අනූහයේ අපේ කතා, පලමු කොටස: ශ්‍රී දේවි අයි ලව් යූ
පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ ගතකල
සුන්දර පාසල් සමයේ මතකයන් අවදි කරන්නටය කියා මිතුරන් ඇරයුම් කලේ වරක් හෝ
දෙවරක් නොවේ.
ලියන්නට වාඩිගෙන සටහන් කුරුටු ගා අමතක කර දැමුවේ ද වරක් හෝ දෙවරක්ද නොවේ. එසේ වීමට
විවිධාකාර කාරණා බල පෑ
අතර ප්‍රධානම හේතුව වන්නේ "පාසල් සමයේ මතකයන්" ලෙස වෙන්කිරීමට නොහැකි
ලෙස ඒ අත්දැකීම් අපේ යොවුන් විය සමඟ බැඳී පැටලී වෙලී තිබීමයි. ඇතැම්
අත්දැකීම් පාසල් ජීවිතය හා ගැටලන්නට තරම් මුදු සුමුදු ද නැත. කෙසේ වෙතත් ඒ අත්දැකීම්
සඳහා එක් වූ මිතුරන් පාසල පසුබිම් කරගෙන හෝ පාසල නිසා හමුවූවන් වීම හේතුවෙන් පාසල්
සමයේ අත්දැකීම් යැයි කීමේ වරදක් නොවූවා සේම, අප සැම යෞවනෝදයේ සිටීම නිසා යොවුන් වියේ
අත්දැකීම් යැයි කීමේ වරදක්ද නොමැත්තේය. එබැවින් මම අපේ යොවුන් විය පිලිඹඳව
ලිවීමට ඉටා ගතිමි.
අප හා අපේ සමකාලීනයන් ගෙවූ යොවුන් විය
සුවිශේෂී එකක් යයි මම උදක්ම විශ්වාස කරමි.
අප උපත ලබා ඇත්තේ 77 වසරේ හෝ 78 වසරේය. රට සංවෘත
ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයක් කරා වෙනස් කිරීමෙන් සමාජ හාදේශපාලන විපර්‍යාසයන්
රැසකට මඟ පෑදූ යුගයකය. වසර 26 ක් තිස්සේ
කණගාටුදායක ලෙස ඇදී ගිය වර්ගවාදී අනවශ්‍ය යුද්ධයක් සහ ඉන්ම මතුවූ කලු ජූලිය
සිදු වූයේ අපට යාන්තම් මතක 83 වසරේදීය. ඉන්
අනතුරුව 87-88 භීෂණ කාලය,
අපේ යෞවනෝදයත් සමඟම
බිහිසුණු
අත්දැකීම් ගෙන ආවේය. 93 වසරේ රටේ
නායකයා මහ මඟ එලොව යැවීමත් සමඟ 94 වසරේ කොල පැහැයෙන් නිල් පැහැයට බල හුවමාරුව සිදු විය.
ලංකාව වීල්ස් ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහනය කලේ අප උසස් පෙලට පෙනී සිටි 96 වසරේ මාර්තුවේදීය.
සුබාසුබ කාරණා කෙසේවත් විග්‍රහ කිරීමට මගේ
අදහසක් හෝ උවමනාවක් නැත. කෙසේ වෙතත්, මේ කතාබහ ඉදිරියට යද්දී ඒ සිද්ධීන් හා අපේ ජීවිත අතර ඇති
බැඳීම් කියවන ඔබට පැහැදිලි වනු ඇත. මේ කතාන්දර කාලය අනුව හෝ පෙලගැස්වීමට කිසිඳු
උත්සාහයක් දරා නැත. සිතේ
ඇඳෙන සිතුවම් එලෙසම අකුරු ලෙස පෙලගැස්වීම පමණක් සිදුකර ඇත.
