ගිළිහුනු මිණි


අප්‍රේල් මාසයේ එලිපත්ත වුවත් තවම පායන කාලෙ හමාර වෙලා නෑ. දහවල් එකොලහ වෙද්දි ගහකොල වටපිටාව ගෙවල් දොරවල් යාන වාහන හැම එකක්ම ගින්නෙන් කැකෑරෙනව. පාර දෙපැත්තෙ රබර් යායවල් වල කොල කහපාට වෙලා හැලිල ගිහින් දළු දාන්න තවමත් පරක්කුයි. යටිවගාවෙ මීවණ පඳුරු, ලෝකපාළු වැල් ඔක්කොම වේලිලා හේ බාලා ගොසින් දුඹුරු පාටයි. වහා ගිනි ඇවිලෙන සුළුයි. එහෙම ඇවිලිච්ච ගින්නක කළුපාට, අළුපාට මතකාවශේෂ ඇතැම් තැනක දකින්න තියෙන්නෙ කාන්තාරයක් මැද තියෙන කළු දිය පොකුණු වගේ. පාරෙ තාර, කොන් වලින් ගැලවිල ගිහින් තිබුනෙ පැතලි කරපු අළුවා බන්දේසියක අස්කොන් වැඩිමනත් එක්ක පොඩි උන්කන්න අරන් ගිය ලෙසකට.කාලෙත් එක්ක තාර දිරා ගිහින් ගැලවිලා වැස්සට හේදිලා ගිය කොලඹ රත්නපුරා පාරෙ මැද්දක් හරියට වෙන්න වලවල් මුකුත්නැති පාර ඉතිරි වෙලා තිබුණා. ඒ මැද්දෙම ටයර් වලින් එක්කාසු කල හීන්වැලි වැටියක්. පාරෙ වාහන ගියේ කලාතුරකින්. ඒ ගියෙත් වැඩිමනත් අවුවට රතු වුනාක් වගේ රතු පාට මූණු ඇති රිදී බඳැති ලංගම බස් සහ බඩු පටෝපු ඔස්ටින්, ලේලන්ඩ් ලොරි. ඉඳල හිටල මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එකක්, ඔස්ටින්කේම්බ්‍රිජ් කුලී කාර් එකක් ගියේ රත්නපුර මහ රෝහලට ලෙඩෙක් ගිනියන්නවගේ ඉතාම හදිසි වැඩකට විතරයි. මැණික් මුදලාලි කෙනෙක්ගෙ බටු සනියක්, ලාන්සර් කාර් එකක් වුනත් දකින්න නෑ. වැඩිපුරම මුණ ගැසෙන්නෙ ගාට ගාට යන බක්කි කරත්ත. රට පුරාම තෙල් හිඟයක්. සලාක ක්‍රමේට ලැබෙන පෙට්‍රල් ඇබිත්ත පරිස්සම් කරගන්න හැවෝම දත කනව. ඇහැලියගොඩ පහුවෙලා රත්නපුර පැත්තට යන පාරෙ අතරින් පතර ගෙවල් තියෙන්නෙ. වම්පැත්තට එක දිගටම හේ බා ගිය රබර් යාය. දකුණු පැත්තෙ කුඹුරු සමහරක අවුරුද්ද කටේ තියන් ගොයම් කපල ඉපනැල්ල ඉතුරු වෙලා. සමහර කුඹුරු වල පිදුරු ගිනි තියල සිහින් අළු පාට දුම් රොටු නැඟෙනව. ඒකුඹුරු යායෙ මැද්දෙ ගොඩැල්ලක් වගේ මරදාන-ඕපනායක කෝච්චි පාරපෙනී හිටිනව.

රත්නපුරා පාරෙ හැල්මේ දිව ගිය ලානිල් පැහැති දිගැති බෙන්ස් මෝටර රථයක රොබට් සුදු මහත්තය වාඩිවෙලා හිටියෙ සුදු පැහැති පිටුපස්ස ආසනේ. ඒ මහත්තය තමන්ගෙ කැමරාවට දල සේයා පටයක් ඔබල සකසල වීදුරු කවුළුවෙන් වටපිට බැළුවා. දල සේයාපට ආනයනය අනවශ්‍ය භාන්ඩ තහනම යටතේ තහනම් කරල නිසා අමාරුවෙන් සපයාගත්ත කොඩැක් සේයාපටල කිහිපය මසුරන් වටිනව. වාහනේ වායුසමීකරණ පහසුකම් තිවුනත්, රොබට් මහත්තය වීදුරුව ඇරගෙන හිටියෙ පෙට්‍රල් අඩුකම නිසා රියදුරාට අනුග්‍රහයක් ලෙසටත්, වටපිට පරිසරය ඒ හැටියෙන්ම විඳින්න තිවුනු කැමැත්තත් නිසා. වියලි තණකොල, රබර් කොල, පිදුරු, රෑ පින්නෙන් පොඟල උදේ අවුවෙන්තැම්බෙන සුවඳට පිදුරු පිලිස්සෙන සුවඳත්, කොහෙදෝ ගඩොල් පෝරණුවක මැටි පිලිස්සෙන සුවඳත් එකතු වෙලා වාහනය අස්සෙකැරකෙනව.

