අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!


පාසලේ පිරිමි ලමුන්ට බොහෝවිට වංතකමක්
, එසේ නැතහොත් ආරූඪ නාමයක්, සරලව කිවහොත් 'කාඩ්' එකක් ඇත. මෙම වංතකම් විවිධාකාර කාරණා අරමුණු කොටගෙන විවිධ කාලයන්හිදී ඇති වූ ඒවා වෙති. ඇතැම් විට අලුත් වංතකමක් නිසා පරණ වංතකමක් යටයෑම හෝ ඒ වංතකම් දෙකම එකතු වී අලුත් වංතකමක් ඇති විය හැකිය. මගේ පාසල් කාලයේ වංතකම කොකාය. හේතුව පැහැදිලිය. මම පාසල් කාලයේ හීනිය, උසය. එක කලක පංතියේ සිටි උසම ලමයා මම වීමි. කලකින් ඒ වාර්තාව අභිබවා යාමට කිහිපදෙනෙක් සමත්වූවත්, මගේ වංතකම එසේ මැකී ගියේ නැත. මම මගේ වංතකමට එකල කැමති නැත. අකමැත්ත, වංතකමක් මුල් බැස ගැනීමටහේතුභූත වන්නේය. තවමත් " කොකෝ" යනුවෙන් මට අමතන්නෝ මිතුරන් අතර දුලභ නොවෙති.

වංතකම් හා ඒවායේ මූලාශ්‍ර කතා කිරීමට යාම එතරම් සුදුසු නැත. ඇතැම් ඒවාට මූලාශ්‍ර ඇත්තේම නැති අතර ඇතැමක මුල අසභ්‍යය. ඉඳින් ස්වකීය කැමැත්තෙන් යමෙක් දොඩයි නම් හැර, මම ඒවා කතා කිරීමට නොයමි. ඇතැම්විට එය අනෙකෙකුගේ සිත රිදවීමටද හැකිය. උදාහරණයක් වශයෙන් ගැහැනු යට ඇඳුමකට ඉංග්‍රිසියෙන් කියන පදය වංතකමක් වූ ඇත්තා අද විශ්ව විද්‍යාලයක ආචාර්‍යතුමෙකි.එයම සිංහලෙන් යොදා හැඳින්වූ මිත්‍රයා ප්‍රමුඛ පුද්ගලික බැංකුවක කලමණාකාර තුමෙකි!

පාසල් ක්‍රීඩා උත්සව සමය, පාසලේ වසන්ත සමයයි. එම සමයේ බොහෝ දිනයන්හි පාසල පැවැත්වෙන්නේ වරුවකි, ඇතැම් දින වල නාමලේඛනය ලකුණු කරන තුරු පමණි. ඉන් පසු සියල්ලන්ම ක්‍රීඩා පිටියේය. ගන්කන්ද මැදි මිදුහලේ එකල ක්‍රීඩා පිටිය වූයේ දැන් පාසලේදොරටුවෙන් වම් පස ගොඩනැඟිලි ඉදි වී ඇති පෙදෙසයි. එකල එහි වූයේ ජීවන කුසලතා විෂය උගැන්වූ තහඩු ගැසූ අබලන්ගොඩනැඟිල්ලක් පමනි. ගන්කන්දය, ඉතා සුන්දර පාසලකි. කුට්ටාපිටිය කඳුවැටිය සෙවනෙහි, දෙනවක ගං මිටියාවතේ පිහිටි එහි ක්‍රීඩාපිටිය වටා අක් වක් වෙමින් කළු ගඟෙහි අතු ගංගාවක් වන දෙනවක ගං කොමලිය ගලා බසී. ගං ඉවුරක් හිමි පාසල් කීයක් ලංකාව තුල ඇත් දැයි මම නොදනිමි. ස්වල්පයක් බව මගේ පුද්ගලික හැඟීමයි. ගං ඉවුරේ අපේ පියසටහන් දැන් මැකී ගොස් ඇතත්, මතක සටහන් අප මියෙන තුරාවටම පවතිනු ඇත.