87-88-89 අඳුරු කාල පරිඡේදයෙන් රට නිදහස් වත්දී අප
නවය වසරේ ය. අට, නවය, දහය වසර කාලය වත්දී අප
ලමා අවධිය පසු කර යෞවන අවධියට
පිවිසෙමින් සිටියෙමු. ගැහැණු ලමයි උස ගොස්
ලැම, කලවා වැඩී
පිරිපුන් සිරුරැත්තියෝ වෙති. පිරිමි ලමුන් මෙන්ම 'ලෑලිකෑලි' ස්වභාවයෙන් යුතුව සිටි ඔවුන්ගේ සියල්ල
වටකුරු වෙන්නටත්, පැහැපත්
වන්නටත් පටන් ගනී. මේ සංසිද්ධි පටන් ගන්නේ හිටි අඩියේම ඔවුන් පන්ති
කාමරයේදී 'ලෙඩ වීම'
ත් සමඟය. පංතියේ ලෙඩ
වන ඔවුන් කාන්තා ගුරු විවේක කාමරයට ගාල් කෙරේ. රෙද්දකින් හිස වසා පාසලෙන් එවන
පණිවුඩයකට එන වැඩිහිටි කාන්තාවක විසින් නිවසට
කැන්දාගෙන යන ඔවුන් නැවත පාසලට එන්නේ සතියකටහෝ දෙකකට පසුවය. ඒ එන්නේ කැවුම්,
කෙසෙල්, අළුවා ආදී කැවිලිද
පොදි බැඳගෙනය. ඉන්පසු ඔවුන්ගේ මහා විපරියාස සිදුවේ. ගමනබිමන සංවර වේ, ඇස් බිමට නැවේ,
කොල්ලන් සමඟ කෙලි
සෙල්ලම් සීමා වේ. "ගෙට වෙලා, ලොකු වෙලා, ජම්බු ගහෙන් වැටිලා" ආදී විවිධාකාර නම් වලින්
මේ සංසිද්ධිය හැඳින්වුවත් ඒ කිමක් දැයි අපි ටක්කෙටම දැන ගන්නේ නවය වසරට සෞඛ්‍ය
පාඩම ඉගෙන ගන්නාවිටය. මේ තුරුණු කෙල්ලන් වටා ඉහල පන්තිවල කොල්ලන් කැරකීම නිසා
අමුතු ආඩම්බරයක්ද ඔවුන්ට ආරූඪ වන්නේ නිතැතිනි.
කෙල්ලන්ට සාපේක්ෂව කොල්ලන් වැඩිවිය පත්
වන්නේ පසුවය. එකම පන්තියේ කෙල්ලන් උස් මහත යද්දී කොල්ලන් පඟර නැට්ටන්,හාල්මැස්සන් සේ හීනියට
පොඩියට සිටිති. ඇතැම්විට පන්‍තියේ ඇතිවන අඬ දඹර වලදී කොල්ලන්ට
කෙල්ලන්ගෙන් තැළුම් කන්නට වන අවස්ථාද නැතුවම නොවේ. උගුරු ඇට පැන, දැලි රැවුළු වැවී කොල්ලන්ද උස්මහත් වූ පසු ඒ
අඬ දඹර සමනය වී යයි. සම වයස් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය වෙයි. මක්කලාවත්
ඉස්කෝලේ යැවිය නොහැකි එවුන්ද බොහෝ කැමැත්තෙන් එහි යයි. සති අන්තයට පවා ශෝකවෙයි.
සඳුදා වන තුරු ඇඟිලි දෙකක් ගනියි.
කෙල්ලන්ට මෙන් හිස වසාගෙන කැඳවාගෙන යෑමක්,
මල්වර මංගල්ලයක්,
කැවුම්, කෙසෙල්, කොකිස්, අතිරස කොල්ලන් වන අපට
නැත.
නවය වසරෙන් දහය වසරට පැමිණීම තරමක් දුරට
මල්වර මංගල්ලයක් හා සමාන වන්නේ නවය වසර වන තුරුම කොට කලිසම් අඳිනකොල්ලන් දහය
වසරේදී මුල් වරට දිගු කලිසම් ඇඳීම නිසාය. දහය වසරට පිවිසෙන පලමු දිනම සුදු දිග
කලිසම් හැඳීමට අවසර ඇතත්, එසේ කල යුතුමය
යන නියමයක් නැත. දහය වසරට එන පලමු දිනම දිගු කලිසම් ඇඳීමට නම් අනිවාර්‍යයෙන්ම 'ගටක්' තිබිය යුතුය.
