පෙණ රොටී

කෘතිම රබර් ප්‍රචලිත වන්නට පෙර, රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ පෙදෙස් වල රබර් වගාව බොහෝ ජයටම සිදුවිය. ස්වභාවික රබර් ශීට්, රබර් රොටි වශයෙන් නිපදවන්නන් අතරත්, මිලදී ගන්නන් අතරත් ප්‍රචලිතය. දශක කිහිපයකට පෙර මගේ මව් පාර්ශවයේ සීයා එවන් රබර් වතු කිහිපයකම හිමිකාරිත්වය දැරුවේය.

වැසි වැටීමෙන් තොර වියලි දවස් වල සීයාගේ නිවසට යන අප ගෘහස්ත රබර් කර්මාන්තය සිදු වන දෙස බලා සිටියේ මහත් ආසාවෙනි. දැනට ඉතා සුළු පරිමාණයෙන් ස්තාන කිහිපයක පමණක් සිදුවන ඒ ක්‍රියාවලියේ අතීත මතක පොත පෙරලීමකි මේ.

රබර් කිරි නිපදවීමට රබර් ගසෙහි පොත්ත කප්පදු කල යුතුය. මේ සදහා තියුණු තලය මැදින් ඇතුලට බැස්මක් සහිත පිහියක් එකල භාවිතා විය. එය හැදින්වූයේ "කිරි පිහිය" නමිනි. වැසි වැටෙන කාලයට පොලිතින් ආවරණයක් යෙදීම දැන් කාලයේ සිදු වූවත්, එවන්නක් අතීතයේ සිදු වූයේ නැත. එබැවින් රබර් කිරි කැපීම වියලි කාලයන්ට පමණක් සීමාවිය. මෙලෙස කපන ලද කට්ටය කෙලවර ඉන්ග්‍රීසි “වී” අකුරේ හැඩයට සැකසූ කුඩා පීල්ලක් සවිකර, එයට පහලින් සුද්ධ කල පොල් කටුවක් එල්ලා තැබීමෙන් රබර් කිරි එකතු කිරීම සිදුවිය. සවස් යාමයේ රබර් ගස් කප්පාදු කල විට උදෑසන වන විට රබර් කිරි වලින් පොල්කටුව පිරී යයි. එදිනම හවස ගසෙහි කැපුම් දාරය ඝණ වූ රබර් කිරෙන් වැසී යයි. මෙය ගලවා ඉවත් කරනු ලැබේ. ඔට්ටපාලු ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේවාය.

සීයාගේ වතු වල රබර් කිරි එකතු කිරීමට සේවකයන්ම නොවූ නෑ හිතවත් කිහිප දෙනෙක්ම සිටියෝය. අරනේලිස් ආතා මගේ මතකයේ රැඳුණු චරිතයක් විය. උදෑසනම කිරි එකතු කිරීමට යන මාමා රබර් කිරි පිරවූ වි විශාල බූලියක් කර තබා ගෙන නිවසට එයි. එක බූලියක් පිරවීමට කිරි පොල් කටු කීයක් වෙත යාමට සිදු වීදැයි සිතීම ම විශ්මය දනවන සුළුය.

මෙලෙස රැගෙන එන කිරි බූලි වලින් රබර් කිරි "රොටි තැටි" වලට කුඩා දැල් සහිත පෙනේරයකින් පෙරනු ලැබේ. රොටි තැටියක් යනු අඩි දෙකක් පමණ දිග, අඩි එක හමාරක් පමණ පලල, අඟල් තුනක් පමණ ගැඹුරකින් යුතු සෘජුකෝනාශ්‍රාකාර ඇලුනිමියම් තැටිය. මේ තැටි  වලට කිරි දමද්දී ඉමිහිරි කිරි සුවඳක් නිකුත් වේ. මේ කිරි සුවඳට වශී වී කිරි බඩ පුරා පානය කල ඇතැම් දරුවන් රත්නපුර මහ රෝහලේදී සැත්කම් වලට භාජනය කල බව මම අසා ඇත්තෙමි. උදරයේ ඇති ආම්ලික භාවයට රබර් කිරි අඹ ගෙඩියක් මෙන් ගල් වේ.


දියරෝලක් (වමේ) සහ ඩයමන්ඩ් රෝලක් (දකුණේ) සේයාරුව දෙව්සත් ද මෙල් සොයුරා විසින් එවා තිබුණි

කිරි තැටි වලට දැමූ පසු පැතලි පත්තකින් හොදින් පෙණ ඉවත් වන තුරු මිශ්‍ර කරන්නේ සීයා විසිනි. මෙලෙස කලවම් කරන රබර් කිරි උඩ කුඩා පෙණ ඇතිවීමට පටන් ගනී. මේවා පත්තෙන් ඉවත් කරනු ලැබේ. රබර් පෙණ ඉවත් කරන විට එකතු කර ගැනීමට කුඩා අපට වෙනම කුඩා තැටි ඇත. මේවාට පෙණ එකතු කර ගැනීමට අප අතර සුළු සුළු ආරවුල් ඇතිවීම ස්වභාවිකය.