කලකට පෙර ඕස්ට්‍රේලියාව සහ යුරෝපය යා කල 'කැන්ගරු මුහුදු මාවත' දැන් කාලෙක ඉඳන් පාවිච්චි වෙන්නෙ නෑ. දැන් තියෙන්නෙලංකාව මඟ ඇරල යන ගුවන් මාවත. දකුණු අප්‍රිකාවට යන ගමන අතරතුර රොබට් මහත්තය ලංකාවට ආවෙ එයාර්ලංකා 'ට්‍රයිඩන්ට්' ගුවන් යානාවකින්. ආර්ථික අර්බුදයක් පවතින කාලෙක ලංකාවට යන එක හොඳ අදහසක් නොවෙයි කියල ඕස්ට්‍රේලියානු ගමන් ඒජන්තවරු කීවත්, තරුණ රොබට් ඒ කාරණා නොතකා හැරියේ හේතු ඇතුව. උපතින්ම දුම්රිය ලෝලියෙක් වන ඔහුට ලංකාවෙ තවමත් දුම් කෝච්චි දුවන බව අසන්නට ලැබිල ඒවා දැක බලා ගැනීමේ ආශාවක් තිබුණා. ඒ නිසා අනිත් ගමන් අතරතුර දින කීපෙකට ලංකාවට ගොඩබැස්සෙ. මේ අවිස්සාවේල්ල, ඇහැලියගොඩ පහුකරල දුම් කෝච්චි බලන්නම රත්නපුරට යන ගමන්.

කොලඹින් තමන්ටම එලවගෙන යන්න පුලුවන් කාර්, එහෙමත් නැත්නම් 'සෙල්ෆ් ඩ්‍රයිවින් කාර්' හොයාගන්න නෑ. ඒ සේවාව තවමත් ලංකාවට ආගන්තුකයි. රියදුරෙක් සමඟ ලබාදෙන ටැක්සි තමයි තිබුණෙ. එහෙම ටැක්සි වල ඉන්න රියදුරෝ ඉරි සරමට අත් දිග ශර්ට් එකඅත් වැලමිට ගාවට නවල අඳින, සෙරෙප්පු දෙකක් දාන, 'යර්ස් සර් නෝ සර්' කියන්න විතරක් දන්න අදාල තැනට මඟියා ගොසින් බස්සල බුම්මගෙන ඉන්න කුලෑටි උදවිය. රොබට් මහත්මයගෙ වාසනාවට වගේ මීට අවුරුද්දකට කලින් සුදු මහත්මයෙක් එක්ක කෝච්චි පස්සෙ අඹාපු ඉංග්‍රීසි හොඳින් දන්න රියදුරෙක් එක්ක සුවපහසු  මර්සිඩීස් බෙන්ස් ටූහන්ඩ්‍රඩ් හොයල දුන්නෙ ලංකාවෙ ඕස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලයේ මිතුරෙක්.

ඩ්‍රයිවර් ගෙ නම සුගත්. සුගත් රත්නපුරේ පදිංචිකාරයෙක්. බෙල්බොටම් කලිසමක් ඇදල අත් කොටු කමිසයක් උඩින් දාල හිටිය ටිකක් තලෙළු ප්‍රියමනාප තරුණයෙක්. සුගත් රොබට් එක්ක හරිහරියට ඉංග්‍රීසි කතා කලා. සංචාරක රියෙදුරෙක් වෙන්න පොඩි කාලෙ ඉඳන්මතිබුණ ආසාවට උත්සාහයෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා කියලයි කීවෙ. රටේ තොටේ තොරතුරු, රත්නපුරට ආවේණික තොරතුරු වෙච්ච මැණික් වෙලදාමේ විත්ති, සබරගමුවෙ කෝච්චි තතූ විත්ති. අන්තිම කොටහ නම් ඉංග්‍රිසියෙන් කියන්න සුගත් වැඩිමනත් දැනන් හිටියේ නෑ.

සංවෘත ආර්තිකයක් තිබ්බ ලංකාවට පිටින් එන විදේශිකයන්ගේ හැම දෙයක්ම ඉන්ද්‍රජාලිකයි.රොබට් අතේ තිබුන නවීන පන්නයේ 'අශාහිපෙන්ටැක්ස් ඔටෝසුපර්' කැමරාව සහ කාච කට්ටලය සුගත් ගේ සිත තදින් ඇද බැඳ ගන්නට සමත් වෙලා.

"මිස්‍ටර් රොබට් හව් මච් ඉස් දැට් කැමරා?" සුගත් ඇහුවේ කුතුහලය ඉවසන් ඉන්නම බැරි තැන.

"ඉට් ඊස් අබවුට් ටූ තවුසන්ට් ෆයුව් හන්ඩ්‍රඩ් රුපීස් විත් ඕල් ද ගියර්ස්.."

‍රොබට්ගෙ උත්තරයට සුගත්ගේ ඇස් උඩ ඉන්දුනා. මාසයක් මහන්සි උනත් හොයන්න පුලුවන් රුපියල් එකසිය පනහක් විතර. අවුරුදු එකහමාරක් ජීවත් වෙන සල්ලි. සුගත් කට පියා ගත්තා. රටේ තියෙන තත්ත්වය රොබට් ට අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නෑ.