එසේනැතහොත් දෙමාපියන්ට සල්ලි බාගය යහමින් ඇති කුසීත ඔතෑනියන්ද ඔහේ දිග කලිසම ඇඳගෙන
එති. පලමු දිනයේ දෙතුන් දෙනෙක් ඇඳගෙන එන දිග කලිසම පූර්වාදර්ශයක් කරගනිමින්
සෙස්සෝද පසු දින වල කෙමෙන් කෙමෙන් දිගු කලිසමට බසිති. අලුතෙන් සුදු දිගකලිසම
හැදගෙන යමෙක් පන්තිට පිවිසෙත්ම ඝෝෂාවක්, කලිසමෙන් ඇදීමක්, කිති කැවීමක් සිදුවේ.
අලුතෙන් දිගු කලිසමක් හැඳ යෞවනයට පිවිසෙත්ම
සුන්දර සමනල් හැඟුම් උදෑසන පිණි පිසින මද නලක් මෙන් සුවය දනවමින් හමා ඒ. සමනල විය
සුන්දරත්වයත් සමඟ ආදරය පිළිඹඳ බොළඳ, කෙලිලොල් හැඟීම් ඇති වේ. මුලින්ම පෙම් කරන්නේ සිතෙනි. ඒ
කුළුදුල් සිතෙහිසිහින කුමාරයන්, කුමරියන් වැඩ
වසයි. මේ පලමු දිග හැරුම එවන් සිහින කුමරියක් අප කීප දෙනෙක් ගේ සිත් හි පිලසිඳගත්
කොලුකාර දඟකාරකමක්
පිළිඹඳවය.
මගේ මතකය නිවැරදිනම් මේ සිදුවීම වූයේ 1992 වසරේ පෙබරවාරි හෝ
මාර්තු මසය. අප සාමාන්‍ය පෙල පන්තියේ උගන්නා සමයයි. අදමෙන්ම එදාද පෙබරවාරි මාර්තු
මාසයන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා වෙන්වේ. නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන
අවසන් දිනකීපයේ නිවාස ඉඳි කිරීම ආදී කටයුතු සඳහා සිසු සිසුවියන් ගුරු අධීක්ෂණයට
යටත් ව පාසලේ රැඳේ. නිවාස ඉඳිකිරීමට අමතරව තවත්බොහෝ දෑ සිදුවන අතර ඒවා ගැන පසුව
ලිවීමට අදහස් කරමි. කෙසේ හෝ අපටද නිවාස සෑදීම ට යැයි අවසර ගෙන පාසලේ රැයක් පහන්
කිරීමට ඉඩ හසර ලැබුණි.
නිවාස සෑදීමට බර දී වැඩ කරන්නේ උසස් පෙල පන්‍තියේ
ලමුන් ය. යම් හේතුවකට අපට මහා ලොකු වැඩක් කිරීමට නොමැති බව පසක් වූ
නිසා දෝ අප
කම්මැලි කමෙන් පිට්ටනියේ කොණකට වී නිකම් ලැබෙන කෝපි බොමින් මාරි බිස්කට් කමින්
සිටියෙමු. කවුරුන් හෝ ‘ෆිල්ම් එක’ බලන්නට යමු යැයි
යෝජනා කලේ ඒ අතරය.