නිවාසන්තර ක්‍රීඩා පැවැත්වෙන දින වලට පාසලේ තරු වන්නේ ක්‍රීඩා ඉසව් වලින් ජය ලබන්නන්‍ ය. මීටර් සියය, උස පැනීම, රිටි පැනීම වැනිජවන හා පිටිය ක්‍රීඩකයෝ ගුරුමණ්ඩලයේ මෙන්ම යුවතියන්ගේ නොමඳ ආකර්ශනයට ලක් වෙති. නිවාස නායකයෙකු, ක්‍රීඩා නායකයෙකු වීම පවා ඇතමෙක්ට සිහිනයකි. එවන් වාසනාවක් නොලද අප වැනි බහුතරය ක්‍රීඩා උත්සවයේදී බොහෝ විට සහභාගි වන්නේ ආචාර පෙලපාලියට පමනකි. ඇතැම් විට නිවාස ඉඳිකිරීම, කෑම පැකට් කිරීම වැනි සුළු සුළු කටයුතු වලට ද සහභාගි වන්නේ ක්‍රීඩා තරු නොවන අප වැන්නන් ය.

නිවාසන්තර ක්‍රීඩා තරඟයේ උච්ඡතම අවස්ථාව වන අවසන් ක්‍රීඩා උත්සවයට පාසලම කල එලි වේ. බෑන්ඩ් කණ්ඩායම ඔවුන්ගේ පුරුදුපුහුණුවීම් සිදු කරයි. පාසලේ ගොඩනැඟිලි අළුත්වැඩියා කෙරේ. ගස් වල වැඩිපුර අතු පිලිවෙලට කප්පාදු කෙරෙයි. ධජ පතාක එසැවේ. ක්‍රීඩා උලෙලේ නිවාස සෑදීම වැදගත් අංගයකි. බොහෝ පාසල් වල දැනට සිදුවන පරිද්දෙන් ක්‍රීඩාංගනයක් කුලියට ගෙන කූඩාරම් අටවා, එහි ඉදිරිපස සැරසිලි කර නිවාස සෑදීම වෙනුවට, අප පාසලේ නිවාස මුළුමනින්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඉඳිකරන්නේ සිසු සිසුවියන් විසින්මය. හොඳම නිවාසය සඳහාද තෑග්ගක් පිරිනැමේ. තවමත් එම සම්ප්‍රදාය ගමේ පාසල්හි ඇතැයි මම විශ්වාස කරමි.

නිවාස ඉඳිකිරීමට ගුරුවරුන්ගේ අධීක්ෂණය ‍යටතේ සිසුන් දින කිහිපයක් දිවා රාත්‍රියේ පාසලෙහි රැඳේ. රාත්‍රියේ වෙහෙසවන සිසුන්, අලුයම පැය කිහිපයක නින්දක් ලබාගෙන නැවතත් වැඩට බසිති. නිවාස ඉඳිකිරීමට ගෙන ආ පුවක් ගස්, පොල් අතු, ලණු කැරලි, කෙසෙල් කොට, පුවක් අතු, ක්‍රෝටන් කොල, ගොක් අතු ආදිය ක්‍රීඩාංගනයේ ගොඩගසා ඇත. ගන්කන්දයට ප්‍රබල ආදි ශිෂ්‍ය සවියක් අද මෙන්ම එදාද පැවතුණි. නිවාස තැනීමට අමුද්‍රව්‍ය නොමිලයේම තොග පිටින් ලැබේ. කෑම බීමද එසේමය.

පාසලේ නිවාස තැනීමට වෙන්කරන රාත්‍රියන්ගේ ඊට අමතරව තවත් දේ සිදුවේ. අඳුරේ තැන් තැන් වල ප්‍රේම කසුකුසුය, ආදර අයැදීම් ය. (පාසල් ප්‍රේමය මැජික් වන පුහු සුචරිතවාදීන් මගේ පාසල් මවට නො ගරහත්වා !) ඇතැම් සඳ එලිය ගලන රැයක අපි ගංඉවුරේ සුදුවැලිතලය මත වාඩිවී ගී කීවෙමු. ඒ සඳ එලිය පාසල් පෙම්වතුන්ට කිනම් ආනන්දයක් ගෙන දෙන්නට ඇතයි සිතන විට නිරාමිස සුවයකුත්, දුකකුත් ඇති වේ. ප්‍රේමාරාධනා පිළිඹඳව පවසන විට කිවයුතු කෙටි කතාවක් ඇත.