ඇහැලියගොඩ රත්නපුරා පාරෙ බෙන්ස් කාර් එක යන්නෙ තරඟයකට. තරඟෙ අනිත් තරඟකරු බඩු කෝච්චියක්. ඇහැලියගොඩින් බඩුකෝච්චිය අද්දන්න ඔන්න මෙන්න තියල කාර් එක පිටත් වුනේ අතරමඟදි ෆොටෝ කීපයක් අරගන්න රොබට් ට අදහසක් තිබුන නිසා. පරණ දුං කෝච්චියකට අළුත් බෙන්ස් කාර් එකක් එක්ක තරඟ කරන්න ඇහැකිද? ඇහැලියගොඩ පහුවෙලා ටික දුරකින්ම රොබට් සුගත්ට සන්කලා කාර් එක නවත්තන්න. ඒ හරිය කෙලින් පාර. සුගත් කාර් එක පාර අයිනෙ තිවුන අතු පාස්සපු කොස් ගසක් යටින් නැවැත්තුවා. රොබ්ට් කැමරා ආම්පන්න මානාගෙන කාර් එකෙන් බැහැල කෝච්චි පාර එහා පැත්තෙ තිවුන කඳු ගැටයක් වගේ පරණ වේ හුඹහක් උඩට නැංගා. ඈතින් ඇහෙනව දුං කෝච්චි එන්ජිමේ නලා හඬ. පුංචි කෝච්චියට ආවේණික 'හූව' හිමින් පටන් අරන්, උපරිම උස් තානයකට ගිහිං ගිහින්ආය හිමීට අඩුවෙලා නවතිනව. ඊට පස්සෙ ආය කෙටි වෙලාවකින් හිමීට පටන් අරන් උපරිමේටම වැඩි වෙලා උපරිමේදී ම නවතිනව. ටිකවෙලාවකින් හූවට කෝච්චි රෝද පීලි වල ගැටෙන හඬත්, එන්ජිමේ 'කුචු කුචුවත්' එක්කාසු උනා. ඈත වංගුවෙන් අහසට විදින කලුම කලු දුම් වලාවක් මතු වුනා. රොබට් කැමරාව මානාගෙන පින්තූර අරගන්න 'ක්ලික්... ක්‍රාස් කස්' හඬ, එන්ජිමේ හඬ නිසා සුගත් ට නොඇසීගියා. කෝච්චිය රොබට් පසුකර යද්දි එන්ජින් රියදුරා කෙටි විසිල් හඬකින් ආචාර කලා. රියදුරු සහයක රියදුරු කැබිනයෙන් හිස එලියට දමාගෙන බලාගෙන සිටියා.  ගල් අඟුරු කුඩු, මජං තැවරිච්ච ඔහුගේ ඇඳුම සුදට වඩා කළුවට හුරුයි. දෑත බොයිලේරුවට ගල් අඟුරුවිසික්කරලම එන්ජිමේ රෝද කරකවන යකඩ දඬු වගේම සවිමත්. ඒ අතකින් රොබර්ට්ට ආචාරයක් පිරිනැමුනා.

එන්ජිම ඈතට ඈතට ඇදිල යත්දි, අහසට විද්ද කළු පාට දුම, අඟුරු කුඩුත් එක්ක පොලවට පාත් වෙනව. හුලං පොදක්වත් නැති අහසනිසා ඒවා හුලඟින් ගහගෙන යන්නේ නෑ. සුගත් ඉක්මනට කාර් එකට ගොඩවුනේ ඇඳුම් වල දැලි කුඩු තැවරෙනවට බයට.

" දේ ආ ගොයින් ටු ක්ලෝස් දිස් (රේල්) රෝඩ් සර්"

සුගත් රොබට් ට ඇහෙන්න එහෙම කීවෙ කාර් එක ආපහු පිටත් වෙලා ටික දුරක් යද්දි.

"හූ සේඩ්?" රොබට් ඇහුවෙ තරමක් අවිශ්වාසයෙන් වගේ.

" ඉට් වෝස් ඉන් ද නිව්ස් පේපර් සර්" සුගත් උත්තර දුන්නා.

තමන් මේ පින්තුර ගන්න යන්නෙ ලඟදිම වැහිල යන කෝච්චි පාරක බව රොබට් දැනන් උන්නේ නෑ. ලෝකෙ පුරාම දුං කෝච්චි පාවිච්චියෙන් අත් ඇරෙන්න පටන් අරගෙන. පුංචි කෝච්චි තාම දුවන්නෙ ලංකාව ඇතුළු රටවල් කීපෙක විතරයි.

රොබට් රත්නපුරට එන විට මද්දහන පහුවෙලා. සුගත් රත්නපුර ගුඩ්ශෙඩ් පාර දිගේ ගොහින් වමට හරවලා ස්ටේසමේ බඩු ගබඩාව ගාවින්බෙන්ස් කාර් එක නැවැත්තුවා. සුද්දො ලංකාවට එන එක අඩු කාලෙක, රොබට් ගේ ආගමනය මිනිස්සුන්ගේ ඇස් ක්ශණිකව ඔවුන් වෙතයොමු කරන්නට සමත්. ස්ටේසම, පාසල් සිසුන්ගෙන්, වෙලෙන්දන්ගෙන්, සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පිරිල තිබුණා. හැමෝම ඇස් දොට්ටදාගෙන රොබට් දිහා බලාගෙන හිටියා. වැරහැලි ඇඳගත්ත කොල්ලන් පිරිසක් එතනට ඇවිත් 'මනි, මනි' කියාගෙන අත දික්කලා. ලැජාවෙන් මිරිකුණු සුගත් අත උරුක්කරල කොල්ලන් රෑන පලවා හැරියා.

