පාසල් බස් රථය - 2 කොටස.


පාසල් බස් රියට රියදුරු මාමලා දෙදෙනෙකු සිටියේය. වීරකෝන් මාමා සහ බණ්ඩාර මාමාය. වීරකෝන් මාමා ගමේම වාසය කල අතර බණ්ඩාර මාමා අල්ලපු ගමේය. විට කන,සැර පරුෂ, කොට කොටා යන වීරකෝන් මාමාට වඩා විනීත, නිහඩ පාගලා යන බණ්ඩාර මාමාට අපි ප්‍රිය කලෙමු. වීරකෝන් මාමා කුකුල් කේන්ති කාරයෙකි. ඇතැම් විට උදේ පාන්දරින්ම බස් එක රැගෙන යයි. එවිට අපට සිදුවන්නේ හන්දියට පයින් ගොස් වෙන බස් රියක පිහිට පතා පරක්කු වී පාසල් යන්නටය. වීරකෝන් මාමා නිතරම කාට හෝ බැන වදියි. වෙනකෙකු නැත්නම් බැට්‍රි පෙට්ටියේ වාඩි වී සිටින අපට හෝ අත පය දිගු කරමින් බන වදී. ගාට ගාට බස් රිය පදවන ඔහු නිසා බොහෝ දින වල අප පාසල් ගියේ පරක්කු වීමෙන් අන්තුරුවය. බණ්ඩාර මාමා ඉතා නිහඩ චරිතයකි. වචනයක් කතාකරන්නේ ඉතාම කලාතුරකිනි. වේගයෙන්, ඉදිරිය බලාගෙනම බසය ධාවනය කරයි. මා පාසල් ගිය වසර අටක කාලය තුල (1988-1996) මේ දෙදෙනා අතින් කිසි කලෙකත් බස් රිය අනතුරකට භාජනය වී නැත.

කොන්දොස්තර වරු නිතර වෙනස් උවත්, එසේ "ආව ගිය" චරිත අතර නොමැකෙන සලකිණකි, අජිත් අයියා.ගොඩකවෙල දුශ්කර ගමක දිලිදු පව්ලක උපත ලද අජිත් අයියා ගොඩකවෙල මද්ය මහා විද්යාලයේ උසස් පෙල ජීව විද්යා අංශයෙන් උසස් පෙල හදාරා තිබුණි.අමතර පන්ති යාමට මුදල් නොමැති කමින් පාසල් ගුරුවරුන්ගෙන් පමණක් සිප්සතර හැදෑරූ ඔහු උසස් පෙල විශය ධාරාවෙන් A සාමාර්ථයක්, B සාමාර්ථ 2 ක් හා C සාමාර්ථයක් සහිතව වයිද්ය විද්යාලයටද සුදුසුකම් ලබා සිටියේය. පියා මිය ගිය පවුලක එකම පිරිමි දරුවා වූ අජිත් අයියා විශ්ව විද්යාලයට නොයා අම්මාත්, නංගීලාත් පෝශනය කිරීමට කොන්දොස්තර රස්සාව තෝරාගෙන තිබුනේය. ඉතා ඉහල විශය දැනුමක් තුබූ ඔහු උසස් පෙල ජීව විද්යා ධාරාවේ අසීරු විශයන් වේලාවක් ලද විට අපට කියා දෙයි. නිතරම අප උනන්දු කිරීමට කතාකල ඔහු දැන් කොහේ සිටීදැයි සොයා ගනීමට උගහටය. පාසල් වියේ මතකයන් අතර රැදුනු චරිත අතර අජිත් අයියා සුවිශේෂ ගරුකටයුතු පුද්ගලයෙකි මට.

බස් රිය ධාවනය නොවෙන ඇතැම් සවස් වරුවක අපි මගින් මගට ගොස් නිවසට පැමිනෙන්නෙමු. පැල්මඩුල්ලේ සිට කහවත්ත දක්වාත්, කහවත්තේ සිට මාදම්පේ දක්වාත්, මාදම්පේ සිට රිදීවිට හන්දිය දක්වාත් කඩින් කඩ පැමිනෙන ගමනට පැය තුනක් පමණ ගතවේ. මේ මුලු දුර ප්රමාණයම යන්නට අද දින විට බස් රියකට ගතවන්නේ පැය භාගයක් හෝ ඊට අඩු කාලයක් පමනි.

1988 -1989 භීෂණ කාලයේදී පාසල් බස් රිය ධාවනය වූයේ කඩින් කඩය. ඇතැම් විටෙක අපි පාසල් ගිය විටෙක ඇදිරි නීතිය පැනවේ.එවන් අවස්තාවක පාරේ යන ලොරි වල සරනින් නිවෙස් බලා යෑම සුලභය. ලොරි බාගයක් හෝ නොමැති වෙලාවට හැතැප්ම 16 පයින් ගොස් රෑ 9 පමණ ගෙදර දවස් කීපයක්ද මගේ මතකයේ ඇත. එවන් විටෙක පාර දෙපැත්තේ තිබුනු තරුණ මලසිරුරු එකල සාමාන්ය දර්ශනයක් පමනක් විය.

පාසල් බස් රිය තවමත් ධාවනය වේ. අප මෙන්ම අලුත් පරපුරක් එහි අත්දැකීම් තවදුරටත් විදිනු ඇත.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!