 පෙණ ඉවත් කිරීමෙන් පසු කිරි වලට "රබර් ඇසිඩ්" ස්වල්පය බැගින් එයට එක් කරනු ලැබේ. රබර් ඇසිඩ් ලෙස ජනවහරේ හදුන්වන්නේ සාන්ද්‍ර ෆෝමික් අම්ලයයි. මෙලෙස එක් කරන ඇසිඩ් සීයා විසින් කුඩා අපට ලංවන්නට නොහැකි වන තැනක් සඟවා තබනු ලැබේ. සඟවා ඇති තැනින් එළියට ගන්නා බෝතලයෙන් මූඩිය බැගින් තැටි වලට දමා නැවතත් කලවම් කිරීමෙන් පසු ඝන වන තුරු සවස් යාමය දක්වා තහඩු වලින් වසා තබනු ලැබේ. වසා තබන්නේ කුඩා කෘමි සතුන් ආදිය එහි වැටී මිය යාම වලක්වා ලීම සදහාම පමණි.

සවස හතර පමණ වන විට සීයා රබර් රොටී තැටි වලින් ගලවාගෙන දිය රෝල වෙත ගෙන යයි. දිය රෝල යනු එක මත එක රැදවූ රෝල දෙකක් සහිත අත් යන්ත්‍රයකි. මෙය හරහා රබර් ශීට් තුන් පාරක් යැවූ පසු දිය ඉවත් වී පරාටා වැනි ස්වභාවයකට පත් වේ. සීයා ආසාවෙන් කරන මේ කටයුත්ත දෙස බලාසිටීම මට කවදාවත් එපා වූයේ නැත. කොටුසරමත් බැනියමත් හැද, කොණ්ඩ පොඩිත්තක් බැද බලාසිටින අප දෙසද ආදරය උතුරා යන බැළුම් හෙලමින් සීයා දිය රෝල කරකවයි.

මෙලෙස තලාගන්න රබර් රොටී මීලගට දැති රෝලෙන් එක් වරක් ඇල්ලිය යුතුය. දැති රෝල ඩයමන්ඩ් රෝල කියාද හැඳින්වේ. දැති රෝල් හැම ගෙදරකම නැත. සීයා ඒ සදහා එහා ගෙදර ඇති දැති රෝල වෙත රොටි රැගෙන යයි. දැති රොලේ රෝල වල කට්ට රටාවක් ඇත. මෙමඟින් රබර් රොටි වියලූ පසු එකිනෙක ඇලීම වලකාලයි.

පෙණ රොටී තුනී නිසා ඉක්මනින් ඝන වේ. අපි සීයා අනුගමනය කරමින් පෙණ රොටීද රෝල වලට අල්ලා සකස් කරගන්නෙමු. සීයා අපේ සිඟිති අත් රෝලට අසුවීමට නොදී නිතතුරුවම අප ලඟටම වී සිටී.


දිය රෝල් දෙකක් සහ රබර් රොටී (සේයාරුව අන්තර්ජාලයෙනි)

දැති රෝලට අල්ලා ගත් රොටී දිය බේරීමට කුරුදු කෝටු යෙදූ මැස්සක එල්ලා පැය කිහිපයක් පවනේ වියලා ගනු ලැබේ. මෙලෙස වියලාගත් රොටී, දුම් ගෙට දමා දුම් ගසා වියලීම කරන්නේ ඉන් අනතුරුවය. මේ සදහා විශේෂ දුම් ගෙයක් එකල අපේ සීයලාගේ නිවස පිටුපස විය. දුම් ගෙය යනු දිගින් හා පලලින් අඩි හය බැගින්ද, උසින් අඩි දොලහක්ද පමණ වන ගොඩනැගිල්ලකි. එහි උඩින් දුම් පිටවීමට කුඩා කවුලු ඇති අතර යටින් දර දමා දුම් ගැස්සවීමට පෝරණුවක් වැනි කොටසක් පවතී.

කුරුදු ලී වල වනන ලද රබර් රොටී දුම් ගෙයි දින කිහිපයක් අඛන්ඩව දුම් ගැස්සවීමෙන් පසුව ගබඩා කර, අවශ්‍ය විටෙක රත්නපුරට හෝ ඉඩංගොඩට ගෙන ගොස් විකුණා ගනු ලබයි. පෙණ රොටී කුඩා කබලි වලට කපා ලිප ගෙනි මෙලවීමට යොදාගත හැකිය.


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!