'සොරි සර්'

රොබට් ට ඒවා ගානක් වුනේ නෑ. ඔහුගේ ඇස් යොමු වෙලා තිබුණේ දුම්රිය ධාවනාගාරය ලඟ නවත්වල තිබුණ රතුපාට බස් වගේ රේල්කාර් දෙකක් දිහාට. රොබට්ගේ උනන්දුව දුටුව ධාවනාගාරය බාර ෆෝමන්වරයා එතනට පැමිණුනා.

"එක්ස්කියුස් මී සර්"

ෆෝමන්වරයා රොබට්ට ලංවුනා.

"හලෝ.. අයි ඇම් රොබට්. ආන්ට් දීස් රේල් කාර්ස් ඉන් සර්විස් එන් මෝ?" රොබට් ඇසුවා.

"නෝ සර්.. දේ වර් විත්ඩ්‍රෝව්න් ෆිව් මන්ත්ස් අගෝ. මේ බී දේ විල් රීඉන්ස්ටේට් ඩියු ටු ෆුවල් ශෝටේජ්. බට් නොට් සෝ ෆා" ෆෝමන්වරයාගේ පිලිතුරෙන් රොබට් ට දැනුනේ ශෝකයක්. ඔහුගෙ රත්නපුර ගමනට ප්‍රධානම හේතුවක් වුනේ මේ දුර්ලභ රේල්කාර්ඡායාරූපගත කීරීම.

රොබට්ගෙ කණගාටුව ෆෝමන්වරයාට තේරුම් ගියා.

"අයි කැන් පුල් අවුට් වන් ඔෆ් දෙම් ඉෆ් යූ විශ් ටු ෆොටෝග්‍රාෆ්"

ෆෝමන්වරයා කීවා.

"දැට් වුඩ් බී ෆැන්ටෑස්ටික්. තැන්ක් යූ වෙරි මච්" රොබට් සතුටින් එකඟ වුනා.

දුම් කෝච්චි එන්ජිමක ආධාරයෙන් ධාවනාගාරයෙන් ඉවතට අදිනලද රේල් කාරය ඡායාරූපයට නඟන්න රොබට් පැයක් පමණ ගතකලා. ෆෝමන්වරයාට දුර්ලභ රටබීම බෝතලයකුත් ලැබුනා. පැය ගානක් තමන්ගේ වැඩේ කරන රොබට් දිහා සුගත් විමසිල්ලෙන් බලාගෙනහිටියා. සුද්දො එක්ක ගමන් ගියාම මෙහෙම තමයි. බඩගින්න පිරිමහගන්න ස්ටේසමේ ජංගම වෙලෙන්දෙක්ගෙන් සත විසිපහකට ගත්තඅන්නාසි පළුවක් හපන ගමන් සුගත් කල්පනා කලේ නිවිහැනහිල්ලෙ. සුද්දව රෙස්ට් හවුසියට දාල ඉක්මනට තමන්ගෙ ගමට දුවල එන්නයි සුගත් හිතුවෙ. හවස යන පුංචි කෝච්චියෙන් ගිහින් බටුගෙදරින්ම බහින්න ඇහැකි. හෙට උදේම ඒ කෝච්චියෙන්ම ආපහු එන්නත් ඇහැකි.

රොබට්ගේ එදා රෑ නවාතැන, කලින්ම වෙන්කරල තිවුන රත්නපුර රෙස්ට් හවුසිය. ස්ටේසම පිටුපස්සෙන් ගිහින් වටවංගු පාරක ඉහලට නැඟුනම තියෙන තට්ටු දෙකේ රෙස්ට් හවුසිය එංගලන්ත සුද්දො රටපාලනය කරන කාලෙම හදපු එකක්. සැප පහසු පිරිසිදු කාමරයේ සීලිංපංකාව ගුවන් යානයක අවර පෙත්තක් වගේ වේගයෙන් රූං හඬ නඟමින් කැරකැවුනා. කාමරයට වඩා රොබර්ට් ප්‍රියකලේ බීර වීදුරුවක් තොල ගාමින් පුළුල් ආලින්දයක සැප පහසු හාන්සි පුටුවක රැඳෙන්න. කඳු මුදුනට පහලින් ඇති දුම්‍ රිය පොල මැනවින් දර්ශනය වුනා. දුම්කෝච්චියක විසිල් හඬත්, රෝද පිහිල්ලේ ඇතිල්ලෙන කිරිකිරිය සමඟ මුසුව මැණික් ගල ගාන හණ පෝරුවක හඬත් කැටුව මිරිස් කුඩුසුවඳ මුසු සුලඟ රොබට් පිස හමා ගියා.

රාත්‍රී කෑම කල් ඇතුව ගන්නට රොබට් ට වුවමනා උනේ දහවලටත් හරි කෑම වේලක් නොගත් නිසා. රෑ කෑම වේල රට මුහුණ දී තිබූ දැඩිආහාර අර්බුදය මැනවින් පෙන්නුවා. එදා මස් රහිත අඟහරුවාදාවක් ලෙස නීති පනවලා.එහෙන් මෙහෙන් කෑම රසවින්ඳ රොබට් බියරයත්සමඟ නැවත ආලින්දයේ අසුන් ගත්තා. වේටර් වරයෙක් රොබට් ඇණවුම් කල තම්බා තෙම්පරාදු කල කඩල තසිම ගෙනැවිත් දුන්නා. ලංකාව වගේ ආසියානු රටක බත් නැති බ්‍රහස්ප්‍රතින්දා සහ සිකුරාදා කෙලෙස ඇත්ද යන්න රොබට් නිකමට කල්පනා කලා. කෙසේ වෙතත් ඊට කලින් රොබට් ලංකාවෙන් පිටවීමට නියමිතයි.