අපේ එකෙක් පහල පන්තියක එකියක් පිළිඹඳව සිත් පහලව ඇගේ ප්‍රේමය අයැද සිටියේය. ඇය 'බැහ්' ගෑවාය. අසන පලමුවර බැහ් ගෑම එකවර 'හා' කීමට නොහැකි නිසා ගණන් උස්සන්නට කියන්නක් බව පාසල් ප්‍රේම බයිබලයේ කොතැනක හෝ ලියා ඇති බැවින් අපේ එකාත්වැඩේ අත් ඇරියේම නැත. නැවත නැවත ඇසුවේය. ඇය දිගින් දිගටම 'බැහ්' ගෑවාය. නිවාසාන්තර ක්‍රීඩා උලෙල දින කිහිපය එලඹිනි. අපේ එකාත් අරකිත් නිවාස සෑදීම සඳහා පාසලේ වැඩය. අපේ එකා නැවතත් කෙසේ හෝ අරයාව තනිකර ප්‍රේමය අයැද සිටියේ පිට්ටනිය සීමාවේය."නංගි, මම මේ අන්තිම පාරට අහන්නෙ. මම ඔයාට ආදරෙයි, ඔයා මට කැමතිද?" අදනම් අරයා මට හා කියනවා බලපල්ලකො කියා පුරාජේරු පවසා සිටි අපේ එකා ගට අරන් විමසා සිටියේය. "අනේ අයියෙ ඔයාට මම කීපාරක් කියන්නද? මම කැමති නෑ ඔයාට".. අරයා සුපුරුදු උත්තරය දුන්නේය. අපේ එකාට ඌරු ජුවල් නැංගේය. "අනේ උඹට බැරි නං නිකා හිටපං. උබත් බඩුවක්ද? ඔයිට වඩාහොඳයි මම මේ පිදුරු වලින් බඩුවක් හදාගෙන ලව් කරනව" යැයි කීවේ පිදුරු ගොඩකට අත දික්කරමිනි. එදා පටන් අරයාගේ වංතකම ' පිදුරු බඩුව' විය.  මෙවන් අති බිහිසුණු පෙම් ජවනිකා වලට අමතරව අහිංසක පෙම් ජවනිකාද ඇත. රාත්‍රියේ අඳුර ගලත්දී සිත් ගත්යුවතියගේ පංති කාමරයට ගොස් ඇගේ පුටුවේ වාඩි වී මේසයේ හිස හොවා නිදා ගැනීම එවැන්නකි!

පෙම් ජවනිකා වලට අමතරව කෑම බීමද එසමයෙහි 'නැඟලා යන' වැඩකි. පාසලේ පංති කාමරයක් බැගින් එක් නිවාසයකට වෙන් වන්නේ සංග්‍රහ කටයුතු උදෙසාය. එහි පිලියෙල වන කෑම බීම ක්රීඩාංගනයේ වැඩෙහි නිරත වන අය වෙත සැපයේ. බොහෝ විට සැපයෙන්නෙ සැන්ඩ්විච් සමඟ කිරි කෝපි හෝ තේ ය. ඊට අමතරව ඇතිතරම් මාරි සහ වේෆස් බිස්කට් ඇත. රෝල්ස්, කට්ලට්ස්, පැටිස් ආදිය සැපයෙන්නේ අතරින් පතර ඒවා පරිත්‍යාගයක් ලෙස ලැබුනු පසුව ය. පාන් තොග වශයෙන් රැගෙන විත්, සැන්ඩ්විච් තැවරුම සැමන්, මාගරින්, රතුළූණු, අමු මිරිස් ආදියෙන් සකසා තවරා බෙදා හැරේ. නිවාසාන්තර ක්‍රීඩා උලෙල දිනයට කෑම පාර්සල් සැකසෙන්නේද ඒඅයුරින් ම ය. කෑම සෑදෙන තැන 'ක්‍රශ්' එකක් සිටීනම් ඇය විසින් පිලියෙල කර දෙන කෝපි කෝප්පයක් බී අමෘතය බිව්වාක් මෙන් සිහිනවිමන් අතරේ සැරිසරන්නෝ ද වූහ. එලෙස කෙතරම් රසමසවුළු ඇතත්, අපිට කුරුම්බා ගෙඩියක් පොල් ගෙඩියක් පලා පොල් වතුර, කුරුම්බා වතුර බොන්නාක් මෙන් අමා රසක් නැත. පාසලේ ගඟ මායිමේ දිගටම පොල් ගස් ඇත. නිවාස සෑදීමට කොතරම් පොල් අතු තිබුණත් පාසල් වත්තේ පොල් ගසකට නඟිනවා යනු 'ගති' වැඩකි. එසේ නඟින්නේ පොල් අතු නොව කුරුම්බා කඩන්නටය. නිවාසන්තර ක්‍රීඩා උළෙල අහවර වෙද්දී පොල් ගස් වල ඉතුරු වන්නේ මුදුන් අතු පමණි.

