පාසල් බස් රථය - 1 කොටස.


ගමේ සිට පාසල් යාමටත් ඒමටත් පාසල් බස් රථයක් තිබීම ඉතා පහසුවක් විය. උදේ 6.30 බසයට නගින අප 7.30 වන විට පැල්මඩුල්ලට සේන්දු වෙමු. සවස 1.45 ගමන් අරඹන එය නැවත සවස 2.30 ගමට සේන්දු වේ. දොර දෙකේ "ඉසුසු" වර්ගයේ ලංකාව් එකලස් කරන ලද බස් රථයක් වූ එය පාසල් සේවයට අමතරව දයිනිකව ගොඩකවෙල - පැල්මඩුල්ල අතර අපේ ගම හරහා ධාවනය විය. ත්රි රෝද රථ, පුද්ගලික බස් රථ නොතිබුනු කාලයේ බස් රතය නොමැති වූ විට සැතැක්මක් පයින් ගොස් ඇඹිලිපිටිය -රත්නපුර මාර්ගයේ දුවන බස් රියක් අල්ලා ගත යුතුය. එසේ දුවන ලංගම බස් වූයේද ස්වල්පයකි. පුද්ගලික බස් රථ තිබුනත් ඒවායේ වියදම සැරය. එකල මාසික වාර ප්රවේශ පත්රයේ මුලු ගාස්තුව රුපියල් 33.60 ක් වූ අතර පුද්ගලික බස් වල එක් ගමන් වාරයක් සදහා ගාස්තුව රුපියල් හයක් විය.

ස්කූල් බස් එක මාසයකට වරක් දෙවරක් අතරමග කැඩීම අනිවාර්යයෙන් සිදු වන්නකි. බහුලවම වැලදෙන රෝගය වූයේ දුණු කොල මිටිය කැඩී යාමයි. පමණට වඩා පොල් පටවා යෑම නිසා එය සිදුවූ බව නොකියාම බැරිය. මගීන් 42ක් යායුතු බස් රියේ අපි 80ක් පමණ පාසල් ගියෙමු. හිටි අඩියේම"ඩාං " යන ශබ්දයත් සමග බස් රියේ එක පැත්තක් බිමට පාත් වීම දුණු කැඩී යාමත් සමග සිදුවේ.

එවන් අවස්තාවක තාවකාලික පිලියමක් කරගන්නා රියදුරු මාමාත් කොන්දොස්තර මාමාත් බස් රිය ඩිපෝව කරා රැගෙන යයි. බස් රිය ආපදාවට ලක්වූයේ ඩිපෝවට කිට්ටු පෙදෙසකනම් බස් බාගයක් අප රැගෙන යාමට පැමිණේ. අපි කෙසේ හෝ බස් බාගයේ නැග පාසල් යන්නෙමු. නැතහොත් පාරට බැස බසයක් එනතුරු බලා සිටීමට සිදුවේ. ලංගම බස් ආවද එක බස් රියක සැමටම යාමට නොහැක. අතේ මිටේ කීයක් හෝ ඇති අය පුද්ගලික බස් වලට ගොඩ වේ. බස් රිය කැඩුනේ පාසලට සැතැම්ප කිහිපයක් දුරින් නම් ඇතැමි විට අපි දුර පයින් යන්නෙමු. යාලුවන් සමග කියවමින් යන නිසා වෙහෙසක් නොදැනේ. ඇතැම් විට පාරේ යන ලොරි බාගයක් අනුකම්පා සිතී අපව ලොරි තට්ටුවේ පටවාගෙන යයි.

පාසල් බස් රිය කැඩුනු විට වේලාවට පාසලට යාම සිදු වන්නේ නැත. ඇතැම් විට පන්සිල් ගැනීම හෝ උදෑසන රැස්වීම අතර යාමට සිදුවේ. එවිට විනය පාලක ගුරුතුමා ගේට්ටුව අසල රැදී සිටින අතර , රැස්වීම අවසන් වූ විට පාසලට යාමට අවසර ලැබේ. අපි ගේට්ටුවෙන් පිටත සිට පන්සිල් ගන්නෙමු. ඊට වසා පරක්කු වූ විට මුල් ගුරුතුමාගේ උකුසු ඇසින් ගලවී පාසලට යන්නට වන්නේ නැත. පිරිසක් වශයෙන් ගිය විට තත්ත්වය තේරුම් ගන්නා එතුමා අපව නිදහස් කර හරී . නැතහොත් වේවැල් පාර දෙකක් අනිවාර්යයෙන්ම ලැබේ.

පාසලේ සිට බස් නැවතුව දක්වා සැතැප්මකට නොඅඩු දුරක් පවතී. නගරෙයේ ප්‍රදාන පෙලේ පාසල් 3 කි. සියලුම පාසල් හැරුනු විට එකතුවන ලමුන් කන්දරාව බස් රියට ඔරොත්තු දෙන්නේ නැත. බස් රිය පිරුණු පසු පිටත් වීම සිරිතයි. එම නිසා බස් රියේ අසුනක් අල්ලා ගැනීමට, අඩු තරමින් බස් රියට නැගීමට, පාසල අවසන් වන සීනුව නාද වූ විගස මැරතන් තරගයක් දිවීමට අපට සිදු විය. චත්ත මානවක ගාතාවේ අවසන් පදය ඇසෙද්දීම දුවන්නට පටන් ගනිමු. කනත්තක් මැදින් රිංගා නගරයට පිවිසීමේ කෙටි පාරක්ද අප සතු විය. පසු කාලීනව කෙටි පාර පොදු පාරක් වීම නිසා අයිතු කරුවන් එය වසා දමීමට කටයුතු කලේය. අපි සුපුරුදු මහ පාරට වැටුනෙමු.

බස් රියේ අප හිදගැනීමට කමතිම ස්තානය වූයේ බැට්රි පෙට්ටියයි. රියදුරු මහතාට සමාන්තරව අනෙක් පස පිහිටා තිබූ එහි අප් කුඩා වුන් තුන් දෙනෙකු පහසුවෙන් අසුන් ගත්තෙමු. බසයේ කොතරම් ඉඩකඩ තිබුනත් අපි නොවේ අසුනක වාඩි වූයේ. ඇතැම් විට බැට්රි පෙට්ටියේ හිද ගනීමට රන්ඩු සරුවල්ද ඇතිවේ. බැටිරි පෙට්ටියේ ඉඩ නැත්නම් පිටු පස රෝදය උඩ අසුන් දෙකෙන් එකක ඉද ගනීමට අපි කැමැත්තෙමු. අසුන් දෙක අනෙක්වාට වඩා මදක් උඩින් පිහිටා තිබුනු නිසාය.

කුඩා වුන් ලෙස බැට්රි පෙට්ටියට පොර කෑ අප, දිග කලිසම් අදින්නට ගත් පසු පාපුවරුවෙන් ඉහලට ගොඩ වීමට සිතුවේම නැත.


මතු සම්බන්දයි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!