හැන්දෑවෙ විදුලිය විසන්ධි වෙලා නිසා තානායමේ හූමිතෙල් ජෙනරේටරය 'ගිඩි ගිඩි' හඬින් වැඩ. තානායමේ ආලින්දයේ කහපැහැති සූත්‍රිකාබල්බ සුලඟට සෙලවෙද්දි වටපිට සෙවනැලි වල චලනයක් ඇති කරනව. එතැනින් පිට මුළු නුවරම සැන්දෑ මඳ අඳුරේ ගිලී ගිහින්. මුළුපරිසරයම අළු පාටයි. ගහකොල, ගොඩනැඟිලි හැම දෙයක්ම එක යායට අළු පාටයි. ඈතින් පේන කඳු වැටියක ඉහල සීමාව විතරක් තදදම්පාටින් දිස්වෙනව. ඒ කඳු වැටිය දිහාවෙන්, ගත සිත සීතල ගන්වන හීගඬු හුලඟක් හමා එනව. තානායමට එන කඳුකර කෙටි වංගු සහිත මාවත දිහාවට එල්ල කරල ටිකක් ලොකු විදුලි පහනක් දල්වල තියෙන්නෙ තානායමට එන අයගෙ මඟ වැරදීම් අවම කරන්න වෙන්නඇති. තානායම මිදුලට පිවිසෙන තැනම තියෙන වංගුවෙ මැද්දෙන් ඒ විදුලි පහන සවිකර තියෙන නිසා මිදුලටත් පාරෙ පහලව වන්නටත් එළිය විහිදෙනව.

මේ පාරේ කවුරුන් හෝ ඇවිද එන බව රොබට් ට ඇස ගැසුනෙ අහම්බයෙන්. පාරෙන් ඉහලට එත්දි මුහුණ පොඩි වෙලාවකට එළිය වැටුනා. ඒ එළියෙන් මැදිවයසේ කර්කෂ මුහුණක් ඇස ගැටුනත්, වංගුවෙන් හැරිල ඉහලට එත්දි ඒ මුහුණ නොපෙනී ගියේ විදුලි පහනේ ආලෝකය සිරුරේ පිටුපසට වැටුන නිසා. ඇවිද එන අමුත්තාගේ සිරුරේ දිගු හැඩති සෙවනැල්ල තානායම් මිදුලේ වෙනස්වන අද්භූත රූපයක් මවාපෑවා. ඒ සෙවනැල්ල රොබට් ගේ හිත චකිතයකින් පිරෙව්වා. තරමක් තැතිගැන්මකින් බලාගෙන හිටපු රොබට් දිහාවට ආව මනුස්සයාආලින්දයේ විදුලි බුබුලක් යටට ඇවිත් සිට ගත්තා. එතකොටයි රොබට් අමුත්තාව පලමු වරට පැහැදිලිව දුටුවේ.

කෙට්ටු හීන්දෑරි මනුස්සයා පාට පිලිස්සුන පැල්ලම් බහුල පොඩිවුන ඒත් පිරිසිදු සරමකින් සැරසී සිටියා. උඩුකය වැසී තිබුනෙත් ඒවගේම අත්දිග කමීසයකින්. අත්දිග කමිසයේ අත් වැලමිට දක්වාම හීනියට නවලා. උඩ සාක්කුවේ මොකක් හරි පොදියක් තිබුනා. කරේ කොටුකොටු ලේන්සුවක් විශ්කම්භය දිගේ අඹරල බෙල්ල වටේ වෙන්න දාගෙන තිබුනා. අතේ පන් වගේ කොල ජාතියකින් විව්ව මල්ලක්. පයටහොදටෝම ගෙවීගිය කළු පාට රබර් සෙරෙප්පු දෙකක්. සෙරෙප්පු දෙක එහෙන මෙහෙන් කම්බි කෑලි වලින් පුරුද්දලත් එක්ක.

අමුත්තා රොබට් ගාවට ඇවිත් පහත් උනේ උස සාක්කුවෙන් පොඩි රෙදි පොට්ටනියකුත් එලියට අදින ගමන් මයි. ඔහු ලඟින් ලාවට වගේමත්පැන් ගඳක් එක්ක මුසුවුන දහඩිය ගඳකුත් හමමින් පැවතුනා. රොබට් මඳක් පිටුපසට වුණා.

