මතක මාවත ඔස්සේ 03: බිබිලේගම

ඇහැලියගොඩින් පසු, අප සංක්‍රමණය වූයේ බිබිලේගමටය. බිබිලේගම, අපේ තාත්තාගේ ගමට තරමක් නුදුරින් පිහිටියේය. ඇහැළියගොඩදී ලද සියළුම නාගරික පහසුකම් හැරදමා, බිබිලේගමට ඒම ලෙහෙසියෙන් ගත් තීරණයක් නොවෙන්නට ඇත. බිබිලේගම පිහිටියේ ගොඩකවෙල පොලීසියට ඉදිරියෙන් හැරී යන පාරේ කිලෝ මීටර් හතරක් දුර ගිය තැනය. අප එහි පදිංචියට ගිය 1981 වසරේ, එය දුශ්කර මාවතකි. ගමනාගමන මණ්ඩලයේ බස් ධාවනය වූයේ හෝ තාර අතුරා තිබුණේ නැත. ඉඳහිට යන එන ලොරි බාගයක මඳ දුරක් ගොස් පයින් යා යුතුය. මාර්ගය තරමක් හෙල් සහිත වුවත් ගමන දුෂ්කරය. බිබිලේගම පාර, බිබිලේගම මහා විද්‍යාලය පසු කර පාලම්කෝට්ටේ හරහා රක්වාන බුලුතොට දක්වා දිවේ. බිබිලේගමින් ඔබ්බට මා විස්තර කල මාර්ග කොටස අදටත් දුශ්කරය. බිබිලේගමට සමීපම නගරය වන ගොඩකවෙල පවා ඒ වන විට තිබුණේ ඉතාමත් නොදියුණු මට්ටමකය. සති පොලක්, ප්‍රාදේශීය රෝහලක්, රජයේ බැංකු දෙකක්, පාසල් දෙකක් සහ කඩමණ්ඩි දෙකකින් සමන්විත එය මැදින් දිවුණු රත්නපුර - ඇඹිලිපිටිය මහ පාර එකල තනිකරම මඩ ගොහොරුවකි.

අම්මාත්, තාත්තාත් ඉල්ලුම් කර ලබා ගත් ගුරු නිවාසයක් පිහිටි පාසලක් වූ බිබිලේගම මහා විද්‍යාලය සුන්දර පාසලකි. එය පිහිටියේ කුඩා කඳු බෑවුමකය. ඉදිරියෙන්ම පිහිටි පාසල් ක්‍රීඩා පිටිය පසු කර, පඩි පෙලවල් ඔස්සේ ඉහලට ගිය විට, අපගේ අලුත් නිවහන වූ ගුරු නිවාසය පිහිටියේය. කාමර දෙකකින් යුක්ත වූ ඒ කුඩා නිවස, දෙපල වහලයක් ගැසූ සරල නිවසකි. කුඩා කාමර දෙකෙහි කුඩා බිත්ති කබඩ් පෙලක්ද විය. මල්ලීත් මමත් ඒවා තුල සැඟවී සිටීමට ආශා කලෙමු. ගුරු නිවස පිටුපස, වහලය තරම් උස හෙළක් විය.

බිබිලේගම මහා විද්‍යාලය පිලිවෙලට පවත්වාගෙන ගිය ඉතා දර්ශණීය පාසලකි. පාසල් වත්තේ කොණක ඇති අවන් හල අසලට ගිය විට ශ්‍රීපාදය දිස් වේ. වන්දනා සමයට ආලෝක පුංජද පෙනේ.  බිබිලේගම පාසල අසල සමූපකාරයක්, සිල්ලර බඩු කඩයක් හා රජයේ තැපැල් හල හැර අන් කිසිම ගොඩනැඟිල්ලක් තිබුණේ නැත. තැපල් කන්තෝරුවේ ටෙලිෆෝනයක් හෝ නොමැත. ටෙලිග්‍රෑම් එන්නේ ගොඩකවෙල සිටය. 

