ඇෆ්ගන් කතා 3 - නික්ම යාම. දෙවන කොටස.

හමීඩ් කර්සායි ජාත්යන්තර ගුවන් තොටුපලේ යානා පර්යන්ත ඇත්තේ දෙකක් පමණි. කලාතුරකින් හැරෙන්නට ඩුබායි සිට එන ගුවන් යානාවන්ට මෙම පර්යන්ත වල ඉඩ ලැබේ.  ගුවන් යානය පර්යන්තයක නැවතූ විට යානය තුල කඩි ගුලක මෙන් කලබලකාරී බවක් ඇති වේ. මගීහු දනි පනි ගා ඉහල රාක්ක වල ඇති මළු අතට ගනී. ගුවන් යානයේ දොර ඇරුණු මොහොතේම සියල්ලන් පොර කමින් ඉදිරියට පනී. බොහෝවිට මා වෙන්කර ගන්නේ ඉදිරි පෙල අසුනක් නිසා මේ අවහිරයෙන් මිදෙන්නට මට හැකි වේ. ඇතැම් විට යානයේ ගම්න් ගන්නා ප්රභූන් ගෙන යාමට ඔවුන්ගෙ වාහන ගුවන් යානය අසලටම පැමිණ තිබෙනු දකින්නට ලැබේ.


ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් ඉතා ආචාරශීලීය. ඔවුන් විදේශිකයින්ට විශේෂ සැලකිල්ලක් දක්වයි. විනාඩියක් වැනි කාලයක් තුල ආගමන කටයුතු නිමවා ගමන් මළු පර්යන්තයට යෑමට ඉඩ ලැබේ. ගමන් මළු පර්යන්තයේ පෝටර් වරු පිරී සිටිති. ඩොලරයක හෝ දේකක කුලියට ගමන් මලු එලියට ප්රවාහනය කිරීම ඔවුන්ගේ රැකියාවයි. ජ්යාත්යන්තර ගුවන් ගමන් ඉතා අඩුවෙන් සිදුවන ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ දයිනික ආදායම කොතරම් අඩුදැයි සිතා ගැනීම අපහසු කරුණක් නොවේ. බොහෝවිට මම මගේ ගමන් මළු ප්රවාහනය කර ගනිමි.
ගුවන් තොටින් ඉවතට පැමිණීම තරමක් අසීරුය. සියලුම ගමන් මළු ස්කෑනරයක් මගින් පරීක්ශා කිරීමත්, බහලුම් ටිකට් පත් පරීක්ෂා කිරීමත් අනිවාර්යය. මේ සදහා පෝලිම් ගැසී සිටීමට සිදුවේ.
රථගාල ගුවන් තොටුපල පිටවීමේ දොරටුවේ සිට මීටර් 300ක් පමණ දුරින් ඇත. වසන්ත කාලයේත්, ගිම්හාන කාලයේත් මේ දුර ඉතා පහසුවෙන් යා හැකි වුවත් සීත කාලයේ සීත සුලං සමග ට්රොලියක් තල්ලු කරගෙන යෑම අසීරුය. ඉදිකටු අනින්නාක් වැනි කටුක සීතල සම තුලටම කා වදී. ශ්රී ලංකාවේ සතියක් හමාරක් ගත කර එන මට මෙම සීතල තදින් දැනේ.
රථ ගාලේ බොහෝ වාහන නවතා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රථ රැසක්ද ඇති නිසා මා රැගෙන යාමට පැමිණි රථය සොයා ගැනීමට තරමක වෙහෙසක් දැරීමට සිදුවේ.  බොහෝවිට මා රැගෙන යන්නට පැමිණෙන්නේ මොහොමඩ් ඉස්මයිල් නම් වයෝවෘධ රියදුරාය. පැසුනු රැවුලක් සහ කෙස්ස සිදී ගිය හිසකින් යුත් මේ රියදුරා උනුසුම් හාද්දකින් මා නැවත ඇෆ්ගනිස්තානයට පිලිගනී. කම්මුලට කම්මුල තබා හාද්දක් දීම ඇෆ්ගන් පිරිමින් අතර ප්රකට ආචාර ක්රමයකි.
ඉක්මනින්ම අප මාර්ගයට පිවිසෙන්නෙමු. ඇෆ්ගනිස්තානයේ භාවිතා වන එක්සත් ජාතීන්ගේ වාහන සියල්ල වෙඩි නොවදින ටොයෝටා ලෑන්ඩ් කෲසර් වාහන වේ. මෙම වාහනයක් ටොන් හයක බරින් යුතුය. දොරක් වැසීම පවා වෙහෙසකරය. ඇමරිකානු ඩොලර් 400,000 ක් එනම් රුපියල් මිලියන හැටක පමන වටිනාකමින් යුතු මෙම වාහන ඇෆ්ගන් මාර්ග වල ඉතා සුලභ දසුනකි. මේ වන තුරු මෙම වාහන ඉලක්ක කර කාබුල් නුවර තුල ත්රස්ත ප්රහාර එල්ල වී නැත.
ඇෆ්ගනිස්තානයේ වාහන ධාවනය කරන්නේ මාර්ගයේ දකුණු පසිනි. මේ නිසා තරමක නුහුරු බවක් දැනේ. ඇෆ්ගනිස්තානයේ හුරුව නිසා ලංකාවේදීත් එකවරක් මම වාහනය දකුණු පසින් පදවා අමාරුවේ වැටෙන්නට ගොස් බේරුනේ යන්තමිනි!
අප රැදී සිටින ආරක්ශිත කදවුර පැය භාගයක පමණ දුරින් පිහිටා ඇත . කාබුල් ජලාලාබාද් මහාමාර්ගයේ පිහිටි එම කදවුර දක්වා මම මග දෙපස විසිතුරු බලමින් යමි. කඩ සාප්පුත්, අබලන් වාහන අංගනත්, ලී දඩු , ගල් අගුරු, පාන් සහ මස් විකුණන කඩත් පසුකරගෙන යන මේ ගමන මට ලංකාවේ මාර්ගයක ගමනක් තරම් හුරුය. මාර්ගය රතවාහන වලින් පිරී පවතී. දැන් හැප්පෙයි දැන් හැප්පෙයි කියා සිතුනත් අනතුරු සිදුවන්නේ කලතුරකිනි.
එක්සත් ජාතීන්ගේ ආරක්ශික කදවුරට ඇතුල් වීමට පෙර රථය පූර්ණ සෝදිසියකට ලක්වේ. හැදුනුම්පත අනිවාර්ය වන අතර දර්පන මගින් රථයේ යට පරීක්ශාවට ලක් කෙරේ. පුහුණු සුනඛයන් රථයේ කිසියම් පුපුරණ ද්රව්යයක් ඇත් දැයි ඉව අල්ලා බලයි. මේ එක සුනඛයෙක්ගේ පඩිය සහ නඩත්තු වියදම මගේ පඩියට වඩා වැඩිබව දන්නේ අපම පමණි.
ආරක්ෂිත දැල් වැටකින්  වාහනය ඇතුලට එත්ම සුපුරුදු හුදෙකලා ජීවිතයේ තවත් කාල පරිච්චේදයක් ඇරඹේ. නිවස තරම්ම කාබුල් කාර්යාල පරිශ්රයට මම ඇබ්බැහි වී සිටිමි.

Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