ආච්චි අම්මාගේ කෑම බීම

 අද උදේ අපේ ආච්චි ආවා

ඇඹුල් කෙසෙල් ගෙඩි ගොඩක් ගෙනාවා

ආච්චි ආවම හරි සන්තෝසයි

ඇගේ කතන්දර අහන්න ආසයි

දැන් කලාතුරකින්වත් අසන්නට නැති මේ කව මගේ මව ඇතැම්වෙලාවට ඇගේ මුණුබුරන් මිණිබිරියන් නලවන්නට ගයනව. ඒ කවිය, මගේආච්චි අම්මා වෙනුවෙන්ම ලියුව කවක් වගේ. හැවෝටම ආච්චි අම්මල දෙන්නෙක් හිටියත් අපි සමීප මවු පාර්ශවයේ ආච්චි අම්මට. පිය පාර්ශවයේ ආච්චි අම්මා මියෑදුනේ 1991 වසරේ. ඒකත් එක හේතුවක් වෙන්නැති.

ආච්චි අම්මා උන්නෙ අයගම. අයගම ගැන මම මීට කලියෙන් ලියුවා. ඒ විස්තරේ එතනින් බලන්න. රත්නපුර, ඉඩංගොඩ, හරහා තෙරපිතෙරපි මිරිකි මිරිකි වට වංගු පාරෙ ලොරි බාගෙ යන අපි ඉන්දලවත්තෙන් බහිනව. පාරෙ වම් පැත්තටයි අපි බහින්නෙ. ආච්චිලගෙ ගෙදර පාරෙන් දකුණු පැත්තෙ බැම්මක් උඩ.ලොරි බාගේ ගඳ ගහන ඩීසල් දුමාරයයි පාරෙ දූවිල්ලයි අහක්ක වෙද්දිම ඔන්න ආච්චි අම්ම ඉන්නව හිනා කටක් පුරෝගෙන චීත්ත රෙද්දෙ අත් පිස දම දම. අපි එක පිම්මට දුවන්නෙ එහාට. ඒ ගෙදර අපිට අපේ ගේ වගේම හුරුයි, සුවඳ සුපුරුදුයි. ආච්චි තමන්ගෙ ලමයින්ට කතා කරන්නෙ ලමයො කියල. ලොකු ලමයො, පොඩි ලමයො ආදී වශයෙන්. මුණුබුරු මිණිබිරියන් වන අපට " පුතේ", "දුවේ" කියනව. හැම තිස්සෙම කතා කරන්නෙ පුතේ, දුවේ ඉස්සරහට දාල.

"පුතේ බත් ඩිංගක් කමු"

"පුතේ ගඟට නාන්න යනවනම් දවල් වෙන්නැතුව ගිහිං එංඩ"

"පුතේ තේ ටිකක් බොමු"

"දුවේ නිලා කූරු ඕනිද?"

ආතා අපිව පිලිගන්න එන්නෙ ටිකක් පහුවෙලා. ගොඩක් වෙලාවට ආතා ගෙදර එන්නෙ අපි ආවයි කියන සුබ ආරංචියට. දත් තිස් දෙකම පේන්න හිනාවෙවී, කිරි පිහියෙන් පිට කස කසා. ආදරේ පුරාම උනාට හතර රියන් පුරුසයෙක් වෙච්ච ආතට අපි ටිකක් බයයි. මේ කතාබහ ආච්චි අම්මා ගැන නිසා ආතා ගැන ඕනිනම් වෙනම කතා බහ කරමු.

ආච්චි වැඩිමනත් උස නෑ. තරමක් මිටියි. තල එලළුයි. කොන්ඩෙ වැඩිපුරම සුදුයි. කොන්ඩ බෝලයක් බැඳල හිටියෙ. ගලගන්ඩය නිසාබෙල්ලෙ ආව වායුගෙඩියක් තිවුනා. මඟුල් තුලාවකට ඇරෙන්න අඳින්නෙම රෙද්ද හැට්ටෙ. හැට්ටෙ ගොඩක්ම වෙලාවට බීරලු කොට්ටෙක ගොතපු බීරළු රෙදිවලින් මහපු අත් දිග සුදු හැට්ටයක්. චීත්තෙ ගොඩක් වෙලාවට නිලට දම් පාටට හුරුයි. මට ආච්චි අම්මාව මතක්වෙන්නෙ දම්පාට පොඩි මල් මල් සුදු පසුබිමක තියෙන චීත්තයක් නෙරිය තියාල ඇඳන් ඉන්න ආකාරෙට.

ආච්චි මිථුන ලග්නෙ. ටිකක් කේන්තිකාරියක්, වැඩත් දඩිබිඩියෙ. කෑමට රුචියි. මිථුන ලග්න කාරයන් වෙච්ච මමත් මගේ පියාත් එහෙමයි. ලග්නෙ ගති ලක්ෂණ. ආච්චිගෙ, ඒ ගතිලක්ෂණ වලින් අපිට දැනුනෙ කෑම විතරයි. අනික්වා ඇගේ කෑම උයන්න තිබ්බ දක්ෂතාවයෙන් වැසිලම ගියා.