ගුරු නිවාසයේ විදුලිය හෝ ජල පහසුකම් නැත. බීමට  දිය පමණක් අසල්වැසි නිවසක ලිඳකින් සැපයින. දිය නෑමට පාරෙන් එපිට පිහිටි පීල්ලකට යා යුතුය. එසේ නැතහොත් හාල්පාණු වල ලෙස හැඳින්වෙන කිරි මැටි නිසා බොර පැහැය ගත් දිය තටාකයක්ද විය. මේ දිය තටාක කුඩා අපට එතරම් සුදුසු නැති නිසා තාත්තා අපට නෑමට බොහෝ දුර සිට බාල්දි දෙකකින් වෙහෙස මහන්සි වී දිය රැගෙන එයි. ඒ තරමක් විශාල බාල්දි, දිගු කලක් අප සන්තකයේ විය. එබැවින් එම බාල්දි කොතරම් බරදැයි මම දනිමි.

කුඩා අප බලාගැනීමේ කටයුත්ත තාත්තාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් විසින් බොහෝ දුරට සම්පාදනය විය. ඊට අමතරව පාසලේ සිසු සිසුවියන්ද, අහල පහල නිවෙස් වල අප බලා ගත්තෝය. එලෙස අපට වඩාත් සමීප පවුලක් වූයේ දයානන්දනී අක්කලාගේ පවුලයි. දයානන්දනී අක්කාගේ අක්කා වූ දයාවතී අක්කාත්, මලයණ්ඩි වූ අබේවික්‍රම අයියාත් අපිට බොහෝ සේ ආදරය කලහ. වසර හතලිහකට ආසන්නව ගෙවී ඇතත්, ඒ හිතමිත්‍රකම් තවමත් මතකයේ ඇත. දයානන්දනී අක්කලාගේ නිවසේ වලක සැකසූ කුකුල් කොටුවක් වූ බව මට මතක තිබේ.

බිබිලේගම පාසලේම විසීම, නොයෙක් දේ නිරික්සන්නට මගේ ඇස් හුරුපුරුදු කිරීමට හේතු විය. වරෙක එහි නව පාසල් ගොඩනැඟිල්ලක් ඉඳි විය. මම ඒ දෙස ආසාවෙන් බලා සිටියෙමි. බිත්තියෙන් බිත්තිය ඉහල නඟිනු, කපරාදුව සිදුවනු මෙන්ම වහලට බාල්ක ඔසවා තබනුද මම පියවරෙන් පියවර නිරීක්ෂණය කලෙමි. බාල්ක රාමු වල කළු තෙල් වෙනුවට ආලේප කලේ, රේල් සිල්පර කොට කල් තබා ගැනීමට යොදවන ක්‍රියෝසෝට් තෙල් ය. ක්‍රියෝසෝට් පොඟවන ලද රේල් සිල්පරයක් පසු කර යන විට, බිබිලේගම සිහි වීම තවමත් සිදුවේ.


නිල් පාට ටීශර්ටයක් සහ නිල් පාට සෙල්ලම් ඔරලොසුවක් බැඳ, නිල් පැහැති 'ගෑණු' සපත්තු කුට්ටමක් පටි කපා සකසාගෙන පැළඳ රවාගෙන සිටින මම. පසුබිමින් ඇත්තේ බිබිලේගම සමුපකාරය සහ රක්වාන කඳු පන්තියයි.

