ඇෆ්ගන් කතා 2 - නික්ම යාම.


කෙටි නිවාඩුවකින් පසු ඇෆ්ගනිතානයට යාම අතිශය වේදනා ගෙන දෙන්නකි. සුපුරුදු සුව පහසු පරිසරයෙන් මිදී, දුවටත් පුතාටත් ආයුබෝවන් කියා නික්ම යාම පපුව තුල හුස්ම හිර කරවන කටුක අත්දැකීමකි. සමුගැනීම සුපුරුදු ලෙස කලහොත් වේදනා ගෙන දෙන නිසා ගුවන්ගතවීමට නියමිත දිනයේ අස් පස් කිරීම් කලින් කර අන්තිම මොහොතේ හිටි ගමන් ටැක්සියකට නැගීම මගේ පුරුද්දයි. කදුළු පිටකරනවා වෙනුවට, එය සිත තුලම ජීර්ණය වන්නට හැරීම , මට පුරුදු වී ඇත.

බොහෝ විට මා ගුවන් තොටුපලට රැගෙන යාමට එන්නේ මිතුරන් මාර්ගයෙන් සම්බන්ධ කරගත් තරුණ රියදුරන්ය. තම පවුල් නගාසිටුවීමට රැයක් දවාලක් නොබලා කුඩා ඉන්දියානු මෝටර් රථ සිය නිවෙස් කරගත් මේ මිතුරන්, බොහෝ විට මා හා අල්ලාප සල්ලාපයේ යෙදේ. කෙසේ උවත්, මම ගල් ගිල්ලා සේ හුස්ම හිරකරගේන ඔහේ යමි. ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයට යනතෙක්මත්, ගුවන් ගතවන තුරුත් වේදනාවා පහව යන්නේ නැත.

ගුවන් යානය පිටත් වන්නේ යක්කු ගස් නගින පාන්දර ජාමයේය. එමිරේට්ස් ගුවන් සේවයේ හෝ ෆ්ලයිඩුබායි ගුවන් සේවයේ යානයකි. වෙනත් ගුවන් සේවා ඇෆ්ගනිස්තානය දක්වා ගුවන් ගමන් ක්රියාත්මක කරන්නේ නැත. (වඩා නිවැරදිව කිවහොත් ශ්රී ලාංකාවේ සිට.. ) ගුවන් යානයට ගොඩවන මම කෙසේ හෝ නින්දට වැටෙමි. ගමනේදී ඇතිවන ඔක්කරා ගතිය දුරුකරන "ග්රැවිනේට්" බෙහෙත් පෙත්තක් ගත් විට පහසුවෙන් නිදාගත හැකිය.

පැය හතර හමාරක ගුවන් ගමනකින් පසු යානය එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි ගුවන් තොටුපල වෙත ලගාවේ. ගුවන් සේවිකාවන් අවදිකරවන තුරුම මම ආසනයේ ගුලිවී නිදාගනිමි. මද වශයෙන් එලිය වැටෙද්දී යානයේ කවුළුවෙන් පෙනෙන දුඹුරු පැහැති ශුෂ්ක වැලි කදු මූසල හැගීමක් ජනිත කරවයි. ඩුබායි ගුවන් තොටේ සේවය එම හැගීම් දෙගුණ තෙගුණ කරවයි. බංග්ලාදේශය, පාකිස්තානය, ශ්රී ලංකාව වැනි රටවලින් මැදපෙරදිගට පැමිණ දහදුරා වැඩකරන සුළුතරයක් නිසා ඔවුන් අප දෙසද යහපත් ආකල්පයක් දක්වන්නේ නැත. මගේ ඇෆ්ගන් ජාතික මිතුරන් වෙනුවෙන් රසකැවිලි හා චොක්ලට් මිලදී ගනිමි.

ඇෆ්ගනිස්තානය දක්වා ගමන් ගන්නා යානය බොහෝ විට සාම්ප්රදායික ඇදුමෙන් සැරසුනු ඇෆ්ගන් වරුන්ගෙන් හා වරියන්ගෙන් පිරී ඇත. වෙලදාම් කිරීමට යමක් මිලදී ගන්නට, මක්කම යන්නට, නෑ මිතුරන් බැලීමට ආදී බොහෝ දේ සදහා ඩුබායි අය අතර වෙති. අප මෙන්ම ඇෆ්ගනිතානයේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ වෙනත් රාජ්ය නොවන සංවිධාන වල සේවය කරන විදේශිකයන් කිහිප දෙනෙක්ද අනිවාර්යයෙන්ම ඒ අතර වේ. අප සැමදෙනාගේම ජීවිත වලට උරුම මහා පොදු සාධක නිසා එවැන්නන් පහසුවෙන් කුළුපග වෙති. ඉංග්රීසි භාශාව චතුර ලෙස කතා කල හැකි ඇෆ්ගන් වරුන්ද මා හා කුලුපග වේ. ඉවසිය නොහැකිම කරුණ වන්නේ ඔවුන් මා ඉන්දියානුවෙක් යැයි සිතා හින්දි හෝ උර්දු භාශාවෙන් ඇමතීමය. උප්පත්තියෙන්ම මට දඹයන් අකැපය.

ඇෆ්ගනිතානයේ කදු ගස් වැල් වලින් තොරය. සීත කාලයට හිම වලින් වැසී සුදු පැහැයක් ගන්නා කදු මුදුන් අනෙක් කාල වලදී රතු , දුඹුරු හා නිල්වන් කලු පැහැතිය. අතරින් පතර ගලාබසින ගංගාවන් දක්නට ඇතත් බොහෝ විට භූමිය ශුෂ්කය. ඇෆ්ගනිතානයේ කොල පැහැති සරු බිම් පවතින නමුත් එම පෙදෙස් ගුවන් ගමනට දර්ශනය නොවේ. ඈතින් හින්දුකුශ් කදු වැටිය පෙනේ. එම කදු සෑම විටම හිමෙන් වැසී පවතී.

කාබුල් නුවරට සමීපවත්ම පොලවේ ඇති කුඩා මැටි නිවෙස් සහ උස් තාප්ප කොටු හැඩයට දිස් වන්නට පටන් ගනී. මුස්ලිම් සංස්කෘතිය අනුව ඉතා දුරුන් පිහිටි නිවෙස් වල පවා තාප්ප අනිවාර්යයෙන්ම දැකිය හැකිය.

උස් කදු මුදුන් වල ගෑවී නොගෑවී ගමන් ගන්නා ගුවන් යානය වම් අතට හැරීමත් සමග කාබුල් නුවර ඉහල අහස් කුසට පිවිසේ. අහස, නිරන්තර පරිසර විනාශයත්, දූශනයත්, වියලි බවත් නිසා දුහුවිල්ලෙන් වැසී පවතී. කාබුල් නුවර උස් ගොඩනැගිලි ඇත්තේ කිහිපයක් පමනි. අතරින් පතර මුස්ලිම් දේවස්තාන වල කොත් අහසට දිස්වේ. නගරය පුරාම ඇත්තේ අවිධිමත්, අවලස්ස්න ඉදිකිරීම්ය. හැත්තෑව දශකයේ දකුණු ආසියාවේ දියුනු නගරයක්ව තිබූ කාබුල් නුවර යුද්දය විසින් එකම කසල ගොඩක් බවට පත් කර ඇත.

ඉතිරිය පසුවට .... 

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