පුව පැත්තෙන් ඇහුණු බලු කන්පට සද්දෙට ඉස්කෝලෙ මහත්තයා ඔලුව පොවල බැලුවා. කිරියා ඉස්තෝප්පුවෙ හාන්සි වෙලා පැටව් රොත්තට කිරි දෙනවා. දිමියා ලඟ ඉඳන් මුර කරනවා. දෙන්නම ඉස්කෝලෙ මහත්තය දිහාට හිස් හැරෙව්වා. දෙන්නගෙම කණ් පාත් උනා. ඇස් පුංචි උනා, නකුටු වැනුනා.

ඉස්කෝලෙ මහත්තයට යක්ෂයා ආරූඪ වුනා.

"තෝ එක එකාගෙ ගෙවල් වල කුකුළ් හොරකමේ යනවා මදිවටද කනවැන්දුම් බැල්ලියෙකුයි පැටව් රොත්තකුයි කැන්දන් ආවේ? දුහුප් පරයා මගේ දෑහකට නොපෙනී"

ඉස්කෝලෙ මහත්තය්ගෙ ගෝරනාඩුවට දිමියා හිටි තැනින් නැඟිට්ටා. නඟුටත් හිසත් පාත් කරගෙන සුපුරුදු බයාදු ගමනින් ඉස්තෝප්පුවෙ පඩිපෙල බැස්සා. කිරියත්, පැටව් රොත්තත් ඒ එක්කම පඩිපෙල බැහැල මිදුලට ආවා. එක පාරක් හැරිලා ඉස්කෝලෙ මහත්තයා දිහා බැලුව දිමියා, කිරියයි කිරියගෙ පැටව් රොත්තයිත් එක්ක වත්තෙන් පිටවන පාර දිගේ ඉදිරියට ගියා.

 

©රසික වික්‍රමනායක

2022.4.9

Comments

  1. බලුස් ලා ගැන නම් කතා කරන්න ඕනේ නෑ. ඉස්සරහ පන්සලේ ඉන්නවා හමුදාවක් ම..

    ReplyDelete

Post a Comment

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