ගොඩකවෙල බිබිලේගම පාරට තාර දැමුණේද අප එහි සිට කාලයේය. ගල් රෝල්, තාර බැරල්, තාර උණු කරන කරත්ත සමඟ හරි හරියට ගිනි අව්වේ ගැටෙන බූට් දාගත් හෝ කකුල් වල රෙදි පටි ඔතාගත් කම්කරුවන් මගේ අනුකම්පාවට ලක් විය. තාර උණු වන විට නැඟෙන සුවඳත්, උණු තාර හිල් සහිත භාජනයකින් රටාවකට තැලුණු පාරේ ඇතිරීම සහ ඊට උඩින් වැලි ඉසීමත් බලා සිටීමට ඉතා වටිනා දේය. අපේ අසල්වාසී අබේවික්‍රම අයියා, ගල් ටිකක් පෙලට තබා තලා, තාර කැබලි ටිකක් බෙලෙක්කයක උණු එක ඒ මත වත්කර, කරත්ත තල්ලු කිරීමට 'මහ පාරක්' තනාගෙන තිබුණේය.  අලුතෙන් තාර දැමූ පාරේ, කොලපාට කොඩි වැල් ඇද සරසන ලද බස් රතයක් මහා ගෝසාවක් මැදින් ගමන් කරනුද මම ආසාවෙන් බලා සිටියෙමි. පාරේ ගිය ගල් රෝලක් මට පෙන්වීමට 'අයියේ' කියා දිව ආ මල්ලී, ගුරුනිවාසයේ පඩිය ලඟ ඇද වැටී නලල පලාගත්තේය. ඔහු කලාන්ත වී හිසෙන් ලේ දහරා වැගිරවූ සැටිත්, අම්මා සහ තාත්තා ඔහුත් ඔසවාගෙන බෙහෙත් දම්මන්ට දුව ගිය සැටිත්, කුඩා කාලායේ මා මුහුණ දුන් බියජනකම සිදුවීමකි. පැහැපත් පෙනුමෙන් යුත් ඔහුගේ නලලේ ඒ තුවාල කැලල තවමත් පවතී.

දඟලා අනතුරු කරගැනීම බිබිලේගමදී හෝ අඩුවක් වූයේ නැත. ගොඩනැඟිලි සාදන ස්තාන වල කරක් ගැසීමට ගොස් එක වරක් මලකඩ ඇණයක් කකුලේ ඇනගත්තෙමි. දෙමාපියන් සහ ගුරු මණ්ඩලයේ අය මා කුදලාගෙන සිටියදී, එක් අන්කල් කෙනෙකු කකුලට ලුණු කැටයක් තබා දැල්වෙන පාන්තිරයකින් උණු තෙල් වත් කලේය. එය, පිටගැස්ම වලක්වන්නට කරන ගොඩවෙදකමකි. එදා සිට ඒ ගුරුතුමා 'කකුල පුච්චපු අංකල්' විය. මම එතුමා සමඟ ඉතා දිගු කාලයක්ම අමනාප වී සිටියෙමි.

පාසල් යාම පටන් ගත් පසු ඉතා ආසාවෙන් එය කල මම ඇතැම් විට සවස නිදාගෙන සිට අවදී වී , උතුර දකුණ මාරු වී ඒ පසුදා උදේ යැයි සිතා හැඳ පැලඳ ගෙන පාසල් ගිය හැටිද, ගෙදර අය සමච්චල් කල හැටිද අමතක කරන්නට බැරිය.

පාසලේ ප්‍රධාන ශාලාව අසල වෙරළු ගසක් විය. මම එහි නිතරම බඩ ගාමි. එක් වරක් දලඹුවන් රොත්තක් සිටියදී එහි බඩගා, පපුවේ සහ බඩේ උන්ගේ විෂ සහිත බූව ඇනී වේදනාවෙන් සිටින විට, පොල් තෙල් ගා එම බූව සූරා දැමූවේද පාසලේ ගුරුවරයෙකි.


මල්ලී සහ මම බිබිලේගම මහා විද්‍යාලයේදී. මගේ අතේ ඇති පොත 'රතු කිකිළි'ය. එකල්හි සිටම මම පොත් ගුල්ලෙක්මි

පාසලේ ප්‍රධාන ශාලව, මතක ගොන්නක තෝතැන්නක් විය. එක් වරක් තාත්තා ඇතුළු ගුරු කැල ප්‍රදාන ශාලාවේ නාට්‍යයක් පෙන්වීමට සංවිධානය කලහ. ඒ තිලක් කුමාර රත්නායක මහතාගේ 'සමනලයෝ' වේදිකා නාට්‍යය බව මට මතකය. එහි, මුල්ම ජවනිකාවේ වේදිකාව පුරා චිත්‍රකතා පත්‍ර විසිරවේ. මුල් ජවනිකාවට පසු තලය සැකසෙද්දී කවුරුන් හෝ 'හූ' කී නිසා නාට්‍ය කණ්ඩායම අමනාප වූ විට තාත්තා වේදිකාවට නැඟ තත්ත්වය සමනය කලේය. ඒ වේදිකා නාට්‍යයේ ප්‍රියා සූරියසේන ගායනා කරන 'සුදු පරෙවි රෑන සේ පියා සලා, පාසල නිමවී යොවුන් කුමරියන්' ගීයද ගැයුණි.