එකල සිනමා ශාලා ජනප්‍රියය. හැම නගරයකම පාහේ
සිනමා ශාලාවක් විය. රත්නපුරයේ සිනමා ශාලා තුනෙන් දැන් ඇත්තේ දෙකකි. කහවත්තේ රෝයල්
සිනමා ශාලාව වැසී ගියේ බොහෝ කලකට පරය. පැල්මඩුල්ලේ ගන්කන්ද සිනමා ශාලාවද කලක් වැසී
ගොස් තිබුණුඅතර මෑතකදී නගරය පසුකර යත් දී එය නැවත ක්‍රියාත්මක වන බවක සලකුණු දිස්
විය. උදේ 10.30, දහවල් 2.30,
සවස 6.30 ට
අමතරව රාත්‍රී
9.30 චිත්‍රපට
දර්ශනයක්ද එකල විය. ඇතැම් කෙටි ඉංග්‍රීසි චිත්‍රපට සඳහා 10.30 සහ 2.30 අතරට 12.30 දර්ශනයක්ඇතැම් විට 'ඔබන' බව මට මතක ඇත. මෙලෙස 12.30 දර්ශන එබ්බවූයේ කෙටි ‘නිල්’ චිත්‍රපට සඳහාය.
ගන්කන්ද සිනමා ශාලාවේ එදින ප්‍රශර්ශනය වූයේ
ශ්‍රී දේවි සහ අනිල් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන "මිස්ටර් ඉන්දියා"
සංගීතමය ක්‍රියාදාම
චිත්‍රපටයයි. "මිස්ටර් ඉන්දියා" ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1987 දී බැවින් ඒ වනවිටත්
එය තරමක් 'කබල්' චිත්‍රපටයකි.
ගන්කන්දසිනමාශාලාවට එන්නේ 'කබල්' චිත්‍රපට යන
උපකල්පනයක් ද අප තුල නොවූවා ද නොවේ. වෙනත් ශාලාවක හෝ කීපයක ප්‍රදර්ශනය කලකටවුටයක්ද
අප පාසලට හැරන මාවතේ වම්පස පිහිටි ගන්කන්ද සිනමා ශාලාවේ දොරකඩම ප්‍රදර්ශනය විය.
අවුවට වේලී, වැස්සට
තෙමීපරඬැල්ව, සුරුංඩුව ගිය
එහි අතින් අඳින ලද ශ්‍රී දේවියගේ සිතුවමක් විය. එය මැටි බෝනික්කෙකුට පිටි
තැවරුවාක් වැනි අප්‍රසන්න එකක් බවද මතකයේ ඇත.
චිත්‍රපටයක් බැලීමට යෝජනා කලේ කවුරුන්ද යන්න
මතක නැතත්, එතැන සිටි
කොලු නඩය එක හඬින් එය අනුමත කලේ ඒ වෙත්දී රාත්‍රිය සමඟ නිදිමත ගලා ඒමත්,
කොලුකාර කමට මගෝඩි
වැඩක් සිදුකර පසු දින එය ගැහැණු ලමුන් සමඟ රසකර පවසා සිටීමට ඇති
කැමැත්තත්
නිසා වන්නට ඇත. අපි සුදු ඇඳුම් පිටින්ම සිනමා ශාලාව දෙසට ඇදුනෙමු. නිවාසන්තර ක්‍රීඩා
උලෙල නිසා පාසල් ලමුන් විද්‍යාලමාවතේ ඉහල පහල යාම සාමාන්‍ය දෙයකි. ඒ වන විට රාත්‍රී
10 ට කිට්ටුය.
මමත් ඇතුළු අපි කීප දෙනෙක්ම දොර අතර පැකිලෙමින් සිටියදීගට ඇති පුතෙක් අපේ අතින්
සල්ලි රැගෙන ගොස් ගැලරි ටිකට් රැගෙන ආවේය. ටිකට් රැගෙන අපි ශාලාව තුලට පිවිසී
අඳුරේ අතපතගාමින් ගොස් ගැලරි බංකුවල වාඩි වුනේ සිනමා ශාලා සහයකයෙකු කණාමැදිරි
විදුලි පන්දමක් වනා මඟපෙන්වා දුන් පසුය.
ශාලාවේ එකම එළිය චිත්‍රපටය නිසා ඇතිවන එලිය
පමණි. ඊට අමතරව තැනින් තැන සිගරට් එළි පුළිඟුද දැල්වෙනවා මතකය. සිනමාශාලාව තුල
සිගරට් දුම් හා මුසුව එන පල් ගඳක්, පල් මුත්‍රා ගඳක් සහ වෙරළු මල් සුවඳක් කැරකෙමින් තිබුනි.