අවුරුද්දට ගමට ගියාම, කෑම ජාති පුරාම. තේ මේසෙ අරිනවා මිසක්ක වැහිල්ලක් නෑ. උදේ කෑම දවල් කෑම වෙනම මේසෙක. කෑමමේසෙ කුස්සිය කිට්ටුව. කැවිලි මේසෙ සාලෙ කිට්ටුව. ඒ මේසෙ උඩ වට්ටි කීපෙකින් වහල කෑම තසිම් මහ හුඟක්. කොණ්ඩ කැවුම්, හැදිකැවුම්, මුං කැවුම්, නාරං කැවුම්, ආස්මී, අතිරහ,කොකිස්, අළුවා, වර්ග කීපෙක කෙසෙල් ඇවරි, කුරක්කන් හැලප, හල් හැලප, කජු යහමින් දමාපු කළු දොදොල්, පැණි වලලු ආදී නොයෙක් කැවිලි කොත ගහල පිඟන් වල. පිඟන් හිස් වෙන්න හිස් වෙන්න ආච්චි තසිම් පුරෝල කෑම ගෙනත් තියනව. කුස්සියෙ හට්ටි, පෙට්ටි, වට්ටි පුරෝල කෑම ජාති. ඇතැම් කැවිලි ආච්චි හදපුවා. අනික්වා වටපිටාවෙන් ගෙනාපුවා. ඒ කාලෙ අවුරුද්දට කැවිලි හදන්නෙ බෙදාගෙන. එක ගෙදරක ගමටම හරියන්න කැවිලි හදනවා. ඔක්කොම දේශීය දේ. හාල්පිටි, පැණි, හකුරු, කජු ආදිය. ආච්චි බොහොම ප්‍රසිද්ධයි ආස්මී හදන්න. දැන් ආස්මී වගේ නෙමේ, ඒ ආස්මි ගොඩක් ලොකුයි, එකක් තනියම කන්න බෑ, පැණියට, තෙලට මත් වෙනව. ලා දුඹුරු පාටට තියෙන හැල් හලපත් අපි ආසම කෑමක්. රස උනාට හදන්න කොච්චර අමාරුද කියල තේරෙන්නෙ අම්මා එමින් ගමනෙ හල් ගෙඩි ටිකක් ගෙනත් ඇණ ගහල උල් උල් හදාගත්ත බෙලෙක් තහඩුවකින් මත් ගාල, වක්කඩක බැඳල හල් තිත්ත ඇරල හැලපයි පිට්ටුයි හදල දුන්නට පස්සෙ. දොදොල හැඳි ගෑමත් ගොඩක් වෙලාවට ආච්චිලා දිහෑ කෙරුණා. පැය ගානක් එකදිගට කිතුල් පත්තකින් හැඳි ගගා, ගොජ දාන දොදොල හැඳි ගාත්දි පලාතම සුවඳයි. දොදොල හැඳි ගාල රබර්කිරි දාන තැටි තරමෙම තැටි වලට තෙල් කඩදාසි එලල වත්කලාට පස්සෙ තාච්චියට වග කියන්නෙ අපි.

" ඔය තෙල් කට්ටෙ කාල බඩේ අමාරුව හදාගන්නෙපා ඔය ලමයි" සීය වෙලාවකට ගෝරනාඩු කරනව.

දොදොල් වලට කජු දානවනෙ. ගඟට යන පාරෙ කජු ගස් යටින් ඇහිඳන් එන කජු ගෙඩි පලල, ඉරටුවකින් මදේ අයින් කරල, උණු වතුරටදාල කිරි සැරයි පොත්තයි අයින් කරපු කජු අහුරු පිටින් දොදොල හැදී ගෙන ඉද්දි තාච්චියට දානව. වටපිටේ කෙල හල හල ඉන්න පොඩිඅපිටත් ඒවයින් අහුරක් අනිවාර්‍යයෙන්ම ලැබෙනව. ආච්චි කොච්චර පරිස්සමෙන් කජු කැපුවත් ඇඟිලිවල කජු කිරි. අපිට අල්ලන්නවත්දෙන්නෙ නෑ.

"හා හා පුතාල ඇඟිලි වල කජු කහට ගාගෙන කොහොමද ඊගාව වාරෙ ඉස්කෝලෙ යන්නෙ? තාත්ත බනී මටත් එක්කල" ආච්චි ටිකක් සැරහඬින් කියන්නෙ. ඒ උනත් අපි ස්වේච්ඡාවෙන්ම කජු සුද්ධ කරන්න සම්මාදම් වෙනව. අන්තිමට අතේ කෙසේ වෙතත් කටෙත් කජු කිරිපැල්ලම්.