මම අම්මාත් තාත්තාත් සමඟ පස්සේම වැටී පාසල සැම තැන්ම යමි. එක් වතාවක සාමාන්‍ය පෙල විභාග ශාලාවක මම තාත්තාගේ මේසය ලඟින් වාඩි වී සිටියෙමි. මේසය මත නොලියන ලද හිස් විභාග කොලයක් විය. මම එයට ලොබ බැඳගෙන සිටියෙමි. මම ඒ දෙසම දෑස් දල්වාගෙන සිටියෙමි. තාත්තා එහි යම් සටහනක් කලේය. තවත් සටහනක් කලේය. තවත්.. තවත්.. තාත්තා 'මගේ කඩදාසියේ' කුරුටු ගාන විට මට මහා දුකක් ඇතිවිය. මම මහා සභාවක් මැද 'හෝස්' ගා හැඬුවෙමි. ලමෝ පිලිතුරු පත්‍ර ලිවීම නවතා මා දෙස බලා සිටියහ. තාත්තා කරුණු අසා විභාග කොල මිටියක් සහ පැන්සලයක් දුන් පසුවලු, මගේ හැඬීම නතර වූයේ.

අම්මා පංති කාමර වල උගන්වන විට, මම ඈ සමඟ ගොස් ගුරු පුටුවේ වාඩි වී සිටිමි. ඇතැම් විට හුණු කෑල්ලක් ගෙන කළු ලෑල්ලේ සටහන්ද අඳිමි. අම්මා ඉගැන්වූයේ වාණිජ විෂයයි. මමත් අම්මාගෙන් වචන අසුලාගෙන 'හර, බැර' කියමින් උගන්වමි. ලමෝ සිනාසෙති. 'හර බැර' උවමනාවට වඩා සිතේ පැලපදියම් වීම නිසා හත වසර ගණිත පංතියේදී 'හරය ලවය' වෙනුවට 'හරය බැරය' කියා ලියා ගණිත ගුරුතුමාගෙන් ටොක්කක්ද ලැබුවෙමි!

කුඩා කල සිටම මල්ලී සහ මම වර්ණ බෙදාගෙන සිටියෙමු. මල්ලීට රතු පාට සහ මට නිල් පාට වශයෙනි. නිල් පාට නොමැති දේවල් ප්‍රතික්ෂේප කරන මුරණ්ඩු කමක් මා සතු විය. එක් වරක් පාවහන් ගැනීම්ට ගොඩකවෙල කඩයකට ගොස් නිල් පාට පාවහන් නොමැති නිසා මම කිසිම පාවහනක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කලෙමි. නිල් පාට පාවහන් වූයේ 'ගෑණු සපත්තු ' ගොඩේ පමණි. මම අම්මාට වද දී ඉන් යුවලක් මිලදී ගෙන අමතර පටි ආදිය කපා දමා පයෙහි ලෑවෙමි. නිල්පාට ටීශර්ටයක් ඇඳ එම සපත්තු යුවලද නිල් පාට පටියක් සහිත සෙල්ලම් ඔරලෝසුවක්ද පැලඳ 'ඔරවාගෙන' බිබිලේගම විදුහලේ ක්‍රීඩා පිටියේදී ගත් සේයාරුවක් මේ සමඟ අමුණා ඇත. තවමත් මගේ ඔරලෝසුවේ මුහුණත නිල් පැහැතිය, ජංගම දුරකතනය සහ මුදල් පසුම්බිය නිල් පැහැතිය, මා සතුව ඇති කමීස වලින් 50%ක් පමණ නිල් පැහැතිය. නිල් පැහැති මෝටර් රථයක් ගැනීමට කීප වරක් උත්සාහ කලත් තවමත් එය ඉටුවී නොමැත! කෙසේ හෝ මා මිලදී ගන්නේ වෙන වෙන පාට වල මෝටර් රියය.


බිබිලේගම මහා විද්‍යාලය, අන්තර්ජාලයෙන් සොයා ගත් සේයාරුවක්.