" එක්ස්කියුස් මී සර්.. ජෙම්ස්ටෝන්ස්"

අමුත්තා එසේ කියමින් අනවසරයෙන්ම රොබට් ලඟ ඇණබා ඉඳගත්තා. රොබට් කිසිම විරුද්ධත්වයක් නොදැක්වූයේ ඇති වූ කුතුහලය සහ කොහොමටත් හෙට උදෑසන මැණික් කීපයක් මිලදී ගැනීමට යාමට අදහසකුත් තිබූ නිසාමයි. සුදු කමිසයේ උඩ සාක්කුවට අත ඔබාපොදියක් අතට ගත් අමුත්තා දකුණු අතේ අත්ල මත එය තබාගෙන වම් අතින් එය දිගහරින්නට පටන් ගත්තා. හතරැස් කපු රෙදි කඩකකොන් යාකොට සරල බුරුල් ගැට දමා සකසා තිබූ ඒ පොදිය තුල ගල් කැබලි සේ පෙනෙන යමක් පෙනුනා. සිවිලිමේ විදුලි බල්බයෙන් ඒවාදිස් වුනේ කලු ගල් කෑලි වගේ. රොබට්ගේ මුහුණේ කිසි හැඟීමක වෙනසක් නොදුටු අමුත්තා රෙදි කඩ දකුණතට ගුලි කරගෙන වමතින් පන්මල්ල අවුස්සන්නට පටන් ගත්තා. එසේ අවුස්සා කොට විදුලිපන්දමක් එලියට ගත්තා. එහි ඉදිරි කොටසේ පරාවර්තකය සහිත කොටස ගලවා දමා උත්තල කාචයක් සහිත බල්බයක් සවිකර තිබුනා. අමුත්තා ස්විච්චය ඔබා විදුලි පහන දැල්වූවා. ඉන් නික්මුණේ මලානික එළියක්. විදුලි පන්දමෙන් සිය කලවයට දෙවරක් පහර දුන් අමුත්තා එය තරමක් හොඳින් දැල්වෙන පරිද්දෙන් සකසාගෙන එක් එක් ගලබල්බයට අල්ලා රොබට්ට දැක්වූවා.කහ, තැඹිලි, රෝස සහ නිල් පැහැති ගල් ඒ ආලෝකයෙන් දක්නට ලැබුනා. රොබට්, ඒ නිල් මැණික අත්ලට අරන් ඒ මේ අත පෙරලා බැලුවා.

"සැෆියර් සර්.ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස් ඔන්ලි සර්"

අමුත්තා බුලත් කාරම බැඳුනු දත් විදහා සිනාසෙමින් කීවේ වම් අතේ ඇඟිලි පහ අවානක් මෙන් විහිදා පාමින්.

රොබට් නැවතත් අතෙහි වූ ගල ඒ මේ අත පෙරලා බැළුවා. අමුත්තා බලෙන් මෙන් අතට දුන් විදුලි පන්දමේ එළිය පුංජය ඊට තබා බැලුවා. දීප්තිමත් නිල් පාටයි. ඒ සමඟම විදුලියක් මෙන් ඔහුට යමක් සිහිවුනා. තමන් රත්නපුර යනවා යැයි දැන, ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේමැනේජර් වරයෙක් කී කතාවක්.

"මිස්ටර් රොබට් ඉෆ් යූ ආර් ගොයින් ටු රත්නපුර, බි අවෙයාර් ඔෆ් ෆේක් ජෙම් සෙලර්ස්.දේ සෙල් කලර්ඩ් ස්ටෝන්ස් ඇන්ඩ් පොලිශ්ඩ් ග්ලාස්ෆ්‍රැග්මන්ට්ස් ඈස් ජෙම්ස්. ඉෆ් යූ නීඩ් ජෙම්ස් අයි කැන් ඇරේන්ජ් යූ ටු ගෝ ටු ජෙම් කෝපරේශන් රයිට් ෆ්‍රොම් හියර්"

අතේ වූ මැණිකක් යැයි කියූ ගල ඒ මේ අත පෙරළා බැළූ රොබර්ට් එය නැවත අමුත්තා වෙත දිගු කලේ 'නොට් ඉන්ටරෙස්ටඩ්' යනඅභිනයට හිස දෙපසට වනමින්.

අමුත්තා එයින් පසු බා ගියේ නෑ.

"ෆෝ හන්ඩ්‍රඩ් සර්.. ෆෝ හන්ඩ්‍රඩ් ෆො යූ" අමුත්තා කීවේ එක අතක ඇඟිලි හතරක් විදහා දක්වමින්.

නැවතත් " නොට් ඉන්ටරෙස්ටඩ්" අභින.

ගලෙහි වටිනාකම පියවරෙන් පියවර සීය දක්වා පහතට බැස ගිය පසු රොබට් නැවතත් මැණික අතට ගෙන බැළුවා. ඇතැම්විට මෙය නිල්මැණිකක් වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. නැති වන්නේ රුපියල් සියයකි. ඔස්ට්‍රේලියානු ඩොලර් හයකි. රොබට්ට අවශ්‍යවඇත්තේද සිහිවටනයක් ලෙස රළු මැණිකක් මිස කපා ඔප දැමුණු මැණිකක් ද නොවේ.

රොබට් නැඟිට ගත්තේ කාමරයට ගොස් රුපියල සියයක් රැගෙන එන්න.

"වට් ඉෆ්, දිස් ඉස් අ කලර්ඩ් ස්ටෝන්?"

මැණික අවශ්‍ය නෑ කියන හදිසි තිර-තීරණය ගත් රොබට් අමුත්තා දෙසට ගල දිගුකර, "නෝ තෑන්ක්ස්. ගුඩ් ඊවිනින්ග් ටු යූ" කියා ආපසු කාමරයට යන්න පිටත් වන්නට හැරුණ.

"සර් ෆිෆ්ට් රුපීස් ෆො යූ සර්"

අමුත්තා අන්තිම උත්සාහයත් දැරුවා.

හිසවනා "නෝ" කියූ රොබර්ට් පියවර ඉක්මන් කලේ අමුත්තා තමා පසු පස හඹා එතැයි සැකයෙන් මෙන්.