අවුරුදු කාලෙට කියල වෙනසක් නැතුව හැම කාලෙම ආච්චිලගෙ ගෙදර ලොකු බත් හැලියක් ඉදෙනව. අයගම එතරම් සාර සුබාවට කුඹුරුනැති හින්ද කෑමට ගොඩක් තියෙන්නෙ තම්බපු සුදු හාලේ බත්. තම්බපු සුදු හාලෙ බතට පෑහෙන්න මාළු පිණි හැදෙනව. හෝ මිරිස් යහමින් දාල තෙම්පරාදු කරපු පරිප්පු හොද්ද, තෙල් බේරෙන කට්ට කරෝල හෝ තලපත් කරෝල බැදුම, කොච්චි මිරිස් එක්ක ලොකුවට රතුළූණු හැපෙන දෙහි රස දිවට ගෙනෙන ගොටුකොල මැල්ලුම, බැදපු ලොකු මිරිස් කරල්, පුපුරපු අබ ඇට පේන දෙල් හෝ කොස් මාලුව, තවමත් මතක් කලත් කටට කෙල උණන රස මුසු. මම මේ කියන කාලෙ ගමේ කරන්ටෙක නෑ. ලඟපාතක ශීතකරනයක් නැති නිසා ඒ කාලෙහැවෝම අවුරුදු පොලෙන් ලොකු කරවල කූරියෙක් අරන් යන කාලෙ. ආච්චිගෙ කෑම කට දන නිසා අපි හාස් හූස් ගාගෙන කැවිලි මේසෙට දුවනව. අතුරුපසට අන්නාසි, අඹ වගේ පලතුරු තිවුනත් අපි මනාප පැණිරස කෑම කන්ඩ. එහෙම නැත්තං කටේ දැවිල්ලට කියාපු කෑමතමයි වැලි හකුරු. කැවිලි හදන්න ගබඩා කරපු පැනි මුට්ටි වල පැතිවල කැට වගේ හයිවෙලා තියෙන වැලි හකුරු පැණි වලටත් වඩා ප්‍රනීතයි. රන්වන් පාටයි.

උදේ කෑම මේසෙට එන කෑම වෙන ආප්ප, ඉඳි ආප්ප එක්ක එක්ක ඒවා කන්න කට්ට සම්බෝල, පොල් සම්බෝල, කිරි හොදි, හකුරුඅතරෙ වැලි හකුරු බෝතලයක් අනිවාර්‍යයෙන්ම තියනව. ආප්ප කන්න හකුරු ගැලපෙනව වගේ රෝස් පාන් කන්න වැලිහකුරු තරම්ගැලපෙන මොනයම්ම දෙයක්වත් ලමා අපිට නම් නෑ. ලඟ බේකරියක් තියෙන නිසා සුවඳ හමන දුම් දාන රෝස් පාන් ඇති පදම්. රෝස් පාන්වල තද දුඹුරු ගණකම වාටි වැලි හකුරු වල තවරල ගත්තම... ම්ම්ම්... තවමත් කටට කෙල උණනව. වැලි හකුරුයි වේලපු කජුයි කියන්නෙත් තව පංකාදු කෑමක්. අපි ගමේ ඉදන් ගෙදර යද්දි ආච්චි අම්මා ලොකු හිස් ජෑම් බෝතලේක වැලි හකුරු පුරවලම දෙනව. අපිඒක කාලයක් පිරිමහන් කනව. මොනවත් එක්කද? රෝස් පාන් එක්ක. දැන් කොහෙද වැලි හකුරු?

පටන් ගනිත්දිම සිහි කැඳවපු කවියෙ වගේ ආච්චි අපේ දිහෑ එද්දි ඇඹුල් කෙසෙල් ගේන්නෙ නෑ. ඒත් හැලපයි ආස්මී නම් වරදින්නෑ. දාහයට සාරි පොටින් පවන් සල සලා " පුතේ" කියාගෙන ආච්චි ගෙට ගොඩ වෙද්දි අපි හැමෝම සතුටින් ඉහ වහ යනවා. අයගම ඉදන් බස් එකේ ඇවිත්හන්දියෙන් බැහැල අපේ දිහාට තියෙන්නෙ කිලෝ මීටරයක දුරක් උනත්, ඒ කෙටි දුර එන්න පස්සෙන් පහු ත්‍රීවීල් තිවුනා උනත්, අපේ ගෙදරඇවිත් තේ බොන්න පුලුවන් කම තිවුනත්, ආච්චි එන්නෙ හන්දියෙ අප්පොගෙ කඩෙන් වන්ඩු ආප්පයක් කලා කහටේකක් බීලම තමා. මිථුන ලග්නෙ හැටි නොව! මාත් එහෙමයි.

ආච්චි මියෑදිල දැන් ගොඩක් කල්. අවුරුදු පහලොවකටත් කිට්ටුයි. ආච්චිගෙ කපාපු පලුවක් ඇගේ දූවරුන් වන මගේ අම්මා, ලොකු අම්මාසහ පුංචි අතර නැතත්, ඒ කාලෙ ආච්චිල හැවෝටම තියෙන කරුණාව පෙරා හැලෙන මූණු තියෙන ආච්චි අම්මල තවම ඉඳල හිටලදකිනව. ඒ වෙලාවට ආච්චි අම්මාත්, හල් හැලපත්, වැලි හකුරුත් මට මතත් වෙනව. පපුව පුරවාදමන දුකක් හිතෙනව.

මේ පින්තූරෙ ඉන්නෙ අපේ ආච්චි අම්මා.



©රසික වික්‍රමනායක. 2022.12.4

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!