එක දිනක් ගස් නඟින්නට දක්ෂ අපේ එකෙක් ගස් නැග්ගේ මූට්ටු නැති සරමක් ඇදගෙන අමුඩයක් ගසාගෙනය. ඒකා පොල් කුරුම්බා කඩන්නේ මහ නසරානි තාලයටය. මුදුන් ගොබය දෝතින්ම අල්ලා ගන්නා හෙතෙම කුරුම්බා වලු උඩ උඩ පනියි. පොල් කුරුම්බා ගෙඩි'දඩිං බිඩිං' ගා බිම ඇද වැටෙයි. දවසක් මේ කුරුම්බා සමඟ අපේ එකාගේ අමුඩයද ගැලවී වැටුනේ කිමක්දෝ පෙර කරුමයකටය. ටෝච්ගසා උඩ බැලූ විට පෙනුනේ පොල් වලු පමණක්ම නොවේ. කෙසේ හෝ ඒකා එදා බිමට බැස්සේ හෙළුකොට්ටෙනි. එහෙම කියා බුවාකුරුම්බා කැඩීම අත් හැරියේද නැත!

1995 නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මගේ නිවාසය වන 'පිහිටි' නිවාසයේ ක්‍රීඩා නායකයා අපේ කණ්ඩායමේ මිතුරෙකි. ඒ වන විටත් යම් යම්දේ කුරුටු ගාමින් යම් ප්‍රසිද්ධියක් ලබා සිටි මට නිවාසය සඳහා සැලසුමක් සකසා දීමට ඔහුගෙන් ඉල්ලීමක් විය. මම හාෆ්ශීට් කඩදාසියක පැන්සලයකින් සැලසුමක් ඇඳ දුනිමි. මගේ ජීවිතයට නිර්මාණය කල පලමු සැලැස්ම එය විය. එකල ජනප්‍රිය නිවාස සැලැස්මක පෙනුමට නිමැවූ එහි ප්‍රථමධාර කාමරයද ඇතුලත්ව කාමර හතරකින් සහ පිවිසිය හැකි ඉහල මාලයකින්ද යුතු යුතු අඩි 21 ක් උස දැවැන්තසැලැස්මකි. එහි දිග පලල ගැන අපිට විසල් අවබෝධයක් නොවීය.

ඒ වන විට අප සන්තකයේ වූ කිසිම පුවක් ගසක් අඩි 21 ක් වූයේ නැත. පලමු අභියෝගය වූයේ අඩි 21 ක පුවක් ගස් සොයා ගැනීමයි. කොහෙන්දෝ සොයාගත් දිගැති පුවක් ගස් කීපයක් ලෑම්මාස්ටරයක බැඳ හවස් ජාමායේ විදුහල තුලට ඇදගෙන එනු ලැබිනි. පොලවෙහි සිටුවන කොටසත් සමඟම එහි මුළු උස අඩි 24 ක් හෝ 25 ක් පමණ විය. පුවක් ගස් දුටු වේලේ පටන්ම අනෙකුත් නිවාස වල ඇත්තන්ටද පිහිටි නිවාසය ගැන කුහුලක් ඇති විය.