*****

පසු දින උදෑසන ආහාරය වඩාත් එකක් වුනා. ටෝස්ට් කල පාන්, ස්කැර්ම්බල් බිත්තර, රෝස්ට් කල කුකුල් මස් අනුභව කල රොබර්ට් කළුකෝපි කෝප්පයක් බොමින් තමාට ඉතා ඉදිරියෙන් අඩි දෙදහසකටත් වඩා ඉහලට නැගී සිටි ශ්‍රී පාද අඩවියේ කඳු මුඳුන් දෙස බැලුවා. තවදිනක් ගතවත්දි තමන් මේ කඳු ඉහලින් නැවතත් ගමනේ යන සිතිවිල්ල ඔහුට ඇති කලේ අපූර්වතම ආශ්වාදයක්.

තරමක් ප්‍රමාද වී අවදි වූ නිසාදෝ පහතින් ඇසෙන දුම්රිය පලේ ශබ්ද බොහෝ දුරට වියැකී ගොසින්. ආපසු පිටත් වන්නට හෝරා දෙකක පමන ඉඩක් ඇති නිසා ඒ වනවිටත් නැවත පැමිණ සිටි සුගත් සමඟ රත්නපුර නගරයේ රවුමක් යන්න තීරණය කලා. මැණිකක් ගැනීමේඅවශ්‍යතාවය සපුරාගන්න සිතුවිල්ලත් ඒ සමඟම.

මෝටර රථය දුම්‍රිය ස්තානයේ බඩු ගබඩාව අසල නැවැත්වූ ඔවුන් රේල් පීලි පැන පල්ලිය පාරට පිවිසුනේ දෙගරාවක් වැනි සීඝ්‍ර පඩිපේලියක්බසිමින්. රොබට් ඒ පඩිපේලිය බසින්නට පෙර දුම්‍ රියපල දෙස ඈත කෙලවරින් හැරි බැලුවා. රතුපාට රේල් කාර් දෙක හැරෙන්න කිසිම යාන්ත්‍රික බලගැන්වුමක් පේන්නට නැහැ.

පටු පල්ලිය පාර ඒ උදෑසෑන සන්සුන්. පඩිපෙල බැහැගෙන ඉස්සරහට යද්දිම මිරිස් මෝලක ' කිරිං කිරිං කිරිං' හඬ එක්ක නාසයට දැනෙනසැර මිරිස් සුවඳක් ගලාගෙන ආව. පාර දෙපැත්තෙම සිංහල උළු පල දෙකට බාපු තනිමහල් නිවාස. ඒවගෙ ඉදිරි ආලින්දවල කොටු සරම්ඇඳගෙන පුටු උඩින් කකුල් තියාගෙන ඉන්න මුස්ලිම් මැණික් වෙලෙන්දො රොබට් දකිත්දි වහාම කකුල් දෙක පහලට අරගෙන නැඟිටලා හිස පැත්තකට නවල ආචාර කලා. රටේ පැවතිච්ච තත්ත්වයත් එක්ක සුද්දෙක් මේ පාරෙ මැණික් කඩ වලට එබිකම් කිරීම තරමක් දුර්ලභදෙයක්. ඇතමෙක් "කම් සර් කම් සර්" කියල කතා කලේ ආලින්දයේ අනිත් පස හණ පෝරුව කරකවමින් මැනික් ගල ගාන්නාට අතින් සන්කරමින්. ඒ සැණින් හණ පෝරුවේ හඬ 4156 +මදකට නිහඬ උනා. රොබට් හිස සලා සිනහවකින් සංග්‍රහ කර එතැන පසුකර යත්ම ඒ හඬ  mn”|
නැවතත් අවදි උනා.

රොබට් ඉදිරියත් පාර දෙපස කඩ සාප්පුත් බලමින් ඉදිරියට ගියා. සුගත් පසු ගමන් ගත්තේ නිහඬවමයි. පල්ලිය පාරේ ඇලෝසියස්විද්‍යාලයේ සීනුව කාල පරිච්ඡෙදයක් අවසන් බව හඟවන්න 'ටිං ටිං' හඩින් දෙවරක් නාදවත්දී පාසලේ ගෝසාව මඳකට වැඩිවී නැවත අඩුවුනා.  තමන්ගේ ඉදිරියෙන් මැණික් වෙලඳ සැලකින් පාරට බැහැල ඉක්මන් ගමනින් නික්ම යන අයෙක්ගෙ සුපුරුදු බව රොබට් ට දැනුනෙ ඒවෙලාවෙ.

හීන්දෑරි උස සිරුර, අත් උරහිස ලඟට නමපු කමිසය, සරම, පන් මල්ල. ඊයේ ඈ ඇතිවුන කුතුහලයත් එක්ක, රොබට් ඒ මිනිසා පිටවී ගියමැණික් වෙළඳසැලට ඇතුළු වුනා. ඇතුල් ගෙයට ගොස් සිටි මුස්ලිම් වෙලෙන්දා තකහනියක් එලියට ආවේ ' ගුඩ් මෝනින් සර්' කියාගෙන. දැන් දැන් හැවෝම ඉංගිරිසි චුට්ටක් විතර කතා කරන රටක නගරයක්, රත්නපුර.

"වට් කැන් අයි ඩූ ෆො යූ සර්?" වෙලෙන්දා ඇසුවේ දත් තිස් දෙකම පේන්න කට පලල් කරගෙන.