සීලිං පංකා 'බ්‍රම් බ්‍රම්
බ්‍රම්' හඬින් පලින්
පල කැරකේ. බංකු වල මකුණෝ අපි පසුපස තබන තෙක් බලා සිටියාක් මෙන් ප්‍රහාරය ආරම්භ
කලහ.
හින්දි වාණිජ චිත්‍රපට වල විශේෂම ගුණය වන්නේ
භාශාව නොතේරුණද කතාව තේරුම් ගැනීමට හැකි තරමට ඉතා සරල වීමයි. සංගීතයහා සිනමාව
විශ්ව භාෂාවක් යන්නද ඇතමෙක්ට මතුකරන්නට පුළුවන. ටික වේලාවක් යත්දී කතාව තේරුම්ගත්
අප එයට ඇලී ගැලී බලාසිටියෙමු. ඒ මම සිනමා ශාලාවක රස විඳි පලමු හින්දි සිනමා පටයයි.
ඊට පෙරත් පාසල් දර්ශනයක් ලෙස ගන්කන්ද සිනමා ශාලාවේ 'සාගරජලය මදි හැඬුවා ඔබ සන්දා' සහ තවත් කුමක් දෝ චිත්‍රපටයක්
නැරඹූ බව මට සිහි කැඳවිය හැකිය.
අනිල් කපූර් සහ ශ්‍රී දේවී අපේ පරම්පරාවට
පෙර පරම්පරාවේ නළු නිලි දෙපලකි. අපේ පරම්පරාව වන්නේ ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන්ඛාන්, මධුරි ඩික්සිත්,
ජුහී චවුලා, රවීනා තන්දන්, මනීශා කොයිරාල ආදීන්
ය. හින්දි සිනමාවේ පලමු ' හිරොයින්'
, එසේත්
නොමැතිනම්නළුවාගේ ප්‍රතිභාවෙන් තොරව චිත්‍රපයටක් 'දිවවිය හැකි' පලමු නිලිය ලෙස සැලකෙන ශ්‍රී දේවියගේ ප්‍රතිභාව
සහ රූපය යෞවනෝදයේ සිටිඅපගේ සිත් සැනෙකින් පැහැරගත්තේය. පල් ගඳත්, දුම් ගඳත්, මකුණු ඇනුමත් ඇය ඇගේ
මායාවී බලයකින් පිසදා, අපව සිහිනලන්තයකට
කැඳවාගෙන
ගියාක් බඳු විය. ඇය වඩාත්ම අපේ තුරුණු සිත් පැහැර ගත්තේ එම චිත්‍රපටයේ එන 'අයි ලව් යූ' ගීතය හරහාය. ලොකු ඇස්,
රතු තොල්, පිරුණු ලැම, රෝස සම, ඇස් ලොකු කර බලන බැල්ම,
ගස්සාගෙන යමින් රවා
බැලීම වැනි එකල හින්දි සිනමාවේ රූමතියකට හිමි සකල විධ අභිනයන්ගෙන් සහ මායම් වලින් ශ්‍රී
දේවිය පිරිපුන් ය. සිරුරෙහි වැසිය යුතු තැන් කිසිවක් නොපෙන්වා රාගය උපරිමයටම
නංවන්නට ඇයට
හැකිය. ලා නිල් පැහැ සාරියකින්, බ්ලවුසයකින්,
අරුංගල් යුවලකින්,
තිලකයකින් සහ රතු
දෙතොලකින් පමණක්ම සැරසීඉස්තාලයක වැස්සක තෙමෙමින් පිදුරු ගොඩක පෙරලෙමින් ඈ රාගය සහ
සෘගාරය මතුකරයි. මා ශ්‍රී දේවිය හා පෙමින් බැඳුනේ එදිනය. මගේ පලමු සිහින කුමරිය
නැතහොත් 'ක්‍රශ් එක'
වූයේ ශ්‍රී දේවියයි.
