පුංචි කෝච්චි පාර
කිරිබත්ගල කදු ඉස්මත්තෙන් ඉර සැඟවී යාමට ඇත්තේ හෝරාවකට නොඅඩු කාලයකි. වටාපත කෝච්චි ස්ටේසම ලඟ මහ සෙනඟක් රැස්ව සිටිති. ස්ටේසමෙන් කිරිබත්ගලට යන පාරේ නුදුරේම පිහිටි නිවසක සිටි දයාවතී ඉස්කොලෙ හාමිනේ චීත්ත නෙරියේ අත පිස දම දමා එළිපත්තට ආවාය. නිවිතිගල සිට පැමිණෙන අන්තිම බස් රථයේ ඇගේ සැමියා වන පියරත්න ඉස්කෝලෙ මහත්මයා පැමිණීමට නියමිතය. හන්දියේ සිටින සෙනඟ සිටින්නේද ඔහු ඇතුළු පිරිවර එන තුරාය. වටාපත කඳු ගැටය නැඟ , අද්ද අද්දා පැමිණි මොරිස් ලොරි බසයක් ස්ටේසමේ රේල් පාර පැන නතර විය. ගම්මු ඒවාට කියන්නේ පාන් බාග බස් කියාය. ඉස්කෝලෙ මහත්තයා ස්වාමීන් වහන්සේ නමක් පෙරදැරි කරගෙන බසයෙන් බැස්සේය. උන්වහන්සේ , වටාපත ශ්‍රී දේවානන්ද පිරිවෙනේ විහාරාධිපති තැන්පත් මානාදොළ ඉන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේය. මග බලා සිටි පිරිවර එකත්පස්ව ස්වාමීන් වහ්න්සේට වැඳ ආචාර කලහ. ඉන් අනතුරුව ඉස්කෝලෙ මහත්මයාට පසු පසින් මහ නඩයක්ද බසයෙන් බැස්සෝය. සෙනඟ , ඉස්කොලෙ මහත්මයාත් සෙසු අයත් වටකරගෙන තොරතුරු විමසනු පෙනිණි. මදකට පසුව නැගී ආවේ ජය ඝෝෂාවකි. "අපේ හාන්දුරුවන් වහන්සේට ජය වේවා! , පියරත්න ඉස්කොලෙ මහත්තයාට ජයවේවා!" ස්ටේසම් ගබඩාවේ වේදිකා...