"අයි වෝන්ට් ටු බයි අ ජෙම් ස්ටෝන් ඈස් අ සුවනියර්. අ බ්ලූ සැෆයර් ඉස් ප්‍රිෆර්ඩ්" රොබට් කීවා.

"ඕකේ සර්. ගිව් මී අ මූමන්ට්"

වෙලෙන්දා ආය ඇතුළු ගෙට වැදුනා. රොබට් ඇතුල් ගේ දිහා ඇස් යොමු කලේ ඒ මොහොතේ. මුස්ලිම් වරුන්ගේ සාම්ප්‍රදායික විලවුන් සුවඳ හමා එන ඒ ඇතුල් ගෙයි දොර රෙද්දක් මඳක් මෑත් වී තරුණ යුවතියකගේ නෙත් සඟලක් රොබට් දෙස බැල්මක් යොමුකර ක්ෂණිකව අඳුරේ සැඟව ගියා. රොබට්ගේ සිත මොහොතකට තිගැස්සුනා.

වෙලෙන්දා නැවත ආවේ කළුවර ලීයෙන් කරපු මැණික් හෙප්පුවක් අරගෙන. ආලින්දයේ මැණික් ගලගාමින් හිටි තැනැත්තා ගණුදෙණුවට ඉඩ දී ඒ වෙද්දි එතනින් වසන්ව ගොසින්.

මැණික් හෙප්පුවේ සුදු රෙදි කඩක ඔතා මැණික් පොදියක්ම තිබුනා. වෙලෙන්දා ඒ පොදිය දිග හැර ඉන් නිල් මැණික් කීපයක් වෙන් කලා. විදුලි පන්දමකින් එලිය කලවිට ඒ මැණික් එකිනෙක පරදන කාන්තියකින් දිස්න දුන්නා. වසඟ වන සුළු දීප්තිමත් මොණර පිලේ නිල් පැහැය. ආලින්දයේ කොට්ටා දැමූ වේවැල් හාන්සි පුටු වල ඉඳගෙන කොට බිත්තියේ පිහිටෙන් පල්ලිය පාරේ යන්නන්ගේ ඇස නොගැටී ගනුදෙනුවකතා වුනේ.

"ඩෝන්ට් යූ හෑව් රෆ් ස්ටෝන්ස්?" රොබට් ඇසුවා.

වෙලෙන්දාගේ මුහුණේ ඇති වූ අකමැත්ත, පසුබෑම රොබට් පැහැදිලිව දුටුවා. බිත්ති කණ්ඩියට හේත්තු වෙලා පාර දිහා බලාගෙන හිටියසුගත්ට වෙලෙන්දා කතා කලේ ඒ මොහොතේ.

"මල්ලි අපි අමු ගල් විකුනන්නෑනෙ. කපලා තමා දෙන්නේ. අමු ගල් බේරුවල තමා යවනවා. අපි කපන්නැත්තං මේ තියියාගන්නේ නෑ"

"සර් හී සේස් හී ඩෝන්ට් සෙල් රෆ් ස්ටෝන්ස්"

සුගත් රොබට් දිහා බලමින් කීවා. රොබට් පසු බා ගියේ නෑ.

"අයි විල් ගිව් යූ ද ප්‍රොපර් ප්‍රයිස්" රොබට් කීවේ මුස්ලිම් වෙලෙන්දාගේ පැසී රැලි ගැටුණු මුහුන දිහා එක එල්ලේම බලාගෙන. ඒ මුහුණේඑක් වරම හඳ පෑව්වාක් මෙන් ඇතිව ගිය දීප්තියත් සමඟම වෙලෙන්දා එතනින් නැඟිට්ටේ "ජස්ට් අ මූමන්ට් සර්" කියල ආයෙත් කියාගෙන. ආපසු ඇතුල් ගෙට.

ටික වෙලාවකින් ඔහු ආපහු ආවේ දකුණතේ යමක් ගුලි කරගෙන.

"අයි කැන් ගිව් යූ දිස් සර්"

වෙලෙන්දා මුස්ලිම් සම්ප්‍රදායානුකූලව රොබට්ගේ දකුණු අතේ මැණිකක් තිබ්බා.

ඊයෙ රෑ අමුත්තා පෙන්වූ නිල් මැණික!

"ඊස් දිස් අ ජෙනුයින් ස්ටෝන්?" රොබට්, තරමක් සැලෙන කටහඬින් ඇහුවා.

"යර්ස් සර්.  බ්ලූ සැෆයර්, නෝ ඩැමේජස් යූ කැන් චෙක්. පීකොක් බ්ලූ"'

රොබට් මැණික අතින් අතට මාරු කරමින් හැඩ බැලුවා. ඒ සමඟම ඔහුගේ සිතේ ඇතිවී නැති වී යමින් තිබූ සිතිවිලි ගංගාව මහත්වෑයමකින් නවතා ඇසිය යුතු ප්‍රශ්නය ඇසුවා.

"වට්ස් යුවර් ප්‍රයිස් ෆෝ දිස්?"

"තවුසන් රුපීස් ෆෝ යූ සර්.. වෙරි චීප්!"

වෙලෙන්දා උත්තර දුන්නා.

 

2022.12.19

©රසික වික්‍රමනායක


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, දෙවන කොටස: අපේ කොකාට ජය වේවා!