පවුලේ මුල්ම ගැහැණු දරුවා වූ ලොකු නංගී උපත ලැබුවේ අප බිබිලේගම වෙසෙද්දී, ගොඩකවෙල දිසා රෝහලේදීය. අම්මාත් ඇයත්, ගොඩකවෙලින් කුලියට ගත් මොරිස් මයිනර් කාරයක නිවසට කැඳවාගෙන යාම සිහියේ ඇත. පරණ මෝටර් රත වල ලාක්ෂණික සුවඳට මම අදත් කැමතිය. එහි රියදුරා සමඟ කතා බහක් පටන් ගන්නට හැදුවත්, මා තඹේකටවත් මායිම් කලේ ඔහු නොවේ. පරාජය බාර ගත මම 'මොකද ඔයාගේ කටේ පිට්ටුද?' යි අසා නිහඬ උනෙමි.

 ගොඩකවෙල පොල පැවැත්වෙන සෙනසුරාදා දින වල අම්මාත් තාත්තාත් අපිත් සමඟ නගරයට එයි. එවන් දිනවල ලොරි බාග ධාවනය වන බැවින් ගමනාගමනය දුෂ්කර නැත. අපිට කලිසම් මැසීමට දෙන්නේ ගොඩකවෙල සෝමසිරි ටේලර්ස් වෙතය. අම්මාත් තාත්තාත් පොලට ගොස් එනතුරු අපි නවත්වා යන්නේ මෙල් ඇන්ටිලාගේ ගෙදරය. ඒ නිවසට පිටුපසින් ගලායන දොල පාරේ කබරයන් නැරඹීමට අපි කැමැත්තෙමු. ජන්ශන් හෝටලයෙන් බනිස් කා තේ බී, දහවල් නිවසට යන විට, අපේ අතේ කුමක් හෝ කුඩා සෙල්ලම් බඩුවක් විය.

තාත්තා පාසල් වත්තේ කෙලවරක ඇති හිතවතෙකුගේ ඉඩමක බතල මඤ්ඤොක්කා වගා කලේය. තාත්තාට තේ වේල අරන් යන්නේ මමයි. දිනක් එලෙස තාත්තා බැලීමට ගොස් ගුරු නිවාසය වෙත එද්දී පාසල් ගොඩනැගිල්ලක අගුවක සිටි පත ගැරඬියෙක් දැක මම අසීමිත ලෙස බිය වුනෙමි. අඩුම කුඩුමද බිම අත හැර, මර හඬ දීගෙන අම්මා ලඟට දිවීමි. ඒ තැතිගැන්ම කාලාන්තරයක් මගේ සිතෙහි විය. දිනක් තාත්තා උදලු ගාමින් සිටියදී ඇදී ආ නාගයෙක්ට කැට කැබලිති විසි කිරීම නිසා ඌ උරණ වී තාත්තා පසු පස ආ හැටිත්, ගමේ අය ඒ සතා මරා දැමූ බවත් මතකය. [නයින් වෛර බැඳීම මිත්‍යාවක් ලෙසත්, ඔවුන් පරිසරයේ කොටසල් ලෙසත් අද වෙද්දී පිලිගැනුනත්, ඈත දුශ්කර ගමක විසූ අපගේ ආරක්ෂාව පිණිස එය කරන්නට ඇතැයි සිතමි] නයාගේ සිද්ධියෙන් පසු , නිවස අසලම වූ හුඹහක් තාත්තා විසින් බිඳ හෙලන ලදී.

 මා මුලින්ම පාසල් ගියේ බිබිලේගම මහා විද්‍යාලයටය. එදින, මගේ පුංචි අසුනට වම් පසින් වාඩි වී සිටි කුඩා මිතුරා මගේ සිත් ගත්තේය. මම ඔහු හිඳ සිටි ඉරියව්වද අනුගමනය කලෙමි. පසු කලෙක මගේ හොඳම මිතුරා වූයේ ඔහුය; ප්‍රියන්ත. වසරක් මිත්‍රත්වයකින් පසු , මට ගම හැරදා යාම සඳහා ප්‍රියන්තට සමු දීමට සිදු විය. මම කඳුළු අතරින් 'කමක් නෑ විස්ස විද්‍යාලෙදි හම්බ වෙනවනෙ' යනුවෙන් පණ්ඩිත කතාවක් කීවෙමි. කෙසේ වෙතත්, ප්‍රියන්ත විශ්ව විද්‍යාලයට කලින්ම, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල පන්තියේදී හමු වූයෙමි. ප්‍රියන්ත මේ වනවිට යුනිලීවර් සමූහයේ වගකිවයුතු මට්ටමේ විධායක නිලධාරියෙකි, හොඳ මිත්‍රයෙකි.