අපි සැලැස්මට අනුව වලවල් කපා පුවක් ගස් ඉන්දන්නට පටන් ගතිමු. වටේ පරිවාර පුවක් ගස් ලෙහෙසියෙන්ම සිටුවූවාට අඩි 21 පුවක් ගස්සිටුවීම ලේසි පහසු කාරණයක් වූයේ නැත. මහ රෑ මැදියම වන විටත් සිටුවාගත හැකි වූයේ එක් පුවක් ගසක් පමණි. ඒද ලණු දමා ඇද ආයාසයකින් පසුවය. උදේ වන විට නිවාසය සාදා නිම කල යුතු විය. අනෙකුත් නිවාස ඒ වෙද්දීත් හැඩ හුරුකම් ප්‍රකට කරමින් සිටියේය. අපි පුවක් ගසක් සමඟ ඔට්ටු අල්ලමින් ය. ක්‍රීඩා නායක මිතුරාට මල පැන්නේය. "මොකද්ද ** තො මේ ඇඳල දුන්න ප්ලෑන් එක?" යයිඅසමින් මට කණට ගසන්නට ආවේ මගේ කුළුදුල් සැලැස්ම මගේ මුහුණටම දමා ගසමිනි. යාලුවෝ ඔහුව වලක්වා ගත් හ.

කෙසේ නමුත් කුමක් හෝ කඩිනම් විසඳුමක් අවශ්‍ය බව අපට පසක් විය. අපි ක්‍රීඩා පිටියේ කෙලවර ඇති මැයි මල් ගසේ මුල් මත වාඩි වී අහස පොලව ගැටලමින් කල්පනා කලෙමු. අවසානයේ උඩු මහල අතහැර, ඒ වහල පහත් කර මහල ගැසීමට තීරණය කලෙමු. (මෙහි ඇතිදල සැලැස්ම බලන්න.) ඒ වනවිටත් සිටවා තිබූ පුවක් ගසේ උඩ කොටස කපා දමා වහලය පාත් කිරීමට සිතුවේ නැවතත් එය ගලවාදැමීමට වෙනම කට්ටක් කෑමට සිදුවන නිසාය.


පින්න පතිත වන කට්ට සීතල පට්ට අඳුරු රැයකි. පාසල් ක්‍රීඩාංගනයේ කොස් ගසක් අසල සිටවූ අඩි විසි එකක් උස පුවක් ගස දිස්වන්නේ ලිස්සන ගසක් ලෙසිනි. කොට කලිසමක් ගසාගෙන එහි අඩි පහලවක් පමන ඉහල නැඟ 'ටොක් ටොක්' හඬින් කැත්තකින්කොටන මානවකයෙකි. ගස පාමුල දත් කූරු කමින් හබ්බෙන් බෙණෙමින් සිටින ක්‍රීඩා නායක තැනය. වටපිටේ අනිකුත් නිවාස වලින්නැඟෙන හූ හඬවල් ය.

කෙසේ හෝ උදෑසන වත්දී අපි නිවාසයේ බහුතර කර්තව්‍යයන් අහවරක් කර ගතිමු. නිවාසයේ ඉදිරිපස කෙසෙල් පතුරු වට්ටුවක් මත ගසාසිදුකල යුතු සැරසිල්ලක් විය. එයට කල්වේලා මදි බැවින් වට්ටුවේ සුදු ඉටිරෙදි ඇද කලු ඉටිරෙදි පටි පොල්තෙල් ගා අලවා ජාමය බේරුවෙමු.

අවසානයේ හොඳම නිවාසයේ තෑග්ග හිමිවූයේ පිහිටි නිවාසයටය. අමන්දානන්දයට පත් කොල්ලෝ සහ කෙල්ලෝ " කොක් ඉන්ජිනේරුවට ජය වේවා! අපේ කොකාට ජය වේවා! යැයි ප්‍රීති ඝෝෂා කලහ.

ක්‍රීඩා නායක තැන තවමත් ෆිට් එකකි.

තවත් කොටසකින් හමු වෙමු.

 

©රසික වික්‍රමනායක

2022.12.26

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