ශ්‍රී දේවි සහ හින්දි සිනමා උන්මාදයක් එදින ඇති වූයේ මා තුලමපමණක් නොවේ. අපි සමඟ
චිත්‍රපටිය නැරඹීමට කට්ටි පැන්න බොහෝ දෙනෙකුට ඒ උන්මාදය ඇතිවිය. පන්න පන්නා ශ්‍රී
දේවියගේ චිත්‍රපටනැරඹීමට අප පෙලඹුනෙමු. මිස්ටර් ඉන්දියා සිනමාවෙන් පසු අපි
අත්දුටුවේ "නාගීනා" යි. නාගීනා, ශ්‍රීදේවියගේ නර්තන හැකියාවඋපරිමයෙන් විදහා
දක්වන චිත්‍රපටයක් ද
වන අතර එහි එන " මේ තේරේ දුශ්මන්"
ගීය ඊට කදිම උදාහරණයකි. සිනමාවෙන් නොනැවතී ඇගේ රූපය ඇතුලත් පෝස්ට් කාඩ් පත්රුපියල්
දහයක් ගෙවා මිලදී ගන්නටත් අපි පෙළඹී සිටියෙමු. පත්තර කෑලි වලින් කපාගත් ශ්‍රී
දේවියගේ සේයා රූ, අපේ පාසල්
පොත් කවරසරසන්නට පටන් ගත්තේ නම් උසස් පෙල කාලයේදීය.
ශ්‍රී දේවිය 1994 දී බොනී කපූර් හා විවාහ වූ දින, උග්‍ර ශ්‍රී දේවි
රසිකයෙක් නිරාහාරව දවස සැරි බව සිහිකරමි. ඒ රසිකයා මම නොවනඅතර කවුදැයි දැන සිටියත්
මුනිවත රකිමි.
පාසල් කාලයෙන් පසුවද ශ්‍රී දේවියගේ චිත්‍රපට
නැරඹීමේ ආසාව මවෙතින් නම් පහව ගියේ නැත. 2003 පමණ, අන්තර්ජාලය එතරම්ජනප්‍රිය නොමැති කාලයේ මම
ඉන්දියාවට ගොස් පැමිණි මිතුරෙකුගේ මාර්ගයෙන් " මිස්ටර් ඉන්දියා" සිනමා
පටයේ වීසීඩී තැටි ගෙන්වා ගතිමි. අන්තරජාලයෙන් චිත්‍රපට බාගත කල හැකි
සමයේ ඇගේ සියළුම චිත්‍රපට බාගත කර නැරඹුවෙමි. තවමත් ඒ දෘඩ තැටිය මා සතුව
ඇත. නමුත්
නැවත කිසි දින ඒ චිත්‍රපට නරඹන්නේ නැති බව දැන දැනත් මට ඒවා මකා දැමීමට සිතක් ද
නැත.
ශ්‍රීදේවිය 2018 වසරේ අකල්හිම මෙලොවින් නික්මෙද්දී මම විදේශයක සිටියෙමි. ඇගේ මරණය වසන්ත මල්
පිපෙන සමයක හිටි අඩියේ
හමායන අඳුරු
වැසි වලාවක් මෙන් මගේ සිත අහේතුක ශෝකයකින් පිරෙව්වේය. මෙලොව මතම දෙව් ලොවත් අපායත්
දෙකම එකට ඇතිබව මම පුද්ගලිකව විස්වාස කරන දෙයකි. ශ්‍රී දේවි එවන් දෙව් දුවකි. ඉතින්
එවන් දෙව් ලියක් ඉක්මනින්ම දෙව් ලොවට ආපසු ගියා වන්නටද පුලුවන. ඇය සැමදා රූමත්ව
අපේ මතක පොතෙහිතැන්පත්ව සිටිනු ඇත.
තවත් කොටසකින් යලි හමු වෙමු.
©රසික වික්‍රමනායක
Comments
Post a Comment