 එක් දිනක් මල්ලී දයානන්දනී අක්කලාගේ නිවසේ තබා අම්මාත්, මමත්, තාත්තාත් පාසල් අධ්‍යාපන චාරිකාවක නිරත වීමු. අපි ආපසු ආව විට, 'ඔයාලා මාව දාලා ගමනක් ගියා නේදැ'යි මගේ මල්ලී නෝක්කාඩු කියා ඇත. ඒ අධ්‍යාපා චාරිකාවේදී ආගිය තැන් මට ඉතා හොඳින් තවමත් මතක තිබේ.  කොලඹ නගරය ඇතුළු බොහෝ දේ මුල් වරට මගේ සිඟිති නෙත ගැටුනේ එදාය. කොලඹ කෞතුකාගාරය, වරාය, සත්වෝද්‍යානය මගේ මතකයේ ඇත. අපි ලංකා රාණි නැව වටා බෝට්ටු සංචාරයක්ද ගියෙමු. රූපවාහිනියක්ද දුටුවේ එදිනමය. වෙනකක් තබා, ඒ වර්ණ රූපවාහිනියක් බවත්, වරායක පසුබිමේ 'අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී' යන ගීතය එහි වාදනය වූ බවත් මතකය. ඒ ගීතය ගලේ කෙටුවා සේ මගේ සිතෙහි තැන්පත් විය. එදින අප ආහාරය ගත්තේ විහාරමහාදේවි උද්‍යානයේදීය. මගේ සදාදරණීය පුංචි කෝච්චිය එහි වූවත්, එහි ගමන් කලාදැයි මතක නැත. අප රේල් පීලි මත වාඩි වී දහවල් ආහාරය ගතිමු. එදින කරුණාරත්න අබේසේකර මහතාගේ අවමඟුල් දිනයි. එබැවින් ඒ විනෝද චාරිකාව අප ගිය දින 1983 වසරේ අප්‍රේල් 23 වෙනි දිනට ආසන්න විය යුතුය. ඒ වන විට මම පලමු වසරේ පාසල් සිසුවෙකි. මල්ලී නිවසේ තබා යෑමට හේතුව එයය. මගේ පියා විනය නීති රීති අකුරටම පිලිපැදි අයෙකි.

1983 වසර අපි බිබිලෙගම රැඳී සිටි අවසන් වසරයි. 1983 අග හෝ 1984 මුල, අපේ දෙමාපියන් බොහෝ මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් මිලදී ගත්, රිදීවිට 'ගොඩැල්ල වත්තේ' පිහිටි නිවසට සංක්‍රමණය වූයෙමු.

ඊට බොහෝ පසු දිනක, 2013 වසරේදී පමණ අම්මාත් මාත් බිබිලේගම විද්‍යාලය බැලීමට ගියෙමු. ඒ වන විටත් ගුරු නිවාසය එහි විය. එය කොතරම් කුඩාද යන්න දුටු මම විමතියට පත් වූයෙමි. ඒ වෙද්දී, එය තිබුණේ තරමක අබලන් තත්ත්වයෙනි. එය ප්‍රතිසංස්කරණය කලේද, කඩා බිඳ දැමුවේද මා දන්නේ නැත. ඒ ගුරු නිවාසයේ සේයා රූ රැසක් මම රැගෙන ආවත්, කාලයත් සමඟ ඒවාද මැකී ගොස් ඇත.


Comments

වඩා කැමති ලිපි

උපාසක බැලළි

අනූහයේ අපේ කතා, තුන්වන කොටස: කළ බේස් සහ කැසට් පීස්

අනූහයේ අපේ කතා, සයවන කොටස: බස් පිස්සෝ